අරගලයේ දේශකයා: අමිල ජීවන්ත පීරිස් පියතුමා

ඔහුගේ වාග් විලාසය ඉතාමත් සන්සුන් සහ නිස්කලංක යි. එය 2022 මැයි මස 09 වැනි දා සහ ජූලි මස 22වැනි දා අරගලකරුවන් වෙත එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවල දී, කෝපයට පත් අරගලකරුවන් නිවා ලූ ස්වරයෙන් නොවෙනස්.

අමිල ජීවන්ත පීරිස් පියතුමන් සංවාදයට එක්වන්නේ, ඔහු සිය නවාතැනේ ඉතා නිදහසේ සිටින ආකාරයෙනු යි. එහෙත් ඇත්තෙන් ම ඔහු මේ සිටින්නේ තමන් අත් අඩංගුවට ගැනීම සඳහා සොයන බලධාරීන් ගෙන් සැඟවීගෙන යි. ඔහුට එරෙහි ව දේශපාලනික පලිගැනීම් ක්‍රියාත්මක වන බැව් චෝදනා කරන ඔහු, ඉන් තමන්ගේ බලාපොරොත්තු විනාශ වී නැති බව පවසනවා.

නිවැරදි මතයක් වෙනුවෙන් පෙනී සිටීම ආශිර්වාදයක් 

“මගේ බලාපොරොත්තු තවත් ශක්තිමත් වූවා පමණයි.” ඔහු පැවසුවා. “එය කවදාවත් ඉවතට සේදී ගියේ නැහැ. අපේ ගමන පුරාවට අඩන්තේට්ටම් සහ නීතිය ඉදිරියට පැමිණවීම් සිදුවන බැව් මා සෑම විට ම දැන සිටියා. මෙලෙස නීතිය ඉදිරියට පමුණවන්නේ නිවැරදි මතයක් වෙනුවෙන් පෙනී සිටින නිසා වීම ඇත්තෙන් ම ආශිර්වාදයක් ” ඔහු පවසන්නේ බයිබලයේ සඳහන් පෝල් නම් අපොස්තුලුවරයා පිළිබඳව ගෙනහැරපාමිනු යි. 

” අප මේ වන විට බොහෝ ආදරය ලබා තිබෙනවා, අපගේ බලාපොරොත්තුව ද එය  ම යි. අප අපේ රට වෙනුවෙන් හොඳ දෙයක් කර තිබෙනවා “

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින්, 2022 වසරේ අප්‍රේල් මස ආරම්භ වුණු, නිර්ප්‍රචණ්ඩ උද්ඝෝෂණ රැල්ලේ ඉදිරියෙන් ම සිටි අය අතර පීරිස් පියතුමන් ද වෙනවා. ජනපතිගේ ඉවත්වීමට අමතර ව උද්ඝෝෂකයන් දේශපාලනික සහ සංස්කෘතික ක්‍රමවේදවල වෙනසක් ද බලාපොරොත්තු වුණා.

පියතුමන් සහ රජය අතර දැඩි විරසකයක්

ගෝඨාභය රාජපක්ෂගේ නික්මයාමත් සමඟ ජනපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත් වූ අතර, ඉන් අනතුරු ව හට ගත් සිදුවීම් සහ උද්ගත වූ තත්ත්වයන් නිසා පීරිස් පියතුමන් සහ රජය අතර දැඩි විරසකයක් වර්ධනය වී තිබෙනවා. මේ වන විට පියතුමන්ට එරෙහි ව නඩු තුනක් ගොනු වී ඇත්තේ බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අල්ලාගෙන සිටීම සහ රාජ්‍ය දේපල විනාශ කිරීම වැනි චෝදනා ප්‍රකාරව යි. පසුගියදා රජය ‘ගෝඨාගෝගම’ අරගල භූමිය ද සම්පූර්ණයෙන් ඉවත් කෙරුණා. පීරිස් පියතුමන් සිය 45 වන උපන්දිනය සැමරුවේ ද සැඟවී සිට යි.

