Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තම පාසැල් ගුරුවරිය හා විවාහ වූ ජනාධිපති අපේක්ෂකයා

ප්‍රංශ ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දී එහි ඉදිරියට පැමිණ සිටින තරුණ ස්වාධීන අපේක්ෂක එමානුවෙල් මැක්‍රොන් පිළිබඳ ජනමාධ්‍ය නිතර කතාබහ කරනවා. මේ අතර ඔහුගේ ආදර කතාවට ද හිමි වන්නේ විශේෂ ස්ථානයක්.

මැක්‍රොන් ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔහුට වඩා අවුරුදු 20 ක් වැඩිමල් ඔහුගේ ගුරුවරියක සමඟ වීම මෙම විශේෂත්වයට හේතුවයි. එම ආදර කතාව දැනට අවුරුදු 24 ක ඉතිහාසයක් ඇති එකක්. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විවාහයට ද මෙම වසරේදී වසර දහයක් සම්පූර්ණ වෙනවා.

ගුරුතුමිය සහ ගෝලයා

එමානුවෙල් ශෝන් – මයිකල් ෆෙඩ්‍රික් මැක්‍රොන් උපන්නේ 1977 දෙසැම්බර් 21 වනදා ප්‍රංශයේ ඓතිහාසික ඒමියන් නගරයේදී (1802 ඒමියන් ගිවිසුම සහ එය ලංකාවට බලපෑ ආකාරය ගැන අපි මින් පෙර කතා කළා ඔබට මතක ඇති). මැක්‍රොන් ගේ පියා ස්නායු වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන අතර මව වෛද්‍යවරියක්. මැක්‍රොන් පාසැල් අධ්‍යාපනය ලැබුවේ ඒමියන් හි ලා ප්‍රොවිඩන්ස් පාසැලේදී.

ඔහුට සිය අනාගත භාර්යාව මුණ ගැසෙන්නේ මෙම පාසැලේදි.

බ්‍රිජට් ත්‍රොග්නෝ, එමානුවෙල් මැක්‍රොන්ගේ පන්තියේ ප්‍රංශ භාෂාව සහ නාට්‍ය කලාව පිළිබඳ ගුරුවරිය බවට පත් වෙද්දී මැක්‍රොන්ට වයස අවුරුදු 15 ක්. ඔවුන් අතර බැඳීම වර්ධනය වූයේ ඔවුන් ඉතාලියානු නාට්‍යකරුවකු වූ එඩුවාර්ඩෝ ඩි ෆිලිප්පෝගේ “ද ආර්ට් ඔෆ් කොමඩි” නාට්‍යය පුහුණු වන අතරතුර යි.

එමානුවෙල් මැක්‍රොන් (Reuters)

එමානුවෙල්ගේ බුද්ධිය හේතුවෙන් තමන් ඔහු වෙත ඇදී ගිය බව ඔහුගේ ගුරුවරිය පවසනවා. ඔහු වැඩිමහලු අය සමඟ වුව ද කටයුතු කළේ තම වයසට වඩා මුහුකුරා ගිය බවක් පෙන්නුම් කරමින් බවයි බ්‍රිජට් ත්‍රොග්නෝ පවසන්නේ.

ලා පැරිසියෙන් පුවත්පතට මැක්‍රොන්ගේ සමකාලීන මිතුරන් පවසා තිබුණේ එකළ මැක්‍රොන් සිය ගුරුවරියගේ ප්‍රියතම සිසුවා වූ බවයි. ඔහු නිතර කවි ලියූ බවත් ඇය ඒවා පන්තියේ හඬ නගා කියැවූ බවත් එම මිතුරන් පවසා සිටියා. එමෙන්ම පන්තියේදී අනෙක් සිසුවන්ට ආදර්ශයක් ලෙස ඔහුව නිතරම පෙන්වා දීමට ද ඇය කටයුතු කර තිබෙනවා.

1993 – 1994 පාසැල් වාරය අවසන් වෙද්දී, එවක 16 වන වියේ පසුවූ මැක්‍රොන් සිය ආදරය පිළිබඳ තම ගුරුවරියට පවසා තිබෙනවා. එකළ ඇය සිය කළින් සැමියා සමඟ විවාහ වී සිටියා. ඇතැම් වාර්තා අනුව කියැවෙන්නේ, මෙම සම්බන්ධය කෙරෙහි උරණ වූ ඔහුගේ දෙමාපියන් ඔවුන් වෙන් කිරීමට මැක්‍රොන්ව පැරිසියේ පාසැලක් වෙත යැවූ බවයි.

කෙසේ වෙතත් මෑතකදී France 3 රූපවාහිනිය විසින් විකාශය කළ ඔවුනගේ කතාව ඇතුලත් වාර්තාමය වැඩසටහනකට අදහස් දක්වමින් බ්‍රිජට් ත්‍රොග්නෝ පවසා සිටියේ, මැක්‍රොන් පැරිසියේ පාසැලකට ඇතුලු වූයේ තම පෙළඹවීම මත බවයි.

