Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැද්දන් ලංකාවෙන් වඳ වී යන්නට ආසන්නයි!

අද රට පුරාම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රට අයිති කාටද කියන එක ගැන. කට්ටියක් උතුර තමන්ගේ කියා ගන්න හදනවා, කට්ටියක් නැගෙනහිර තමන්ගේ කියා ගන්න හදනවා, තවත් කට්ටියක් මුළු රටම අපේ කියා ගන්න හදනවා. ඔය කවුරු කොහොම අයිතිවාසිකම් කිව්වත් ඒ හැමෝම වෙන වෙන රටවල් වල ඉඳන් ලංකාවට ඇවිල්ල පදිංචි වුනු පිට ගම් කාරයෝ. ලංකාව කියලා අද හඳුන්වන භූමි භාගයට අයිතිවාසිකම් කියන්න ඇත්ත අයිතියක් තියෙන එකම පිරිස වැද්දන් විතරයි. ලංකාවේම බිහි වුනු එකම ගෝත්‍රය විදිහට පිලි ගැනෙන්නේ වැදි ජනතාව. සිංහල පිරිස උතුරු ඉන්දීය ආර්යයන්ගෙන්, දෙමළ පිරිස් දකුණු ඉන්දියානුවන්ගෙන් සහ මුස්ලිම් පිරිස අරාබිය හා මැද පෙරදිගින් පැවත එන පිරිස්. පසු කාලීනව ජාතීන් වශයෙන් මිශ්‍ර වුණත් මුල පටන් ගත්තේ එහෙමයි.

කොහොම වුණත් ලංකාවේ මුල් උරුමක්කාරයෝ අද ඉන්නේ කොහොමද? වැද්දන්ගේ ජීවන රටාවයි ඔවුන්ගේ සංස්කෘතියයි නැති වේගෙන යනවා කියන දේ අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි, හැබැයි මේ ලිපියට තොරතුරු හොයන්න අපි ගල් ඔය හා නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන වැඩි ජනතාව හමු වෙන්න ගියාමයි අපිට ඒකෙ දරුණු කම වැටහුණේ. අපි ජීවත් වෙන රටේ ඈත අතීතයට තියෙන එකම සම්බන්ධතාව, එදා ඉඳන් මේ පොළොවේ විසූ එකම මිනිස් පුරුක අපෙන් නැති වෙලා යන්න මොන තරම් ආසන්නද කියන එක අපිට තේරුම් ගියේ ඒ ගමනේදියි.

වැද්දන් කියන්නේ කවුද?

මහා වංශයට අනුව නම් වැද්දන් කියන්නේ ලංකාවේ පළමු වැනි රජු විදිහට සැලකෙන විජය රජතුමාගේත්, කුවේණි බිසවගේත් දරුවන්ගෙන් පැවත එන පිරිසක්. විජය රජු කුවේණිව අග බිසව විදිහට අභිෂේක කරනවට ඔහුගේ ඇමතිවරු කැමති වුණේ නෑ. අන්තිමට කරන්න දෙයක් නැතිව කුවේණිත් දරුවන් දෙන්නාවත් මාලිගාවෙන් පන්නලා දාන්න විජය රජුට සිදු වුණා. තමන් ආදරය කරපු විජයට රජ කම අරගෙන දෙන්න ඒ වන විට පාලනය හිමි වෙලා තිබුණු තමන්ගේ නෑයන් මරවපු නිසා කුවේණි එක්ක නෑයන් ටික නයි වෛරෙන් හිටියේ. මේ නිසා ඇය උදව් ඉල්ලා ගෙන නෑයන් ලඟට ගියාම නෑයන් ඇයව මරලා දැම්මා. බය වුනු දරුවන් දෙන්නා කැලේට පැනල ගියා. මේ දරුවන් දෙන්නා එකිනෙකා සමග ආවාහ වීම නිසා වැදි පරම්පරාව බිහි වුණා කියලයි මහා වංශය කියන්නේ.

