Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන් මිලියන 2.4 කට ජීවය දුන් ‘ස්වර්ණමය දෑතක් හිමි මිනිසා’

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය ජීවිත කැප කළවුන් ලොව සිටින්නේ ඉතාම අල්ප වශයෙනි. ස්වර්ණමය හස්තයක් හිමි තැනැත්තා යනුවෙන් ලොව ප්‍රකට වී සිටින ජේම්ස් හැරිසන් ද එවැනි උතුම් මිනිසෙකු ලෙස ලෝක ඉතිහාසයට එක් වෙනවා. ඒ දරුවන් මිලියන 2.4 කගේ ජීවිත රැක දීම වෙනුවෙනුයි. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකයේම අවධානයට ගෞරවයට පාත්‍ර වූ ඒ අසමසම මිනිසා ගැනයි මේ සටහන.

ජීවිත බේරාගත් මවුවරු සහ දරුවන් සමඟ සතුට බෙදා ගන්නා ජේම්ස් (boredpanda.com)

ලේ පරිත්‍යාගයන් නිසා තම දිවි රැක ගන්නට වාසනාවන්ත වූ ජේම්ස්

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ජේම්ස් හැරිසන් 1951දී දරුණු හෘද සැත්කමකට භාජනය කෙරුණේ ඔහුට වයස අවුරුදු 14 ක් පිරෙද්දීයි. මරණයේ සෙවණැලි දකිමින් සිටි ජේම්ස්ට දෑස් විවර කර යළි මෙලොව එළිය දකින්නට වාසනාව ලැබුණි. සැත්කම නිම වී දෙනෙත් අවදි වන විට වෛද්‍යවරුන් ඔහුගේ එක් පෙනහළුවක් ඉවත් කර තිබුණෙන් මාස තුනක කාලයක් රෝහල්ගතව සිටින්නට ජේම්ස්ට සිදු වුණා. අසාධ්‍යව සිටි දුෂ්කර කාලය තුළ නිතරම ජෙම්ස්ගේ හදවතින් නැගුණු ප්‍රශ්නය වූයේ තමන්ට ජීවත් වන්නට හැකි වූයේ කෙසේද කියායි. ඒ සෑම විටකම ඔහුගේ හදවතින් ලැබුණු පිළිතුර වූයේ තමන්ට ජීවය ලැබුණේ තවත් මිනිසුන් විශාල පිරිසගෙන් ලද රුධිර දානයන් නිසා නොවේද යන්නයි. එදා සිට තමන්ගේ රුධිරය අනෙක් ජිවිත රැක ගැනීම වෙනුවෙන් දානය කරන්නට ජේම්ස් තිර ලෙස අදිටන් කර ගත්තා.

එහෙත් තීරණය ගත් සැණින් ජේම්ස්ට රුධිරය පරිත්‍යාග කරන්න අවකාශ නොලැබුණි. එවකට පැවති ඕස්ට්‍රේලියානු නීතිය අනුව රුධිරය ලබා දීමට අවසර තිබුණේ වයස අවුරුදු 18 පිරුණු පසුව පමණි. මේ නිසා ජේම්ස්ට ඒ සඳහා තවත් වසර හතරක් බලා සිටින්නට සිදු වුණා. නමුත් ඔහු සිය පොරොන්දුව රකිමින් රුධිර දානය වෙනුවෙන් වසරක කාලයක් බලා සිටියා.

ජේම්ස් රුධිරය ලබා දෙමින් (mymodernmet.com)

ඔස්ට්‍රේලියාව මුහුණ දුන් ළදරු හා මාතෘ මරණ

ජේම්ස් රුධිරය ලබා දීම පටන්ගත් පසුව සිදු වූයේ නොසිතූ දෙයක්. ජෙම්ස්ගේ රුධිරය ප්‍රතිශක්තියෙන් ඉතා ඉහළ දුර්ලභ ලේ වර්ගයක් බව වෛද්‍යවරු හඳුනාගෙන තිබුණා. ජෙම්ස්ව මුණගැසුණු වෛද්‍යවරුන් ඔහුට කීවේ රුධිරය ලබා දීම නිසා රටේ තිබුණු මාරාන්තික ප්‍රශ්නයකට ඔහු විසඳුම් ලබා දී තිබෙන බවයි. 1967 දක්වා සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ කුඩා දරුවන් දහස් ගණනක් කුසේදී හෝ උපත ලැබීමෙන් පසුව මිය යන්නට වුණා. නමුත් එසේ වන්නේ කුමක් නිසාදැයි වෛද්‍යවරුවත් දැන සිටියේ නැහැ. එනිසා තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් තිබුණා.

