ඉන්දියාවේ රියල් ‘පෑඩ් මෑන්’

නමින් ‘අරුනාචලම් මුරුගනන්තම්’ ලෙස 1962 දී ඉන්දියාවේ කොයිම්බටොරේ ග්‍රාමීය නගරයේ උපත ලබන මොහුගේ, පියා රෙදි විවිමේ කර්මාන්තයේ යෙදුණු අයෙක්. මව, ගෘහනියක්. සහෝදරියන් තුන්දෙනෙක්ගෙන් සමන්විත වූ මේ පවුලට දුප්පත්කමෙන් බැට කන්නට සිදුවන්නේ පියාගේ මරණයෙන් පසුව යි. පවුලේ බර කරට ගත් මව පසුව ගොවි කම්කරුවෙකු ලෙස සේවය කරමින් තම දරුවන්ගෙ කුසගිනි නිවීමට මහන්සි වෙන තම මව දුටු අරුනාචලම්, තම මවට සහාය වීමට අවුරුදු 14 දී පාසලට සමුදෙනවා.

ගොවි කම්කරුවෙක්, යන්ත්‍ර ක්‍රියා කරවන්නෙක්, වෑල්ඩින් ආදි රැකියා රාශියක නිරත වෙමින් තම මවට සහාය වෙමින් තම මව හා සහෝදරියන් අරුනාචලම් රැක බලා ගන්නවා.

ලිපියේ තියෙන තොරතුරු මඟින් ‘පැඩ් මෑන්’ චිත්‍රපටයේ හුඟක් දේවල් අනාවරණය කරනවා. ඉතින් ඔබ මේ චිත්‍රපටය නැරඹීමට බලාපොරොත්තු වෙනවා නම්, චිත්‍රපටය බලලාම ලිපිය කියවන නම් වඩාත් හොදයි. ඔබේ කුතුහලයට වගේම චිත්‍රපටයේ නැති හුඟක් දේවල්වලට උත්තර ලබා ගන්නත් පුළුවන් මේ ලිපියෙන්.

අරුනාලචලම්ගේ ජිව්තේ කණපිට හැරෙන්නෙ 1998 වර්ෂයේ ඔහු විවාහ ජීවිතයට ඇතුල්වීමත් සමග යි. දවසක් ඔහු දකිනවා ඔහුගේ බිරිඳ අපිරිසිදු රෙදි කෑල්ලක් ළඟ තබා ගෙන ඉන්නවා. ඇයගෙන් ඇසූ පසු ඔහු දැන ගන්නවා, එය ඔසප් කාලයේ දී භාවිතා කිරීමට යොදගන්නා බව යි. සැමියෙකු ලෙස තම බිරිඳට මහත් සෙනෙහසක් දක්වන අරුනාචලම්, පසුව යන්නෙ ෆාමිසියට. ඒ තම බිරිඳට සනීපාරක්ෂක තුවායක් මිල දී ගැනීමට යි.

වෙළඳසැලෙහි සිටි පුද්ගලයාගෙන් මොහුට ලැබුණේ නොසිතූ අයුරේ ප්‍රතිචාරයක්. වෙළඳ සන්නාමයක් සහිත අයිතමයක් ඔහු විසින් පත්තර දෙක තුනක නවා ඔහුට ලබාදුන්නේ මේසයට පහළින් කාටවත් නොපෙනෙන සේ ය. එය මිල දී ගෙන තම බිරිඳට දුන් විට එය එක හෙළාම දුටුවේ මිල දෙස යි. ඇය එකවරම කියා සිටියේ, යළිත් එය බාර දී මුදල් ඉල්ලා ගන්නා ලෙස යි. මන්ද, එලෙස ඔවුන් එය මිල දී ගතහොත් ඔවුන්ගේ දිනපතා මිල දී ගන්නා කිරි නොගැනිමට සිදුවන නිසා හා තම සහෝදරියන්ට ද මිල දී ගන්නා විට වියදම දෙගුණ තෙගුණ වන බැවිනි.

