Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනුෂ්‍යත්වය වෙනුවෙන් දිවි කැපකළ මැන්ඩෙලා ගැන නොලියවුණු කතා

“මෙය දුක් විඳීමෙන් හා අත්දැකීම්වලින් පිබිදුණු දකුණු අප්‍රිකානු ජනතාවගේ අරගලයයි. මම හීන දකින්නේ සියල්ලන්ට සමාන අවස්ථා ඇති සමගියෙන් ජීවත්වන, ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් සමාජයක් ගැනයි. එය දිනා ගැනීමට හා ඒ මත ජනතාව ජිවත් කරවීම උදෙසාත්  ඕනෑම වේලාවක මැරෙන්නට උනත් මම සූදානම්.”

එලෙස නිර්භයව වර්ණභේදය විවේචනය කළ දකුණු අප්‍රිකානු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් උදෙසා වසර 27ක් දුක් විදිමින් සිරබත් කා පසුව දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බවට පත්වූ නෙල්සන් මැන්ඩෙලා ගැන අප සියළු දෙනා තරමක් දුරට හෝ දන්නවා.

ඉතින් මේ පිළිබඳව එක් වරෙක ලිපියක් ඔබ වෙත අප ගෙන අවා. ඒ වර්ණභේදවාදයට එරෙහි වූ වීරයෝ නමින්. මෙම ලිපිය තුළින් ඔබට ගෙන එන්නට අදහස් කරන්නේ මැන්ඩෙලා හෙවත් අප්‍රිකානු සිංහයාගේ කටුක දිවියේ පාඨකයා නොදත් පැතිකඩ කිහිපයක්.

ගොපළු දරුවෙකු ලෙස දිවි ගෙවූ මැන්ඩෙලා

කුඩා මැන්ඩෙලා (Al Jazeera America)

කුඩා මැන්ඩෙලා (Al Jazeera America)

1918 ජූලි මස 18 වනදා දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කෙයි පළාතේ උම්ටාටා දිස්ත්‍රික්කයේ පිටිසර ගම්පියසක තෙම්බු නම් ගෝත්‍රයේ ගම්ප්‍රධානියා වූ ගුඩ්ලා හා නෙසෙක්නි නම් කතට දාව උපත ලැබූ ඔහුගේ මුල් නම වන්නේ රෝලීහාලා දිලිබුන්ගා මැන්ඩෙලාය. උපතේදීම තෙම්බු ගෝත්‍රයෙන් ඔහුට උරුම වූ “මඩීබා” යන නාමය පසුකාලීන දකුණු අප්‍රිකානු සුවහසක් කළු ජාතිකයන් ඔහුව ඇමතූ ආදරණිය නාමය විය.

කෘෂිකර්මාන්තය ජීවන මාර්ගය කරගත් තෙම්බු ගෝත්‍රිකයන් යනු අඩුම තරමින් අකුරු ලිවීම හෝ කියවීම පිළිබඳව දැනුමක් නොමැති පිරිසක්. ඉගෙනීමට ඔවුන්ට කිසිදු උවමනාවක් තිබුනේ නෑ.

විශාල ඉඩකඩම් හා ගවපට්ටියකට උරුමකම් කියන මැන්ඩෙලාගේ පියාට සියල්ල අහිමි වන්නේ සුදු ජාතික මහේස්ත්‍රාත්වරයෙකුට අවනත නොවීම හේතුවෙන්. ඉන්පසු කුඩා ඉඩ ප්‍රමාණයක අටවාගත් කාමර දෙකකින් හා තෘණ වලින් සෙවිළි කළ කටු මැටි නිවසේ ජීවත් වන්නට කුඩා මැන්ඩෙලා ඇතුළු පවුලේ සාමාජිකයන්ට සිදුවෙනවා. කුඩා ගොවිපළක් තුළ මවට හා පියාට උදව් කරමින් හරිහැටි කෑමක් හෝ ඇදුමක් නොමැතිව මැන්ඩෙලා සිය ළමා විය ගතකරනවා.

