Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෂේන් වෝන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන මතක

ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ටත ම පාදඟ පන්දු යවන්නකු වන ෂේන් කීත් වෝන් හදිසියේ ම වැලඳුණු හෘදයාබාධයක් නිසා සිය ජීවන ඉනිම නිමා කළා. එදා මෙදාතුර ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම සිටි මෙම සුපිරි තරුව එක්තරා යුගයක ලොව වැඩි ම ටෙස්ට් කඩුලු ලාභියා ලෙසින් වැජඹුණා.

ක්‍රිකට් පිටියේ දී නාහෙට නාහන දඩබ්බර චරිතයක් වුණු වෝන් ලෙහෙසියෙන් තරගයක් අත් නොහරින ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඔහුගේ එම අපූරු ගති ලක්ෂණය නිසා ඕස්ට්‍රේලියාවට සුවිශේෂී ක්‍රිකට් ජයග්‍රහණ රැසක් උරුම වුණා. 

ෂේන් වෝන් 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී – gettyimages.com

 

වසර 15ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මෙම විශිෂ්ට ක්‍රීඩකයා තරග 339ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. එම කාලය තුළ වෝන් දැක්වූ සුවිශේෂී දස්කම් පිළිබඳ අදටත් බොහෝ ක්‍රීඩා ලෝලීන් කතා කරනවා. වෝන්ගේ ක්‍රිකට් දිවිය සම්බන්ධ රසවත් සිදුවීම් රැසක් තිබෙනවා. වෝන්ගේ ක්‍රිකට් දිවිය සම්බන්ධ එම අමතක නොවන මතක කිහිපයක් මෙතැන් සිට ඔබ හමුවේ දිග හැරෙනවා.

බෝඩර්ගේ විශ්වාසය දිනා ගත් යොවුන් දඟ පන්දු යවන්නා 

1992 ජනවාරි 2 වැනිදා ඇරඹුණු ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී ෂේන් වෝන් ටෙස්ට් වරම් දිනා ගත්තා. සිඩ්නි පිටියේ පැවති එම තරගය පුරාවට දුර්වල පන්දු යැවීමක නිරත වුණු වෝන් ලකුණු 150ක් ප්‍රතිවාදීන්ට ලබා දී දවා ගත්තේ එක් කඩුල්ලක් පමණ යි. එම තරගාවලිය යටතේ ඇඩිලේඩ් හි පැවති ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කළ වෝන් ප්‍රතිවාදීන්ට ලකුණු 78ක් ලබාදෙමින් කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

එම තරගාවලිය නිමා වෙද්දී වෝන්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය අගය 228ක් තරම් ඉහළ අගයක් ගත්තා. එතරම් දුර්වල පන්දු යැවීමක නිරත වුණු වෝන් එම වසරේ අගෝස්තු මාසයේ පැවති ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ද තෝරා ගත්තා. ඒ ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්ගේ ඉල්ලීමකට අනුව යි.

වෝන් සිය මංගල ටෙස්ට් තරගයේ දී – gettyimages.com

 

ශ්‍රී ලංකාවට එරෙහිව එස්එස්සී පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී වෝන් නැවතත් දරුණු ප්‍රහාරයකට ලක් වුණා. එදා ඔහුගේ පන්දු යැවීම 107/0 ලෙසින් සටහන් වුණා. ඉන් පසු වෝන්ගේ පන්දු යැවීමේ සාමාන්‍ය 335ක් ලෙසින් සටහන් වුණා. වෝන්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස කළ බෝඩර් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ තීරණාත්මක අවස්ථාවක වෝන් අතට පන්දුව ලබා දුන්නා.

එදා සිය නායකයාගේ බලාපොරොත්තුව ඉටු කළ වෝන් ලකුණු 11කට කඩුලු 3ක් බිඳ දමමින් සිය කණ්ඩායමට නොසිතූ ජයක් උරුම කර දුන්නා. එම තරගාවලියෙන් පසුව කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. ඒ යටතේ පැවති පළමු ටෙස්ට් තරගය වෝන්ට අහිමි වුණා. මෙල්බර්න් හි පැවති දෙවන ටෙස්ට් තරගයට වෝන් කැඳවූයේ නායක බෝඩර්ගේ ඉල්ලීම පරිදි යි. එදා වෝන් කොදෙව් දෙවන ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 7ක් බිඳ දමමින් සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළා.

