Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රයිෆලය අතහැර බයිබලය ගෙන සටන් පෙරමුණට ගිය සෙබළා – ඩෙස්මන්ඩ් ඩොස්

දෙවන ලෝක යුද්ධ සටන් පෙරමුණට තුවක්කුවක් නොමැතිව අභීතව ගිය සොල්දාදුවෙක් පිළිබඳවයි අද අපි ඔබට කියන්න යන්නේ. ඒ තරුණ ඇමරිකානු සෙබළෙක් වූ ඩෙස්මන්ඩ් ඩොස් (Desmond Doss). කණ්ඩායම් සගයින් හා අණදෙන නිලධාරීන් විසින් තුවක්කුවක් රැගෙන යුද්ධ භූමියට යන ලෙස බලකලත් ඔහු එම සියලු නියෝග කිරීම් ප්‍රතික්ෂේප කරනවා.

දෙවියන් කෙරෙහි හා බයිබලය කෙරෙහි අසීමිතව විශ්වාසය තැබූ, රයිෆල් බළකායේ තුවක්කුවක් නොමැතිව සටන් පෙරමුණේ සිටි මොහුට දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ මිලියන 16ක සොල්දාදුවන් අතරින් සෙබළුන් 431 දෙනෙකුට පමණක් ලබා ගැනීමට හැකි වූ උසස්ම පදක්කම වන “Medal of Honor” හිමිකරගැනීමට අවස්ථාව උදාවෙනවා. ඒ තම ජීවිතය පිළිබඳව නොසිතා සතුරු භූමියේදී තුවාල ලැබූ සොල්දාදුවන් බොහෝ පිරිසක් මරණයෙන් ගලවාගත් බැවින්. 2016 වසරේ නිර්මාණය වූ Hacksaw Ridge නම් චිත්‍රපටයට පාදක වන්නේද ඩෙස්මන්ඩ්ගේ ජීවන චරිතයයි.

ලේ දෙන්නට සැතපුම් හයක් දුර ඇවිද ගිය කොළු ගැටයා

තරුණ ඩෙස්මන්ඩ් ඩොස් (NewsAdvance.com)

ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ලින්චර්බර්ග් හිදී (Lynchburg, Virginia) 1919 පෙබරවාරි 7 වනදා උපත ලබන ඩෙස්මන්ඩ්ගේ පියා වන්නේ විලියම් තෝමස් ඩොස් නම් වඩු කාර්මිකයායි. බර්තා ඊ ඩොස් (Bertha E. Doss) නම් වූ මව ගෘහනියක් විය.

කුඩා අවදියේ සිට දුකට පත් වූවන් වෙනුවෙන් මහත් කැපවීමෙන් පිහිටවීමේ ගුණයෙන් හෙබි ඩෙස්මන්ඩ් ළමා වියේදී දරුණු අනතුරකට මුහුණ පෑ පුද්ගලයෙකුට අවශ්‍ය ලේ ලබා දීම සඳහා සැතපුම් හයක් දුර ඇවිද ගොස් ඒම කාර්ය සිදු කරනවා. ඊට පසුවත් මේ ආකාරයෙන් සැතපුම් ගණනාවක් දුර ඇවිදයමින් ලේ ලබා දීමට තරම් ඔහු කාරුණිකව ක්‍රියා කරනවා.

කුඩා කල සිට අවි ආයුධ පිළිබඳව පිළිකුලක් දැක්වූ ඩෙස්මන්ඩ් තම මාමාගේ ගිනි අවිය පුළුස්සා දැමීමටත් තම පියාගේ ගිනි අවිය සඟවා තැබීමටත් කටයුතු කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි ඉතාමත් ශ්‍රද්ධාවන්තව කටයුතු කල ඔහු Seventh-day Adventist නම් ආගමික නිකායට සම්බන්ධ වී,​ තදින් ආගම අදහනු ලබනවා.