ජූලි මස 19 වනදා, එවකට වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහගේ පඹයෙක් පුළුස්සන අරගලකරුවන් අමතන පීරිස් පියතුමා – NurPhoto/Tharaka Basnayake

 

“සැඟවී සිටින කාලය තුළ, අන්තර්ජාල මාර්ගගත ව මා අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් සමඟ දිනපතා සකච්ඡා කරනවා. ” පීරිස් පියතුමන් සමඟ පැවසුවා. 

“ඊට අමතරව, මගේ මීසම ස්ථාපිත රත්නපුර, දොලොස්වල ජීවත් වන වතු සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින් සමඟත් මා කතා කරනවා “

“එහි නිසි ජල සැපයුමක් නැහැ. නිසි ලෙස ගමන් කළ හැකි මාර්ග නැහැ. අන්තර්ජාල පහසුකම් නිසි ලෙස නොමැති නිසා, මගේ ප්‍රදේශයේ ළමයින්ට නිසි අධ්‍යාපනයක් ද ලබාගත නොහැකි වී තිබෙනවා.” පියතුමන් පැවසුවා.

ජනතා යුක්තිය පිළිබඳ ව පෙනී සිටීම

” අද දිනය වන තුරු රජය මගේ ප්‍රදේශයේ ජනතාව නොසලකා හැර තිබෙනවා, මා පසුගිය වසර දෙකක කාලය තුළ වචනයෙන් කිව නොහැකි තරමේ අවාසනාවන්ත සිදුවීම් එහි සිදුවනු දැක තිබෙනවා. ඔවුනට පිහිටට සිටියේ, ලැබුණු ආධාර පමණ යි.”

“ඔබ අරගලයට සහභාගී වීමට තීරණය කිරීම සහ, නිතරම කොළඹ රැඳීම පිළිබඳ ඔබේ සභාවේ අදහස කෙබඳු ද?”

 “මා කොළඹ ගොස් සිටින්නේ ඇයි ද යන්න පිළිබඳත් මගේ මිනිසුන් සෑමවිට ම දැන සිටියා. මා ගෝඨාගෝගම දී ඔවුන් නියෝජනය කළා. මා ඔවුන් වෙනුවෙන් සටන් කළා “

ජනතා යුක්තිය පිළිබඳ ව පෙනී සිටින්නට පීරිස් පියතුමන්ට අඩිතාලම වැටුණේ කුඩා කල සිට යි. ඔහු හැදී මොරටුව, ලුනාව නම්, කොළඹ දිස්ත්‍රික්කයේ, අඩු ආදායම්ලාභී ධීවර ප්‍රජාවක් අදටත් ජීවත් වන පෙදෙසක යි. ඔහු වටා පෙනෙන්නට තිබූ දුප්පත්කම දැඩි ලෙස ඔහු පෙළන්නට සමත් වුණා.

පීරිස් පියතුමන් ගෝඨාගෝගම දී  – Amila Udagedara

 

තරහවෙන් පිරුණු තරුණයෙක්

” මා උපත ලැබුවේ දැඩි ලෙස භක්තිමත් කතෝලික පවුලක යි. මා මධ්‍යම පාන්තික පවුලකට අයත් වුවත්, වටපිටාවේ වූ දුප්පත්භාවය මෙන් ම ඔවුන් විඳින දුක්ගැහට ද දුටුවා. මගේ මාපියන් කිසි ලෙසකින් ඒවා මගෙන් වසන් කරන්නට උත්සාහ කළේ නැහැ. මේ නිස මා මානසික ආතතියෙන් සහ තරහවෙන් පිරුණු තරුණයෙක් බවට පත් ව සිටියා. ” පියතුමන් පැවසුවා.

