ලංකාව, ලෝකයට ගෙන ගිය විශිෂ්ටයෝ තිදෙනෙක්

 යටත්විජිත යුගයේ උපත ලද විද්වතුන් බහුතරයක් ලැබුවේ, බටහිර අධ්‍යාපනයක්. ඔවුන් පශ්චාත් උපාධි පවා ලැබුවේ ලන්ඩන් විශ්වවිද්‍යාලවලින්. එසේ වූවත් සිංහල සංස්කෘතිය සහ ඉතිහාසය ගැන ලෝකයට පැවසීමට ඒ සමහරුන්ගේ පර්යේෂණ කෘති දැක්වූයේ ඉමහත් දායකත්වයක්. අද කතාබහ නොවන එවැනි විද්වතුන් තිදෙනකු ගැන යි මේ.

මහාචාර්ය විජේසේකරගේ යතුරු පුවරුව

මහාචාර්ය නන්දදේව විජේසේකර- සේයාරුව සැපයීම – Nimesha Thivankara Senevipala

බොහෝ දෙනකු මහාචාර්ය නන්දදේව විජේසේකර දන්නේ ටයිප් රයිටර්වල සිංහල යතුරු පුවරුව නිර්මාණය කළ ශිල්පියා වශයෙන් පමණ යි. අලුත් පරම්පරාව නම් ඒක දන්නෙත් නැහැ. විජේසේකර යතුරු පුවරුව අදත් පරිගණකවල දී සිංහල යතුරු ලියනය කිරීමට යොදා ගන්නවා. ඔහු ලන්ඩන්, කේම්බ්‍රිජ්, වියානා සහ කල්කටා වැනි ලෝකයේ විශ්වවිද්‍යාල පහකින් ම ඉගෙනගෙන ලතින්, ප්‍රංශ, ජර්මන්, හින්දි සහ බෙංගාලි ආදී භාෂා දහයකටත් අධික ව කතා කරන්නට පුළුවන්කම තිබූ කෙනෙකු බව හුඟදෙනකු නොදන්නා දෙයක්.

 විජේසේකර යතුරු පුවරුව- researchgate.net

මහාචාර්ය විජේසේකර මෙරට බිහි වූ ප්‍රථම සිංහල මානව විද්‍යාඥයා ලෙස සැලකෙනවා. මහාචාර්ය විජේසේකරයන්ට ලැබුණ එකම රැකියාවකින්වත් මානව විද්‍යාවෙන් ලබාගත් දැනුම ප්‍රායෝගික ව හසුරුවන්නට ඉඩ ලැබුණේ නෑ. ඔහු සිය පර්යේෂණ කෘතිවලින් මානව විද්‍යා දැනුම ලෝකයට ම බෙදුවා. ආචාර්ය අමරදාස වීරසිංහගේ මතය; අපේ රටේ බිහිවුණු ප්‍රථම ජනශ්‍රැතිවේදියා ද මහාචාර්ය විජේසේකර බව යි.
1908 දෙසැම්බර් 11 වැනිදා බෙන්තර දී උපත ලද ඔහු, ගමක ඉපදී නගරයට පැමිණ ශාස්ත්‍රීය දිවියක් ආරම්භ කළ කෙනෙක්. නානායක්‌කාරවසම් ගොඩකන්දේ ආරච්චිගේ දොන් ඩැනියෙල් ද සිල්වා විජේසේකර ඔහුගේ සම්පූර්ණ නම යි. සිය පවුලේ පස්‌වැනි දරුවා වූ ඔහු, මූලික අධ්‍යාපනය ලැබුවේ වලගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන්. ඉන්පසු, 1919 ජනවාරි 19 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වී ද්වීතියික අධ්‍යාපනය ආරම්භ කළා. පසුව, උසස් අධ්‍යාපනය සඳහා කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් වුණා. ඒ කාලයේ ඔහු එහි ක්‍රිකට්‌ කණ්‌ඩායමෙහි නායකත්වය ද දැරුවා. පාපන්දු, රගර්, බොක්‌සිං සහ ටෙනිස්‌ ක්‍රීඩකයකු ලෙසට ද එකල ඔහු ජනප්‍රිය යි. මානව හා පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වූයේ ඔහු ම යි.