කාන්තාවන්ට මොළයට හානි වූ දරු උපත් නිරන්තරවම සිදු වූ අතරම ගබ්සාවීම් විශාල ප්‍රමාණයක් සිදු වෙමින් තිබුණත් මේ තත්වය පාලනය කරන්න එරට සෞඛ්‍ය අංශය අසමත් වී තිබුණා. කෙසේ නමුත් කලක් ගත වෙද්දී මෙම අභාග්‍යසම්පන්න තත්වයට හේතු මූලයන් සොයා ගන්නට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා. ඔස්ට්‍රේලියානු රතුකුරුස රුධිර සේවාවේ ජෙමා ෆෝල්කන්මියර් CNN පුවත් සේවය වෙත ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ මෙසේයි..

“මෙම බිහිසුණු තත්වය සඳහා හේතුකාරක වූ දේවල් අපි දැන් දන්නවා. ගර්භනී කාන්තාවගේ රුධිරය ඇගේම නූපන් දරුවාගේ රුධිර සෛලවලට එරෙහිව ප්‍රතික්‍රියා කරන්නා වූ තත්ත්වය නිසයි මෙවැනි අභාග්‍යසම්පන්න මරණ හා ගබ්සාවීම් සිදු වුණේ.”

cdn.cnn.com

ගර්භනී කාන්තාවකට ඍණ වර්ගයේ රුධිරය පිහිටද්දී කුස තුළ සිටින දරුවාට පියාගෙන් ලැබුණු ධන ලේ වර්ගය පිහිටීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගනු ලබනවා. මව ධන රුධිර සංසරණයට සංවේදී වූවා නම් සාමාන්‍යයෙන් පූර්ව ගර්භනී අවධියේදී දරුවාගේ ඍණ රුධිරානු සෛල විනාශ කරන ප්‍රතිදේහ නිපදවිය හැකි බව වෛද්‍යවරුන් හඳුනා ගත්තා.

දුර්ලභ ලේ වර්ගයකට හිමිකම් කීම

ජෙම්ස්ගේ රුධිරයේ රෝග හා සටන් වැඩිය හැකි විරල ප්‍රතිදේහයක් ඇති බව වෛද්‍යවරු විසින් සොයා ගනු ලැබුවා. 1960 ගණන්වලදී ඔවුන් එක්ව වැඩ කළේ Anti – D එන්නත වර්ධනය කිරීම සඳහායි. Anti – D එන්නත නිපදවනු ලැබුවේ ජේම්ස්ගේ රුධිරය භාවිතයෙන්. ප්‍රතිජීවක ඖෂධ මගින් ගර්භණී සමයේදී නිශේධ රුධිරය වර්ධනය වීම වළක්වාලනු ලබනවා.

ජේම්ස් ට මෙම දුර්ලභ රුධිර වර්ගය පිහිටියේ මන්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර තිබුණේ මතභේදයක්. ඔවුන්ට තිබූ හොඳම උපකල්පනය වූයේ ජේම්ස්ට අවුරුදු 14 දී දිගටම ලබා දුන් රුධිර වර්ග නිසා ඔහුගේ ලේවල මෙවැනි ප්‍රතිශක්තියක් ඇති වන්නට ඇති බවයි.

nnimgt-a.akamaihd.ne

රතු කුරුස රුධිර සේවාව පෙන්වා දෙන්නේ ජේම්ස්, ඕස්ට්‍රේලියාවේ මෙවැනි ප්‍රතිශක්තියක් ඇති රුධිරය සහිත පුද්ගලයින් පනස් දෙනෙකු තරම් වන සුළුතරය අතරින් කෙනෙකු බවයි.

හැම රුධිර බෑගයක්ම ඉතාම වටිනා නමුත් ජේම්ස්ගේ රුධිරය අතිශයින්ම අසාමාන්‍යයයි. ඕස්ට්‍රේලියාවේ Anti – D ප්‍රතිදේහ වර්ගයට අදාල සෑම රුධිර කාණ්ඩයක්ම සැකසුණේ ජේම්ස්ගේ රුධිරයෙන් බව ෆෝල්කන්මියර් සඳහන් කරනවා.

