Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බයිලා රජු – වොලී බැස්ටියන්

1505 වර්ෂයේ ලංකාවේ මුහුදුබඩ ආක්‍රමණය කරන පෘතුග්‍රීසි ජාතිකයන් අපේ රටෙන්   යනවිට ඉතිරිකර ගිය දේවල් අතරින් ප්‍රධාන දේවල් ලෙස ඔවුන්ගේ ආගම, බයිලා, කපිරිඤ්ඤා කලාව හා ඔවුන්ගේ නීතිය නම් කරන්නට පුළුවන්.

මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට ක්‍රමක්‍රමයෙන් සමීප වූ කපිරිඤ්ඤා කලාවට නව ආරක් ලැබෙන්නේ 1940 න් පස්සේ යි. පෘතුග්‍රීසී සහ ස්‌පාඤ්ඤ ජාතිකයින්ගෙන් ලද අභාෂයෙන් නිර්මාණය වු එම ගී, 6/8 කපිරිඤ්ඤා තාලයට සිංහල වචන එකතු කර මුලින්ම සිංහල බයිලා ගායනා පටන් ගත්තේ මේ කාලයේදී යි.

ලංකාවේ බයිලා කලාව එම යුගයේදී ජනප්‍රියත්වයට පත් කරන්නට කටයුතු කළ කපිරිඤ්ඤා වගේම කැලිප්සෝ තාලවලටත් සිංහල බයිලා සිංදු කියූ බයිලා ලොවේ කිරුළු දැරූ රජු හෙවත් වොලී බැස්ටියන් පිළිබඳවයි අද සටහන. වොලී බස්ටියන්ගෙන් පසුව තවත් බයිලා ගී කලාකරුවන් පිරිසක් බිහි වූවත් බයිලා කලාවත් වොලී බැස්ටියන් යන නාමයත් දෙකක් නොව එකක් ලෙසයි අපට හැ‍ඟෙන්නේ. ඉතින් බයිලා කලාව පිළිබඳවත් බයිලා ගීත හා ගායකයන් පිළිබඳවත් ඔබේ අදහස comment එකකින් සටහන් කර යන්නට අමතක කරන්න එපා.

“ඔලී”, ”වොලී” බවට පත් වීම

ඔගස්ටස් මාතීනියස් බැස්ටියන් (wallybastiansz.com)

අපි කවුරුත් හොදින් දන්නා වොලී බස්ටියන්ගේ මුල් නම වන්නේ ඔගස්ටස් මාතීනියස් බැස්ටියන්. 1914 ජුනි 9 වෙනිදා ගාල්ලේ පියදිගමදී ඔගස්ටස් මාතීනියස් බැස්ටියන් උපත ලබනවා. පවුලේ නෑදෑයන් මෙන්ම සමීප හිතවතුන් කුඩා ඔගස්ටස්ව අමතන්නේ ඔලී යන කෙටි සුරතල් නාමයකින්. ඉතින් මේ නම තමයි පසු කාලයේදී බයිලා සංගීතයෙන් ජනප්‍රිය වන විට වොලී බවට වෙනස් වෙලා තියෙන්නේ.

කුඩා කළ පටන්ම ඔහු ගිටාර්, වයලින් හා බැන්ජෝ සංගීත භාණ්ඩ වාදනයේ ඉතා දක්ෂයෙක්. පසු කාලයේදී බයිලා සංගීතයටම අවේණික ලෙස සියළුම බයිලා ගීත වල සංගීත රටාවන් මුසු කිරීමට වොලීගේ වාදනයේ දක්ෂතාවය බලපා තිබෙනවා.

පොලීසියේ ගායකයා

වොලී සේවය කරන්නේ ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ රථවාහන රාජකාරී අංශයේ සැරයන්වරයෙක් ලෙසයි. මුල් කාලයේදී ඉංග්‍රීසි ගීත ගයනා කළ අතර 1940 දශකයේ තමයි වොලී බයිලා ගායනයෙන් ප්‍රවීණයෙක් බවට පත් වන්නේ. වොලීගේ බයිලා ගීත විශාල ප්‍රමාණයක පද නිර්මාණය හා තනු නිර්මාණයත් ඔහුගේමයි. විශේෂිතම කරුණ වන්නේ බයිලා ගයන්නෙත් කුමක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කරමින් වීම යි. එසේ ගායනා කළ බයිලා ගීත අදටත් රසිකයන් අතර ඉතා ජනප්‍රියයි වගේම වර්තමානයේදී වොලීගේ ගීත ගායනා නොකරන සංගීත කණ්ඩායමක් සොයා ගැනීමට නොහැකි තරම්.

කෝරස් බයිලා

සංගීත සංදර්ශණයක (Wally Bastiansz)

කෝරස් බයිලා කියන්නේ ගීතය පුරාවටවම නිතර ගැයෙන ගීත ඛණ්ඩයක් ඇතුළත් බයිලා ගීතයි. එම කොටස බයිලා ගීතයේ මුල, මැද හා අගදී ගායනා වෙනවා. කෝරස් බයිලා ගායනා කිරීම වොලීගේ එක් ගායන විලාසිතාවක් ලෙස නම් කරන්නට පුළුවන් වගේම කෝරස් බයිලා ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේත් වොලීයි. බොහෝ වෙලාවට මේ ගීත වල කෝරස් කොටස ගායනා කළේ ගායක ගායිකා සමූහයක් හෙවත් කෝරස් එකක්.