රයිෆලය වෙනුවට බයිබලය ගත් සොල්දාදුවා

රයිෆල් බළකායට ඇතුලත්ව (NewsAdvance.com)

දෙවන ලෝක යුධ සමයේදී ඔහුට අවශ්‍ය වන්නේ වෛද්‍ය බළකායට සොල්දාදුවෙක් ලෙස ඇතුල් වීමටයි. නමුත් ඔහුව නිර්දේශ වන්නේ ඇමරිකානු රයිෆල් බළකායටයි.  1942 වසරේ අප්‍රේල් මස පළමු දින ඔහු රයිෆල් බළකායට ඇතුල් වෙනවා.

ඔහු යුද්ධය සඳහා යාමේදී තුවක්කුවක් රැගෙන යාම ප්‍රතික්ෂේප කරනවා. තමන් දෙවියන් වහන්සේ පිළිබඳව විශ්වාස කරන බවත් යුධ පෙරමුණේදී රටට සේවයක් කිරීමට ගිනි අවියක් අවශ්‍ය නොවන බවත් තම අණදෙන නිලධාරින් ඉදිරියේ කියා සිටිනවා. තවද සෑම සෙනසුරාදා දිනකම පල්ලි යාම සඳහාද අවසර ඉල්ලා සිටිනවා.

බැනවැදීම්, බියවැද්දීම් හා පහරදීම්

යුධ පිටියේදී (Pinterest)

තුවක්කුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නොයෙකුත් කරදර වලට මුහුණ දීමට ඩෙස්මන්ඩ්ට සිදුවෙන අතර ඔහු සෑම විටම තම කණ්ඩායමේ අනෙක් සොල්දාදුවන්ගේ උසුළු විසුළු මෙන්ම තාඩන පීඩන වලට ලක් වෙනවා. ඔහුව යුධ හමුදාවට සුදුසු නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් මනසක් ඩෙස්මන්ඩ්ට නැති බවටත් චෝදනා කරනවා.

යුද්ධයට ගිය පසු ඩෙස්මන්ඩ්ට නැවත පණපිටින් ඒමට හැකියාවක් නොලැබන බව ඔහු සමඟ සිටි එක් සොල්දාදුවෙක් ප්‍රකාශ කරනවා. රයිෆල් බළකා නිලධාරීන් විසින් තුවක්කුවක් භාවිතා නොකිරීම පිළිබඳව ඔහුට තදින් කියා සිටින නමුත් එම අණදීම් හමුවේ ඔහු තුවක්කුවක් භාවිතා කරන්නට කැමති වන්නේ නෑ. අවසානයේ ඔහුට බැනවැදීම්, පහරදීම් හා බියවැද්දීම් සිදුකරන අතර ඉතා අපහසු රාජකාරී සිදුකිරීමට පවරනවා. අවසානයේ අණදෙන නිලධාරීන්ට ඩෙස්මන්ඩ්ගේ මතය පිළිගැනීමට සිදුවෙනවා.

යුධ පිටියේදී තුවාල වූ සෙබළුන්ට ප්‍රතිකාර කල නිර්භීත සොල්දාදුවා

ඔකිනාවා සටන (ThoughtCo)

ගුවාම් දුපතේ (Guam) හා ලයිට් හිදී(Leyte) සතුරු පාර්ශවය සමඟ ඇති වූ සටන් වලට සහභාගී වූ ඩෙස්මන්ඩ් සාම මෙහෙයුමකදීම ඉතා කැපවීමෙන් තුවාල ලැබූ සොල්දාදුවන්ට යුධ භූමියේදීම ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා. එම අවස්ථාවලදී ඔහු සතුරු භූමියට කොතරම් ළඟා වූවාද යන්න පවසනවා නම් ජපන් සොල්දාදුවන්ගේ කතාබස් හඩ පවා තමන්ට ඇසුණු බව ඔහු පසුව ප්‍රකාශ කරනවා.

1945 වසරේදී ඔකිනාවාහි (Battle of Okinawa) ජපන් හමුදාවත් සමඟ සටන් කිරීමට මිත්‍ර හමුදාව නියෝජනය කරමින් ඩෙස්මන්ඩ් සහභාගී වෙනවා. ඇමරිකානුවන් විසින් එම සටන හදුන්වන්නේ “හැක්සෝ රිජ්”(Hacksaw Ridge) නමින්. ඉතා දැඩි ලෙස කාලතුවක්කු ප්‍රහාර ඇමරිකා සෙබළුන් වෙත එල්ල වූ අතර ඒ හේතුවෙන් ඇමරිකානු භටයන් බොහෝ දෙනෙකු මරණයට පත්වෙන අතර තවත් විශාල සංඛ්‍යාවක් බරපතල තුවාල ලබනවා.

