Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජකීය දරු උපත් ගැන නොදත් කතා කිහිපයක්

මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දරන දෙවැනි එළිසබෙත් මහ රැජන ප්‍රධාන කොටගත් රජ පවුල ලොව වැඩි ම අවධානයට ලක් වූ පවුල් කිහිපය අතරින් එකක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා රටවල වෙසෙන ජනතාව බ්‍රිතාන්‍ය රජ පවුල තුළ සිදු වන විශේෂ සිදුවීම් පමණක් නොව ඉතා සුළු දේ පිළිබඳව පවා විශාල අවධානයක් යොමු කරති.

බ්‍රිතාන්‍ය රජ පවුල – www.vanityfair.com

ඒ ආකාරයෙන් මිලියන ගණනකගේ අවධානය යොමු වන සිදුවීම් අතර බ්‍රිතාන්‍ය රජ පවුලේ දරු උපත් ප්‍රධාන තැනක් ගනී. රජ පවුලේ ඉපදෙන සියලු දරුවන් සෘජුව හෝ වක්‍රව කිරුළට උරුමකම් කියන අයවීම ඊට හේතුව යි. රජ පවුලේ සාමාජිකාවක් ගැබ් ගැනීමේ සිට දරුවා ප්‍රසූත කිරීම දක්වාත්, එතැන් පටන් ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාත් රාජකීයයන් පිළිබඳව ලොව පුරා ඇත්තේ විශාල කතාබහකි. බ්‍රිතාන්‍ය රජ පවුලේ දරු උපත් හා සබැඳි එවැනි සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳයි මෙම ලිපිය.

ස්ත්‍රී පුරුෂ බව වෙනුවට උපත් අනුපිළිවෙළ අනුව කිරුළට හිමිකම් කියන විලියම්-කේට් යුවළගේ දරුවෝ

බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය පිළිබඳ වන ශත වර්ෂ ගණනාවක් පැරැණි නීතිරීති අනුව මෑතක් වන තුරු කිරුළ දැරීම සඳහා සුදුසු අයගේ ලයිස්තුවේ ප්‍රමුඛතාව හිමි වූයේ රජ පවුලේ පිරිමි දරුවන්ට ය. එම අවස්ථාව රජ පවුලේ ගැහැනු දරුවකුට හිමි වූයේ ඇයට සහෝදරයන් නොමැති අවස්ථාවකදී පමණි.

විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ – www.usmagazine.com

කෙසේ වෙතත් 2013 වසරේ දී රාජ්‍යත්වය සම්බන්ධයෙන් වන අනුප්‍රාප්තික පනතේ සඳහන් ප්‍රතිපාදන සංශෝධනය කිරීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් විය. පිරිමි සහ ගැහැනු දරුවන් සම සම ව කිරුළ දැරීම සඳහා සුදුසු බවත්, සිය වැඩිමහල් සහෝදරියකට පෙර කිරුළ දැරීමට පිරිමි දරුවකුට නොහැකි බවත් වර්තමාන නීති රීතිවල සඳහන් වේ. එහි ප්‍රතිපලයක් ලෙස විලියම් සහ කේට් යුවළගේ දරුවන් ස්ත්‍රී පුරුෂ බව වෙනුවට උපත් අනුපිළිවෙළ අනුව කිරුළට හිමිකම් කියති. එය බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලැකේ.

විලියම් කුමරුගේ උපතේ විශේෂත්වය

අතීතයේ රජ පවුලේ බොහෝ සාමාජිකයන් උපත ලැබුවේ ද බකිංහැම් මාළිගය හෝ රජ පවුලට අයත් වෙනත් මාළිගයක් තුළ ය. කෙසේ වෙතත් පසුකාලීනව රජ පවුලේ සාමාජිකාවන් දරු උපත් සඳහා රෝහල්ගත වීම ආරම්භ විය. 1982 ජුනි මස 21 දින චාර්ල්ස් කුමරුගේ සහ වේල්සයේ කුමරිය හෙවත් ඩයනා කුමරියගේ වැඩිමහල් පුත් විලියම් කුමරුගේ උපත සිදු වූයේ ලන්ඩන් නගරයේ පිහිටි ශාන්ත මේරි රෝහලේ දී ය. කිරුළට සෘජුව ම හිමිකම් කියන රාජකීයයකු රෝහලක උපත ලැබූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත විය.

තරුණ විලියම් කුමරු – www.popsugar.com

අලුත උපන් රාජකීයයන් බැලීමට පැමිණි බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්

චාල්ස් කුමරුගේ උපත සිදු වූ 1940  දශකයට පෙර රාජකීය දරු උපතක් සිදු වන සෑම අවස්ථාවක ම බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් එය සිදුවන මාළිගයේ රැඳී සිටි බව කියැවේ. 1930 දී වර්තමාන එළිසබෙත් රැජනගේ සොහොයුරිය වූ මාග්‍රට් කුමරිය ගේ උපත සිදු වන අවස්ථාවට සහභාගී වීම සඳහා එවකට ස්වදේශ කටයුතු ලේකම් ජෝන් රොබට් ස්කොට්ලන්තයේ පිහිටි රජ පවුලට අයත් මාළිගයකට පැමිණ තිබේ. කෙසේ වෙතත් ඇගේ උපත සිදු වූයේ නියමිත දිනට සති දෙකකට පසුව බැවින් ඔහුට සති දෙකක් පුරාවට එහි රැඳී සිටීමට සිදුව තිබේ.

