Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේ සතුරු ගුවන් යානා වැඩිම ප්‍රමාණයක් විනාශ කළ ඇමරිකානු ගුවන් නියමුවා

දෙවන ලෝක යුද්ධයේදී දස්කම් පෑ නාසි ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන් කිහිපදෙනෙක් පිළිබඳව මිට පෙර roar පිටුව තුළින් ලිපි කිහිපයක්ම ගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් අද ඉදිරිපත් කරන්නට සැරසෙන්නේ දෙවන ලෝක යුධ සමයේ අක්ෂ පාර්ශවයට අයත් ගුවන් යානා වැඩිම ප්‍රමාණයක් විනාශ කළ ඇමරිකානු ගුවන් නියමුවා පිළිබඳවයි. ඒ මිලියන ගණනක් වූ ඇමරිකානු ජනතාවගේ යුධ වීරයකු ලෙස අදටත් නම් දරා සිටින රිචර්ඩ් බොන්ග් නම් තරුණ ප්‍රහාරක නියමුවායි.

වයස අවුරුදු 20දී ගුවන් නියමුවෙක් වූ රිචඩ්

රිචර්ඩ් බොන්ග් (connectingthewindycity.com)

ස්වීඩනයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ යුවළකට​ දාව පවුලේ නව වන දරුවා ලෙස 1920 වසරේ සැප්තැම්බර් 24 වනදා විස්කොන්සින් (Wisconsin) ප්‍රාන්තයේ පොප්ලර් (Poplar) නම් කුඩා ගම්මානයක උපත ලබන රිචර්ඩ් හැදී වැඩෙන්නේ කෘෂිකාර්මික පරිසරයක යි. තවද ක්‍රීඩාවට ඉමහත් උද්‍යෝගයක් දැක්වූ ඔහු පාසලේ බේස්බෝල්, බාස්කට් බෝල් හා හොකී කණ්ඩායම්වල සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. කුඩා කළ සිට ගුවන් යානා කෙරෙහි ඉමහත් ලැදියාවක් දැක්වූ ඔහු තරුණ වියට පත් වූ පසු විනෝදය උදෙසා කුඩා ගුවන් යානා ආකෘති තනනවා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව1938දී  සිවිල් ගුවන් යානා නියමු පුහුණු පාඨමාලාවකට ඇතුළත් වන ඔහු එහි සියළු පරීක්ෂණ සාර්ථකව අවසන් කර 1940 වසරේදී එනම් ඔහුට යන්තමින් වයස අවුරුදු 20 වන විට සිවිල් ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ලබා ගන්නවා.

නිර්භීත තරුණ ගුවන් නියමුවා

තම P-38 ප්‍රහාරක යානයේ නැගී සිටින රිචර්ඩ් (World War Photos)

1941 වසරේ මයි 29 වනදා ඇමරිකානු ගුවන් හමුදාවට කැඩෙට් නිළධාරියෙක් ලෙස ඇතුළත් වන බොන්ග් කැලිෆෝනියාවේ රැන්කින් ගුවන් නියමු පුහුණු පාසලෙන් (Rankin Aeronautical Academy) තම මූලික ගුවන් නියමු පාඨමාලාව සාර්ථකව අවසන් කරනවා.1941 වසරේ පර්ල් වරායට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාර හමුවේ ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට අවතීරණය වෙනවා. ඒ හේතුවෙන් 1942 වසරේ දෙවන ලුතිනන්වරයෙක් ලෙස ඔහුට යුධ භූමියට පිය නැගීමට සිදු වෙනවා.

