Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයුක්ති සහගත සම්ප්‍රදායට පළමු ගල ගැසූ ඉතාලි තරුණිය – ෆ්‍රැන්කා වියෝලා

කන්‍යාභාවය පිළිබඳ ව ඇති විවිධ පසුගාමී අදහස් නිසා සමාජය විසින් ගොඩනගා ගන්නා විවිධ සම්ප්‍රදායයන් වෙයි. මෙය ලොව පුරා විවිධ රටවලින් විවිධ කාලවල විවිධාකාර පුවත් ලෙස අසන්නට දකින්නට ලැබෙන්නකි. මෙම කතාව ඉතාලියෙන් ඇසුන ද අප රටට ද නුපුරුදු පුවතක් නොවේ. විවාහයට පෙර කන්‍යාභාවය අහිමි වීම යනු අවලංගු කාසියක් බවට පත්වීමක් ලෙස සැලකීම නිසා ඉන්පසු ව ඇයට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය ද අහිමි කරනු ලැබේ. මෙම පුවත විවාහයට පෙර ආදර සබඳතාවක දී ඇති වන ලිංගික සබඳතාවක් නිසා කන්‍යාභාවය අහිමි වීමක දී එවන් තත්ත්වයකට මුහුණ දීම ගැන පුවතක් නොවේ. ඉතාමත් ම අසාධාරණ වූ සම්ප්‍රදායයක් සමග බැඳුණු රජයේ නීතියක් පිළිබඳ කතාවකි.

කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක්වීමකින් පසු ව අදාළ අපයෝජනය සිදු කළ තැනැත්තාට ම එම කාන්තාව විවාහ කරදීමේ සම්ප්‍රදාය බිඳ දැමීමට කටයුතු කළ ළාබාල තරුණියකගේ පුවතකි. එක් පසෙකින් අපරාදකරුට දඬුවමක් ලෙස ද, කන්‍යාභාවය අහිමිවීම නිසා දැනටමත් අවලංගු කාසියක් ලෙස සලකන තරුණියට විකල්පයක් ලෙස ද සලකා පවත්වාගෙන ආ මෙම සම්ප්‍රදාය ඉතාලියේ දී අභියෝගයට ලක්කරන්නේ 1960 දශකයේ දී ය. එය සැබෑ ලෙස ම අපයෝජනයට ලක් වූ තැනැත්තියට, අපයෝජනය වීමේ වරදට ලබාදෙන දඬුවමක් වැනි ය. වින්දිතයාම නැවත වරක් වින්දිතයෙකු කරනු ලැබූ මෙම සම්ප්‍රදායට පළමුවෙන් ම අභියෝග කළ ෆ්‍රැන්කා වියෝලාගේ කතාව යි මේ.

ෆ්‍රැන්කා වියෝලා (gettyimage)

වියෝලා උපත ලැබුවේ 1948 ජනවාරි 9 වන දා ඉතාලියට අයත් සිසිලි දිවයිනේ ඇල්කාමෝ නගරයේ ගොවි පවුලක ය. වයස අවුරුදු 15 දී ෆිලිප්පෝ මෙලෝදියා නම් තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් අරඹන වියෝලා ඔහු සමග පසු ව විවාහ වීමේ එකඟතාවක් ද ඇති කර ගනියි. ෆිලිප්පෝ වයස අවුරුදු 20 දී පමණ සිට ඉතාලියේ ක්‍රියාත්මක මාෆියා කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් සිටි අතර, එහි ප්‍රතිපලයක් ලෙස ම ඔහු ව සොරකමක් නිසා සිරභාරයට පත්වෙයි. ඒ සමග වියෝලා විසින් ෆිලිප්පෝ පිළිබඳ තිබූ බලාපොරොත්තු අත්හැර දමා ආදර සම්බන්ධය නවතා දමන ලදී.

