මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

‘මැරතන් කරූ’ කී සැනකින් අපට මතක් වන්නේ 1993 සාෆ් ක්‍රීඩා උළෙලේ මීටර් 10,000 හා මැරතන් ඉසව්වලින් රන් පදක්කම් ලැබූ, වැලිවේරියේ දී ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 2008 දී මිය ගිය කේ. ඒ. කරුණාරත්න ය. එහෙත් මේ කියන්නට යන්නේ අප විසින් ඉතා කෲර ලෙස අමතක කර දමා තිබෙන තවත් දිගු දුර ධාවන ශූරයෙකු වන රණතුංග කරුණානන්ද ගැන යි.

ඒ 1964 ටෝකියෝ හි දී පැවති ඔලිම්පික් උළෙල යි. අප කතා නායකයා එම තරගාවලියේ මීටර් 5000, මැරතන් හා මීටර් 10,000 යන ඉසව් තුනකට සහභාගී වීමට නියමිතව සිටියා. කරූ, මීටර් 5000 තරගයෙන් 47 වෙනියා වුණේ සහභාගී වූ 52 දෙනෙක් අතුරිනුයි. ඔහුගේ අසනීප තත්ත්වය නිසා මැරතන් තරග ඉසව්වට ඔහු සහභාගී වුණේ නැහැ. එහෙත් ඔහුට දැඩි වුවමනාවක් තිබුණා මීටර් 10,000 තරග ඉසව්වට සහභාගී වෙන්න. ඔහු කියා තිබුණේ එය ඔහුගේ කුඩා දියණිය සතුටු කිරීමක් කියලයි. ඒ අනුව තද අසනීප ගතියෙන් වුව ද, ඔහු මීටර් 10,000 තරගය සහභාගී විමට තීරණය කළා.

තරගය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට මත්තෙන් සියලු තරගකරුවන් කරූව අභිබවා ගියා. තරග වට 25කින් මේ මීටර් 10,000 ඉසව්ව සමන්විත වෙනවා. මේ තරගය ජයග්‍රහණය කළ ඇමෙරිකාවේ බිලී මිල්ස් තරගය අවසන් කරන විට කරූ තවමත් 20 වැනි වටයේ විතර ය. බිලී මිල්ස් අවස්ථා කිහිපයක දී ම කරූව පසු කර තිබුණා. කරූට තවත් තරග වට තුනක් ඉතිරිව තිබිය දී තරගකරුවන් සියලු දෙනාම තරගය නිමා කර තිබුණා. දැන් කරූ දිව්වත් අන්තිමයා. නොදිව්වත් අන්තිමයා. කරූ තමන්ගේ දෙවැනි අවසාන වටය ආරම්භ කළේ කවුරුත් හිතුවෙ නැති විදියට. මේ නිසාම ටෝකියෝ ප්‍රේක්ෂකයින් කරූට සමචල් හඬ මුසු වූ උසුළු විසුළු කරන්නට පටන් ගත්තා. තරග සංවිධායකයෙකු කරූ අනවබෝධයෙන් ධාවනය කරනවායැ යි සිතා ඔහු පසු පස දුව ගොස් සියලුම තරගකරුවන් තරගය අවසන් කර ඇති නිසා තරගය නවත්වන ලෙස ඉල්ලා සිටියා. ඒත් කරූ එය නෑසු කන්ව ධාවනයේ යෙදුණා. බොහෝ අය හිතුවා කරූ අවසන් වටය ධාවනය නොකට තරගයෙන් ඉවත් වෙයි කියලා. ඒත්, ඒ සියලු අපේක්ෂාවන් බිඳලමින්, නරඹන්නන් මවිත කරවමින් කරූ අවසන් වටයත් ඇරඹුවා. මිට මොහොතකට කලින් සමච්චල් කරන ලද ඒ ප්‍රේක්ෂකාගාරය මොහොතක් නිහඬ වුණා. ඊළඟ මොහොතේ දී සියලු නරඹන්නන් සිය අසුන්වලින් නැගිට අත්පොළොසන් නද දෙමින් මේ නන්නාදුනනා මිනිසාට උත්තමාචාරය පුද කළා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද කරුණානන්ද අවසන් මීටර් 100 තම හැකි උපරිමය යොදා ධාවනය කරමින් ලොව දිනූ අවසානය ලෙස තරගය හමාර කළා.

තරගයෙන් පසු ජයග්‍රාහකයා වූ බිලී මිල්ස් නමවත් නොදත් කරුණානන්ද පෙන්වමින් කියා සිටියේ තමා රන් පදක්කම දිනුවත්, කරුණානන්ද මිනිසුන්ගේ හදවත් දිනූ බවත් මේ තරගයේ සැබෑ ජයග්‍රාහකයා ඔහු බවත් ය. මාධ්‍යවේදීන් ඉන්පසු කරුණානන්ද වට කර ගත්තා. ඔවුන් ඇසුවේ නියත පරාජය දැක දැකත් ධාවනය කිරීමට හේතුව කුමක්ද යන්න යි. කරුණානන්ද ඊට දුන්නේ වියක්ත පිළිතුරක්. "ඔලිම්පික් කියන්නේ ජයග්‍රහණය විතරක් නෙවේ, වැදගත්ම දේ සහභාගීත්වය. මට ඕන වුණේ සහභාගී වෙන්න. මම ඒක කළා". මේ තරගය නැරඹු බොහෝ ජපාන වැසියන් අවසාන වටය නැරඹුවේ කඳුළු පිරිණු ඇස්වලින් බවත් ජනමාධ්‍ය වාර්තා කළා. 