වෝන් 1992 මෙල්බර්න් ටෙස්ට් තරගයේ දී – gettyimages.com

 

ඉන් අතුරුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු බවට පත්වුණු වෝන් 1993 පැවැති නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 17ක් ද, අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 34ක් ද බිඳ දමමින් එම තරගාවලිවල වැඩි ම කඩුලු ලාභියා බවට පත්වුණා. 1993 මාර්තුවේ දී එක්දින වරම් දිනා ගත් වෝන් එම වසරේ අග භාගයේ පැවති ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී කඩුලු 22ක් දවා ගෙන තරගාවලියේ වීරයා බවට පත්වුණා.

එදා සිට ෂේන් වෝන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැති ව ම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වුණා. වෝන්ට ඒ අයුරින් ක්‍රිකට් පිටිය තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ ඇලන් බෝඩර් නම් නායකයා නිසා යි. එදා බෝඩර් නොසිටින්නට ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ටත ම පාදඟ පන්දු යවන්නකු වන ෂේන් වෝන් කෙනකු බිහි නොවන්නට පවා ඉඩ තිබුණා.

බෝඩර් සහ වෝන් 1993-94 වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී – gettyimages.com

 

ලොවක් මවිත කළ සියවසේ පන්දුව 

1993 වසරේ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එය වෝන් එංගලන්ත බිමේ දී ක්‍රීඩා කළ මුල් ම ටෙස්ට් තරගය ලෙසින් ඉතිහාසගත වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 289ක් ලබා ගත්තා. ඉන් පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 27ක් නිමා වෙද්දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 80ක් ලබාගෙන සිටියා. එම අවස්ථාවේ ඕස්ට්‍රේලියානු නායක බෝඩර්, පන්දුව වෝන්ට භාර කළා.

ඒ මොහොතේ පන්දු අතට ගත් වෝන් එංගලන්ත පිතිකරු මයික් ගැටිං වෙත අසාමාන්‍ය පන්දුවක් යොමු කළා. එම පන්දුව ගැටිංගේ පා ඉන්නට සෑහෙන ඉවතින් පතිත වී තියුණු ලෙස දඟ කැවී ඇඟ හරහා ගොස් පිට ඉන්නේ දැවටුණා. එම අරුම පුදුම පන්දු යැවීම දැක එහි සිටි සියලු දෙනා ම මවිතයට පත්වුණා. එය පන්දුව 20 වන සියවසේ යැවූ හොඳ ම පන්දුව ලෙසින් විචාරකයන් පැවසුවා. ඒ වාගේ ම එය වෝන් එංගලන්ත බිමේ දී යැවූ ලද මුල් ම පන්දුව වීම ද සුවිශේෂී සිදුවීමක් වුණා. 

මයික් ගැටිං දැවීගිය අවස්ථාව – gettyimages.com

 

මුදලට ගන්නට බැරි වුණු ක්‍රීඩකයෙක් 

ඕස්ට්‍රේලියා-පාකිස්තාන් ටෙස්ට් තරගාවලියක් 1994 සැප්තැම්බර් 28 වැනිදා ආරම්භ වුණා. ඒ යටතේ පළමු ටෙස්ට් තරගය කරච්චි හි දී පැවැත්වුණා. එම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය සිව්වන දිනය නිමා වෙද්දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 155ක් ලබා ගෙන සිටියා. නමුත් ඒ වන විට තණතීරුව දඟ කැවෙමින් තිබුණු නිසා අවසන් දිනයේ ලකුණු හඹා යාම ලෙහෙසි පහසු වුණේ නැහැ.

එය දැන ගෙන සිටි පාකිස්තාන නායක සලිම් මලික් තරගයේ සිව්වන දිනය අවසන් වීමෙන් පසුව ෂේන් වෝන්ට දුරකථනයෙන් කතා කර ඔහු නැවතී සිටි කාමරයට පැමිණෙන මෙන් ආරාධනා කළා. එදා වෝන් එන විට කණ්ඩායමේ සිටි අනිත් දඟ පන්දු යවන්නා වුණු ටීම් මේ ද කැඳවා ගෙන එන මෙන් මලික් ඉල්ලීමක් කළා.