පියාගේ කලිසමක් කපා ඇඳගෙන පාසලට ගිය අයුරු

බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස (www.cdusport.com)

බොක්සිං ක්‍රීඩකයෙක් ලෙස (www.cdusport.com)

ක්‍රිස්තියානි පල්ලියක පුජකවරයෙක් මැන්ඩෙලා පාසල් යැවීමට කළ යෝජනාවකට වාසනාවකට මෙන් ඔහුගේ දෙමාපියන් කැමති වෙනවා. පියාගේ කොට කලිසමක් කපා ඇඳගෙන පාසල වෙත යන මැන්ඩෙලා ඉංග්‍රීසි භාෂාවට හා කථිකත්වයට මනා දක්ෂතාවයක් දක්වනවා. එකළ දකුණු අප්‍රිකාවේ මිෂනාරි පාසල් වල සම්ප්‍රදාය අනුව ඔහුගේ නමට ඉදිරියෙන් නෙල්සන් නැමති ඉංග්‍රීසි නම යොදන්නේ පාසලේ ගුරුතුමිය විසින්. වයස අවුරුදු 9දී පියාගේ හදීසි මරණයත් සමඟ පාසල් ගමන නතර වෙන නමුත් තෙම්බු ගෝත්‍රයේ රජු විසින් නැවතත් මැන්ඩෙලා පාසල් යැවීමට කටයුතු කරනවා.

අධ්‍යාපනය හා අරගලය

මැන්ඩෙලා නීතිවේදියෙක් ලෙස ඔහුගේ කාර්යාලයේදී (www.dw.com)

මැන්ඩෙලා නීතිවේදියෙක් ලෙස ඔහුගේ කාර්යාලයේදී (www.dw.com)

කනිෂ්ඨ විභාගයෙන් සමත් වෙන මැන්ඩෙලා වෙල්සියන් විද්‍යාලයෙන් ජේෂ්ඨ විභාගය සමත් වෙනවා. එහිදී විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත්, බොක්සිං කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. ෆොර්ට් හෙයර් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා ඔහු Witwatersrand සරසවියෙන් නීති උපාධිය ලබා ගන්නවා.

මෙම විශ්වවිද්‍යාල දෙකේදීම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රටේ නිදහස ලබා ගැනීමටත්  වර්ණභේදවාදයට එරෙහිවත් කළ අරගල හේතුවෙන් කිහිපවරක්ම ඔහුගේ ශිෂ්‍යභාවය අත්හිටුවනවා.

පසුව ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ යොවුන් පෙරමුණ පිහිටුවාගෙන ගෙන ගිය සාමකාමී උද්ඝෝෂණ 1960 පමණ වන විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පෙරළෙනවා. වර්ණ භේදවාදයට එරෙහිව ආයුධ අතට ගැනීම හේතුවෙන්. මෙහිදී සන්නද්ධ අංශයේ නායක වන මැන්ඩෙලා ඇතුළු පිරිස වරෙක අත්අඩංගුවට පත් වෙනවා. හිරෙන් නිදහස් වී දිගින් දිගටම අරගලයේ යෙදීම හේතුවෙන් 1962 වසරේ රජය විසින් අරගලකරුවන් විශාල පිරිසක් ඝාතනය කර ජාතික කොන්ග්‍රසය තහනම් කර රාජද්‍රෝහියෙක් ලෙස මැන්ඩෙලාව සිරගෙට නියම කරනවා. නමුත් සිරෙන් පැනයන ඔහුව නැවතත් 1964 ජුනි 12 අත්අඩංගුවට ගන්නා පාලකයෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පමුණවනවා.

“හොද මොළයක් හා හොද හදවතක් එක් වූවිට එය බලවත්, ඊට පෑනක් හා හොඳ දිවක් එක් වූවොත් ඔහු වඩා බලවත් වනු ඇත.” ඒ ඔහු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ අවස්ථාවේ පැවසීමට දෙයක් ඇත්දැයි විනිසුරුවරයා ඇසූ පැනයට ලබා දුන් පිළිතුරයි.

