Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත් වරක් මරණයෙන් පැන ගිය මිනිසා

ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපට ලෝලීන් අතර ‘Final Destination’ චිත්‍රපට මාලාව නොබැලූ කෙනෙක් නොමැති තරම්. පිටසක්වළ ජීවීන් හෝ ගුප්ත බලවේගයන් මෙහෙය විය හැකි දුෂ්ටයන් වෙනුවට එදිරිවාදියා ලෙස ‘මරණය’ යොදා ගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපට මාලාවේ තේමාව වන්නේ තමන්ගේ මරණයෙන් පැන ගිය සෑම කෙනෙක් කරා ම මරණය ළඟා කිරීම සඳහා අවැසි පරිදි පරිසරය මෙහෙය වීම යි. මෙයින් එක් චිත්‍රපටයක් හෝ නරඹා ඇති කෙනෙක් වැරදිලා හරි අනූනවයෙන් මරණයෙන් ගැලවුණොත් ඉතුරු ජීවිත කාලය ම ගත කරන්නේ කොයි මොහොතේ මරණය ළඟා වේ දැයි සැකයෙන් කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි.

නමුත් වරක් දෙවරක් නෙමෙයි සත් වරක් ම මරණය මග හරින්නට සමත් වූ මිනිසෙක් අපි අතර ම සිටිනවා යැයි පැවසුවොත් ඔබ පුදුම වෙයි. හොඳ කලදසාවක් ඇති විට බඹරේ වැල්ලෙත් කැරකෙනවා කියන්නා සේ මේ තැනැත්තා සත් වරක් මරණය මග හැරීමට පමණක් නොව දැවැන්ත ලොතරැයි දිනුමක් ලබා ගැනීමට ද සමත් වුණා. ලෝකයේ වාසනාවන්ත ම මිනිසා ලෙස සැලකෙන ෆ්‍රෑන් සෙලැක් ගැන තොරතුරුයි මේ.

(sozcu.com.tr)

2017 වසරේ දී සිය 88 වැනි උපන් දින සමරන ක්‍රොඒෂියානු ජාතික ෆ්‍රෑන් සෙලැක් උපත ලබා ඇත්තේ 1929 ජූනි 14 වැනි දින යි. පස් වරක් විවාහ වී ඇති ඔහු එක් දරු පියෙක් වන අතර විශ්‍රාම ගැනීමට පෙර වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තම ජීවිතයෙන් වැඩි කලක් ගත කළ ඔහුගේ මේ අපූරු වාසනාව මතු වී ඇත්තේ 1962 වසරේ දී යි. ඉන් පසු ව දිගින් දිගට ම මරණයෙන් පැන ගිය ෆ්‍රෑන්, 2003 වසරේ දී දැවැන්ත ලොතරැයි දිනුමක් හිමි කර ගැනීමෙන් අනතුරු ව පුවත්පත් මගින් ඔහු ව ‘ලෝකයේ වාසනාවන්ත ම මිනිසා’ ලෙස හැඳින්වීම ආරම්භ කළ අතර ඇතැම් අවස්ථාවල දී ඔහු ව ‘ලෝකයේ වාසනාවන්ත ම අවාසනාවන්ත මිනිසා’ ලෙස ද හැඳින්වෙනවා.

(watson.ch)

ෆ්‍රෑන් සෙලැක්ට මුල් ම වරට මරණය මුණ ගැසුණේ 1962 ජනවාරි මාසයේ මහ වැසි ඇද වැටුණු දිනක දී යි. එදින ඔහු සරයේවෝ සිට ඩුබ්රොව්නික් බලා දුම්රියෙන් ගමන් කරමින් සිට ඇති අතර හදිසියේ ම දෙතුන් වරක් ගැස්සී ගිය දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන අසලින් ගලා ගිය සීතල ගං පතුලේ සැඟ වුණා. මගීන් 17 දෙනෙකු මරු තුරුලේ සැඟවෙන විට දී අස්ථි බිඳීමකින් පමණක් පීඩා විඳි ෆ්‍රෑන් ආරක්ෂා සහිත ව ගං ඉවුරට පිහිනා යාමට සමත් වූ අතර අධික සීතල හේතුවෙන් දරුණු ලෙස පහළ ගිය ඔහුගේ සිරුරේ උෂ්ණත්වය යළි යථා තත්ත්වයට පත් කිරීමට ඒ වන විට පැමිණි සිටි හදිසි සෞඛ්‍ය සේවාවන්ට හැකි වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