ජේම්ස් නිසා බේරා ගත හැකි වූ ජීවිත

රුධිරය පරිත්‍යාග කිරීමේ උපරිම වයස් සීමාව කරා ළඟා වීමෙන් පසුව ජේම්ස් හැරිසන් රුධිර පරිත්‍යාගයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව එළඹුණා. ඒත් සමග රතු කුරුස රුධිර සේවය ඔහු නිසා බේරා ගන්නට හැකි වූ මුළු ජීවිත ගණන කොපමණදැයි ඇස්තමේන්තුගත කිරීම ආරම්භ කළා. බොහෝ දෙනෙක් විශාල අගයක් බලාපොරොත්තු වුණත් ලැබුණු ප්‍රතිපලය සැමගේම විමතියට හේතු වුණේ එය කාටවත් සිතා ගත නොහැකි තරම් විශාල වූ නිසායි.

‘’ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් සියයට 17%ක් පමණ සිටින්නේ අවදානම් සහගත තත්ත්වයක නිසා ජේම්ස් ඔවුන් බොහොමයකගේ ජීවිත රැක ගන්න උදව් වෙලා තියනවා. එම ප්‍රමාණය ඇත්තෙන්ම මිලියන 2.4 ක්’’

ෆෝල්කන්මියර් පවසනවා.

straitstimes.com

ඕස්ට්‍රේලියානු රතුකුරුස රුධිර සේවාව වෙත එදා සිට අද දක්වා නොනවත්වාම හැට වසරක් රුධිරය ලබා දීමෙන් මිලියන ගණනකගේ ජීවිත ජේම්ස් නිසා බේරා ගත හැකි වී තිබුණා. වසර 60ක් පුරාවට සෑම සතියකම ජේම්ස් හැරිසන් සිය රුධිරය පරිත්‍යාග කිරීමෙන් ජීවිත බේරා ගත් දරුවන් සංඛ්‍යාව මිලියන 2.4 ක්.

ස්වර්ණමය දෑතක් හිමි මිනිසා

‘’ස්වර්ණමය අතක් හිමි මිනිසා’’ (Man WithThe Golden Arm) නමින් හැඳින්වෙන ජේම්ස්ව ගෞරවයට බඳුන් වූ අතර ඔහු විසින් ජීවිත කාලය පුරාවට සිදු කර ඇති රුධිර දානයන් ගණන 1173ක්. ඉන් 1163ක් ඔහුගේ දකුණු අතින් සහ අනෙක් 10 වම් අතින් ලබා දී තිබෙනවා.

‘ඔබ වීරයෙක්’ යැයි පැවසූ අවස්ථාවලදී ජෙම්ස්ගෙන් දක්නට ලැබෙන්නේ ඉතාම නිහතමානී ප්‍රතිචාරයක්. 1999 දී ඕස්ට්‍රේලියානු රජයේ ඉහළම ගෞරවය ජේම්ස්ට පුද කෙරුණා.

ගෞරවය ලබමින් (static.independent.co.uk)

“එය මට සතුටින් කළ හැකි වූ දෙයක්. සමහරවිට ඒක මගේ එකම හැකියාව වෙන්න පුළුවන්. මට පුළුවන් රුධිරය පරිත්‍යාග කරන්න.”

ජේම්ස් පවසනවා. අද ඔහු පසු වන්නේ 81 වැනි වියේ යි.

‘’මම ජීවිත ගණනාවක් බේරගෙන තියෙනවා. මිය යන්නට සිටි දරුවෝ ගොඩක් ලෝකයට ගෙන එන්නට මගේ රුධිරය හේතු වුණා. ඒ නිසා ලොකු සතුටක් දැනෙනවා. මම හිතන්නේ මම ජනගහණය මිලියන ගණනකින් වැඩි කළා කියලයි.’’

ජේම්ස් එසේ පවසන්නේ නිහතමානී සතුටකින්.

කවරයේ රූපය : cdn.cnn.com

මූලාශ්‍ර

https://www.independent.co.uk
https://www.boredpanda.com

Related Articles