ෂේන් වෝන් සහ සලීම් මලික් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී – gettyimages.com

 

ෂේන් වෝන් සහ ටීම් මේ යන ක්‍රීඩකයන් සාදරයෙන් පිළිගත් පාකිස්තාන නායකයා වෝන් සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව විශේෂ ඉල්ලීමක් කළා. පහතින් දක්වා තිබෙන්නේ එම ඉල්ලීම යි.

“මිත්‍රයා දැන් තණ තීරුව ගොඩක් දඟ කැවෙනවා. ඒ හින්දා ඔබලාට හෙට දිනයේ දී අපහසුවකින් තොර ව තරගය ජයග්‍රහණය කරන්නට හැකිවේවි!. ඒත් අපට හෙට තරගය පරදින්න බැහැ. එහෙම වුණොත් මෙහෙ මිනිස්සු කුපිත වෙලා අපේ ගෙවල් පවා ගිනි තියාවි. අපිට ඕන තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගන්න.  ඒකට අපට උදව් වෙන්න පුළුවන් ඔබට සහ ඔබේ මිත්‍රයා ටිම්ට පමණ යි. ඔබලා දෙන්නා කරන්න ඕනි නොනවත්වා ම පිට ඉන්නෙන් ඉවතට පන්දු යවන එක විතරයි. එහෙම කරනවාට ඔබ දෙපළට අමෙරිකන් ඩොලර් 200,000 බැගින් ලැබෙනවා. තරගය අවසන් වී විනාඩි 30ක් යද්දී එම මුදල ඔබට ලැබේවි!” 

ෂේන් වෝන් සහ ටීම් මේ – gettyimages.com

මලික් කළ එම ඉල්ලීමට වෝන් එකඟ වුණේ නැහැ. එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කළ වෝන් එම සිදුවීම පිළිබඳ ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර්ට සහ පුහුණුකරු බොබ් සිම්සන්ට පවසා සිටියා. ඉන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය එම සිදුවීම පිළිබඳ තරග තීරක ජෝන් රීඩ්ට දන්වා සිටියා. තරගයේ අවසන් දිනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය අසලට ම පැමිණියා.

එම අවස්ථාවේ ඉන්සාමාම් උල් හක් සහ මුෂ්ටාක් අහමඩ් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් ගොඩ නඟමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එදා මුදලට ගිජු නොවුණු වෝන් ලකුණු 89කට කඩුලු 5ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ බව මෙහි දී කිව යුතුයි.

වෝන් 1994 කරච්චි ටෙස්ට් තරගයේ දී – gettyimages.com

 

එදා මලික් අල්ලස් ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ කළ පැමිණිල්ල යටපත් වී ගියා. ඉන් වසර 6කට පසුව විනිසුරු මලික් කයියුම් යටතේ පැවති නඩු විභාගයේ දී සලිම් මලික් ජීවිතාන්තය දක්වා තරග තහනමකට යටත් වුණා. ඔහුට එවැනි දඬුවමක් ලැබීමට ප්‍රධානත ම හේතුව වුණේ 1994 දී පැවති කරච්චි ටෙස්ට් තරගයේ දී වෝන්ට තරග පාවා දීම සඳහා කළ ආරාධනය යි. 

ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා සමඟ ඇති කරගත් ගැටුම 

1996 ජනවාරි 31 වැනිදා කොළඹ මහ බැංකු පරිශ්‍රයේ දැවැන්ත බෝම්බ පිපිරීමක් සිදුවුණා. ඒ වන විට විල්ස් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඉතිරි ව තිබුණේ සති 2ක කාලයක් පමණ යි. එම බෝම්බ පිපිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතිකේෂ්ප කළා. එහි දී  ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් පවසා සිටියේ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් දිවි පිදීම මෝඩකමක්  බව යි. එදා ටේලර් පමණක් නොව ෂේන් වෝන් ද ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන ප්‍රකාශයක් නිකුත් කළා. එහි දී ඔහු පවසා සිටියේ “කොළඹ සාප්පු සවාරිවල නිරත වෙද්දී තමන් බෝම්බයකට හසුවීමට ඉඩ ඇති නිසා ශ්‍රී ලංකාවට නොඑන බවයි”.