මාරක දුම්රිය අනතුරින් දිවි ගලවා ගත් ෆ්‍රෑන් 1963 වසරේ දී ඔහුගේ ප්‍රථම ගුවන් ගමන සඳහා සූදානම් වුණා. එය අතරතුර දී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ ම ගුවන් යානයේ දොරටුව විවෘත වූ අතර එයින් පිටතට විසි වූ ෆ්‍රෑන් පොළවට ඇද වැටුණේ පැරෂුටයක් පවා නොමැති ව යි. නමුත් මෙවරත් වාසනාව ඔහුගේ සහයට පැමිණි තිබුණා. හදිසි සෞඛ්‍ය සේවාවන් සුළු තුවාල ලබා සිටි ඔහු ව සොයාගෙන තිබුණේ විශාල පිදුරු කන්දක් මත සිහිසුන් ව සිටිය දී යි. නමුත් ෆ්‍රෑන් සමග ගුවන් යානයේ ගමන් ගත් අනෙක් උදවිය ඔහු මෙන් වාසනාවන්ත වී තිබුණේ නැහැ. විවර වූ දොරටුව හේතුවෙන් ගුවන් යානය කඩා වැටුණේ එහි සිටි මගීන් 19 ක් ජීවිතක්ෂයට පත් කරමින්.

ගුවන් අනතුරින් තෙවසරකට පසු ව ෆ්‍රෑන් බස් රථයකින් ගමන් කරමින් සිටි අතර වේල්ලකින් පිටතට පිනූ බස් රථය සිව් දෙනෙක්ට මරණය ගෙන දෙමින් ගංගාවකට ඇද වැටුණා. මෙවැනි අවස්ථාවක් ගැන අත්දැකීම් ලද ෆ්‍රෑන් මෙවර ද ආරක්ෂිත ව ගං ඉවුරට පිහිනීමට සමත් වුණේ සුළු තුවාල කිහිපයකට පමණක් උරුමකම් කියමින්.

(masala.com)

තුන් වරක් ම මරණාසන්න අත්දැකීම් ලබා ගත් ෆ්‍රෑන්ට මරණය තමා පසුපස හඹා එන බවක් දැනෙන්නට වූ අතර පොදු ප්‍රවාහන සේවයන් මගින් ගමන් බිමන් යාම නතර කිරීමට තීරණය කළ ඔහු මෝටර් රථයක් මිල දී ගත්තා. නමුත් 1970 වසරේ දී ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔහු රිය පදවමින් සිටිය දී ඔහුගේ මෝටර් රථය ගිනි ගත් අතර හැකි ඉක්මණින් මෝටර් රථයෙන් පිටතට පැනගත් ඔහු ආරක්ෂිත ස්ථානයක් කරා ළඟා වන විට ම මෝටර් රථයේ ගෑස් ටැංකිය පුපුරා ගියේ එය සම්පූර්ණයෙන් ම ගිනිබත් කරමින්.

1973 වසරේ දී ෆ්‍රෑන් නැවත වරක් මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නා. අක්‍රමවත් ලෙස ක්‍රියා කරන ඉන්ධන පොම්පයක් හේතුවෙන් පිටතට විසි වූ උණු වූ තෙල් ඔහුගේ අලුත් ම මෝටර් රථයේ එන්ජිම මතට වැටී ඇත්තේ වායු දොරටු හරහා රථය තුළට ගිනි දළු විහිදුවන ලෙස යි. මේ නිසා ෆ්‍රෑන්ගේ කෙස් වැටිය සම්පූර්ණයෙන් ම පිළිස්සී ගිය ද වෙනත් කිසිදු අනතුරකට භාජනය නොවී දිවි ගලවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා.

(theodysseyonline.com)