සිරගෙයි කටුක ජීවිතය

රොබෙන් දූපතේ හුණුගල් නිධිය (Pittsburgh Post)

රොබෙන් දූපතේ හුණුගල් නිධිය (Pittsburgh Post)

වසර 27ක් පුරාවට වැඩි කාලයක් ඔහුව සිර කර තබා තිබුනේ දකුණු අප්‍රිකාවේ රොබෙන් දූපතේ ඇති සිර කදවුරක. එකළ එය කළු ජාතිකයන්ට අමානුෂික වද-හිංසා පමුණවන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධව තිබුණා.

ඔහුව රදවා තිබුනේ අඩි හතක් දිග අඩි හයක් පළල කුඩා කුටියක. එමෙන්ම පිදුරු මෙට්ටයක්, වැසිකිලියක් වෙනුවට කුඩා බාල්දියක් මෙම කුටියේ තිබුණා. නිලධාරීන් විසින් මළමුත්‍රා පිරී ගිය බාල්දිය ඉවත් කලේ දින කිහිපයකට වරක් බව මැන්ඩෙලා පසුව ප්‍රකාශ කරනවා.

මැන්ඩෙලාට ඔහුගේ මවගේ මරණයට හෝ වැඩිමහල් පුතුගේ මරණ වලට සහභාගී වීමට අවසර නොලැබුණු අතර වසරකට වරක් පවුලේ හිතවතෙකු හමුවීමට පමණක් අවසර තිබූ අතර ලිපියක් ලිවිය හැකි වූයේ මාස 6කට වරක් එයත් කදවුරේ නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේයි. මැන්ඩෙලාව මුළු දහවල පුරා හුණුගල් කොරියක වැඩට යොදවා තිබුනා. ඔහුගේ මරණයට මුල් වූ පෙනහළු ආශ්‍රිත රෝගයට හේතුව අධික කාලයක් හුණුගල් කොරියක වැඩ කිරීම බව මතයක් පවතිනවා.

ඔහුගේ සිරකුටිය (Cape Town Tips)

ඔහුගේ සිරකුටිය (Cape Town Tips)

ඒ හැරුණු විට සිර ගෙදර සිටි විසි හත් අවුරුද්දෙන් විසි එක් අවුරුද්දක කාලයක් තුළ තමන්ට සිය බිරියගේ අතින්වත් ඇල්ලීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පසුකලෙක සඳහන් කරනවා. සිරගෙයි සිටින සිය සැමියා බැලීම සඳහා ඔහුගේ බිරිය වන විනී මැන්ඩෙලාට පොලිසියේ අවසර ගත යුතුවිය. වාහනවල හෝ දුම්රියෙන් ගමන් කිරීම ඇයට තහනම් වූ අතර එනිසා ඇයට සිදුවුයේ ගමන් ගාස්තුව සඳහා විශාල මුදලක් වැය වූ ගුවන් යානයෙන් මැන්ඩෙලා බැලීමට යාමටයි. ඇය පිටත්ව යාමේදී හා ඒමේදී පොලිසියට වාර්තා කිරීම අනිවාර්ය නියමයක් විය.

නිදහස ලැබූ පසු බෙන්ජමින් පෝග‍්‍රන්ඩ් සමඟ (www.timesofisrael.com)

නිදහස ලැබූ පසු බෙන්ජමින් පෝග‍්‍රන්ඩ් සමඟ (www.timesofisrael.com)

1986 ප්‍රථම වරට මාධ්‍යවේදියෙකු ලෙස බෙන්ජමින් පෝග‍්‍රන්ඩ් නම් එරට ප‍්‍රධානතම පුවත්පතක් වූ රැන්ඩි ඩේලි මේල් පුවත්පතේ වාර්තාකරුට මැන්ඩෙලා හමුවීමට අවස්ථාව ලැබෙන්නේ කිසිදු දේශපාලනිකමය සංවාදයක් වාර්තා නොකරන ලෙස සුදු අධිරාජ්‍යවාදීන් සමඟ ඇති කරගත් ලිඛිත ගිවිසුමක් මතයි.