මේ කතාවේ අමතක වුනු පැත්ත තමයි කුවේණි. යක්ෂ පෙළපතට අයත් ඇය විජය එන්නත් කලින් ඉඳන්ම ලංකාවේ පදිංචිකාරියක්. මේ නිසා වැද්දන් කියන පිරිස බිහි වෙන්නේ ඔය සේරටම කලින්, කුවේණි හා ඇගේ නෑයන් වැදි පරම්පරාවටම අයත් ගෝත්‍රයක් කියලත් මතයක් තියනවා. කොහොම වුණත් දැනට පිළිගන්න තොරතුරු අනුව වැද්දන් බිහි වෙන්නේ කුවේණිගේ දරුවන් දෙන්නා මූලික වෙමින්. (වැද්දන්ගේ ආදම් හා ඊවා මේ දෙන්නා කිව්වත් වරදක් නෑ) මේ විදිහට සැලකුවත් වැද්දන්ගේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 5 හෝ 6 වන සියවස තෙක් විහිදෙනවා. ඒ කිව්වේ ප්ලේටෝ, මහා ඇලෙක්සැන්ඩර් වගේම පැහැදිලිවම ක්‍රිස්තුස් වහන්සේත් බිහි වෙන්නත් කලින්. (කුවේණි වැදි පරම්පරාවේ කෙනෙක්, ඇය අයත් යක්ෂ ගෝත්‍රය රාවණාගේ කාලයේ හෝ ඊටත් පෙර සිට පැවත එනවා කියලා හිතුවොත් වැද්දන් ලෝකයේ පැරණිම ජන කොට්ඨාසයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කිව්වේ නයිල් හා මිසර ශිෂ්ටාචාර තරම්ම හෝ ඊටත් වඩා පැරණියි!)

මේ තරම් විශාල ඉතිහාසයක් තිබුණට කාලයත් එක්ක ඔවුන්ගේ අනන්‍යතාවය ටිකෙන් ටික මැකිලා ගිහින් තියෙන්නේ. ගල් ඔය ඉන්න වැදි කණ්ඩායම බොහෝ දුරට ඒ පළාතේ ඉන්න සිංහල ජනතාව එක්ක හොඳටම මුහු වෙලයි ඉන්නේ. අපි ඔවුන්ගේ නායකයා වුණු වන්නි ඇත්තෝ මුණ ගැහුණා. අවුරුදු 51ක් වයස ඔහුගේ සම්පුර්ණ නම “අනිගල මහබණ්ඩාරගේ සුදා වන්නි ඇත්තෝ”. ඇඟ පතින් ඔහු තවමත් අතීත යක්ෂ ගෝත්‍රයට උරුම කම් කියන්නෙක් බව පේනවා. මිටි සිරුර, පුංචි උරහිස්, ශක්තිමත් කුඩා අත පය හා කළු පැහැ සම මේ බව කියා පෑවා.

නායකයා එක්ක කතා බහ

වැදි නායකයා ඉන්නේ වැද්දන්ට අයත් සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසිලා. නිලුයි, සුදුයි ඉරි වැටිච්ච සරමක් ඇඳලා, ඉන වටේ වැලකින් පිළිවෙලට ගැට ගහගෙන, වම් උරහිසේ පොරොවක් එල්ලා ගත්තු ඔහු අපිව පිලි ගත්තේ වැද්දන්ටම ආවේණික අතට අත දීමකින්. මේක බටහිර හෑන්ඩ් ෂේක් එකට ටිකක් සමානයි, නමුත් අපි පස්සේ දැන ගත්තා මේකේ අරමුණ අපි ළඟ ආයුධ තියනවද බලන එක කියලා. පොඩි හැඳින්වීමක් කරලා අපි ටික ඔහුත් එක්ක ඝන කැලෑව ඇතුලට යන්න පිටත් වුණා.

වැදි නායකයා නිතර ප්‍රයෝජනයට ගන්නා බෙහෙත් පැළෑටි පෙන්වමින්.

වැදි නායකයා නිතර ප්‍රයෝජනයට ගන්නා බෙහෙත් පැළෑටි පෙන්වමින්.

වැදි නායකයා ඝන කැලය මැද්දෙන් ඇවිදගෙන ගියේ පාවහන් කිසිවක් දාන්නේ නැතිවයි. කටු පිරුණු පාරවල්, ඇළ දොළවල්, ගල් කඳු දිගේ ඔහු කිසිම අපහසුවකින් තොරව ඉදිරියට ගියා. වයසේ හැටියට ඔහුගේ දෙපා හරිම පොඩියි. ඒ වගේම ඔහුගේ පා ඇඟිලි පවා තිබුණේ අසාමාන්‍ය විදිහට දෙපැත්තට විහිදිලා. මම හිතන්නේ කාලයක් තිස්සේ විවිධාකාර කැලෑ අස්සේ ඇවිදලා ඔවුන්ට සමබරතාව හොඳින් රැක ගන්න ඇති වුණු පරිණාම ලක්ෂණයක් වෙන්න ඇති මේක.