collection of daisy alioto

සිරෙන් නිදහස් වී පැමිණි ෆිලිප්පෝ මෙය අසා කුපිත වූ අතර නැවත තමන් සමග එක්වන ලෙසට බලපෑම් කරන ලදී. වියෝලාටත්, ඇගේ පවුලටත් මේ නිසා විවිධ තර්ජනයන්ට ද මුහුණ දීමට සිදු විය. අවසානයේ ෆිලිප්පෝ විසින් තීරණයක් ගන්නා ලදී. තම අරමුණ ඉටුකර දිය හැකි සම්ප්‍රදායයක් මෙන්ම නීතියක් ද ඉතාලියේ ක්‍රියාත්මක නිසා ඔහු වහා ම ක්‍රියාත්මක විය. වියෝලාව කෙසේ හෝ හිමිකර ගැනීමේ අරමුණින් ෆිලිප්පෝ මිතුරන් පිරිසක් ද සමග ගොස් 1965 දෙසැම්බර් මස 26 වන දා වියෝලාව පැහැරගෙන ගොස් ගොවිපළක රහසිගත ව සිරකර තබන ලදී. තම ආශාවන් මෙන්ම අරමුණ ද ඉෂ්ට කරගැනීමේ අරමුණින් එසේ තමන්ගේ සිරභාරයේ තබාගත් සතියකට වැඩි කාලය තුළ ෆිලිප්පෝ විසින් ඇය ව අවස්ථා ගණනාවක් ලිංගික අපයෝජනයට ලක් කරන ලදී. පොලීසිය විසින් ඇය ව සොයාගන්නා ලද්දේ පැහැරගෙන දින 8කට පසු ව ය. ඒ වන විට නව වසරක් ද උදා වී තිබුණි.

නිදහස් කරගැනීමෙන් පසු ව පොලීසියේ දී (collection of daisy alioto)

දැන් ඇය ලිංගික අපයෝජනයට ලක් වූ තරුණියකි. ඇගේ ගෞරවාන්විත බව අහිමි වී ඇති බව සමාජයේ පොදු පිළිගැනීම යි. ඇයට සමාජ සම්ප්‍රදාය විසින් ලබා දී ඇති විකල්ප දෙකකි. අපයෝජකයා සමග විවාහ ජීවිතයට ඇතුළත් ව තම ගෞරවය ආරක්ෂා කරගැනීම හෝ සදාකාලික ව ගෞරවය කෙලෙසුණු තැනැත්තියක් ලෙස ජීවත් වීම ය. ඉතාලි නීති පද්ධතිය තුළ පැවති ‘හානිපූර්ණ විවාහ ක්‍රමය’ යටතේ අපයෝජනය සිදු කළ තැනැත්තා විසින් අදාළ කාන්තාව විවාහ කරගැනීමට දෙපාර්ශවය ම එකඟ නම්, ඔහුට එරෙහි චෝදනාව වන අපයෝජනය කිරීමේ වරදට සමාව ලබා දී නිදොස්කොට නිදහස් කරනු ලැබේ. එසේ ම සමාජ සම්ප්‍රදාය අනුව අහිමි වූ ගෞරවණීය බව ද අදාළ කාන්තාවට හිමි වේ. දෙදෙනාට ම හානිපූර්ණය වන්නේ එලෙස යි.