මහාචාර්ය විජේසේකර වටිනා පොත් රැසක් ඉංග්‍රීසියෙන් ලියා සිංහල සංස්කෘතියේ අගය බටහිරට රැගෙන යාමට ද දායක වුණා. ආදීවාසීන් ගැන ඔහු ලියූ Veddas in Transition (වැද්දන්ගේ විකාශන ක්‍රමය) ඒ අතර සුවිශේෂි යි. එය, සී. ජී. සෙලිග්මාන්ගේ ‘වැද්දාස්’ කියන කෘතිය සමඟ සමතැන්හි ලා සැලකිය හැකි බව ඇතැම් උගතුන්ගේ මතය යි. එම පොත ලිවීමට ඔහු දීර්ඝ කාලයක්‌ වැදිගම්වලට ගොස්‌, වැදි ජනතාවගේ සම්භවය ගැන කරුණු රැස් කළා. Heritage of Sri Lanka, Contact and Conflicts With Sri lanka, Deities and Demons Magic and Masks, The Sinhalese ආදී කෘති රාශියක් ද ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙනවා. එම කෘති අතරින් සමහරක සිංහල පරිවර්තනයන් ද සිදු කළා. ලංකාවේ පැරණි බිතු සිතුවම් (1964), පැරණි ප්‍රතිමා ශිල්පය (1970), වෙස්‌මුහුණු හා කෝලම් නැටුම් (1983), තෝරාගත් ලිපි සංග්‍රහය (1987), සිංහල සාහිත්‍යයේ සංඥානාම කෝෂය (1988), ශ්‍රී ලංකාවේ උරුමය (1984), සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ (1983), සහ ඩී. බී. ජයතිලක චරිතය (1973) ආදිය එම සිංහල පොත් අතරින් කිහිපයක්.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය ආරම්භ කිරීමටත් පුරෝගාමී වුණේ, මහාචාර්ය විජේසේකර යි. ලෝකප්‍රකට ‘MAN’ සඟරාවට ඔහු ගිරිදේවිය හා දළ කුමාරයාගේ කතාව, පත්තිනි ඇදහීම, නාග සංකේත හා බිලි පූජා ගැන අර්ථ විවරණය කරමින් ශාස්‌ත්‍රීය ලිපි රාශියක් ද ලියා තිබෙනවා.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය ඔහුට ‘පුරාවිද්‍යා චක්‍රවර්ති’ ගරුනාමය ද, ප්‍රාචීන භාෂෝපකාර සමිතිය ‘පණ්‌ඩිත’ නාමය ද පිරිනැමුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සාහිත්‍යසූරී සම්මාන උපාධිය ද ඔහුට පිරිනැමුවා. 1999 අගෝස්‌තු මස 03 වැනිදා ‘විජේසේකර සලකුණ’ මිහිපිට තබා ඔහු නික්මුණා.

උඩරට සමාජ රහස් සෙවූ, මහාචාර්ය රැල්ෆ් පීරිස්

 මහාචාර්ය රැල්ෆ් පීරිස්- සේයාරුව – සිංහල සමාජ සංවිධානය කෘතියෙනි – විසිදුනු ප්‍රකාශන 

1924 යටත්විජිත සමයේ උපන් රැල්ෆ් පීරිස්, මුලින්ම උසස් අධ්‍යාපනය ලැබුවේ ලංකා විශ්වවිද්‍යාලයෙන්. විශිෂ්ට ඉතිහාසඥයකු ලෙස සැලකෙන පෝල් ඊ. පීරිස් ඔහුගේ පියා යි. එවකට විශ්වවිද්‍යාල කොලීජිය ලෙස හැඳින්වූ කෙළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් රැල්ෆ්, ආර්ථික විද්‍යා උපාධියක් ලබාගත්තා. පසුව, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියක් සහ සිය ආචාර්ය උපාධිය ද ලබාගන්නවා. ඔහු තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1951 දී ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස යි. පසුව ඔහු, 1958 දී ඉන්දියාව බලා යනවා. ඒ, යුනෙස්කෝ ආසියානු පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරියකු වශයෙන් සේවය කිරීමට යි. ඉන්පසුව ඔහු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය තනතුරට පත් වෙනවා. 1967 දී එම තනතුරින් විශ්‍රාම ගන්නා ඔහු, ඉන්දියාවේ නව දිල්ලි හි යුනෙස්කෝ ආර්ථික වර්ධන ආයතනයට සම්බන්ධ වෙනවා. බැංකොක් හි එක්සත් ජාතින්ගේ ආසියානු සංවර්ධන ආයතනය, යුනිසෙෆ් ආයතනය සහ හවායි විශ්වවිද්‍යාලයේ ඊස්ට් වෙස්ට් කේන්ද්‍රය ආදී ආයතනවලට ද ඔහුගේ සේවය සපයනවා.