ෆාමිසියෙන් නැවත බාර ගැනිමට එකඟ නොවීමත් සමග මෙතරම් වටිනාකමක් ලබාදීමට ඔහුට එහි තිබෙන්නේ මොනවද කියා බැලීමට සිතෙනවා. බැලූ බැල්මට ඔහු දැක්කේ සතපහක්වත් වටින්නෙ නැති පුළුන් ටිකක් පමණි එක වරම ඔහුට සිතෙන්නෙ, ‘ඇයි මට බැරි අඩු මිලකින්, මගේ අතින්ම සනිපාරක්ෂක තුවා හදලා දෙන්න’ කියලා. ඉතින් ඔහු පටන් ගන්නවා තමන්ගෙම අතින් තම බිරිඳට සනිපාරක්ෂක තුවා හදන්න.

මුලින්ම තම බිරිඳ කැමති වෙන්නෙත් නෑ, මේකට සහයෝගය ලබාදෙන්න. ඇය සැම විටම ඔහුට පැවසුවේ, මෙය කාන්තාවට අදාළ ප්‍රශ්නයක් වන බැවින් එයට අත නොගසන ලෙස යි. එත් තම සැමියාගේ කීමට එය අත්හදා බැලීමට එකඟ වූ ඇය පසු කලෙක එයට සහයෝගය දැක්වීමට අකමැති වන්නේ දිගින් දිගටම සිදුවන අසාර්ථකත්වයත් සමග යි. අරුනාචලම්, මීළඟට සහයෝගය ලබාගන්නේ තම සහෝදරියන්ගෙනි. එහෙත් එය ද අසාර්ථක වන හෙයින් ඔහු, පසුව වෛද්‍ය සිසුවියන්ගෙන් සහාය ලබාගත්ත ද සාර්ථක ප්‍රතිචාර ලබාගැනිමට නොහැකි විම නිසා එය ද අසාර්ථක වෙනවා.

ඉතින් අන්තිම විසඳුම වුණේ තමන්ම සනීපාරක්ෂක තුවා ඇඳ පරික්ෂා කිරීම යි.

ඉතින් මොහු පාපන්දුවක ඇති බැලූනයේ සත්ත්ව ලේ පුරවා, එය ටියුබ් එකක් හරහා තම කලිසම අසලට සනීපාරක්ෂක තුවා ඇඳීමෙන් පසු රුධිරය වහනය කරගැනීම මඟින් තම පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යනවා. තම වැඩ බිම දී පවා මෙලෙස පරික්ෂණ කටයුතු පැවත්වීම නිසා ඔහු අසලින් පිළුණු ගන්ධයක් වහනය වීම නිසා ඔහුව කාගෙත් අවධානයට ලක් වුණා. මෙලෙස අසාමාන්‍ය හැසිරීම නිසා ඔහුව ලේ උරා බොන වැම්පයර් කෙනෙක් ලෙස ද කටකතා පැතිරුණා. පරීක්ෂණ පැවැත්වීමට පටන්ගෙන මාස 18කට පසු ඔහුව තම බිරිඳ ද, ඊට නොබෝ කලෙකින් තම මව ද හැර යනවා. තනි වූ ඔහුව ගම්වැසියන් ව්සින් ගසක බැඳ ගුරුකමක් කොට ඔහුව සුව කිරීමට තැත් කරනවා. ඔහු එයින් මිදෙන්නෙ ගම හැර යන බවට පොරොන්දු වීමත් සමග යි.

මොන අභියෝගය ආවත් තම අරමුණ වෙනුවෙන් නොසැලී කටයුතු කළ අරුනාචලම්, පසුකලෙක දැන ගන්නවා සනීපාරක්ෂක තුවා සෑදීමට යොද ගන්නේ cellulose නැමති අමුද්‍රව්‍ය බව යි. එකල ඔහුට ඉංග්‍රිසි භාෂාව පිළිබඳ මනා දැනුමක් නොතිබි හෙයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු හරහා ඔහු පිටරට ආයතනයක් මඟින් අමුද්‍රව්‍ය ගෙන්නා ගෙන තිබෙනවා. මේ පිළිබඳ දැන ගන්නත් ඔහුට අවුරුදු 2කුත් මස 3ක් ගත වුණා.