සම්ප්‍රදායට වඩා නොමැරී සිටීම වැදගත් වූ හැටි

අපි ඔහු එක්ක බොහොම අමාරුවෙන් ගමන් කරන අතරේ ඔහු අපිට තමන්ගේ පරම්පරාවේ අතීත කතාව කියලා දුන්නා. ගල් ඔය වාරිමාර්ග ව්‍යාපෘතිය යටතේ ඔවුන් ජීවත් වුනු දණිගල වැදි ගම්මානය ජලාශයකට යට වුනාට පස්සේ ඔවුන්ට රතුගල පදිංචියට එන්න සිද්ධ වුණා. ටිකෙන් ටික සංවර්ධනය වෙන ලෝකෙත් එක්ක ඔවුන් කොන් වෙලා ගිහින් තියෙන්නේ; ඔවුන්ගේ අවසානය එන්න එන්නම ලං වෙනවා. ඔහු කියන විදිහට ගල් ඔය ප්‍රදේශයේ වැදි පවුල් 80ක් විතර හිටියත් ඔවුන් හැමෝම වගේ ඒ ආසන්න ගම් වල ජීවත් වෙන සිංහල මිනිස්සු විදිහටම ජීවත් වෙන්න පුරුදු වෙලා. තවමත් පාරම්පරික මදු ගැහීම (උගුල් ඇටවීමක්) කරලා සත්තු අල්ලා ගත්තත් දැන් දැන් කැලෑ එලි පෙහෙළි වෙලා සතුන් හිඟ නිසා කෑම හරිම හිඟයිලු. සම්ප්‍රදායට වඩා නොමැරී ඉන්න එක වැදගත් නිසා අවුරුදු දහස් ගානක් තමන්ගේ මිනිස්සු කාපු දඩ මස්, මී පැණි සහ පලතුරු කෑම අත හැරලා සිංහල මිනිස්සු වගේ බත් මාළුපිණි කන්නයි වැද්දන්ටත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ.

වැදි නායකයාගේ අදහස අනුව වැදි පරම්පරාව තව වැඩි කාලයක් ඉතුරු වෙලා තියෙන එකක් නැහැ. තමන් මොන තරම් වැදි චාරිත්‍ර ආරක්ෂා කර ගන්න හැදුවත් ඒවා සාර්ථක වන්නේ නැහැලු. තමන්ගේ පවුල ගැනම උදාහරණයට ගන්න ඔහු කියන්නේ තමන්ට දරුවන් දෙන්නෙක් හිටියත් ඒ දෙන්නම වැද්දන් විදිහට ජීවත් වෙන්න කිසි කැමැත්තක් නැහැ කියලයි. ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ ගොවි තැනට බහින එකයි ඒ දෙන්නාටම ඕන වෙලා තියෙන්නේ. හැම වැදි දරුවෙක්ම දැන් ප්‍රදේශයේ ඉස්කෝල වල අධ්‍යාපනය ලබනවා අනිත් දරුවන් වගේම. හැම කෙනෙක්ම එක්කෝ ගොවි තැන් කරන්න හරි, කුලී වැඩ කරන්න හරි යොමු වෙලා. මේ නිසා තමන්ගේ වැදි චාරිත්‍ර කියලා දෙන්න වැඩිහිටියන් මාසෙකට සැරයක් දරුවන් සේරම එකතු කරගෙන වැඩසටහන් තියනවා.

තමන්ගේ දරුවන් වැද්දන් විදිහට ඉන්න ආස නැති වුණත් වැදි නායකයා නම් බොහොම ආඩම්බරයෙන් තමන්ගේ ජාතිය ගැන හිතන කෙනෙක්. තමන්ගේ දඩයම් හැකියාව, තමන් දන්න බෙහෙත් පැළෑටි එහෙම ඔහු අපිට පෙන්නුවේ හරිම උනන්දුවෙන්. තව ඉවසන්න බැරි තරම් ගඳක් තියෙන තදින් ඇලෙන ගම් ජාතියකුත් ඔහු අපිට පෙන්නුවා. මල් පොහොට්ටුවක් වෙච්ච මේක තමයි ඔවුන් සුපර් ග්ලූ විදිහට පාවිච්චි කරන්නේ.

මේ වගේ වටිනා සිරිත් විරිත් තව පරම්පරා දෙක තුනක් යන්න කලින් නැති වෙලා යයි කියලා ඔහු කියපු දේ කණගාටුවෙන් වුණත් අපිටත් පිළි ගන්න සිද්ධ වෙනවා. ඒත් ඔවුන්ගේ සංස්කෘතිය යම් කාලයක වඳ වෙලා යන එක වළක්වන්න නම් බැරි වේවි. දියුණු වෙන සමාජය තුළ ඔවුන් කොන් වෙලා යන නිසා ජීවත් වෙන්න නම් වැදි කම අත හරින්න සිද්ධ වෙන තැනට ඔවුන් අද පත් වෙලා තියෙන්නේ.