මහ බැංකු බෝම්බය පුපුරා ගිය අවස්ථාව – gettyimages.com

 

වෝන්ගේ එම නොහික්මුණු කතාව අසා එවකට ශ්‍රී ලංකාවේ විදෙස් ඇමතිවරයා ලෙසින් කටයුතු කළ ලක්ෂ්මන් කදිර්ගාමර්ට ටිකක් විතර කේන්ති ගියා. නමුත් ඒ බව නොපෙන්වූ කදිර්ගාමර් වෝන්ට හරි අපූරු පිළිතුරක් ලබාදෙමින් පවසා සිටියේ “සාප්පු සවාරිවල නිරත වීම ගෑනු ගතියක් බවයි”. කදිරගාමර් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ඕස්ට්‍රේලියාවෙන් දැඩි විරෝධතා එල්ල වුණා.

එක්තරා මාධ්‍යවේදියෙක් කදිර්ගාමර් අමාත්‍යවරයා කෙදිනක හෝ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා ද යි විමසා සිටියා. එයට පෙරළා පිළිතුරු දුන් කදිර්ගාමර් අමාත්‍යවරයා පවසා සිටියේ වෝන් ඉපදෙන්නටත් පෙර ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළ බව යි. අවසානයේ දී ඕස්ට්‍රේලියානු විදෙස් අමාත්‍යවරයා මැදිහත් වී ගැටුම සමථයකට පත් කළ බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

ලක්ෂ්මන් කදිර්ගාමර් විදෙස් අමාත්‍යවරයා – gettyimages.com

 

ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ විරළ දස්කම 

1999 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඕස්ට්‍රේලියාවට හිමි වුණා. එම තරගාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වූ ෂේන් වෝන් කඩුලු 20ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා.

එහි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව පැවති අවසන් පූර්ව තරගයේ දී ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය වෝන් දිනා ගත්තා.  පාකිස්තානයට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

වෝන් 1999 ලෝක කුසලාන අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව සහ අවසන් යන තරගවල දී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට හැකිව තිබෙන්නේ ක්‍රීඩකයන් තිදෙනකුට පමණ යි. එම දස්කම මුලින් ම දැක්වූයේ 1983 ලෝක කුසලාන තරගාවලියේ මොහින්දර් අමර්නාත් නම් ඉන්දීය ක්‍රීඩකයා යි.

ඉන් පසුව 1996 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා එම දස්කම දැක්වීමට සමත් වුණා. ඔවුන් දෙදෙනාගෙන් පසු එම විරළ දස්කම දැක්වීමට හැකියාව ලැබුණේ ෂේන් වෝන්ට පමණක් වීම විශේෂත්වයක්.

වෝන් 1999 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව – gettyimages.com

 

අළු බඳුන තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා 

2005 අළුබඳුන තරගාවලිය ආරම්භ වෙද්දී වෝන් අළු බඳුන තරගාවලි ඉතිහාසය තුළ කඩුලු 132ක් දවා ගෙන තිබුණා. එම කාලය වන  විට අළු බඳුන තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා ලෙසින් වැජඹුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක හියූ ට්‍රම්බල් කඩුලු 141ක් දවා ගෙන තිබුණා.

2005 අළුබඳුන තරගාවලියේ දී පන්දුවෙන් සුපිරි දස්කම් පෑ වෝන් කඩුලු 40ක් දවාගෙන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ සමඟ ම අළු බඳුන තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් ද වෝන් ඉතිහාසගත වුණා. 

වෝන් 2005 අළුබඳුන තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉන් නොනැවතුණු ඔහු 2007 අළු බඳුන තරගාවලිය සඳහා ද ක්‍රීඩා කරමින් කඩුලු 23ක් දවා ගත්තා. එය වෝන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගාවලිය බවට පත්වුණා. ඒ වන විට වෝන් අළු බඳුන තරගවල දී කඩුලු 195ක් දවාගෙන තිබුණා.

එය යම් පන්දු යවන්නකු තනි රටකට එරෙහි ව දවා ගත් වැඩි ම ටෙස්ට් කඩුලු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. වෝන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනිද්දී ටෙස්ට් කඩුලු 708ක් බිඳ දමා වැඩි ම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙසින් ද වැජඹුණු බවත් සිහිපත් කළ යුතු යි.

ෂේන් වෝන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොත – gettyimages.com

කවරයේ ඡායාරූපය- ෂේන් වෝන්  - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

thecricketmonthly.com

dbsjeyaraj.com

Related Articles