දෙවැනි එළිසබෙත් රැජනගේ සොයුරිය- මාග්‍රට් කුමරිය – www.biography.com

දරු උපත් පිළිබඳ වන රාජකීය නිවේදනය

රජ පවුලේ දරු උපතක් සිදු වන සෑම අවස්ථාවක ම එය මහජනතාවට දැනුම් දීම සඳහා බකිංහැම් මාළිගය කටයුතු කරයි. ඒ සඳහා රන් ආලේපිත රාමුවක් තුළ තැන්පත් කළ නිවේදනයක් මාළිගයේ ඉදිරිපස ගේට්ටුවේ ප්‍රදර්ශනය කෙරේ. පැය 24කට ආසන්න කාලයකට පසු එය ඉවත් කරයි. මෙය 1837 දී, එනම් වික්ටෝරියා රැජනගේ පාලන සමයේ දී ආරම්භ වූ චාරිත්‍රයක් බව කියැවේ.

මීට අමතර ව කේම්බ්‍රිජ්හි ආදිපාද විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ දරුවන්ගේ උපත් පිළිබඳ ව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද නිල නිවේදන නිකුත් කළ අතර එය රජ පවුලට එක් වූ නව සම්ප්‍රදායයකි.

විලියම්-කේට් යුවළගේ බාල ම දරුවාගේ උපත පිළිබඳව වන රාජකීය නිවේදනය – www.royal.uk

 ගැබ්ගැනීම් සහ දරු උපත් පිළිබඳ අප්‍රසාදය පළ කළ රැජනක්

1837 සිට 1901 දක්වා බ්‍රිතාන්‍ය කිරුළ දැරූ වික්ටෝරියා රැජනගේ පළමු දරු ප්‍රසූතියට මාස කිහිපයක් තිබිය දී ඇයට අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. ඒ එඩ්වඩ් ඔක්ස්ෆර්ඩ් නම් පුද්ගලයෙක් ඇය ඝාතනය කිරීමට තැත් කිරීම යි. ඇය දරු ප්‍රසූතියේ දී නිර්වින්දනයට ලක් වූ පළමු රැජන ලෙස ද ඉතිහාසගත විය.

ඇගේ නිර්වින්දන අත්දැකීම නිසා බ්‍රිතාන්‍යයේ ඉහළ පවුල්වල සාමාජිකාවන් අතර ද දරු ප්‍රසූතියේ දී නිර්වින්දනයට ලක් වීම ජනප්‍රිය වී තිබේ. දරුවන් නව දෙනෙක් ප්‍රසූත කළත් වික්ටෝරියා රැජන ගැබ්ගැනීම් සහ දරු උපත් පිළිබඳ දැඩි අප්‍රසාදයකින් පසු වූ බව කියැවේ. සමහරුන් පවසන්නේ ඇය දරුවන්ට මව්කිරි දීම පවා ප්‍රතික්ෂේප කළ බවයි.

වික්ටෝරියා රැජන – www.wikipedia.org

මතභේදයට තුඩු දුන් රාජකීය උපත්

බ්‍රිතාන්‍ය රජ පවුලේ සමහර දරු උපත් ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ඒවා විය. ඒ අතරින් එකක් ලෙස 1688 දී සිදු වූ ජේම්ස් ෆ්‍රැන්සිස් එඩ්වඩ් කුමරුගේ උපත හැඳින්විය හැකි ය. ඔහුගේ උපතට පෙර ඔහුගේ මව වූ දෙවැනි ජේම්ස් රජුගේ බිරිය, මේරි රැජන ප්‍රසූත කළ දරුවන් කිහිප දෙනෙක් උපතේදී ම මිය ගොස් තිබේ. ජේම්ස්ගේ උපත සමඟ ඒ පිළිබඳව විවිධ කටකතා පැතිර යන්නට විය.

සමහරුන් පැවසුවේ ඇයට දරුවන් නොමැති බැවින්, කිරුළට හිමිකම් කියන දරුවකු අවශ්‍ය නිසා වෙනත් අයකුගේ දරුවකු හදා ගැනීමට ගෙන ඇති බව යි. ඊට ටික කලකට පසු කුමන්ත්‍රණකරුවන් පිරිසක් එක් ව දෙවැනි ජේම්ස් රජු බලයෙන් පහ කළ අතර මේරි රැජන සිය පුත්‍රයා ද රැගෙන රටින් පලා ගියාය. එඩ්වඩ් කුමරු සැබැවින් ම ජේම්ස් රජුගේ දරුවකු බව පසුකාලීන ව තහවුරු විය.

දෙවැනි ජේම්ස් රජු – www.dkfindout.com

පුතකු ලබාගැනීමට කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ විවාහ වූ අටවැනි හෙන්රි රජු

එංගලන්තයේ අටවැනි හෙන්රි රජු අරගොන්හි කැතරින් සහ ඈන් බොලීන් යන රැජනන් සමඟ විවාහ වී සිටියේය. ඔවුන්ට දියණියන් තිදෙනකු සිටි නමුත් තමන්ගෙන් පසු කිරුළ දැරීමට පුතකු නොසිටීම පිළිබඳ  ඔහු කනගාටුවෙන් සිටි බව කියැවේ.

එබැවින් ඔහු පුතකු ලබා ගැනීමේ අරමුණින් තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ ප්‍රසිද්ධියේ විවාහ ගිවිසගෙන තිබේ. එම රැජනන් බිහි කළ දරුවන් කිහිප දෙනෙක් උපතේදී මියගොස් තිබෙන අතර ඉන් එක් කාන්තාවක් පුතකු ප්‍රසූත කර තිබේ.

අටවැනි හෙන්රි රජු – www.wikipedia.org

කවරයේ ඡායාරූපය- අලුත උපන් ජෝර්ජ් කුමරු අතැති ව සිටින විලියම් කුමරු සහ කේට් කුමරිය - www.today.com

මූලාශ්‍ර:

www.history.com/ Elizabeth Nix

www.today.com

www.royal.uk

www.biography.com

Related Articles