පීරිස් තරුණයා සිය තරහව සහ පසුතැවීම ප්‍රයෝජනවත් මඟකට ගනු වස්, 19 වැනි වියේ දී, ප්‍රදේශයේ තමන් වැනි ම තරුණ තරුණියන් කිහිපදෙනකු හා එක් වී, අඩු ආදායම්ලාභී පවුල් සඳහා අධ්‍යාපනය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ ක්‍රමවේදය පියතුමන් අදටත් මීසමෙ හි සිදු කරනවා.

2009 වසරේ පැවිදි දිවියට එළඹීමටත් පෙර සිට ම පියතුමන් දිවයිනේ විවිධ පිරිස් සමඟ සුබසාදන කටයුතු සිදු කළා. එයට පශ්චාත් යුද සමයෙහි උතුර සහ නැඟෙනහිර ද අයත්.  අනතුරු ව පියතුමන් මධ්‍යම සහ සබරගමු පළාත්වල වතු සේවකයන් සමඟ කටයුතු කරන්නට ඉටා ගත් අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ දොළස්වලට සම්ප්‍රාප්ත වූයේ, ප්‍රදේශයේ පියතුමන් මෙන් ම ජනතා නියෝජිතයා ද වෙමිනු යි.

මගේ කියැවීම විමුක්තිය යි

“ඔබ අරගලයේ සිටින විට, ඔබේ පල්ලිය සහ මීසම බලා ගත්තේ කවුරුන් ද? “

” අපේ පෙදෙසේ අදාළ කර්තව්‍යයන් සිදු කිරීම විමධ්‍යගත කර තිබෙනවා. මේ නිසා ඒ ඒ අනු කොටස්වලින් තෝරා ගත් අදාළ අනුනායකයන් ඒවා සිදු කළා.  ඒවා තනි පුද්ගලයෙක් මත පදනම් වූයේ නැහැ. කෙසේ නමුත්, සෑම සිකුරාදාවක ම මා කොළඹින් පිටත් වීමට වග බලාගත්තා. පසුදින උදයේ මගේ ග්‍රාමයට පැමිණියා “

“එම කාලය තුළ කෙදිනකවත් ඔබ ඉරිදා දේව මෙහෙය මගහැරියේ නැද්ද?”

“කිසි දිනක නැහැ”

පීරිස් පියතුමන් ගෝඨාගෝගම පැවති මුල්ලිවයික්කාල් සිහිකිරීම සිදු කළ ස්ථානයේ දී  – Amila Udagedara

 

පීරිස් පියතුමන්ට අනුව කිතු උපත විප්ලවවාදී වන අතර, ඔහුට අනුව කිතුණු දහමෙහි මූලික හරයක් වන්නේ, තාඩන පීඩනවලට ලක් වූ දුප්පත් ජනතාව ඉන් මුදා ගැනීම යි. ඔහුගේ මෙම විමුක්තිකාමී මතවාදය 70 දශකයේ ලතින් අමෙරිකාවේ පාලකයන්ගේ දැඩි සූරාකෑමට ලක් වූ මිනිසුන් සහ රටෙහි නිදහස වෙනුවෙන් ඇති වූ ‘රැඩිකල් පූජකයන් සහ ‘විප්ලවවාදී පල්ලිය’ සිහි කැඳවන්නක්. මෙය පාලකයන් සහ ධනවතුන්ට වාසි වන ආකාරයට හැඩ ගැසී තිබූ බටහිර රටවල එතරම් ප්‍රියතාවට හේතු නොවූ අතර, ඊට සමාන ලෙස හැඩ ගැසී ඇති ශ්‍රී ලාංකීය දේශපාලනය මෙන් ම සමහර සාම්ප්‍රදායික කතෝලික මතවාද ද බිඳලමින්, නිදහස් සහ විප්ලවවාදී රටක් මෙන් ම සත්‍ය දහම ද මිනිසුන් වෙත ළඟා කර දීම පීරිස් පියතුමන්ගේ අභිප්‍රායය යි.

” කිතුනු පූජකයෙක් ලෙස මගේ කියැවීම විමුක්තිය යි” පියතුමන් පැවසුවා.