මේ අවස්ථාවේදී බේරී පලා යාම පසෙක දමා ඩෙස්මන්ඩ් විසින් පැය 12කට වැඩි කාලයක් තිස්සේ මෝටාර් ෂෙල් වෙඩි අතරින් රිංගා ගොස් සතුරු භූමියේ සිටි තුවාල ලැබූ සෙබළුන් ආරක්ෂිත ස්ථානවලට​ ඇදගෙන යාම හා ප්‍රතිකාර කිරීම් සිදු කරන්නේ කිසිවකුගේ උපකාර වලින් තොරවයි. තුවාල ලබන ඇමරිකානු සොල්දාදුවන් ජපන් හමුදාවේ වධ හිංසා වලට ලක්වෙන බව දැන සිටි ඩෙස්මන්ඩ් එකදු සෙබලෙකු හෝ අතහැර දමා ඒමට අකමැති විය. සටන අවසාන වන විට තුවාල ලබා ජපනුන්ට අසුවීමට නියමිතව තිබු සොල්දාදුවන් 75 දෙනෙක් පමණ ඩෙස්මන්ඩ් විසින් බේරා ගෙන තිබුනා.

සති කිහිපයකට පසුව සටන නැවත ඇවිලුණු අතර එම සටනේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඩෙස්මන්ඩ් තුවාල ලබනවා. එම අවස්ථාවේ ඔහුට හැකි පමණින් තමන්ටම ප්‍රතිකාර කරගත් බවත් තුවාල ලැබුණු තමන්ව අනෙක් සොල්දාදුවන් විසින් සොයා ගැනීමට පැය පහක් පමණ ගත වූ බවත් ඔහු විසින් පසුව ප්‍රකාශ කරනවා.

ඇමරිකානු යුධ හමුදාවේ අභීත සොල්දාදුවන්ට හිමිවෙන Medal of Honor ලබා ගැනීම

ජනපතිවරයා විසින් Medal of Honor පැළදවීම (cbsnews.com)

යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකානු හමුදා සෙබළෙකුට ලබා ගත හැකි උසස්ම පදක්කම වන Medal of Honor තුවක්කුව ප්‍රතික්ෂේප කල සොල්දාදුවගේ වීරක්‍රියා අගය කිරීම වෙනුවෙන් ලබා දීමට එරට රජය විසින් තීරණය කරනවා. මෙම පදක්කමට අමතරව තවත් රිදී හා ලෝකඩ පදක්කම් විශාල ගණනාවක් ඩෙස්මන්ඩ්ට හිමිවෙනවා.

The Medal of Honor (The Conscientious Objector)

1945 දෙසැම්බර් 12 වනදා ඇමරිකානු ජනාධිපති හැරී එස්.ටෲමන් විසින් ධවල මන්දිරයේදී මෙම නිර්භීත සෙබළාට Medal of Honor පැළදවනු ලැබූ අතර ”මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ මෙය ලැබීමට ඉතාම සුදුසුයි. ජනාධිපතිවරයෙක් වීමටත් වඩා මෙය ලැබීම ශ්‍රේෂ්ඨයි” ලෙස ප්‍රකාශ කරනවා.

2005 වසරේදී

යුද්ධයෙන් පසු ශ්වසන​ රෝගයකින් පීඩා විදින මෙම අභීත යුධ විරුවා ඒ ආශ්‍රිත ශල්‍යකර්ම කිහිපයකට භාජනය වෙනවා. එක පෙනහැල්ලක් ඉවත් කරන අතර තනි පෙනහල්ලකින් දිවි ගෙවූ ඔහු 2006 වසරේ මාර්තු 26 දින මරණයට පත්වෙනවා.

කවරයේ ජායාරූපය – Adventist.org

Related Articles