කොහොම වුණත් කරුණානන්ද ලංකාවට ආ විගස ඔහුව ගෞරවයට පාත්‍ර වුණත්, සියල්ල අමතක කරන අපි, සුපුරුදු ලෙස කරුණානන්ද ව අමතක කළා. කරුණානන්ද සිය සුපුරුදු යුද හමුදා රැකියාවේ නිරත වූවා. එහෙත් ජපනුන්ට ඔහුව අමතක වුණේ නැහැ. ඒ වගේම අපට නොදැනුණු ඒ වටිනාකම ජපනුන්ට දැනුණා. අදටත් ජපන් පාසැල් පෙළ පොතේ ආදර්ශ චරිත කතාවක් වශයෙන්, "අංක 67" යන ශීර්ෂය යටතේ කරුණානන්ද ගැන සටහන් වෙනවා. 67 යනු එම තරග ඉසව්වේ කරුණානන්දගේ අංකය යි.

1975 දී ජපානය විසින් කරුණානන්ද ඇතුළු පවුලේ සැමට එම රටෙහි සංචාරයක් සදහා ආරාධනා ලැබෙනවා. සමහර වාර්තා අනුව කරුණානන්දට ජපානයෙන් රැකියාවක් සදහා අවස්ථාව සැලසී තිබෙනවා. කෙසේවුවත්, ජපානයට යෑමට සති දෙකකට පෙර නාමල් ඔයේ ඔරුවකින් පෙරලී ඔහු මිය යනවා. එය මරණයක් ද එහෙමත් නැත්නම් ඝාතනයක්දැ යි තවමත් තහවුරු වී නැහැ. කරුණානන්දගේ සිරුර ගොඩ දැමෙන්නේ ජපානයෙන් මෙරටට පැමිණි කිමිදුම් කන්ඩායමක් විසින්. කරුණානන්දගේ මරණයත් සමගම ඔහුගේ බිරිද සිහි විකල් තත්ත්වයට පත්වන අතර, ලොවක මිනිසුන්ගේ හදවත් දිනූ මේ මිනිසාගේ පවුල මහ මඟට වැටෙනවා.

වසර ගණනාවකට පසුව ජපානයෙන් මාධ්‍යය කණ්ඩායමක් කරුණානන්ද ගැන වාර්තා වැඩසටහනක් සඳහා ලංකාවට පැමිණෙන්නේ, මියගිය කරුණානන්දව ජපානයට කෙතරම් වටින්නේදැ යි නැවත වරක් කියා පාමිනුයි. එහෙත් ජපනාට වටිනා ඒ ලාංකීය මිනිසා අපට කෙතරම් නොවැදගත්දැ යි කියාපාමින් ලංකාවේ බලධාරින් ඔවුන්ව යොමුකරන්නේ මැරතන් කරුණාරත්න වෙත. ඔහු කෙසේ හෝ කරුණානන්දගේ පවුල වෙත ඔවුන්ව යොමුකරනවා. ඔවුන් කරුණානන්දගේ පුතාට උදව්වක් කිරීමට උත්සාහ කළ ද, අපේ කුහක නිලධාරීන් එය නැසූ කන්ව, නොපෙනෙන ඇස් ඇතිව සිටිමින් එම අවස්ථාව ද මඟ හරිනවා.

ලංකාවේ ඔලිම්පික් උළෙලවල අවස්ථා දෙකක දී පදක්කම් ගෞරවයන් ලබා ගන්නවා. ඒ 1948 දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිව යාමේ ඉසව්වෙන් රිදී පදක්කමත්, 2000 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී සුසන්තිකා ජයසිංහ ලබාගත් රීදී පදක්කමත් යන අවස්ථාවන් ය. එහෙත් කරුණානන්දගේ 1964 අවස්ථාව වඩා ගෞරවයට පාත්‍ර වන්නේ ජයග්‍රහණයක් නොලැබ එහෙත්, ලොව සියලු මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වීම නිසා ය.

ඊළඟ ඔලිම්පික් උළෙල, එනම් 2020 දී පැවැත්වීමට නියමිතව ඇත්තේ, කරුණානන්ද 1964 දී ලොව දිනූ ටෝකියෝ හි දී ය. එහෙත් කරුණානන්ද අද මෙලොව නැත. ඊටත් වඩා ශෝචනීය තත්ත්වය ඔහුගේ මතකයක් පිළිබඳ ඡායා මාත්‍රයක් හෝ අපට නැත. හින්දි චිත්‍රපටියක් වූ දාංගල් චිත්‍රපටයෙන් නිර්මාණය වූ උදුම්බරා මඟින් කියැවෙන්නේ එවැනි ධාවන ශූරියක් ගැන ය. හින්දි චිත්‍රපටියක් කොපි කිරීම ගැන අරෝවක් නැතත්, අපේම කතා වස්තු සදහා බීජයන් ඕනෑ තරම් තිබිය දී ඒවාට දක්වන අනුග්‍රාහයන් නම් පවතින්නේ ඉතා පහළ මට්ටමක යි. එමෙන්ම කරුණානන්දලා වැනි මිල කළ නොහැකි වරිත අප පාසැල් පෙළ පොතට ඇතුළත් කළ යුත්තේ, පටන් ගත් වැඩක් කුමන බාධා වැට කඩුළු මධ්‍යයේ වුව ද එය අවසානය කරා ගෙන යා යුතු බවත් ඔවුනට කියා දීමට ය. එමෙන්ම පාසැල් අතර විවිධ මාදිලියේ තරගවලින් පරාජය භාර ගැනීමට එම දරුවන්ට කියා දීමටත් මේ කරුණානන්දගේ ජිවිත කතාව අගනේ ය. කරුණානන්ද මිය ගියත් හෙට දිනයේ එම නාමය අමරණීය වනු ඇත්තේ එවිට ය.

කවරය:

Roar Media