වික්ටර් හාරා – සොඳුරු ජන ගී ගායකයා

ගීතය විශ්ව භාෂාවකි. ඒ, ඕනෑම වර්ගයක ජන කොටසකට ගීතය රස විදිය හැකි නිසාවෙනි. එමෙන්ම ගීතය විශ්ව කර්මයකි. ඒ, ගීතය විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බැවිනි. ගීතය සරල වින්දනයක් සිට, විරහව විඳ දැරීම හරහා දුක් වේදනා විඳි මිනිසුන් වෙනුවෙන් හඬක් විය හැක. එවැනි හඬක් නැති මිනිසුන්ට හඬක් වූ ගායකයෙකි, චිලී දේශයේ උපන් වික්ටර් හාරා.

වික්ටර් හාරා 1932 දී චිලීයේ අගනුවර වන සන්තියාගෝ නුවර දිළිදු පවුලක උපත ලබුවේ ය. ඔහුට දරිද්‍රතාවයේ ගිලී තිබූ පවුල වෙනුවෙන් ගොවිපලක වැඩ කිරීමට සිදුවූයේ වයස අවුරුදු හයේ දී තරම් ඉතා කුඩා අවධියේ දී ය. සිය මව වූ අමන්දාගේ අභාෂයෙන් ඔහු සංගීතයට ඇලුම් කළේ ය. එමෙන්ම කුඩා කාලයේ දීම ගිටාරය වැයීමට හුරු වූ වික්ටර් තම මවගෙන් උරුම වූ ජන ගී සංගීතය චිලීයේ දුක් විඳින මිනිසුන් උදෙසා භාවිතා කළේ ය.

වික්ටර් තරුණයින් හා ප්‍රගතිශීලීන් අතර ජනප්‍රිය වූයේ “ලා බියටා” නම් ගීතයෙනි. එහි අන්තර්ගතය වූයේ පල්ලියට පැමිණි කාන්තාවක හා පල්ලියේ පූජකයෙකු අතර ඇති වූ ආදර සම්බන්ධයක් පිළිබඳව යි. මේ ගීතය ගුවන්විදුලියේ විකාශය කිරීම තහනම් කරන ලද අතර, එය අඩංගු ගී තැටි විකිණීම පවා තහනම් කරන ලදී. එහෙත් මේ තහනම  හරහා සිදු වූයේ වික්ටර් හාරා පොදු ජනයා අතර ස්ථාවර වීම පමණි. 1960 දශකයේ මුල් භාගයේ දී සෝවියට් රුසියාවට හා කියුබාවට කරන ලද සංචාරයන් නිසා කොමියුනිස්ට්වාදය වැළඳ ගන්නා නමුත්, වික්ටර් කිසිදු අවස්ථාවක, කුමන ආකාරයක හෝ හිංසනය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු චේ ගෙවාරා ගැන ලියූ එක් ගීතයෙන්, ඔහුගේ ගුණයන් වර්ණනා කළ නමුන්, චේ ගෙවාරාගේ ප්‍රචණ්ඩ ආකල්පයන් අල්ප මාත්‍රයකින් හෝ වර්ණනා නොකළේ ය. හාරා, දුක් විඳින කම්කරුවන් වෙනුවෙන් තම මවගේ නම වන අමන්දා හා තම පියාගේ නම වන මැනුවෙල් යොදාගනිමින්, “මට ඔබව මතකයි අමන්දා” නම් ගීතය රචනය කළේ ය.

වික්ටර්ගේ තවත් හැරවුම් ලක්ෂයක් වූයේ “පෝටෝ මොන්ට් ගැන ප්‍රශ්න වැලක්” නම් ගීතය යි.  ඊට පාදක වූයේ 1969 එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, ගොවිතැනට බිම් කඩක් ඉල්ලූ ගොවියන් පිරිසක් මරාදැමීමට නියෝග කිරීමේ සිදුවීම යි. මියගිය ඒ පිරිස අතර මාස නමයක ළදරුවෙකු පවා සිටියේ ය. එම ගීතයේ ස්වදේශ කටයුතු ඇමතිවරයාගේ නම වූ එඩ්මන්ඩ් පෙරෙස් සුජොවික්ගේ නම ද සඳහන්විය. වරක් එම ගීතය වික්ටර් විසින් විශ්වවිද්‍යාලයයක දී ගායන කෙරුණු අතර, එහි ප්‍රේක්ෂකයින් අතර අදාළ අමාත්‍යවරයාගේ පුත්‍රයා ද සිටීම හේතුවෙන් ගීතය අවසන් වීමට ප්‍රථම වික්ටර් ප්‍රහාරයකට ලක්විය.