වැද්දන් ගැන තොරතුරු බිඳක්

වැදි ඉණිමග. මී වද කැඩීම සඳහා මෙහි ඉතා ප්‍රවේසමෙන් නැගිය යුතුයි.

වැදි ඉණිමග. මී වද කැඩීම සඳහා මෙහි ඉතා ප්‍රවේසමෙන් නැගිය යුතුයි.

  • වැද්දන් බොහෝ විට දඩ මස් කල් තියා ගන්නේ මී පැණි වල ඔබලා තියලයි. මේ සඳහා විශාල ප්‍රමාණයේ සතුන් වගේම විශාල මී පැණි ප්‍රමාණයකුත් අවශ්‍යයි. ඔවුන් මේ වගේ මී වද කිහිපයක්ම කඩලා තමයි අවශ්‍ය කරන මී පැණි ප්‍රමාණය ලබා ගන්නේ.
  • මේ තැඹිලි පාට ලොකු ගෙඩිය කිහිප වරක් පෙඟවීම හා වේලීම කළාට පස්සේ පිටි වගේ දෙයක් බවට හැරෙනවා. 

    වැදි පලතුරක්.

    වැදි පලතුරක්.

  • වැද්දන් හඳුන්වන තවත් නමක් තමයි වන්නිය-ලැත්තෝ. (කැලෑවේ ජීවත් වෙන පිරිස) ඔවුන්ගේ සමාජයේ දකින්න තියන්නේ මව මූලික වුණු පැවැත්මක්. මේකට ප්‍රධාන හේතුව ඔවුන් කුවේණියට මව් පසින් නෑදෑ වෙන එකයි.
  • වැද්දන් හා සිංහල ජනයා අතර මිශ්‍ර විවාහ සිදු වීමත් ඔවුන්ගේ අනන්‍යතාවය නැති වෙන්න බල පෑවා. මීට අමතරව වැදි තරුණියන් ගණිකා සේවයේ යෙදවීම සහ මැද පෙරදිග රැකියා දෙන බවට මුලා කර ලිංගික වහල් කමේ යෙදවීම වගේ කරුණුත් බල පෑ බවට මානව විද්‍යාත්මක සාක්ෂි දකින්න පුළුවන්.
  • අතීතයේ සිටම ලංකාව ගැන ලියවුනු සියලු ඉංග්‍රීසි පත පොතෙහි වැද්දන් වෙත සුවිශේෂී තැනක් ලබා දී තිබුණා. ලංකාවට ඔවුන් කොයි තරම් ඓතිහාසික වටිනා කමක් තියන පිරිසක්ද කියා දැන ගන්නට නම් ඒ වගේ පොත් කියවා බලන එක ඉතා වැදගත්.

අපි මේ රටේ ඇත්ත වැද්දන් දකින අන්තිම පරම්පරා දෙක තුනෙන් එකක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. නමුත් ඒ ඛේදනීය ඉරණමෙන් ඔවුන් ගලවා ගන්නට අපි කාටවත් දැන් බැරි තරම්. ලෝකය පුරා වඳ වී ගිය සත්ව කොට්ඨාශ වගේ ඔවුනුත් තමන් වටා පරිසරය වෙනස් වෙද්දී එය දරා ගන්න නොහැකිව වඳ වෙන පිරිසක්. පවතින තත්වය එක්ක වැද්දන් විදිහට ඉඳලා ඔවුන්ට අනාගතයක් නැහැ. මේ නිසා ඔවුන් මේ රටේ පොදු ජනතාව ජීවත් වෙන ක්‍රමයට හැඩ ගැසෙන්න අවශ්‍යයි. ඒ තුල ඔවුන්ට ශාරීරිකව වඳ නොවී ජීවත් වෙන්න අවස්ථාවක් ලැබේවි. නමුත් ඔවුන් සංස්කෘතික වශයෙන් වඳ වෙලා යන එක වළක්වා ගන්න කිසිවෙකුටත් බෑ. ඒ නිසා හැකි තරම් ඉක්මනින් මේ ලංකාවේ සැබෑ උරුමක්කාරයන්ගේ අවසාන පුරුක දැක ගන්න, ඔවුන් ගැන ඉගෙන ගන්න, දැනුම එක් රැස් කරන්නට හැමෝම උනන්දු වෙන්න. ඔවුන්ගේ උරුමය අපේ හිත් වල හෝ ආරක්ෂා කර ගන්නට කළ හැකි එකම දේ එපමණයි.

Related Articles