ඊළඟ ප්‍රශ්නේ වුණේ සනීපාරක්ෂක තුවා හදන යන්ත්‍රය කෝටි ගණනක් වටිනවා. ඒ වගේ යන්ත්‍රයක් මිල දී ගන්න තියා හිතන්නවත් බෑ. ඉතින් අරුනාචලම්, ඊළඟ අවුරුදු 4 ½ මේ සඳහා වැය කළා. මෙතන දී ඔහුගේ කාර්මික දැනුම හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඔහු කෝටි ගාණක් යන යන්ත්‍රය ඉතා අඩු පිරිවැයක් යන විදිහට සරල ලෙස නිර්මාණය කළා.

පළවෙනි ආකෘතිය දුටු IIT Madras හි ආචාර්‍යවරයෙකු 2006 වර්ෂයේ දී එය National Innovation Award තරගාවලියට ඉදිරිපත් කරනවා. එහි දී තරගකරුවන් 943 අතරින් ඔහු පළමුවන ස්ථානය දිනාගන්න සමත්වෙනවා.

අරුනාචල්ගෙ ජීවිතයට නැවතත් සතුට ගෙනෙමින් තම බිරිඳ ඔහු හා එක්වෙනවා. පසුව, ජය ශ්‍රී ඉන්ඩස්ට්‍රි ආයතනය ආරම්භ කරනවා. ඔහු තම යන්ත්‍රය ලබාදුන්නේ දුප්පත් ඉන්දීය කාන්තාවන්ට පමණයි. මොකද, ඉන්දියවේ හුඟක් කාන්තාවන් තම ඔසප් කාලයේ දී සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කරන්නේ අපිරිසිදු තුවා, අළු, පස් වැනි දේවල්. හුඟක් නිවෙස්වල කාන්තාවන් මෙම කාලයේ දී නිවෙසින් පිටත ගත කිරීමට සිදුවෙනවා.

ඉන්දියාවේ හුඟක් මිත්‍යා මත තියෙනවා මේ සම්බන්ධයෙන්. මනා දැනුමක් නොතිබීම නිසා විවෘතව මේ පිළිබඳව කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නෑ. මේ සම්බන්ධව විවෘත මතයක් ගෙන ඒමට සමාජ ජාල හරහා ඔහු විසින් වැඩසටහනක් ද පවත්වා තිබෙනවා.

පෑඩ් මෑන් හෑෂ්ටැග් අභියෝගය

“හුඟක් අය මේ වගේ දෙයක් හොයාගත්තහම බලන්නෙ, ‘කොහොමද මේක සල්ලි බවට හරව ගන්නේ?’ කියලා. ඒත් මම සල්ලි පස්සෙ යන්නෙ නෑ. සල්ලි පස්සෙ ගියොත් ජීවිතයේ තියෙන්නෙ හිස් බවක් විතරයි. මම හැමතිස්සෙම සල්ලි තියා ගන්නේ පිටිපස්සේ සාක්කුවෙ ඉස්සරහ සාක්කුවේ නෙමේ”

පසුකලෙක දේශනයක දී ඔහු පැවසුවේ එසේ යි.

Ted talks හි දේශනයක් පවත්වමින් 

ඉතින් අරුනාචලම් පසුව, යන්ත්‍ර 250ක් ඉන්දියාවේ දුෂ්කරම පළාත්වලට බෙදා දෙනවා. මේ මඟින් හුඟක් කාන්තාවන්ට තිබුණ ලොකුම ප්‍රශ්නයකුත් විසඳුණා වගේම, කාන්තාවන්ට ආදායම් මාර්ගයකුත් ලැබුණා.