 මහාචාර්ය රැල්ෆ් ඉගැන්වූ එකල පේරාදෙණිය සරසවිය- perabeats.lk

ලෝකය ම පිළිගත් විශිෂ්ට සමාජ විද්‍යාඥයකු ලෙස සැලකෙන ඔහුගේ පර්යේෂණ කෘතිවලින් බටහිර ලෝකයට ලංකාවේ සමාජ සිරිත්වල ඉතිහාසමය කරුණු දැනගැනීමට ලැබෙනවා. ඔහුගේ පොත් අතරින් ඉහළින් ම තිබෙන්නේ, සිංහල සමාජ සංවිධානය නමින් 1957 දී එළිදැක්වූ Sinhalese Social Organization හි යන සිංහල පරිවර්තන යි. මහනුවර යුගයේ සිංහල සමාජය හැසිරුණු ආකාරය ගැන කුතුහලය දනවන අගනා තොරතුරු රැසක් එහි ඇතුළත්. ශාස්ත්‍රීය පොතක් වුවත්, පාඨකයා තුළ කියවීමේ උනන්දුව දැල්වෙන භාෂා විලාසයක් එය සතු යි.

සිංහල සමාජ සංවිධානය කෘතිය- facebook

ඔහු ලියූ අනෙක් කෘති අතර Some Aspects Of Traditional Sinhalese Culture (1969), Social Development And Planning In Asia (1976) සහ Asian Development Styles (1977) යනාදි අගනා සමාජ විද්‍යා පර්යේෂණ පොත් ලෙස සැලකෙනවා. මේ පොත් අදටත් විදේශ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා පර්යේෂණවල දී මුලාශ්‍රකොට ගන්නවා. මහාචාර්ය රැල්ෆ් පීරිස් සිය ජීවන ගමන නිම කළේ 1990 දී යි.

මොග්ගලීපුත්ත තිස්ස ධාතු සොයාගත්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද- facebook.com

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, සිංහල බෞද්ධයන් අතර මහත් ගෞරවයක් හිමිකර ගත්තේ මොග්ගලිපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සොයාගත් නිසා යි. ඔහුට ඊට අවස්ථාව ලැබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පර්යේෂණයක් කරන අතරතුර යි. ඔහු, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අධ්‍යයන කරන අතරතුර දී නිතර බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ද පරිහරණය කළා. එහි පොළොව යට පිහිටි පුරාවස්තු ගබඩා කර තිබූ කුටියකට අවසර ගෙන ඇතුළු වූ ඔහුට එක්තැනක ගොඩගසා තිබූ කරඬු කිහිපයක් දැකගැනීමට ලැබුණා. එහි එක් කරඬුවක වූයේ මොග්ගලිපුත්ත තිස්ස රහතන් වහන්සේගේ ධාතු බව එහි සටහන් කර තිබූ අක්ෂර පාඨයකින් ඔහුට පැහැදිලි වුණා.

8 මහාචාර්ය විමලානන්දගේ ශාස්ත්‍රීය කෘති- abebooks.com සහ facebook

මහාචාර්ය විමලානන්දට මාපියන් තැබූ නම වුණේ මුතුබණ්ඩා තෙන්නකෝන්. ඒ නම විමලානන්ද කියා වෙනස් කළේ ධර්මපාලතුමා යි. මහාචාර්ය විමලානන්ද උපත ලැබුවේ, මහනුවර ගුන්නෑපානේ. ඒ ගමට දේශනයක් කිරීමට පැමිණි අනගාරික ධර්මපාලතුමා කුඩා මුතුබණ්ඩා ඔහුගේ මාපියන්ගෙන් ඉල්ලාගෙන වැඩිදුර අධ්‍යාපනය ලබාදීම සඳහා ඉන්දියාවට රැගෙන යනවා. පසුව, ඔහු හැදී වැඩුණේ ධර්මපාලතුමාගේ සෙවණේ.

