Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එමිනම්

ලොකු සිරස්තලයක් නැති ගොඩාක් දේ වල ලොකු කරුණු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ලෝකයේ ප්‍රසිද්ධම ගායකයන්, සංගීත කණ්ඩායම් වගේ දේවල් රාශියක් ගැන තොරතුරු රැසක් පසුගිය කාලය පුරාවට Roar ඔබ වෙත ගෙන ආවා. අද අපි ඔබට කියන්න යන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ රැප් ගායක එමිනම් ගැන යි. එමිනම් ගායකයෙක් විතරක් නෙමෙයි සංගීත නිර්මාණ ශිල්පියෙක්, ගීත රචකයෙක් වගේම නළුවෙක් ද වෙනවා.

කුඩා කාලය

ඔහුගේ කුඩා කාලය නම් එතරම් හොඳ එකක් වුනේ නෑ. එමිනම්, මාර්ෂල් මේතර්ස් යන නමින් උපත ලැබුවේ 1972 ඔක්තෝම්බර් 17 වෙනි දා යි. ඒ, ඇමරිකාවේ මිසුරිහි ශාන්ත ජෝසප් නගරයේ දී යි. ඔහුගේ මව හා පියා ‘Daddy Warbucks’ නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වී තිබූ නමුත් එමිනම් උපදින්නටත් පෙර ඔහුගේ පියා ඔවුන් අතහැර ගොස් තිබුණා. පසුව එමිනම් තම මව සමග ජීවත් වුණා. කුඩා කාලයේ කොමික් සිතුවම් කලාවට මහත් ඇල්මක් දැක්වූ ඔහු, සංගීතයේ හා රැප් සංගීත ශෛලියේ ද තම දක්ෂතා දක්වා තිබුණා.

ඔහුගේ මවට එක ස්ථානයක එක දිගට වැඩි කාලයක් සේවයේ යෙදීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ හේතුව නිසා ඔහුට වසරකට පාසල් දෙක තුනක් පවා මාරු කරන්නට සිදුවූ අවස්ථාවන් තිබුණා. පසු කලෙක එමිනම් ප්‍රකාශ කර තිබුණේ එම කාලය ඔහුගේ ජීවිතයේ වඩාත් අසීරුම කාලයක් වූ බව යි.

එමිනෙම්ගේ මව – (nocookie.net)

කෙසේ නමුත් මේ හේතූන් නිසා ඔහු හා ඔහුගේ මව අතර එතරම් හොද බැඳීමක් නම් තිබුණේ නෑ. තව ද තමන්ට මේ නිසා දිගු කාලීන මිතුරන් පවා හමු නොවූ බව ඔහු පවසා තිබුණා. ඔහු මේ හේතූන් නිසා ඔහුගේ සහෝදරයෙකු වූ රොනී සමග දැඩි සම්බන්ධතාවක් නිර්මාණය කර ගැන තිබුණා.

එමිනම් පසු කලෙක ඔහුගේ මවගේ ක්‍රියාවන් ඔහුගේ ගීතවල පද බවට පත් කර තිබුණා. ඔහු එම ගීත හරහා ඔහුගේ මව නිසා තමන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බවත්, තමන්ට ඇය නිසා මානසික හා ශාරීරික අඩත්තේට්ටමට ලක් වූ බවත් ප්‍රකාශ කර තිබුණා. 1999 වසරේ දී ඔහුගේ මව විසින්, එමිනම් ඇයට කරන ලද මෙම අපහාසයන්ට විරුද්ධව ඇමරිකානු ඩොලර් මිලියන 10ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කරනු ලැබුවා. නමුත් පසුව දෙදෙනාගේ එකඟතාවෙන් ඇමරිකානු ඩොලර් 25000කට එම නඩුව සමතයකට පත් වුණා.

ලින්කන් උසස් පාසලේ ඉගැනුම ලබන සමයේ ඔහු නවය ශ්‍රේණිය තෙවරක් අසමත් වුණා. ඔහුට වයස අවුරුදු 17 වන විට පාසලෙන් ද ඉවත් කෙරෙන්නේ මේ හේතුන් නිසා යි. දුර්වල ශිෂ්‍යයකු ලෙස සැලකුන ද ඔහුට භාෂාව පිළිබඳව මනා දැනුමක් හා ආශාවක් පැවතුනා. එනිසා ඔහු ඒ සමයේදීත් කොමික් පොතපත මෙන්ම ශබ්දකෝෂයන් ද දැඩිව අධ්‍යයනය කර තිබුණා.

