Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු තතු -1

දෙවන එලිසබෙත් රැජනගේ මරණයත් සමඟ බොහෝ දෙනකුට බ්‍රිතාන්‍ය කිරීටයේ ඉතිහාසය පිළිබඳ සොයා බලන්නට දැඩි උනන්දුවක් ඇති වී තිබෙනවා. බ්‍රිතාන්‍ය කිරීටය හා සබැඳි ඉතා දීර්ඝ වූත්, සාඩම්බර වූත් ඉතිහාසයක් තිබෙන අතර, එය සියවස් ගණනාවක් අතීතයට දිවෙනවා. මේ අතීතය පිරික්සීමේ දී අපට රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ ව විවිධාකාරයේ තොරතුරු හමුවෙනවා. මේ අතර එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු ද තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ ද එවැනි කාරණා කිහිපයක් වෙනුවෙනු යි.

 පළමුවන විලියම් රජු- Time Life Pictures/Mansell/The LIFE Picture Collection via Getty Images)

 

අවුලෙන් අවුලට පත් පළමුවන විලියම් රජුගේ අවමඟුල

මීට වසර දහසකට පමණ පෙර එංගලන්තයේ රජකම් කළ පළමුවන විලියම් රජුගේ අවමඟුල හා සම්බන්ධ ඉතාමත් ජුගුප්සාජනක සිද්ධියක් පිළිබඳ ව ඉතිහාස පොත්වල සඳහන් ව තිබෙනවා.

පළමුවන විලියම් රජු අභාවයට පත් වූයේ 1087 වසරේ සැප්තැම්බර් මස 9 වන දින යි. අධික ස්ථුලත්වයෙන් බැට කමින් සිටි ඔහුගේ මරණයට හේතුව වූයේ, අසු පැදීමේදී සිදු වූ අනතුරක් හේතුවෙන් ඇති වූ බඩවැල්වල පිපුරුමකු යි. මරණාසන්න ව, සයනයක් මත හොවා සිටිය දී ඔහුගේ සුව දුක් බැලීමට සිවු දිගින් ආගමික නායකයන්, නයිට්වරුන් සහ වංශවතුන් ඇදී ආවා. ඔහු මිය යන මොහොත වන විට ඒ සියලු දෙනා රජු කෙරෙන් ඉවත්ව ගොස් සිටියා. මේ අවස්ථාවේදී ඔහුගේ සේවකයන් රජමැදුරෙහි වූ සියලු වටිනා දේ සොරා ගෙන ගියා.

රජු හැඳ පැළඳගෙන සිටි ඇඳුම් සහ ආභරණ

ඒ අතර විලියම් රජු හැඳ පැළඳගෙන සිටි ඇඳුම් සහ ආභරණ ද වුණා. අවසානයේ එම සිරුර අවමඟුල් චාරිත්‍ර සිදුකර මිහිදන් කරන ස්ථානයට ගෙනයන්නට වූයේ නිරුවතිනු යි. අවමඟුල් චාරිත්‍ර අවසන, රජුගේ දේහය සුසානය වෙත පහත් කරන විට පසක් වූයේ අතිශය ස්ථුල පළමුවන විලියම් රජුට එය ප්‍රමාණවත් නොවන බව යි. ඒ අනුව පූජකයන් සහ අනෙකුත් සහායකයන් රජුගේ දේහය සුසානය තුළට රිංගවීමට ඉතා අපහසුවෙන් උත්සාහ කළා. මෙහිදී ඔහුගේ උදරය පිපිරී, මෙතෙක් සිර ව තිබූ ආම වාතය මුදා හැරෙන්නට වූයේ අධික දුර්ගන්ධයක් හාත්පස පතුරවමිනු යි. ඒ වන විට සුසානය තිබූ දේවස්ථානයෙහි සුවඳ පන් ඉසිමින් සහ සුවඳ දුම් ගසමින් පැවතිය ද එම අධික දුර්ගන්ධය මැඬපැවැත්වීමට තරම් ඒවා ප්‍රබල වූයේ නැහැ. මේ නිසා අවමංගල්‍යයේ කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර, එම ස්ථානයෙන් පිටවන්නට පූජකයන්ට සිදු වුණා.

 පළමුවන ජේම්ස් රජු- historic-uk.com

 