collection of daisy alioto

සුපුරුදු ලෙස වියෝලා ද සාම්ප්‍රදායික ලෙස විවාහය සිදු කර ගනිමින් ගැටලුව අවසන් කරනු ඇති බව බෙහෝ දෙනා විශ්වාස කළ නමුත් වියෝලා ඊට ප්‍රතිවිරුද්ධ ව ෆිලිප්පෝට විරුද්ධ ව ලිංගික අපයෝජනය සහ පැහැරගැනීමේ චෝදනා ඉදිරිපත් කරමින් නඩු පවරන ලදී. ‘මම ඔබට ආදරේ නැහැ. මම ඔබ සමග විවාහ වන්නේ නැහැ’ වියෝලා තහවුරු කරන ලදී. මෙම සිදුවීම ඇල්කාමෝ පමණක් නොව ඉතාලියේ ම අවධානයට ලක් වූයේ ඇගේ මෙම සම්ප්‍රදාය විරෝධී තීරණය නිසා ය. නඩුවාර දිනයන්හි දී උසාවි භූමිය එක ම හිස් ගොඩක් වූ උණුසුම්කාරී ස්ථානයක් විය. සියලු මාධ්‍යවල ප්‍රමුඛ අවධානය හිමි විය. පොදු සමාජයෙන් වියෝලා සහ ඇගේ පවුලට චෝදනා එල්ල විය. නමුත් ඇය සටන අත්හැරියේ නැත. ඇගේ මෙම අභීත සටන නිසා ඉතාලි ජනපති පවා ඇය කෙරෙහි පැහැදුණි.

ෆිලිප්පෝ මෙලෝදියා (collection of daisy alioto)

අවසානයේ අධිකරණය විසින් ෆිලිප්පෝ මෙලෝදියා වෙත වසර 11ක සිර දඬුවම් නියම කරන ලදී. පසු ව එය වසර 10ක් බවට අභියාචනයක දී තීන්දු විය. දස වසරක සිර දඬුවම අවසානයේ ෆිලිප්පෝ 1976 දී නිදහස ලැබූ අතර සිසිලි දිවයිනෙන් ඔහු ව පිටුවහල් කරන ලදී. වසර දෙකකට පසු ව ඉතාලියේ මොදීනා නගරයේ දී වෙඩි පහරකින් ඔහු මිය ගියේ ය.

මාධ්‍යයෙන් ආවරණය කරමින් අධිකරණයට රැගෙන එන වියෝලා (collection of daisy alioto)

ෆ්‍රැන්කා වියෝලා විසින් සිදු කළ මෙම ක්‍රියාවෙන් පසු ව මෙලෙස වින්දිතයන් බවට පත් වූ තරුණියන් බොහොමයක් තම අපයෝජකයා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් විය. ඉතාලිය තුළ මෙම විවාහ නීතිය වෙනස් කිරීමට පළමු බලපෑම ඇති වූ සිදුවීම ද මෙය යි. අවසානයේ මෙම හානිපූර්ණ විවාහ නීතිය අහෝසි කරන ලද්දේ 1981 දී පමණ ය.

අධිකරණය මිනිසුන්ගෙන් පිරීගිය අයුරු (collection of daisy alioto)

1968 දෙසැම්බරයේ දී 20 හැවිරිදි වූ වියෝලා විසින් තම ළමා වියේ මිතුරෙකු වූ 25 වියැති ගුසේප්පා රුයිසි හා විවාහපත් විය. ඇය දැනටමත් රටපුරා ප්‍රකට චරිතයක් ව සිටි අතර ඇය කෙරෙහි පැහැදී සිටි ඉතාලි ජනාධිපති ගුසේප්පා සරගාත් විසින් ඇගේ විවාහ උත්සවය දා ඇය ව අගයමින් ත්‍යාගයක් ද පිරිනැමීය. එසේ ම ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඔවුන් දෙදෙනාට විවාහයේ සිට මසක් සඳහා නොමිලේ දුම්රිය ප්‍රවාහන පහසුකම් ද සලසා දෙන ලදී.

Viola, Franca කෙටි චිත්‍රපටය (imdb)

ෆ්‍රැන්කා වියෝලා දැනට 70 වන වියේ පසුවන අතර තම උපන් නගරය වන ඇල්කාමෝහි සැමියා සමග දිවි ගෙවයි. දරුවන් දෙදෙනෙකු සහ මුණුබුරන්ගෙන් ද ඔවුන්ගේ පවුල සමන්විත ය.

ෆ්‍රැන්කා වියෝලා (ilpost)

Cover: labottegadelmistero.altervista.org

මූලාශ්‍රයයන්:

forgottenfeminists.com

mashable.com

cambridge.org

Related Articles