කුඩා එමිනම් (ytimg.com)

සංගීත දිවිය

පසුගිය සමය පුරාවට ලංකාව පුරා කුඩා ළමුන් විවිධ වූ රැප් ගීත ෆේස්බුක් එකට අප්ලෝඩ් කළා ඔබටත් මතක ඇති. ඔවුනට ‘සිඟිති පාතාලය’ කියලා නමකුත් වැටුණේ ඒ නිසා යි. අන්තර්ජාලයේ නොවුනත් එමිනම් පවා මුලින්ම රැප් ගීත නිර්මාණය කරන්නේ ඔහුට වයස අවුරුදු 14ක් තරම් වූ කුඩා කාලයේ දී යි. එකල ඔහුගේ සගයා වුනේ මයික් රූබි යි. ඔවුන් තමන්ව ‘Manix’ හා ‘M&M’ යන නම් වලින් හඳුන්වාගෙන තිබුණා. පසුකලෙක EMINEM යන නමත් නිර්මාණය වුණේ මේ ‘M&M’ යන නාමය පදනම් කරගෙන යි.

එමිනම් එකල ඔස්බර්න් උසස් පාසලේ රැප් තරග වලට සහභාගී වී තිබුණා. ඒ ඔහුගේ එකල මිතුරෙකු වූ, පසුව “Proof” යන රැප් අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ ඩිෂෝන් හොල්ටන් සමග යි. එම ගීත බොහොමයක් එමිනම් විසින් රචනා කර තිබුණා.

wordpress.com

ඉන්පසුව ඔහු ‘New Jacks’ නම් කණ්ඩායම සමග සම්බන්ධ වුණා. පසුව ඩිෂෝන් හා එමිනම් දෙදෙනාම ‘Soul Intent’ හා එකතු වූ අතර ඔවුන් දෙදෙනා එකතුව එම කණ්ඩායම වෙනුවෙන් 1995 වසරේ ගීතයක් ද නිර්මාණය කළා. පසුව එම කණ්ඩායමෙන් ඉවත් වූ ඔවුන් දෙදෙනා ‘D12’, එනම් ‘The Dirty Dozen’, යන කණ්ඩායම ආරම්භ කළේ 1996 දී යි. එය ඇතැම් රැප් ගායකයන් පමණක් නොව, වාර්තා පිට වාර්තා තැබූ ‘Fight Music’, ‘Shit on You’, හා ‘How Come’ යන ගීතයන් ද නිර්මාණය කළා. එමිනම් එම වසරේදීම ඔහුගේ ප්‍රථම ඇල්බමය වූ ‘Infinite’ එළිදැක්වූවා. එයට ඔහු තමන්ගේ දියණිය උපත ලැබූ පසු තමන් විසින් මුහුණ දුන් ආර්ථික ගැටළු පිළිබඳ ගීතයන් ද ඇතුලත් කර තිබුණා.

එමිනම් ඔහුගේ දියණිය සමග – (.wordpress.com)