ඔහු ආපසු පැමිණි විට ඇයව විවාහ කරගන්නා බව මැක්‍රොන් පවසා තිබෙනවා.

පැරිසියේ සිටියදී ද ඔවුන් දෙදෙනා එකිනෙකා හා සන්නිවේදනය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔවුන් පැය ගණන් දුරකතනයෙන් එකිනෙකා සමඟ කතා කළ බව ඇය France 3 සමඟ පවසා සිටියා.

මැක්‍රොන්ට වයස 18 පිරුණ පසු ඇය ඔහු හා ජීවත්වීමට පටන් ගත් අතර 2007 දී ඔවුන් විවාහ වුණා.

වරදවා තේරුම් ගත් සම්බන්ධයක්

ඔවුනගේ විවාහ උත්සවයෙදී මැක්‍රොන් ඉතා හැඟීම් බර කතාවක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන්ව පිළිගත් සහ තම සම්බන්ධයට ආශිර්වාද කළ සියලු දෙනාට තමන් ස්තූතිවන්ත වන බවයි.

2016 නොවැම්බරයේදී නිකුත් වූ මැක්‍රොන් ගේ දේශපාලන වැඩපිළිවෙල ඇතුලත් “රෙවලුසියොන්” (විප්ලවය ) ග්‍රන්තයෙහි ඔහු සිය ආදර කතාව පිළිබඳ අදහස් දක්වා තිබුණා.

“ඒ ආදරය බොහෝ කොටම රහසිගත, සැඟවුණ , එමෙන්ම බොහෝ අය විසින් වැරදි ලෙස අවබෝධ කරගත් එකක් වුණා” ඔහු පවසනවා.

මැක්‍රොන්ගේ විවාහය (France 3 රූපවාහිනියේ වීඩියෝවෙනි)

පාසැල් අධ්‍යාපනයෙන් පසු මැක්‍රොන් දර්ශනය පිළිබඳව මෙන්ම පොදු කටයුතු පිළිබඳ උපාධි දෙකක් ලබා ගත්තා. ඉන්පසු ඔහු සිවිල් සේවකයකු ලෙස පුහුණුව ලද අතර 2004 සිට ප්‍රංශ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළා.

පසුව ඔහු රොත්ස්චයිල්ඩ් සහ සමාගම බැංකුවේ සේවයට බැඳුණා. එහිදී ඔහු නෙස්ලේ සහ ෆයිසර් සමාගම් අතර ව්‍යාපාරික ගිවිසුමක් සාර්ථක කරගැනීමට මැදිහත් වුණා. ඉන් ඔහුට ද විශාල ආදායමක් ලැබුණා.

2006 – 2009 සමයේ සමාජවාදී පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු පසුව ඉන් ඉවත් ව ස්වාධීනව කටයුතු කළා. 2012 දී ප්‍රංශ ජනාධිපති ෆ්‍රංශුවා ඔලන් ද් ගේ ආර්ථික උපදේශකයකු වූ ඔහු 2014 සිට 2016 දක්වා එරට ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළා.

මැක්‍රොන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් ව ඉන් ටික කළකින් ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමේ අභිප්‍රාය ප්‍රකාශ කළා. බොහෝ දෙනා සිතුවේ එම උත්සාහය සබන් බුබුලක් මෙන් ටික දිනෙකින් පුපුරා යනු ඇති බවයි. නමුත් එම අනාවැකි පුස්සක් බවට පත් කරමින් මැක්‍රොන් දැන් ඇතැම් ජනමත විමසුම් සමීක්ෂණවල ඉදිරියෙන් ම සිටිනවා.

මේ සමඟම මැක්‍රොන් පිළිබඳ කටකතා පැතිරෙන්නට පටන් ගත්තා. ඉන් එක් කතාවක් වූයේ ඔහු සමරිසි සබඳතාවකට පැටලී සිටින බවයි. මෙම කටකතා මැක්‍රොන් නොවැදගත් සේ බැහැර කරනවා.

සිය බිරිඳ ඔහුගේ සියලු කටයුතුවලදී ඔහු හා සිටින බව පෙන්වා දෙන මැක්‍රොන් පවසන්නේ තමන් එවැනි වෙනත් සම්බන්ධයක පැටලුනි නම් එසේ කිරීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන්න ඇයටත් විශාල ප්‍රශ්නයක් බවයි.

ප්‍රංශ ජනාධිපතිවරණය අප්‍රේල් 23 වනදා පැවැත්වෙනවා. ඒ පිළිබඳව අපි මින් දින කිහිපයකට පෙර ඔබට කරුණු ගෙනාවා සමහර විට ඔබට මතක ඇති. ඉදිරියේදිත් අපි ඒ පිළිබඳ කරුණු ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මුලාශ්‍ර: Sofia Lotto Persio, Emmanuel Macron: From teacher’s pet to teacher’s husband to President of France?, IB Times (UK), Alice Foster, Who is Emmanuel Macron?, The Express, France election: Macron laughs off gay affair rumours, BBC

Cover Image: එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ (Reuters)

Related Articles