පස් වරක් ම මරණයෙන් පැන ගිය ෆ්‍රෑන් ඉදිරි වසර කිහිපය තුළ අනතුරු මග හැරීම සඳහා ඉතා සැලකිලිමත් වූ අතර වාහන මගින් ගමන් බිමන් යාම සම්පූර්ණයෙන් ම නතර කළ ඔහු වඩාත් යෝග්‍ය සහ ආරක්ෂිත ම ප්‍රවාහන ක්‍රමය වන්නේ ඇවිදීම බව තීරණය කර තිබුණා. ඉන් පසු ව ගත වූ දශක දෙකක කාලය සාමකාමීව ගත වී ගියේ කිසිදු අනතුරක් නොමැති ව යි. නමුත් 1995 වසරේ දී මරණය යළිත් වරක් ඔහුව කැඳවාගෙන යාමට පැමිණියේ බස් රථ අනතුරක සේයාවෙන්. බස් රථයේ ගැටී විසි වී ගිය ෆ්‍රෑන් මිනිත්තු කිහිපයකට පසුව සුළු තුවාල කිහිපයක් සහිත ව නැගිටීමට සමත් වූ අතර කිසිවක් සිදු නො වූ යළිත් වරක් තමන්ගේ ගමන යාමට පිටත් වූයේ බලා සිටි පුද්ගලයන් පුදුමයට පත් කරමින්.

(info7.mx)

වයසත් සමග ඇවිදීමෙන් වෙහෙසට පත් වූ ෆ්‍රෑන් 1996 වසරේ දී යළිත් වරක් මෝටර් රථයක් මිල දී ගත්තේ තාක්ෂණික දෝෂ නොමැති බව මනාව තහවුරු කර ගැනීමෙන් අනතුරු ව යි. ඔහු ප්‍රවේශම් සහගතව කඳු පාරක් ඔස්සේ මෝටර් රිය පදවමින් සිටි අතර නොසිතූ ලෙස වංගුවකට එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් ලොරි රථයක් ඔහුගේ මෝටර් රථය හා ගැටුණේ එය අඩි 300 ක් පමණ ගැඹුරු පාතාලයට තල්ලු කරමින්. ප්‍රපාතයට වැටෙන මෝටර් රියේ දොර ගැල වී විසි වූ අතර ආසන පටිය පැළඳගෙන නොසිටි ෆ්‍රෑන් රථයෙන් පිටතට විසි වුව ද කෙසේ හෝ අසල වූ ගසක් අල්ලාගෙන මරණයෙන් ගැලවීමට සමත් වුණා.

(publishyourarticles.net)

මෙසේ සත් වරක් ම මරණය මඟ හැරීමට සමත් වූ ෆ්‍රෑන් සෙලැක්ගේ වාසනාව එයින් අවසන් වුණේ නැහැ. 2003 වසරේ ඔහුගේ 73 වැනි උපන් දිනයට දින දෙකකට පෙර බ්‍රිතාන්‍ය පවුම් 600,000 (ආසන්න වශයෙන් රුපියල් 118,974,357) ක දැවැන්ත ලොතරැයි දිනුමකට ඔහු හිමිකම් ලැබුවා. ඔහු පස් වැනි වරට විවාහ වූයේ ද ඒ කාලයේ ම යි. දිනා ගත් මුදලින් ඔහු අලංකාර මන්දිර ද්විත්වයක් මෙන් ම පෞද්ගලික බෝට්ටුවක් ද මිලට ගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ද 2010 වසරේ දී ඔහුගේ වත්කම් බොහෝමයක් ඥාතීන් සහ මිතුරන් අතර බෙදා දී ඇත්තේ සතුට මිලට ගත නොහැකි බව පවසමින්. වර්තමානයේ දී සරල ජීවිතයක් ගත කරන ෆ්‍රෑන් සහ ඔහුගේ බිරිඳ බොහෝ වාරයක් ඔහුට වාසනාව ළඟා කර දීම වෙනුවෙන් කන්‍යා මරියතුමිය වෙනුවෙන් පූජාසනයක් ද ගොඩ නගා තිබෙනවා.

(fakter.cz)

සත් වරක් ම මරණයෙන් ගැලවීම සහ දැවැන්ත ලොතරැයි දිනුමකට හිමිකම් කීම නිසා බොහෝ දෙනෙක් ෆ්‍රෑන් ව ලෝකයේ වාසනාවන්ත ම මිනිසා ලෙස හැඳින් වුව ද ඒ පිළිබඳ ව ඔහු දරන්නේ වෙනස් ම අදහසක්. “බොහෝ වාරයක් මරණයෙන් ගැලවීම වාසනාවක් යැයි මම කිසි දිනෙක සිතා නැහැ. මා හැම විට ම සිතුවේ එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වීම මහත් අවාසනාවක් බව යි.”

කවරයේ පින්තූරය: reacho.in

මූලාශ්‍ර:

  1. todayifoundout.com
  2. en.wikipedia.org
  3. telegraph.co.uk
  4. lifebuzz.com
  5. sploid.gizmodo.com

Related Articles