මෙම යන්ත්‍රය නයිජීරියාව, බංගලාදේශය, පිලිපීනය වැනි රටවල් 106කට ආනයනය කිරීමට ද සමත් වෙනවා.

“පද්ම ශ්‍රී” සම්මානය ලබාගත් මොහොත

2016 දී ඉන්දියාවේ පුද්ගලයෙකුට ලැබෙන 4 වැනි උසස්ම සම්මානය “පද්ම ශ්‍රී” ඔහු වෙත ලැබෙන්නේ ජනපති ප්‍රනාබ් මුකර්ජි අතින්.

“පද්ම ශ්‍රී” සම්මානය ලබාගත් මොහොත

2013 වර්ෂයේ දී ඔහුගේ ජීවිතය ඇසුරින් Menstrual Man කෙටි සිනමාපටය ‘අමිත් වීර්මනි’ විසින් නිර්මාණය කළ අතර, 2014 දී Time magazine හි The most 100 influential people අතරට එක්වීමට ද හැකි වුණා.

2016 දී Twinkle Khanna විසින් The legend of Lakshmi Prasad නැමැති පොත එළිදක්වනවා. එය පාදක කර ගනිමින් අරුනාචලම්ගේ ජිවන කතාව සිනමා පටයක් ලෙස PAD MAN නමින් 2018 වසරේ එළිදක්වනවා. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ R. බල්කි විසිනි.

මෙහි අරුනාචලම් ලෙස අක්ෂය කුමාර් ද, ඔහුගේ බිරිඳ ලෙස රාධ්කා අප්තේ හා මනඃකල්පිත චරිතයක් ලෙස සොනම් කපූර් “පාරි” නම් චරිතයට පණ පොවනවා. අරුනාචලම් ජීවන කතාව හුඟක් දෙනාගේ හදවත්වලට සමීප කරපු සිනමා පටයක් කීවොත් නිවැරදි යි.

එම වසරේ දී ම Netflix ආයතනය මඟින් නිෂ්පාදනය කරන Rayka Zehtabchi අධ්‍යක්ෂණය කරන ලද “The period end of the sentence” නැමැති කෙටි චිත්‍රපටය, වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ඔස්කා සම්මානයෙන් පිදුම් ලබනවා.

අවුරුදු 14 දී පාසල් ජීවිතයට සමුදුන්න, ඉංග්‍රිසි වචනයක්වත් දන්නෙ නැති ඔහුට, අද කාන්තාවන් දහස් ගණනකට රැකියා ලබා දීමට හැකි වෙලා තියෙනවා. ඉන්දියානු තාක්ෂණික ආයතනයන් වන දිල්ලි, බැංගලෝර්, බොම්බේ හා හාර්වර්ඩ් වැනි විශ්වවිද්‍යාලයන් හි අරාධිත කථිකාචාර්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඔහුගේ දැක්ම ඉන්දියාව, 100% සනීපාරක්ෂක තුවා භාවිතා කරන රටක් කිරිම යි.

වමේ සිට බිරිඳ ශාන්ති, අක්ෂය කුමාර්, ට්වින්කල් කන්නා, ආර් බල්කි, අරුනාචලම් හා ඔහුගේ දියණිය ප්‍රීති

සමාජ ව්‍යවසායකයන් පවා මුදල් පසුපස හඹා යන වර්තමාන ලෝකයේ අරුනාචලම් මුරුගනන්තම් හැමෝටම හොඳ ආදර්ශයක් වන්නේ; ව්‍යවසායකයෙක් මුදල් පසුපස හඹා නොයායුතු බවත්, ඔහු සැම විටම සමාජයේ ඇති ප්‍රශ්නවලට විසඳුම් සොයනා පුද්ගලයෙකු විය යුතු බවත්, මුදල් යනු ඔහුට ලැබෙන තවත් එක් වරප්‍රසාදයක් පමණක් බවත් සිහි ගන්වමිනි.

කවරයේ පින්තූරය: Roar Media

Related Articles