Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු, ටෝනි ග්‍රේග්!

ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ලාංකිකයන් අතර ජනප්‍රිය වුණු ටෝනි ග්‍රේග්, දකුණු අප්‍රිකාවේ උපත ලබා පසුකලෙක එංගලන්තයට සංක්‍රමණය වී එහි ක්‍රිකට් කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පසු යුගයේ දී ටෝනි එලෙස ජනප්‍රිය වුණත්, තරුණ වියේ දී ඔහු අකරතැබ්බයන්ට ලක් වුණේ නොහික්මුණු කතා විලාසය නිසාම යි. මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ ටෝනි, ලෝක පූජිත පිතිකරුවෙකු වුණු ඩොනල්ඩ් බැඩ්මන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණු ආකාරය පිළිබඳව යි. 

ටෝනි තරුණ වියේ දී (gettyimages)

බ්‍රැඩ්මන්ගේ රසිකයෙකු වුණු ටෝනිගේ පියා 

ටෝනිගේ පියා වුණු ස්කොට් ජාතික සැන්ඩි ග්‍රේග්, බ්‍රැඩ්මන්ට ඉතාමත් ප්‍රිය කළ තැනැත්තෙක්. එම නිසාම ඔහු බ්‍රැඩ්මන් ගැන කතා කරන අවස්ථාවල දී නිවසේ සිටි අයට වෙනත් කිසිදු දෙයක් ගැන කතා කිරීමට පවා තහනම් වුණා. එලෙස බ්‍රැඩ්මන්ගේ හොඳම රසිකයෙකු වුණු සැන්ඩි, සිය පුත්‍රයා මුල්ම වරට ඕස්ට්‍රේලියාව බලා සංචාරය කළ අවස්ථාවේ ඔහුට අවවාද කළේ බ්‍රැඩ්මන් හමුවීමෙන් පසුව ඔහු ලබාදෙන සෑම උපදෙසක්ම හොඳින් මතක තබාගන්නා ලෙස යි. නමුත්, එම අවධිය වන විට බොඳ වුණු ඡායාරූපවලින් පමණක් ග්‍රේග් බ්‍රැඩ්මන්ව දැක තිබුණු නිසා, බ්‍රැඩ්මන්ගේ සැබෑ ස්වරූපය පිළිබඳව ඔහුට හරි අවබෝධයක් තිබුණේ නැහැ.

ටෝනි ටෙස්ට් තරගයක පන්දු යවමින් (gettyimages)

බ්‍රැඩ්මන්ට අකාරුණික අයුරින් සැලකූ ටෝනි 

මෙම සංචාරයේ දී ටෝනි, ඇකර්මන්, සහ හිල්ටන් මුලින්ම ගොඩබැස්සේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට යි. ඔවුන් එහි ගොඩබසින විට මැදියම් රැය පසු වී තිබුණත්, පර්ත් ක්‍රිකට් ලෝලීන්ගේ සංගමයෙන් ඔවුන්ව  සාදරයෙන් පිළිගෙන භෝජනාගාරය වෙත කැඳවාගෙන ගියා. ඉන් අනතුරුව එම සංගමය මඟින් ලබාදුන් විශේෂ සංග්‍රහය නිසා ටෝනි ඇතුළු පිරිස බෙහෙවින් සතුටට පත් වුණා. එලෙස පර්ත් නුවර දී ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් තෘප්තියට පත් ටෝනි ඇතුළු පිරිස ඉන්පසුව ඇඩිලේඩ් නුවරට ළඟා වුණා. එහි දී ටෝනි සහ  ඔහුගේ මිතුරන්ට ඕස්ට්‍රේලියානු පරිසරය හා ජනතාව හඳුනාගැනීමට මහත් ආශාවක් ඇති වුණා. එම නිසාම ඔවුන් ඇඩිලේඩ් නුවර ක්‍රිකට් බලධාරීන් පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි අවස්ථාවේ පැමිණි අඳුරු පැහැති උපැස් යුගලක් සහ ස්වේටරයක් පැළදගත් පුද්ගලයෙක් ටෝනි ඇතුළු මිතුරන්ව ඇඩිලේඩ් වෙත සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළා.

ඇඩිලේඩ් ක්‍රිකට් පිටිය (gettyimages)