මාස කිහිපයක් ගුවන් පාඨමාලා උපදේශකයෙක් ලෙස කටයුතු කළ රිචඩ්ට එම වසරේම කැලිෆෝනියාවේ පිහිටි අමරිකානු ගුවන් හමුදා කදවුරක් වන හැමිල්ටන් ගුවන් කඳවුර වෙත වාර්තා කිරීමට සිදුවෙන අතර 49 වන ගුවන් ප්‍රහාරක බලඝණයේ ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස රාජකාරි භාරගැනීමට සිදුවෙනවා. අනෙක් ගුවන් නියමුවන් සමඟ එක්ව පුහුණු සැසි වලට සහභාගී වන අතර ද්විත්ව එන්ජිමක් සහිත Lockheed P- 38 නම් එවකට ඇමරිකානු ගුවන් හමුදාව සතු කාර්යක්ෂම ප්‍රහාරක ගුවන් යානය පැදවීම ඔහුට කිසිදු අභියෝගයක් වන්නේ නෑ.

හැමිල්ටන් ගුවන් කඳවුරෙන් ගුවනට නැගෙන ඔහු ඉතාමත් වේගයෙන් හා පහතින් නිර්භීතව පියාසර කරමින් නැවතත් ආරක්ෂිතව ගුවන් පථයට යානය ගෙන යාම පිළිබඳව දැනගත් ඇමරිකානු ගුවන් හමුදා 4වන සේනාංකයේ අණදෙන නිලධාරියා වූ මේජර් ජෙනරාල් ජෝර්ජ් චර්චිල් ඇමරිකාවට අවශ්‍ය වන්නේ මෙවැනි දක්ෂයන් බව ප්‍රකාශ කරමින් 1942 වසරේ සැප්තැම්බර් මාසයේදී ජපන් ගුවන් හමුදාව හා සටන් කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ ඩාර්වින්  (Darwin) හි 49 වන ගුවන් බලඝණය වෙත අනියුක්ත කරනවා.

ජපනුන්ගේ ගුවන් යානා සුනුවිසුණු කරමින්

තමන් විසින් විනාශ කළ ජපන් ගුවන් යානා ගණන පිළිබඳව ඔහුගේ ගුවන් යානයේ බදේ සටහන් කර ඇති අයුරු (World War Photos)

1942 වසරේ දෙසැම්බර් 27 වන දින රිචර්ඩ් තම ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ පැපුවා නිව්ගිනියා අහසේදී ජපනුන්ට අයත් A6M2 Zero වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙළීමෙන්. තම කණ්ඩායම සමඟ 1943 වසරේ ජනවාරි 6 වනදා ගුවනට නැගෙන රිචඩ් ඇතුළු ප්‍රහාරක පිරිසට සෙන්තයි (Sentai) නම් ජපන් හමුදාවේ ගුවන් රෙජිමේන්තුවක ප්‍රහාරක ගුවන් යානා සමඟ සටන් කිරීමට සිදුවෙනවා. මෙම සටනේදී ජපනුන්ගේ ප්‍රහාරක යාන 6ක් බිම දැමීමට ඇමරිකානුවන් සමත්වෙන අතර සටනේදී ගුවන් යාන 2ක් විනාශ කිරීමට රිචර්ඩ්ට​ හැකියාව ලැබෙනවා.

ඔහුට වැඩි දියුණු කරන ලද Lockheed P-38 යානයක් සමඟ නවවැනි බලඝනය වෙත මාරුවීමක් ලැබෙන අතර මාර්තු තුන්වනදා ඔහු නැවතත් ජපන් ප්‍රහාරක යානාවක් බිම හෙලනවා. මාර්තු 29 දා වන විට ඔහු විසින් විනාශ කළ ගුවන් යානා ප්‍රමාණය 9ක් දක්වා ඉහළ යන අතර ඒ හේතුවෙන් ඔහුව ලුතිනන්වරයෙක් දක්වා උසස් කිරීමට ඇමරිකානු ගුවන් හමුදාව විසින් තීරණය කරනවා. 1943 වසරේ ජුලි 26 වනදා තවත් සතුරු ගුවන් යානා 4ක් බිම හෙළීම හේතුවෙන් විශිෂ්ට සේවා පදක්කම (Distinguished Service Cross) ඔහුට පිරිනැමෙනවා.