අප්‍රියජනක දර්ශනයක් වූ පළමුවන ජේම්ස් රජුගේ දිව

එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ රජු වූ පළමුවන ජේම්ස් රජු රාජ්‍යත්වයට පත්වන්නේ පළමුවන එලිසබෙත් රැජින ගෙන් පසුව යි. මොහු සම්බන්ධයෙන් වූ වඩාත් අප්‍රසිද්ධ තොරතුරක් වන්නේ, ඔහුට ඉතා අසාමාන්‍ය ලෙස විශාල දිවක් පිහිටා තිබීම යි. මේ දිව ඔහුගේ මුඛයට සාපේක්ෂ ව අසාමාන්‍ය ලෙස විශාල වූ අතර, මේ හේතුවෙන් ඔහුට කථන අපහසුතා මෙන් ම ආහාර ගැනීමේ අපහසුතා ද ඇති වී තිබුණා. නිතර ම ඔහු කතා කරන විට හා ආහාර ගන්නා විට දිව පැටලෙන්නට හා සැපෙන්නට වූ අතර, ඛේටය වෑස්සීම නිතර ම සිදුවුණා. ඔහු සතු වූ පුළුල් උරහිස්, පුළුල් පපු පෙදෙස හා ඉතා කෙසඟ පාද නිසා, ඔහුට තිබුණේ ඉතා විසුළු පෙනුමක් බවට වාර්තා පවතිනවා. ඔහු නිතර ම පූජකයන් හා රජයේ නිලධාරීන් සමඟ අවර ගණයේ විහිළු තහළු කිරීමට ද කැමැත්තක් දක්වා තිබෙනවා. ඉතිහාසඥයන් පවසන්නේ පළමුවන ජේම්ස් රජු ඔහුට පෙර රාජ්‍යත්වය දැරූ පළමු එලිසබෙත් රැජනගෙන් හාත්පසින් වෙනස් වූ පෞරුෂයක් දැරූ අයෙක් බව යි.

 මහා ඇල්ෆ්‍රඩ් රජු- historic-uk.com

 

දරුණු ගණයේ උදරගත රෝගයකින් පෙළුණු මහා ඇල්ෆ්‍රඩ් රජු

ඉංග්‍රීසි රජවරුන් විෂයයෙහි ‘මහා’ හෙවත් ‘ශ්‍රේෂ්ට’ යන යෙදුම නිතර ම භාවිත වන්නේ ඇල්ෆ්‍රඩ් රජු වෙනුවෙන් පමණ යි. ඔහු ක්‍රිස්තු වර්ෂ 871 සිට 886 දක්වා ‘වෙසෙක්ස් රාජධානියෙහි’ රජු වශයෙන් කටයුතු කළා. ඔහු රාජ්‍යය දැරූ සමය පුරාවට ම ඉතා දරුණු සහ වේදනාකාරී උදරගත රෝගයකින් පෙළුණා. නිතර ම පාහේ දැඩි වේදනාවකින් ඇඹරෙමින් සිටිනු දක්නට ලැබුණා. සමහර අවස්ථාවල ඔහුට සිය සයනයෙන් නැඟී සිටීමේ හැකියාවක් පවා තිබුණේ නැහැ.

මෑතක් වන තුරු මෙම රජු මුහුණපා සිටි තත්ත්වය සැලකුණේ අන්ත්‍රගත ක්ෂය රෝගී තත්ත්වයක් හෝ මහාන්ත්‍රයේ පිළිකා තත්ත්වයක් ලෙස යි. කෙසේ නමුත් මෑතක දී සිදු කළ අධ්‍යයනයකට අනුව ඔහු බොහෝ විට ‘ක්‍රෝන් ඩිසීස්’ නම් රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින්නට ඇති බැව් අනුමාන කෙරුණා. එහි දී නිතර ම පාහේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මහාන්තරයේ පහළ කොටස්වලට පහර දීම සිදු කරනවා.

දරුණු වේදනා සහ මරණය

මේ නිසා මෙම රෝගයෙන් පෙළෙන්නන්ට, රෝගය උත්සන්න වූ විට එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට පවා නොහැකි වන අතර, අතීසාර තත්වයන්ගෙන් ද පෙළෙන්නට පටන් ගන්නවා. මේ රෝගයට ප්‍රතිකාර නොලදහොත් ඉතා දරුණු වේදනා සහ මරණය පවා ඇති විය හැකි යි.

එවක ජීවත් වූ ඇන්ග්ලෝ සැක්සන්වරුන් කිසිවකුට ක්‍රෝන් රෝගය පිළිබඳ ව සුළු හෝ අදහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ නොහැකි අතර ඒ සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සිදු කරන්නට කිසිවෙක් අපොහොසත් වන්නට ඇති. මේ නිසා මෙම පුරාවෘත්තයක් බඳු ඇන්ග්ලෝ සැක්සන් රජුට වසර විස්සක් තිස්සේ මේ වේදනාව ඉවසා ගෙන සිටින්නට සිදුවන්නට ඇති. අවසානයේ ඒ නිසා ම දුර්වල වන්නට ඇති. වර්තමානයේ මෙම රෝගය, ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ මඩින් පහසුවෙන් මැඬ පවත්වාගන්නට හැකි අතර, අවශ්‍ය වූ විටෙක ශල්‍යකර්ම ද සිදු කළ හැකි බැවින්, එකල එම පහසුකම් පැවතියානම් ඔහුට වැඩි වේදනාවකින් තොර ව සිය රාජ්‍ය පාලනය ගෙනයාමේ හැකියාව ලැබෙන්නට තිබුණා.

කවරයේ ඡායාරූපය - දෙවන එලිසබෙත් රැජින හිස දැරූ ඔටුන්න - PTI 

මූලාශ්‍ර:

History.co.uk

Britannica.com

BBC.com

Related Articles