1997 වසර එමිනම් ගේ ජිවිතයේ ආර්ථික අතින් විශාල ලෙස පහරකෑ වසරක් ලෙස සැලකෙනවා. එම වසරේ දීම ඔහු ‘Rap Olympics’ තරගාවලියට සභාගී වී එහි දෙවැනි තැන ලබා ගත්තා. Dr. Dre නම් වූ ඇමරිකානු රැප් සංගීත ශිල්පියා එමිනම්ගේ ‘Slim Shady EP’ නම් ගීතය ඇසීමෙන් පැහැදී, ඔහු සමග ගීත නිර්මාණය කිරීම අරඹනු ලබනවා. ඔවුන් දෙදෙනා එකතුව 1999 වසරේ දී ‘The Slim Shady LP’ නම් ඇල්බමය එළි දක්වනවා. එය එම වසරේ ඉතාමත් සාර්ථක වූ ඇල්බම් අතරින් එකක් බවට පත් වුණා. එපමණක් ද නොව එහි ගීත වූ ‘My Name Is’, ’97 Bonnie & Clyde’ හා ‘Guilty Conscience’ යන ගීතත් තනි තනිව ඉතාමත් ජනප්‍රිය වෙනවා. ඉන්පසු, නිකුත් කර පළමු සතියේ පිටපත් මිලියන 2කට අධික ප්‍රමාණයක් අලෙවි වූ ‘The Marshall Mathers LP’ නම් ඇල්බමය ඔහු විසින් නිකුත් කරනවා. ‘The Real Slim Shady’ නම් වූ ගීතයත් එම ඇල්බමයේම නිකුත් වූ ගීතයක්. ‘Without Me’, ‘Superman’, ‘Mockingbird’, සහ ‘Just Lose It’ වැනි ජනප්‍රිය ගීත ඇතුලත් වුණේ ඔහු විසින් 2001 – 2004 දක්වා කාලයේ නිර්මාණය කරන ලද ‘The Eminem Show’ සහ ‘Encore’ යන ගීත ඇල්බම් වල යි. 2008 වසරේ දී ඔහු විසින් ‘The Way I Am’ නමින් පොතක් එළි දක්වනු ලැබුවා. එහි රචනා වී තිබුණේ ඔහුගේ ජිවිතය හා සංගීත දිවිය පිළිබඳව යි.

ඔහු විසින් 2015 වසරේ නිකුත් කළ ‘The Vinyl LPs’ නම් ඇල්බමයේ, ඔහු එතෙක් මෙතෙක් නිෂ්පාදනය කළ සියලු ගීත ඇතුලත් වී තිබුණා.

එමිනම් විනාඩි 6 යි තත්පර 3ක් තුළ වචන 1560ක් ගායනා කරමින් නිර්මාණය කළ “Rap God” ගීතය ලොව එතෙක් මෙතෙක් බිහි වූ වැඩිම වචන ප්‍රමාණයක් ඇති ගීතය ලෙස සැලකෙනවා. එම ගීතයේ තත්පරයක් තුළ ඔහු ප්‍රකාශ කරන වචන වල සාමාන්‍යය 4.28ක්.

සම්මාන

එමිනම් 2001 වසරේ ඇකඩමි සම්මානයක් දිනා ගත්තේ ‘8 Mile’ සිනමාපටයේ ‘Lose Yourself’ ගීතය වෙනුවෙනුයි. එමෙන්ම එය රැප් ගායකු ලැබූ ප්‍රථම ඇකඩමි සම්මානය ලෙස ද සැලකෙනවා

2003 වසරේ ඔහු විසින් ‘YouTube Music Awards Artist of the Year’ සම්මානය ද ජයග්‍රාහණය කළ අතර, එම වසරේදීම ‘MTV EMA Music Awards’ සම්මාන උළෙලේ දී ඔහුව ගෝලීය සලකුණක් (Global Icon) වශයෙන් ද නම් කෙරුනා.

එමිනම් හා රිහානා (www.gumbumper.com)

2004 වසරේ දී එමිනම් ‘The Marshall Mathers LP 2’ ඇල්බමය වෙනුවෙන් ග්‍රැමී සම්මානයක් ද දිනා ගනු ලැබුවා. එමෙන්ම එහි දී රිහානා සමග ගායනා කරනු ලැබූ ‘The Monster’ ගීතය දෙදෙනෙකු එකතු වී ගායනා කරන ලද හොඳම රැප් ගීතයට හිමි සම්මානය ද දිනාගනු ලැබුවා. එමිනම් දිනා ඇති ග්‍රැමී සම්මාන ප්‍රාමාණය 15ක්.

තවත් සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියන එමිනම් ඔහුගේ ජීවන විලාශය නිසා කිහිපවිටක්ම රෝගයන් වලට පවා මුහුණ දුන්නා. එමෙන්ම සිය ගීත හේතුවෙන් නීතිමය ගැටළු විශාල ප්‍රමාණයකට මුහුණ දීමට ඔහුට සිදු වූ අතර ඒවා බොහෝමයක් නිරාකරණය වුණේ ඒවා හුදෙක් ගීතයන් පමණක් වූ නිසා යි.

කවරය – www.baltana.com

මුලාශ්‍ර –

www.biography.com

www.thefamouspeople.com

www.eminem.net

Related Articles