කලා කෙතේ හෙළ ලකුණ – ආන්නද සමරකෝන්

රටක දේශාභිමානය, ජාතිවාත්සල්‍යයය  මෙන්ම සංස්කෘතිය හා සදාචාරය නිරූපණය කරන ප්‍රධාන අංගයක් ලෙස එම රටේ ජාතික ගීය හැදින්විය හැකියි. තවත් ආකාරයට කියනවානම් එය මුළු මහත් ජාතියම විදහා දක්වන සංකේතයක්. එම ගීතය රටක ජනතාව විසින් වැළඳගන්නේත්, ගයන්නේත් මහත් ආදරයෙන් හා අභිමානයකින්.

ඉතින් අද අපි කතා කරන්නට සැරසෙන්නේ ශ්‍රී ලංකාවට එවැනි නිර්මාණයක් කළ නිර්මාණ ශිල්පියෙක් පිළිබඳව යි. ඒ අන් කිසිවකුත් නොව ඔබ අප කවුරුත් හොඳින් දන්නා ආනන්ද සමරකෝන් කලාකරුවා පිළිබඳවයි. මෙම කලා ශිල්පියා ගීත නිර්මාණයට මෙන්ම ගීත ගායනයට, තනු නිර්මාණයට හා චිත්‍ර ඇදීමට එක ලෙස දස්කම් දැක්වූවෙක් බව සමහර විට ඔබ නොදන්නවා ඇති.

සුනිල් ශාන්තයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට අනන්‍ය සංගීත කලාවක් නිර්මාණය කරන්නට මූලික වූ ආනන්ද සමරකෝන් ශිල්පියාගේ දිවි ගමන හා නිර්මාණයන්  පිළිබඳව අපේ සටහනට වැඩි යමක් ඔබට එකතු කරන්නට හැකිනම් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව විවර කර තිබෙනවා.

වයස අවුරුදු 8දී කවි ගී ලියූ ජොර්ජ් විල්ප්‍රඩ් නම් සිඟිත්තා

ජෝර්ජ් විල්ප්‍රඩ් තරුණ වියේදී (SARIGAMA.LK)

වගා වතු යායක ලිපිකරුවෙක් වන සැමුවෙල් සමරකෝන් හා ගුරුවරියක් වන ඩොමින්ගා පීරිස් යන දෙමව්පියන් යුවළට දාව පිරිමි ළමුන් හතරදෙනෙක් යුත් පවුලේ තුන් වැන්නා ලෙස 1911 ජනවාරි 13 වනදා ආනන්ද සමරකෝන් උපත ලබන්නේ පාදුක්ක ලියන්වල ප්‍රදේශයේයි. ආනන්ද සමරකෝන් ගේ මුල් නම වන්නේ එගොඩහගේ ජොර්ජ් විල්ප්‍රඩ් අල්විස් සමරකෝන්ය.

ඔහු ප්‍රථමයෙන් අධ්‍යාපනය ලබන්නේ පිළියන්දල වෑවල ගමේ පිහිටි රජයේ විද්‍යාලයෙන්.  එක් දවසක් හරි අපූරු සිදුවීමක් සිදු වුනා, පාඩමට සවන් නොදී වෙනත් කල්පනාවක සිටින කුඩා ජෝර්ජ්ව දුටු ගුරුවරයා තරමක් සැරෙන් “තමුන් කුමන කල්පනාවකද සිටින්නේ “ ලෙස ප්‍රශ්න කරනවා. එහිදී කුඩා ජෝර්ජ් තමා අසළ පිහිටා ඇති ගස පිළිබඳව කවියක් සිතමින් සිටි බව පවසනවා. කුඩා ළමයා තමන්ගෙන් බේරීමට බොරුවක් ගොතන බව සිතූ ගුරුවරයා එසේනම් එය පන්තියටම ඇසෙන ලෙස ගායනා කරන ලෙස පැවසු විට, ගුරුවරයා මෙන්ම සිසුන්ද මවිතයට පත් කරමින් ඔහු එම කවිය තාලයට ගායනා කරනවා. එයින් ගුරුවරයාගේ කේන්තිය සම්පුරණයෙන් නිවී ගිය අතර දක්ෂ ගී පද රචකයකුගේ හා ගායකයකුගේ විශිෂ්ඨ ගමන ආරම්භ වෙනවා.

1919 කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ඉගනුම ලබමින් සිටින කාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ගීත රචක තරඟයක් සඳහා ඉදිරිපත්වූ ජෝර්ජ්ට රිදී පදක්කම හිමි වෙනවා. තමන් ඉගනා ගන්නා සමයේදීම තම මවගේ පාසලේ කුඩා දරුවන්ට මොහු විසින් සංගීත විෂය පවා උගන්වනවා.