එම අවස්ථාවේ ටෝනි ඇතුළු පිරිසට ආගන්තුක පුද්ගලයාව පෙණුනේ ඔවුන්ට හමුනොවිය යුතු ආකාරයේ පුද්ගලයෙකු ලෙස යි. ඉන් අනතුරුව එම පුද්ගලයා ටෝනි සහ ඔහුගේ සගයන්ට කෝපි පානය කිරීමට ආරාධනා කළා. ක්‍රීඩා ලෝලියෙකු සමග කෝපි පානය කිරීම මදිකමක් ලෙස සැලකූ ටෝනි හා මිතුරන් මේ පුද්ගලයාගෙන් ගැලවීමට මඟක් සෙවීමේ අරමුණෙන් ඔහුට ගමන් මළු භාර දී වැසිකිළිය වෙතට පියමං කළා. නමුත්, පෙර කළ පිනකට මෙන් තිදෙනාම එම අසරණ ක්‍රිකට් ලෝලියාට අනුකම්පා කර ඔහු සමග කෝපි පානය කළ යුතු යැයි තීරණය කළා. ඒ අනුව ආගන්තුක පුද්ගලයා ටෝනි සහ මිතුරන්ව ඔහුගේ සගයන් දෙදෙනෙකු සිටින මේසයක් වෙත කෝපි පානය කිරීම සඳහා කැඳවාගෙන ගියා. ඉන්පසුව කෝපි පානය කරමින් සිටින අතරතුර ආගන්තුක පුද්ගලයා සහ අනිත් පුද්ගලයන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ගැඹුරින් කතා කළා. එහි දී ඔවුන් කතා කළ කරුණු කාරණා අනුව ටෝනි ඇතුළු පිරිසට වැටහුණේ එම පුද්ගලයන් තිදෙනාටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති බව යි. එම නිසාම ටෝනි  ස්වේටරයක් පැළද සිටි පුද්ගලයාගෙන් කාරුණිකව විමසා සිටියේ ඔබට මෙම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධතාවයක් තිබේ ද යන්න යි. එවිට එම පුද්ගලයා සිනාමුසු මුහුණින් කිසිවක් නොකියා නිසොල්මනේ සිටියා. පසුව දිගින් දිගටම සිදුවුණු කතාබහෙන් පසුව ආගන්තුක පුද්ගලයා සහ ඔහුගේ සගයන් දෙදෙනා ඇඩිලේඩ් ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරන බව ටෝනිට තේරුම් ගියා. නමුත් ටෝනි සිතුවේ ඔවුන් තිදෙනා කතා කළේ ගුවන් තොටුපලේ ක්‍රිකට් සමාජය ගැන විය යුතු බව යි.

සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1974 වසරේ දී (gettyimages)

බ්‍රැඩ්මන් ඉදිරියේ ටෝනි ලැජ්ජාවට පත් වෙයි 

එලෙස ටෝනි ස්වේටරය හැඳ සිටි පුද්ගලයාගෙන් අකාරුණික ප්‍රශ්න අසමින් සිටි අවස්ථාවේ දී ටෝනිගේ වාසනාවට ආපන ශාලාවේ දොරෙන් ඇතුළු වුණු සර් ගාෆීල්ඩ් සෝබර්ස් වේගයෙන් ඔවුන් වෙතට පැමිණියා. එහි දී මුලින්ම ස්වේටරය පැළද සිටි පුද්ගලයා වෙතට ගිය සෝබර්ස්, ඔහුගෙන් මුලින්ම විමසා සිටියේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කොහොමද සැප සනීප යන්න යි. සෝබර්ස් එසේ පැවසීමෙන් අනතුරුව ටෝනිට පොළව පලාගෙන යන්නට තරම් ලැජ්ජාවක් ඇති වුණත්, ඔහු සිනාමුසු මුහුණින් සිටියේ වෙන කිසිවක් කිරීමට නොතිබුණු නිසා යි. එදා බ්‍රැඩ්මන් ඉදිරියේ ටෝනි මෝඩයෙකු සේ හැසිරුණත්, හිල්ටන් සහ ඇකර්මන් මුළු කතාබහ පුරාවටම නිහඬව බලා සිටියේ පෙර කළ පිනකට මෙන්. නමුත් එදා ටෝනි මෝඩයෙකු සේ හැසිරුණත්, බ්‍රැඩ්මන් සිනාමුසු මුහුණින් ඒ සියල්ල ඉවසාගෙන හිටියේ ඔහු සතුව තිබුණු අපූරු නිහතමානී බව නිසා යි.

සර් ගාෆීල්ඩ් සෝබර්ස් (gettyimages)

පසුව ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය විස්තර විචාරකයෙකු බවට පත් වුණු ටෝනි 

තරුණ වියේ දී ඔලුව උදුම්මවා ගත් ක්‍රීඩකයෙකු ලෙස හැසිරුණු ටෝනි, පසුව ක්‍රිකට් විස්තර විචාරකයෙකු බවට පත් වුණා. එහි දී ටෝනි, ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව දිරිමත් කරමින් කළ ආකර්ෂණීය විස්තර විචාරය නිසා යි. එම නිසාම දශකයට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර ඉතාමත්ම ජනප්‍රිය වුණු ටෝනිගේ අභාවය පවා ඔවුන්ට දැඩි කණගාටුවක් ඇති කළා.

 ටෝනි 1980 වසරේ දී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- ටෝනි ග්‍රේග් 1996 වසරේ දී (gettyimages)

මූලාශ්‍රය: 

බ්‍රැඩ්මන් යුගය- ප්‍රේමසර ඈපාසිංහ 

Related Articles