රට ව්‍යුහමය වෙනසකට ගෙන යා යුතු

” දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසා මා පසුගිය අප්‍රේල් මස 9 වැනි දා කොළඹ පැමිණියා. මේ සියලු දෙනා එක්කාසු වී, සංවිධානය වී රට ව්‍යුහමය වෙනසකට ගෙන යා යුතු නිවැරදි අවස්ථාව නොවේ ද? මා එසේ විශ්වාස කරනවා”

පීරිස් පියතුමාගේ ‘ජීවිතය’ පිළිබඳ කියැවීම සහ රටෙහි වර්තමානයේ සිදුවන දේ සමපාත වී ඇත්තේ ඒ කාරණාව නිසා යි. ‘අරගලය’ට එබී බැලූ විට, එය ලොව සිදු වූ බොහෝ අරගල මෙන් ම, පන්ති සම්බන්ධ අරගලයක් වන අතර, ඇති වුණු ආර්ථික අර්බුදය මිනිසුන් පාරට රැගෙන ආවේ ය. අනතුරුව විවිධ අයුරින් රජයේ පැවැත්ම සහ ක්‍රමවේදයන්ට බලපෑම් එල්ල වූ අතර, අවසානයේ ජනතාවට එපා වූ පාලකයා බලයෙන් නෙරපා හැරිණි.

මෙම ක්‍රමවේදය කොමියුනිස්ට් සහ වාමාංශික ක්‍රමවේදයක් ලෙස බැලූ බැල්මට පෙනෙන බැවින් පසුකාලීන ව ඊට විවිධ අර්ථකථන දෙමින්, වාමාංශික දේශපාලකයෝ එය සියතට ගන්නට උත්සාහ කළහ. මෙය පීරිස් පියතුමන් දැඩි ලෙස එකඟ නොවන කරුණකි.

මිනිසුන්ගේ එකමුතුකම සහ නිදහස

“එය ඇත්තෙන් ම නොමග යවනසුලු යි” ඔහු පැවසුවා.

“අප දුටුවේ මිනිසුන්ගේ එකමුතුකම සහ නිදහස යි. එය ඉතාමත් ආස්වාදජනක වන අතර, කිසිදු දේශපාලනික සහායක් නොමැති ව මිනිසුන් එලෙස සංවිධානය වීම නිසා මගේ හදවත ප්‍රීතියෙන් පිරුණා. එහි විවිධ ආගම්වල, විවිධ ජාතීන්වල සහ විවිධ දේශපාලනික මතිමතාන්තර සහිත මිනිසුන් සිටියා. මේ නිසා කිසි ලෙසකින් ‘අරගලය’ දේශපාලනික බලපෑමකට යටත් ව පැවතියේ නැහැ.”

පීරිස් පියතුමන් රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් හසුරවමින් – Amila Udagedara

 

ජේසුස් වහන්සේ මට්ටමින් ධීර ගුණයෙන් යුක්ත අයෙක් හා සම වන්නට කිසිවකුටත් පහසු නැහැ, පීරිස් පියතුමන් එය නොදන්නවා නොවේ. ඔහු එල් සැල්වදෝර් රජයට එරෙහි ව සිය හඬ අවදි කිරීම නිසා 1980 වසරේදී ඝාතනය වූ ශාන්ත ඔස්කාර් රොමේරෝ සහ 1987 වසරේ දී හඳුනා නොගත් වෙඩික්කරුවන් අතින් ඝාතනය වූ මයිකල් රොඩ්‍රිගෝ පියතුමන් සිය පූර්වාදර්ශ බවට පත් කර ගෙන තිබෙනවා, එතුමන් සලකන්නේ ජේසුස් වහන්සේගේ මඟ පිය මනින්නට ශ්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බව යි.