මෙම යුගයේදී පාසලේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ලෙසත් ජෝර්ජ් කැපී පෙනෙනවා. 1929දී “පාසල් හැර යෑමේ සහතික පත්‍ර විභාගයෙන්” ද විශිෂ්ඨ ලෙස සමත් වන්නට ජෝර්ජ්ට හැකියාව ලැබෙනවා.

චිත්‍ර ගුරුවරයෙකු ලෙස ප්‍රථම ගුරු පත්වීම

කොළඹ කලා භවනේ ආනන්ද සමරකෝන් ශුරින් සිතුවමට නගා ඇති අයුරු (Flickr)

1931 වසරේදී ලංකා කාර්මික විද්‍යාලයට ඇතුල් වී  “චිත්‍ර කලාව පිළිබඳ ගුරු සහතික පාඨමාලාව” හදාරා ඉහළින්ම සමත් වෙන ජෝර්ජ් තරුණයා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නේ එහි චිත්‍ර ගුරුවරයා වශයෙනි. ඒ වන විට ඔහුට වයස යාන්තමින් අවුරුදු 23ක්. 1937 දක්වා එහි සේවය කරන ජෝර්ජ් ඉන් ඉවත් වී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට, චිත්‍ර කලාව හැදෑරීම සඳහා පිටව යන්නේ තම බිරිඳත් සමඟයි.

ගී පද රචකයෙකු හා ගායන ශිල්පියෙක් ලෙස

මාස හයක් වැනි ඉතා කුඩා කාලයක් ඉන්දියාවේ රැදී සිටින ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශාන්ති නිකේතනයෙන් චිත්‍ර කලාව හා සංගීතය හැදෑරීමෙන් අනතුරුවයි.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසුව ඔහු තම නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කරනවා. මෙයට හේතුව ලෙස සදහන් වන්නේ මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංකල්ප දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම ලෙස සදහන් වෙනවා. මෙරට පැමිණීමෙන් පසුව පාසල් කිහිපයකම චිත්‍ර හා සංගීතය විෂය උගන්වනවා.

ගීත රචනයට අති දක්ෂ ඔහු 1939 දී “ජන සැම මන අධිපතියෙනි තුතිවේ” ගීතය ලියමින් ගේය පද රචනය අරඹනවා. මේ අතරවාරයේ ගුවන් විදුලි ගීත වැඩසටහන් කිහිපයක්ම වරින් වර ඔහු විසින් ඉදිරිපත් කරනවා. “ඔරියන්ටල් පැජන්ට්‍රි” නම් වැඩසටහන ඒ අතරින් එකක්. 1939දී කාගිල්ස් සාප්පුව විසින් නිෂ්පාදනය කළ “හිස් මාස්ටර්ස් වොයිස්” නම් ග්‍රැමෆෝන් ගී තැටි වල ආරම්භක ගායන ශිල්පියෙක් ලෙසත් ආනන්ද සමරකෝන් සහභාගී වෙනවා.

වෙනත් රටවල තනු, විශේෂයෙන් ඉන්දියානු ගී තනු කොපි නොකට දේශීය ආරකට ඔහු විසින් රචනා කර ගායනා කරන ලද ගීත අතරින් ජනප්‍රියත්වයට පත් වූ ගීත කිහිපයක් ලෙස “ඇසේ මධුර ජීවනයේ ගීතා”, “විලේ මලක් පිපිලා කදිමයි”, “පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ” හා  “පුදමු මේ කුසුම්” දැක්විය හැකියි.

ගීතවත් බවත් සෞන්දර්යාත්මක බවත් එකට කැටි කරගත් දේශීය ජන සංගීතය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ඔහු විසින් ගායනා කරන “විලේ මලක්‌ පිපිලා”, “එන්නද මැණිකේ මමත් දියඹටා නෙළන්න කෙකටිය මල්”, “අක්‌කෙ අක්‌කෙ අර බලන්නකෝ වැස්‌සක්‌ නොවැ එන්නේ” හා  “ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ” වැනි ගීත අදටත් ජනප්‍රියයි.

ඔහු විසින් ගීත රචනය කළ චිත්‍රපට අතරින් සුජානි, සැඩ සුළං, දුප්පතාගේ දුක, දොස්තර, සූරසේන හා වැදිබිම වැනි චිත්‍රපට සුවිශේෂී වෙනවා.1943දී වේදිකා ගතවූ සිගිරිය හා 1961දී වේදිකා ගතවූ රංඑතනා වැනි වේදිකා ගීත නාට්‍යයන්හි නිර්මාණකරු වන්නේත් ආනන්ද සමරකෝන් ශිල්පියායි.

මීට අමතරව කුඩා සමන්, පොසොන් කැකුළු හා රෑ අහසේ වැනි ළමා ගීත 75කට අධික ප්‍රමාණයක්ද කුමුදිනී, ගී කැකුළු හා සිඟිති ගීත ඇතුළු ළමා ග්‍රන්ථ ගණනාවක්ද සමරකෝන් ශූරීන් ලියා තිබෙනවා. තවද වනගත පැල්පත, මායාව, හුදකලා ගමන‍ හා කුරුළු සංගායනාව ඇතුළුව ගුවන් විදුලි ගීත නාටක දහයක් පමණ නිර්මාණය කර තිබෙනවා.