“මෑතකදී ඔහුට බන්ධනාගාර පරිශ‍්‍රය වටා මෝටර් රථයකින් ගමන් කිරීමට හා තණකොළ මත ඇවිද යන්නට අවස්ථාවක් ලැබිලා. 1964 දී රොබෙන් දූපතට ගියදා සිට ඒ දක්වා ඔහු තණකොළ මත ඇවිද ගොස් තිබුනේ නෑ. ඔහු කියවිය යුතු පතපොත මොනවාදැයි තීරණය කරන ලද්දේ බන්ධනාගාර බලධාරීන්. මගේ කැල්කියුලේටරයක් සහිත ඔරලෝසුව දැක කුඩා ළමයෙකු මෙන් මැන්ඩෙලා සතුටු වුණා. මම හිතන්නේ ඔහු නවීන තාක්ෂණික ලෝකයෙන් හුදෙකලා වී ඉන්නට ඇති.” ලෙස බෙන්ජමින් සදහන් කරනවා.

නිදහස ලබා ගැනීම හා සටන ජය ගැනීම

නිදහස ලැබූ දිනයේ බිරිද විනී හා ජනතාව සමඟ (NPR)

නිදහස ලැබූ දිනයේ බිරිද විනී හා ජනතාව සමඟ (NPR)

මැන්ඩෙලාව නිදහස් කරන ලෙස ලොව නොයෙකුත් රටවල් කියා සිටින්නට විය. එක්සත් ජාතින් වැනි සංවිධාන විසින් වර්ණභේදවාදයට විරුද්ධව සම්බාධක පවා මේ වනවිට පනවන්නට වුණා. සමාජවාදී මෙන්ම ධනවාදී රටවල් සියල්ල පාහේ මැන්ඩෙලාව පිළිගැනීමට සුදානම් විය.

කලාර්ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ කොන්දේසි මත 1990 පෙබරවාරි මාසයේදී  මුළු රටම සතුටට පත් කරමින් අප්‍රිකානු සිංහයාට නිදහස හිමි වූ අතර 1994 අප්‍රේල් මාසයේදී දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම වර්ගවාදී නොවූ ප‍්‍රජාතන්ත‍්‍රීය මැතිවරණය පවත්වන ලදි. අප‍්‍රිකානු කොංග‍්‍රසය රටේ ඡන්දායකයන්ගෙන් 62.6ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබමින් මැන්ඩෙලා ජනාධිපතිවරයා බවට පත්වන්නේ මෙහිදියි.

සුදු ජාතිකයන්ගෙන් පළිගැනීම වෙනුවට ඔවුන් හා මිත්‍රශීලි ප්‍රතිපත්ති අනුගමනය කරන අයුරු දුටු මුළු ලොවම ඔහු වෙනුවෙන් අත්පොලසන් නගනවා.

එක්සත් දකුණු අප්‍රිකාවක් බිහි කිරීම

1995දී දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ජර්සියකින් සැරසුණු මැන්ඩෙලා (YouTube)

1995දී දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ජර්සියකින් සැරසුණු මැන්ඩෙලා (YouTube)

එක්සත් දකුණු අප්‍රිකාවක් බිහි කිරීමට මැන්ඩෙලාගේ තිබූ උත්සාහය ඔහු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන විට මෙන්ම ජනාධිපති වීමෙන් පසුවද දකින්නට පුළුවන්.

1995 ලෝක රග්බි ශූරතාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විට එක් කළු ජාතික ක්‍රීඩකයෙක් පමණක් සිටි දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමට ප්‍රීතිඝෝෂා කිරීමට කළු ජාතිකයෝ කිසිදු උනන්දුවක් දැක්වූයේ නෑ. නමුත් මැන්ඩෙලා එක්සත් දකුණු අප්‍රිකාවක් පිළිබඳ තම මතය ක්‍රියාවෙන් ඔප්පු කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම් ජර්සියකින් සැරසී තරඟ නැරැඹීමට එනවා. ඒ සමඟම මැන්ඩෙලාට රට තුළ තිබූ පිළිගැනීම හේතුවෙන් මුළු රටම දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කරන පිරිසක් බවට පත්වනවා.