1944 වසරේ අප්‍රේල් මාසය වන විට එඩි රිකින්බාකර් (Eddie Rickenbacker) නම් පළමු ලෝක යුද්ධයට සහභාගී වූ ඇමරිකානු ප්‍රහාරක නියමුවා විසින් ගුවන් යානා 26ක් බිම දමා “වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් විනාශ කළ ඇමරිකානු ගුවන් නියමුවා” ලෙස තබා තිබූ වාර්තාව කඩා දැමීමට රිචර්ඩ් බොන්ග්ට​ හැකියාව ලැබෙනවා. ඒ සමඟම ඔහුට මේජර් නිළය දක්වා උසස් වීමක් ලැබෙනවා.

තම බිරිඳ සමඟ (Pinterest)

ඉන් පසුව පුහුණු උපදේශකයෙක් ලෙසත් 5 වන බලඝණයේ අණදෙන්නා ලෙසත් පත් කරනු ලැබූ අතර ඉන්පසු රාජකාරිමය වශයෙන් ඔහුට ගුවන් සටන් වල නිරත වීම අවශ්‍ය වුයේ නෑ. නමුත් දිගින් දිගටම ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස සටන් කිරීමට තිබූ දැඩි වුවමනාව මත ඔහු පිලිපීනයේ ජපන් ප්‍රහාරක යානා වලට එරෙහිව සටන් කරනවා. එම වසරේ දෙසැම්බර් මාසය වන විට ඔහු විසින් බිම හෙලන ලද​ ගුවන් යානා ප්‍රමාණය 40 දක්වා ඉහළ යනවා. ඒ හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ඔහුට ඇමරිකානු හමුදා විශිෂ්ටයන්ට පමණක් පිරිනැමෙන Medal of Honor පදක්කමෙන් පිදුම් ලබනවා.

අවාසනාවන්ත මරණය

ඔහුගේ මරණය පිළිබඳව සහ පරමාණු බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු පුවත්පතක් එකම දිනයේ වාර්තා කර තිබූ අයුරු (Fairchild Air Force Base)

1945 වසරේ ජනවාරි මාසයේදී ඔහුගේ විවාහය සඳහා ඔහුව ඇමරිකාව වෙත නැවත ගෙන්වනු ලැබූ අතර විවාහයෙන් පසුව ඔහු කැලිෆෝනියාවේ නව ගුවන් ප්‍රහාරක යානා පරික්ෂා කිරීම සදහා පියාසර කරන ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කරනවා.

1945 වසරේ අගෝස්තු මාසයේ මාසයේ 6 වනදා ඔහු, අත්හදා බැලීම සදහා P 80 වර්ගයේ ජෙට් ගුවන් යානයක නැගී පියාසර කරනවා. යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය අනතුරකට ලක්වෙන අතර එම අනතුරින් රිචර්ඩ් බොන්ග් මරණයට පත් වනවා. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් දෙවන ලෝක යුද්ධයේදී සතුරු ගුවන් යානා වැඩිම ප්‍රමාණයක් විනාශ කළ දක්ෂ තරුණ ගුවන් නියමුවා මරණයට පත් වන්නේ වයස අවුරුදු 25 සම්පුර්ණ වීමටත් ප්‍රථමයි. ඒ හරියටම ඇමරිකාව විසින් හිරෝෂිමාවට පරමාණු බෝම්බ එල්ල කළ දිනයේදීමයි.

මිලියන ගණනක් ඇමරිකානු ජනතාවගේ යුධ වීරයෙක් ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ රිචඩ් ව මරණයෙන් පසු ඇමරිකානුවන් විසින් ගුවන් ප්‍රහාරකයන්ගේත් ප්‍රහාරකයා ලෙස ගෞරවණීයව​ ආමන්ත්‍රණය කරනු ලබනවා.

කවරයේ ජායාරූපය – wiki.warthunder.ru

Related Articles