ජනප්‍රිය ක්‍රමවේදයක්

“ක්‍රිස්තුස් වහන්සේ එකල අධිරාජ්‍යයාට එරෙහි ව කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබුවා. එතුමන් වෙනසක් ඉල්ලූ නිසා කුරුසයේ තබා ඇණ ගැසුවා. කතෝලික පූජකයෙක් ලෙස මා විශ්වාස කරන්නේ උත්ඨානය විය හැක්කේ විනිශ්චයට බඳුන් වීම, වේදනාවට ලක් වීම, විඳවීම සහ කුරුසයේ ඇණ ගැසීම හා සමාන වධ බන්ධනවලට ලක් වීමෙන් පසුව පමණක් බව යි.”  ඔහු පැවසුවා.

“ඔබ විවේචනය කරන පිරිස ගැන ඔබට කීමට ඇත්තේ කුමක් ද? “

“මා කතෝලික දහමේ කියැවීම් පිළි නොපදින බව ප්‍රකාශ කරන අයට ද? එසේ යමෙක් කියන්නේ නම් එයම කතෝලික දහමට පිටින් යාමක්. අද අප මේ දකින දේ කතෝලික දහම මතුපිටින් දැක එයට අනුව සාදා ගත් ජනප්‍රිය ක්‍රමවේදයක් පමණ යි. ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය වූයේ එය නොවේ. එතුමන්ගේ අනුගාමිකයන් වන පීටර්, පෝල් සහ ස්ටීවන් වැනි අය දිවි දුන්නේ සාමාජයීය, ආධ්‍යාත්මික මෙන් ම ව්‍යුහාත්මක වෙනසක් උදෙසා යි. ඔවුනට එකල සිටි දේශපාලනික නායකයන්ට වැඳුම් පිඳුම් කිරීමට වුවමනා වූයේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පැවසූයේ ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා’ යන්න යි.”

රට තුළ නීතිය සහ සාමය පවතිනවා

මේ කියැවීම් අනුව යන ජීවන්ත පීරිස් පියතුමන්, දිගින් දිගට ම ඔහු සොයා සිදුවන පොලිස් මෙහෙයුම් නිසා සැඟ වී, ජීවත් වුව ද, ඉරිදා දේව මෙහෙය කිසි දිනෙක මඟනොහැරියාක් මෙන්, අධිකරණයේ නියෝගත් කිසි දිනෙක මගහැර නැහැ.

‘මා අධිකරණය ඉදිරියේ පෙනී සිටින තුරු, මා සොයා මෙහෙයුම් කිරීමට හෝ අත් අඩංගුවට ගන්නට කිසිදු හේතුවක් නැහැ.” ඔහු පැවසුවා 

” මේ රට තුළ නීතිය සහ සාමය පවතිනවා. මා සහ මගේ සහෘද අරගලකරුවන් බිය වී සිටින රජයේ සිතැඟි අනුව කටයුතු කළ යුතු නැහැ.”

පීරිස් පියතුමන් විරෝධතාකරුවන් අමතමින් – Amila Udagedara

 

මෙම ක්‍රියාදාමය කැපකිරීම් නොමැති ව සිදුකළ නොහැකි යි. පීරිස් පියතුමන් මසකින් සිය පිරිස් හමු වී නැහැ. කෙසේ නමුත් ඔහු තවමත් සිය බලාපොරොත්තු සහ විශ්වාසය අත්නොහැර බලා සිටිනවා. ඔහු, රජයේ උකුසු ඇස් වැටී ඇති සිය වියපත් මාපියන් ගැන සිහිකරන විට යම් දුකක සේයාවක් ඔහු වෙතින් විද්‍යමාන වෙනවා.

“මා සෑහෙන කාලයකින් ඔවුන් දකින්නට ගොස් නැහැ” ඔහු පැවසුවා.

“මට මේ වන විට ඔවුන් සමග ඍජු සම්බන්ධතා නැහැ. ඒ ඔවුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යි.”


ක්‍රිස් තෝමස් Roar.lk සඳහා ලියූ The Preacher At The Protest ලිපියේ සිංහල අනුවාදය යි.

කවරයේ ඡායාරූපය - Amila Udagedara

Related Articles