1970 දී වික්ටර් හාරා ජනප්‍රිය පෙරමුණේ සමාජවාදී අපේක්ෂක සැල්වදෝර් ඇලෙන්ඩේ වෙනුවෙන් ගීත ගායනා කරමින් රට පුරා ගමන් කළේ ය. මැතිවරණ සමයේ දී වික්ටර් ඇලෙන්ඩේගේ මැතිවරණ ප්‍රචාරන කටයුත්තක් උදෙසා “අප දිනනු ඇත” ගීතය ගායනා කරයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව වික්ටර් සමාජවාදි රාජ්‍යයක් උදෙසා කරන කැපවීම් දිගටම පවත්වාගෙන ගියේ ය. විශේෂයෙන්ම දක්ෂිණාංශිකයන් විසින් මෙහෙයවන ලොරි වැඩවර්ජනය අවස්ථාවේ, වික්ටර් සන්තියාගොවේ බඩු අදින කම්කරුවෙකුගේ කාර්යය කිරීමට තරම් අනතිමානී වෙන්නේ සන්තියාගෝ විශ්වවිද්‍යාලයයේ අධ්‍යක්ෂක ධුරය දරමින් වීම විශේෂයකි.

1973 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලැබූ බව කියැවෙන,අගෝස්තෝ පිනොශේ ගේ නායකත්වයෙන් යුත් හමුදා ජුන්ටාව චිලියේ පාලනය බලය අතට ගනු ලැබිණි. ඒත් සමගම ඇලෙන්ඩේ සිය දිවි නසා ගන්නා අතර, වික්ටර් තම සගයන් සමග විශ්වවිද්‍යලයයේ දී අත් අඩංගුවට පත්විය. ඔහුව රැගෙන යන්නේ ඉන් දින කීපයකට පෙර ඔහු ගී ගැයූ සන්තියාගෝහි පාපන්දු ක්‍රීඩාංගනයේ පිහිටුවා තිබූ වධකාගාරයකට යි. වික්ටර් වධකාගාරයේ සිටිය දීත් මිනිසුන්ගේ ධෛර්යය උදෙසා ගීත ගායනා කළේ ය. මේ ඔහු ගායනා කරන ලද අවසන් ගීතය යි.  

මේ ක්‍රිඩාංගනයේ

පන්දසක් පමණ වන අප

මේ කුඩා නගරයේ

පන්දාහක් පමණ අප එකට

එතරම් පිරිසක් එකට තව කොහේ ඇත් ද

මේ රටේ හෝ

මෙතැන පමණක් බීජ සිටවූ

දැති රෝද කරකැවූ

අත් දස දහසක් ඇත.

කි දහසක්

කුසගින්නට

සීතලට

බියට

වේදනාවට

පීඩනයට

බියගුළුකමට

නිරාවරණය වී ඇත් ද

අපගේම හය දෙනෙකු අද මෙතන නැත

එක් අයෙකු මිය ගොසින්

කිසිදා නොදුටු ලෙස තවකෙක් පෙලා ඇත

සියල්ලන්ම නියත මරණය හමුවේ සිටී

පිහි දරාගත් උන්ට ලේ යනු පදක්කම් ය

ජන ඝාතනය උන්ගේ වීරත්වය යි

අහෝ දෙවියනි මේ ඔබ මැවූ ලෝකය ද    

දින හතක අරුමය මේ සඳහා ද

මේ බිත්ති සතර ඇතුළත අප ඉලක්කමක් හැර වෙන කුමක් ද

මේ භිෂණයේ මා ගී ගයන්නේ කෙලෙස

නිහඬ බවේ කෑගැසීම මගේ ගීතයේ නිමාව යි

වධකයින් වික්ටර්ට පහර දෙමින් ඔහුට ගීත ගයන්නට බල කෙරුණු අතර අභියෝගය භාරගත් වික්ටර් කිසිදු පීඩනයකින් තොරවම ගීතය ගායනා කර තිබුණේ නියත මරණය අභිමුවෙහි වීම ඔහුගේ වීරත්වය මනාවට පෙන්නුම් කරයි. අවසානයේ ඔහුගේ ඇඟිලි හා අත්වලට පහර දී, ඔලුවට වෙඩි තබා ඝාතනය කෙරෙයි.