එදිනෙදා සමාජීය සිදුවීම් මුල් කර විවිධ විෂයන් වස්තු බීජය කරගනිමින් විශාල බයිලා ගීත ප්‍රමාණයක් ලියා ගායනා කර ඇති වොලී ඇතැම් බයිලා අතරට ඉංග්‍රීසි වැකි යොදමින් භාෂා සම්මිශ්‍රණයෙන් හරි අපූරු නිර්මාණයන් කර තිබෙනවා.

රට හෙල්ලූ බයිලා

වොලී බැස්ටියන් කැසට් පටයක මුල් කවරය (Rate Your Music)

“නෝනා මගෙ නර්ස් නෝනා

සිහිවෙනවා නිතර දෙවේලේ

නෝනා මගෙ නර්ස් නෝනා

ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ..”

වොලී බැස්ටියන් විසින් පද නිර්මාණය කර ගායනා කරන අදටත් ජනප්‍රිය මෙම බයිලා ගීතය නොඇසූ කෙනෙක් නැති තරම්. ඉතින් ඔහු මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ තම සොයුරියක් වන ෆෙලීෂියා ෆ්ලෝරන්ස් ජයසේකර වෙනුවන්. ඇය සේවය කර තිබෙන්නේ හෙද නිළධාරිනියක් ලෙසයි.

“හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක

කොල්ලෝ රැළක් වටකරගෙන ගැහුවා බෙල් එක

කොල්ලෝ කෙල්ලෝ වටකරගෙන බබි ආච්චිව මැදි කරගෙන

කොල්ලෝ කෙල්ලෝ උඩ පැන පැන ගැහුවා බෙල් එක..”

මේ බයිලා ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට හැමදාම සිදුවෙන සිදුවීමක් මුල් කරගෙනයි.

“බිව්වා නේද වදකහ සුදිය

ජහ ජහ ජහ ජහ

බිව්වා නේද වදකහ සුදිය..”

වොලී බැස්ටියන් විසින් ගායනා කරන මේ බයිලා ගීතයටනම් හරි අපූරු සිදුවීමක් මුල් වෙනවා. 1950 වර්ෂයේ ලංකාවට සම්පූර්ණ සුර්යග්‍රහණයක් ඇති වෙනවා. ඒ සිදුවීම පදනම් කරගෙන ලංකාදීප පුවත්පතේ “සුර්යග්‍රහණය ඇති වන අවස්ථාවේ කාටවත් නොපෙනී වද කහ යුෂ පානය කළ විට කළු පැහැති සමක් ඇති කාන්තාවන්ට පැහැපත් සමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.” යනුවෙන් ලිපියක් පළ වෙනවා.

මේ බොරු කතාවට රැවටුණු බොහොමයක් කාන්තාවන් වදකහ පානය කිරීම හේතුවෙන් බඩේ අමාරුව සදා ගත් බව කියවෙනවා. හැබැයි ලංකාදීප පුවත්පතේ ඉල්ලුමත් අඩු වුනාලු මෙම සිදුවීමෙන් පස්සේ. මේ සිදුවීම මුල් කරගෙනයි මෙම ගීතය නිර්මාණය වන්නේ.

මතකයි අම්මේ ඔබේ දරු නැළවිල්ල

මා පොඩිකාලේ නළවාපු තොටිල්ල..”

වොලී විසින් ගායනා මේ ගීතය කෝරස් බයිලා ගීතයකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක්.

මිට අමතරව සැඩ සුළං හමන්නේ, රටක් වටිනවා, අයරින් ජොසපින්, ලේ කිරි කරලා, මුහුදේ යමු හා යමං බණ්ඩො වැනි බයිලා ගීත වොලීගේ අදටත් ජනප්‍රිය බයිලා ලෙස නම් කරන්න පුළුවන්. වොලී විසින් ගායනා කළ ගී තැටි විනාශ වී යාම හේතුවෙන්  මේ ගීත බොහොමයක් අද අපට ඇහෙන්නේ වෙනත් ශිල්පීන්ගේ හඬින්.

ශ්‍රී ලාංකීය බයිලා ගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් කළ වොලී බැස්ටියන් 1985 ජනවාරි 16 දා බයිලා ගීතයෙන් මෙන්ම ජීවන ගමනෙන්ද සමු ගන්නවා.

වොලී බැස්ටියන් යනු කවුරුන්දැයි කියා වර්නන් පෙරේරා හා හේමසිරි හල්පිට විසින් රචිත, ස්‌ටැන්ලි පීරිස්‌ගේ සංගීත නිර්මාණයක් වන වොලී බැස්ටියන්ගෙන් පසු බයිලා ගීත කලාවට පිවිසුණු ගායන ශිල්පියෙක් වන ඩෙස්‌මන් සිල්වා විසින් ගායනා කරන පහත බයිලා ගීතයෙන් අපට වැටහෙනවා.

පරසිඳු කොළොම්පුරේ මෝදර ගංඉවුරු කොනේ

වියෝලෙ නාදෙ ඇසෙන්නේ

හරියට වැටුණු වෙලේ පෙන්නා ලදුන් බයිල සැරේ

බයිලා රජා ගැනයි කියන්නේ….

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්

බයිලා වලින් රට හොල්ලපු බයිලා චැමිපියන්….

Related Articles