ජාතික ගීය නිර්මාණය කිරීම

මුල් වරට 1949 නිදහස් උළෙලේදී ජාතික ගීය ගායනා විය. (Colombo Telegraph)

1940දී සංගීත ගුරුවරයෙකු ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ  සේවය කරන කාලයේදී ඔහු විසින් නිර්මාණය කර මහින්ද විද්‍යාල ශිෂ්‍යයින් ලවා ගායනා කළ “නමෝ නමෝ මාතා” ගීතය පසු කාලයේ විද්වත් කමිටුවක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස තෝරා ගන්නවා. මෙම ගීතයේ තනුව වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණින් ආනන්ද සමරකෝන්, දේවාර් සුර්යසේන ඇතුළු සංගීතවේදීන් අට දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් පත් කරනවා. මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පළමුවරට ජාතික ගීය පටිගත කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය හා යුධ හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායම එකතු කරගෙනයි.

නමුත් 1961 වර්ෂයේදී ගීතයේ මුල් පද අසුභ යැයි පවසමින් කලාකරුවන් අතර සංවාදයක් ගොඩ නැගෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස “නමෝ නමෝ මාතා” යන මුල් වචන වෙනුවට “ශ්‍රී ලංකා මාතා” ආදේශ කරනවා. නමුත් මෙම වෙනස් කිරීම මුල් ගීතයේ අයිතිකරු වූ ආනන්ද සමරකෝන් කලාකරුවගෙන් අවසර ගැනීමක් හෝ ඔහුට දැන්වීමක් හෝ සිදු කරන්නේ නෑ. ඒ පිළිබඳව ඔහු ඉතා කණගාටුවෙන් පසු වූ බවත් දිවි තොර කරගැනීමට මේ හේතුව මුල් වන්නට ඇති බවටත් මතයක් පවතිනවා.

චිත්‍ර ශිල්පියෙක් ලෙස

ඔහු විසින් ඇඳි සිතුවමක් ( Archives)

චිත්‍ර ශිල්පියෙක් ලෙස උපන් හපන්කම් දැක්වූ ආනන්ද සමරකෝන් 1948 වර්ෂයේ  සිට 1951 වර්ෂයේ මැයි දක්වා ඉන්දියාවේ සංචාරය කරමින් තම චිත්‍ර ප්‍රදර්ශන පවත්වනවා. 1948දී ඔහුගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බොම්බාය නගරයේයි. ලක්නව් හා ගෝව නගර වලදී ද එම ප්‍රදර්ශන පවත්වන ඔහු  සිංගප්පූරුවේද  එක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා.

“ද බොම්බේ ශ්‍රී ප්‍රෙස් බුලටින්“, “ඩෙකන් හැරල්ට්” ආදී විදේශීය පුවත්පත් වල ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශණ පිළිබඳව ප්‍රශංසනාත්මක විචාරයන් පළවෙනවා. ඉන්දීය පුවත්පත් හා සඟරා වල මුල් පිටු සැරසීමට පවා ආනන්ද සමරකෝන්ගේ චිත්‍ර එකල යොදාගෙන තිබෙනවා.

1952 වසරේ කොළඹ ක්‍රමය යටතේ පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනයට ආනන්ද සමරකෝන් ශූරීන් තම නිර්මාණ ඉදිරිපත් කරනවා.

1957 දී ලංකා කලා මණ්ඩලයෙහි කලා සහකාර වශයෙන්  සමරකෝන් ශූරීන්ව තෝරා ගත් අතර 1960දී විවිධ දේශපාලනිකමය හේතූන් නිසා ඔහුට ඉන් ඉවත් වීමට සිදු වෙනවා. ශ්‍රී ලංකා කලා කෙත අස්වද්දා ජාතික සංගීතයක් සඳහා තම අරමුණ මෙහෙයවූ මෙම කලාකරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටු වූවාදැයි දෙවරක් සිතිය යුතු වෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොවට පෙන්වන්නට ජාතික ගීය නිර්මාණය කළ ඔහුට නොදන්වා නැවත ජාතික ගීය වෙනස් කිරීම ඔහුට කළ බලවත් අසාධාරණයක් ලෙස නම් කළ හැකියි. මෙම අසාධාරණකම් හමුවේ කලකිරීමෙන් ජිවත් වූ ආන්නද සමරකෝන් කලාකරුවා පමණ ඉක්මවා නිදිපෙති පානය කර මරණයට පත් වන්නේ 1962 වසරේ අප්‍රේල් පස් වනදායි.

මුලාශ්‍ර- දිවයින හා සරසවිය පුවත්පත්, Wikipedia, e-thaksalawa.lk, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථා වෙබ් අඩවිය.

Related Articles