වික්ටර්ගේ සිරුරේ වෙඩි වැදීමෙන් වූ තුවාලහතළිහකට අධික සංඛ්‍යාවක් තිබූ බව සඳහන් වෙයි. අමානුෂික හා කෲර ලෙස මරා දමනු ලැබූ වික්ටර්ගේ දේහය ක්‍රීඩාංගනයේ දොරටුව අසල අනෙකුත් සිරකරුවන්ට ප්‍රදර්ශනය කොට, පසුව අනෙකුත් සිරුරු සමග මහ මඟ අත්හැර දමන ලදී. වික්ටර්ගේ ආදරණීය බිරිඳ සිරුර භාරගෙන මිහිදන් කොට, ආපිට තම රට වන එංගලන්තයට බලා ගියා ය.

චිලීහි හමුදා ජුන්ටාව වික්ටර්ට කෙතරම් බිය වී ද යත් ගිටාරය චිලියෙහි කාලයකට තහනම් කරන්නේ සියබියගුළු කම ප්‍රදර්ශනය කරමිනි. 1976 දී චිලි හා සෝවියට් රුසියාව අතර පවත්වන්නට නියමිතව තිබූ පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගය, මේ සිදුවීම හේතුවෙන් සෝවියට් රුසියාව විසින් වර්ජනය කෙරිණි.

කෙසේ නමුත් හාරාගේ ඝාතනයෙන් වසර 45කට පසු, 2018 ජූලි මාසයේ දී හාරාගේ ඝාතකයින්ට අධිකරණය හරහා දඩුවම් ලබා දෙන ලදී.

වික්ටර් හාරා ඇතුළු 5000කට අධික පිරිසක් මරා දමනු ලැබූ ක්‍රීඩාංගනය අද වික්ටර් හාරා ක්‍රීඩාංගනය ලෙස හැඳින්වේ.

දහසක් මිනිසුන් වෙනුවෙන් ගී ගැයු වික්ටර් හාරා වෙනුවෙන් ලියැවුණු ගීතයන් ද අපමණකි.

1996 දී චක් බ්‍රොඩ්ස්කි විසින් ගායනා කරන ලද “වික්ටර් හාරාගේ අත්” නැමැති ගීතයේ පහත පද තිබිණි.

වික්ටර් හාරාගේ ලේ

කිසි දිනක සේදෙන්නේ නැත

තව තවත් උනනු ඇත

තව තවත් රතු වෙමින්  

වෛරයට හැරෙනු ඇත

වෛරය තුවක්කුවට හැරෙනු ඇත

දරුවන්ට පියවරුන් අහිමි විය

මවුවරුන්ට පුතුන් අහිමි විය

1980 දී ද කැලෙෂ් සංගීත කංඩායම වික්ටර් හාරා ගැන මෙසේ කියා ඇත.

චිලියේ හැම සිර කුටියක්ම

වධ විඳි මිනිසුන් හඬන හඬ

කියනු ඇත

එන්නට පෙර හමුදාව

මතක ද ඇලෙන්ඩේව

මතක ද වික්ටර් හාරාව

සන්තියාගෝ පිටිටනියේ

හාරා විඳි වධ බන්දනයන් ගැන තවත් ගීතයක් 2014 දී හොග්නි රේයිස්ට්‍රප් විසින් එලි දැක්වූවා. එය වික්ටර් හාරා තම බිරිඳට ලියූ ගිතයක් ලෙස නිර්මාණය කර ඇත.

මගේ හඩ දුබලයි

එය හීන් කෙඳිරියකි

බිඳ දැමූ මගේ දෑතින්

මා ලිපියක් ලියන්නෙමි ඈට

සියළු බාධක ඉදිරියේ

ඇය ඉපැදි ජීවත් වූ බව

ඇයට ලියනෙමි ආදරෙන්

මානව දයාව මනා ලෙස ප්‍රකට කළ මේ විශිෂ්ඨ මිනිසා සිය දිවිය කැපකළේ දුක් විඳින පීඩා විඳින මිනිසුන් වෙනුවෙනි. තමන්ගේ හැකියාව තිබූ ජන ගීතය හරහා අනෙකා වෙනුවෙන් පෙනි සිටි වික්ටර් වැනි නිර්මාණකරුවන්ගේ අඩුව මේ පොළොවට දැනී ඇත.

මූලාශ්‍රයයන්

ජෝන් හාරා -නොනිමි ගීතය, පරිවර්තනය ආරියනන්ද දොඹගහවත්ත

විකී පීඩියා

Related Articles