පළමු විවාහය දෙදරීම

පළමු විවාහය විනී මැන්ඩෙලා සමඟ 1958දී (Mail & Guardian)

පළමු විවාහය විනී මැන්ඩෙලා සමඟ 1958දී (Mail & Guardian)

මැන්ඩෙලා නිදහස් වී එනවිට ඔහුගේ පළමු බිරිද විනී මැන්ඩෙලා විවිධ පෙම් සබඳතාවල පැටලී සිටියා. ඇයගේ මූලිකත්වයෙන් පිහිටවූ  “මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය” නම් සංවිධානයක් විසින් නොයෙකුත් නීතිවිරෝධී ක්‍රියාද සිදු කරන්නට වුනා. මේ හේතුවෙන් අවසානයේ ඔහු ඇගෙන් වෙන් වී 1996 දී ඇයව දික්කසාද කරනවා.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද සාමාජියකන් අටදෙනෙකුගෙන් සමන්විත වූ සත්‍ය කොමිසමේදී “මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය” විසින් කරන ලද මිනීමැරුම්, පැහැරගෙන යෑම් හා පහරදීම් සම්බන්ධයෙන් විනී මැන්ඩෙලා වැරදිකාරියක් ලෙස තීරණය කරනවා. ඒ හේතුවෙන් ඇයට අවුරුදු පහක සිර දඬුවම් නියම වෙනවා.

අවසාන කාලය හා ජීවිතයෙන් සමු ගැනීම

අවමගුල් රිය පෙරහැර (dfiles)

අවමගුල් රිය පෙරහැර (dfiles)

1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව තවත් ගෞරව සම්මාන 250 කට වැඩි ප්‍රමාණයක් මැන්ඩෙලාට හිමිව තිබෙනවා.

1999දී අඩු ගණනේ දෙවැනි ධූර කාලයක් වත් බලයේ නොරැඳී ජනාධිපතිධූරයෙන් හා ක්‍රියාකාරී දේශපාලනයෙන් වෙන්වන්නේ වර්තමාන බල-ලෝභී දේශපාලනයට පාඩමක් උගන්වමින්.

ජනාධිපතිවරයා බවට පත්වූ පසු රටේ සාතිශය බහුතරයේ නායකයා වූ ඔහුට සුළුතරයක් වූ සුදු ජනතාව පහසුවෙන්ම පිටුදකින්නට හැකියාව තිබුනා. ඔහු එවැනි ක්‍රියා වලට රට මෙහෙයවූවානම් එයට ප්‍රතිචාර දක්වන්නට ආවේගශීලී දකුණු අප‍්‍රිකාවේ කළු ජාතිකයන් දෙවරක් සිතන්නේ නෑ. එසේ නොකිරීම හේතුවෙන් ඔහු කළු ජාතිකයන්ගේ මෙන්ම මුළු රට වැසියන්ගේම ආදරණිය “මඩීබා” බවට පත්වෙනවා.

දිගින් දිගටම පෙනහළු ආශ්‍රිත රෝග තත්වයකින් පිඩා විදින මේ අසහාය නායකයා 2013 දෙසැම්බර් පස් වනදා දිවියෙන් සමුගන්නවා. නමුත් ඔහු පෙන්නුම් කළ මිනිසාගේ අභිමානය පිළිබඳ හා වර්ගවාදයෙන් තොර ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු ලෝකය තුළ තිබෙන තාක් කල් නෙල්සන් මැන්ඩෙලා අමරණීය වනු ඇත.

මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන ජූලි 18 වැනිදා “මැන්ඩෙලා දිනය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන්නේ මේ අසහාය පුද්ගලයාට ගෞරවයක් ලෙසයි. එදින දකුණු අප්‍රිකාවේ පමණක් නොව ලොව පුරා මනුෂ්‍යත්වය වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර සේවා සිදු කරනවා.

 

Related Articles