ඔහු, ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන්. වැඩිදුර අධ්‍යාපනයට ඔහු ශාන්ති නිකේතනයට ද ඇතුළත් වුණා. උඩකැන්දවල සිරි සරණංකර හිමි සහ කුඹල්වැල්ලේ සිරිනිවාස හිමියන් ද ඔහු සිටි කාලයේ ශාන්ති නිකේතනයේ ඉගෙන ගත්තා. ලංකාවට පැමිණ ගුරුවරයකු ලෙස පත්වීමක් ලද ඔහු, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්යවරයකු ලෙස බැඳෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස මහාචාර්යවරයකු ලෙස ද 1965-1975 අතර කාලයේ කටයුතු කරනවා.

9ගුන්නෑපාන තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලය – place.com

ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු ඔහු ඩී. බී. කොඩ්රිංග්ටන්, සර් මෝටිමර් විලර්, කනිංහැම්, ජෝන් මාෂල් වැනි විද්වතුන් යටතේ පර්යේෂණ කොට ආචාර්ය උපාධිය ලබාගත්තා. ඔහුගේ නිබන්ධනය වූයේ ‘ශ්‍රී ලංකාවේ ශිලා ලේඛන’ යන්න යි. මහාචාර්ය විමලානන්ද උඩරට මහ කැරැල්ල ප්‍රමුඛ කෘති ලිවීම සඳහා කරුණු ගවේෂණය කරන්නට ලන්ඩන්, එඩින්බරෝ, පැරිස්, හේග්, ලිස්බන් ආදී කෞතුකාගාරවල ලේඛන පරීක්ෂා කළා. ඔහු උඩරට කැරැල්ල කෘතියට කෙතරම් පැරණි ලේඛන පිටපත් කළා දැයි කිවහොත් දිනක් කඩදාසියට හම මැදී ලේ ගලා ආ බව පැවසෙනවා.

ඔහුගේ පර්යේෂණ කෘති අතර ඉහළින් ම සම්භාවනාවට පත් කෘතියක් ලෙස 1818 උඩරට කැරැල්ල පිළිබඳ ලේඛන එකතුවක් වූ The Great Rebellion 1818 කෘතිය සැලකෙනවා. කාණ්ඩ දෙකක් වශයෙන් ලියූ එය, දෙස් විදෙස් විද්වතුන්ගේ ඇගැයීමට ලක්වූ පොතක්. Glory of Sanchi, Story of the relics, Child Hero of Ceylon, Buddhism in Ceylon Under the Christian Powers, Cultural heritage of Ceylon, Maitland and the affairs of kingdom of Ceylon වැනි ඉංග්‍රීසි කෘති රාශියක් ද ඔහු ලියා තිබෙනවා. මේ පොත් බොහොමයක් සිංහලටත් පරිවර්තනය වී තිබෙනවා.

පැරණි දඹදිව හා ලංකාව, බටහිර සමාජය, පුරාවිද්‍යාව හා ඉතිහාසය, ඓතිහාසික හා ශාස්ත්‍රීය ලිපි, සාංචියේ ශ්‍රී විභූතිය, සිංහලේ ආණ්ඩුක්‍රමය, ලංකාවේ පනස් වසක්, ඩේවි දුටු ලංකාව, ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරය සහ සිංහලයාගේ අනාගතය, පැරණි ලංකාව හා ශිලා ලිපි, සිංහලයේ සංහාරය වැනි සිංහල පොත් පාඨක ප්‍රජාවට තිළිණ කර තිබෙනවා. ගුන්නෑපාන විද්‍යාලය පසුව ඔහුගේ නමින් නම් කෙරුණේ, ඔහුට උපහාරයක් ලෙස යි.

කවරය; මහනුවර පුරාණ පින්තුරයක්- lankapura.com

මූලාශ්‍ර:
ආචාර්ය නන්දදේව විඡේසේකර ශාස්‌ත්‍රීය මෙහෙවර -ලලිත් රණවීර.divaina.com/2013/03/20
සිංහල සමාජ සංවිධානය- රැල්ෆ් පීරිස් - විසිදුනු ප්‍රකාශන 
The people of Ceylon- Nandadeva Wijesekara

Related Articles