බැද්දේගම රචනා කළ ලෙනාර්ඩ් වුල්ෆ්

ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් ඉංග්‍රීසි ජාතික දේශපාලන න්‍යායවාදියෙකු, ලේකඛයකු, ප්‍රකාශකයෙකු හා  සිවිල් සේවකයෙකු වුණා. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය පාදක කර ගනිමින් ‘ ද විලේජ් ඉන් ද ජන්ගල්’ නැතිනම් ‘බැද්දේගම’ යන කෘතිය රචනා කළ ඔහුගේ නම​ ලංකික අපට ඉතාමත් හුරුපුරුදු නාමයක් වනවා.

උපත හා අධ්‍යාපනය

geni.com (තරුණ අවධියේ දී)

ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් උපත ලැබුවේ 1880 නොවැම්බර් මස 25 වන දින ලන්ඩන් හිදීය. දරුවන් දහ දෙනෙකුගෙන් පමණ යුක්ත වන පවුලේ තුන්වන දරුවා වන්නේ මොහුය. දෙමව්පියන් වන්නේ සොලමන් රීස් සිඩ්නි වුල්ෆ් හා මේරි වුල්ෆ් ය. වර්ෂ 1892 දී සිය පියා මිය යාමෙන් අනතුරුව වුල්ෆ් ව ආර්ලිංග්ටන් හවුස් පාසැලට​ ඇතුළත් කර තිබෙනවා. ඔහු වර්ෂ 1894 සිට ලන්ඩන් හි පිහිටි ශාන්ත පාවුළු පාසලට ඇතුළත් වූ අතර 1899 දී පමණ කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා උසස් ශිෂ්‍යත්වයක් හිමි කර ගනු ලැබුවා. වුල්ෆ්ගේ B.A උපාධිය ලබා ගනු ලැබුවේ 1902 වර්ෂයේ ය.

සිවිල් සේවයට බැඳීම

thuppahi.wordpress.com ( සිලෝන් හි පාලන සමය)

1904 ඔක්තෝම්බර් මාසයේදී පමණ වුල්ෆ් ලංකාවේ සිවිල් සේවයට එක් වූවා. ඒ යටත් විජිත් සේවයට අනියුක්තව ආධුනික කනිෂ්ඨ සිවිල් සේවකයකු ලෙසයි. ඔහු මුලින්ම රාජකාරි කළේ යාපනයේ සහ ඉන්පසු මහනුවරයි.  අනතුරුව 1908 අගෝස්තු මස පමණ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපතිවරයා ලෙස ඔහු පත් වුණා.

වුල්ෆ් ලංකාවේ ගත කළ ජීවිතය

thuppahi. wordpress.com (එවකට හම්බන්තොට වරාය)

වයස අවුරුදු 21 දී පමණ ලංකාව වෙත පැමිණි වුල්ෆ් 1908 සිට 1911 දක්වා කාලය තුළ හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. මෙම කාල වකවානුව වුල්ෆ් තරමක් අභියෝගාත්මක කාලයක් වුණා. එනම් හම්බන්තොට ශුෂ්ක සහිත කලාපයක් වීම හේතුවෙනුත්, මෙම වකවානුවේදී අඩු වර්ෂාපතනයක් ලැබීමත් හේතුවෙන් වාරි පහසුකම් නොතිබූ භූමි ප්‍රදේශයන්හි වගා කටයතු සිදු කිරීමද අපහසු තත්ත්වයේ තිබුණා.

වුල්ෆ් හට තම පාලන කටයුතු සිදු කිරීමට වර්ග​ සැතපුම් 1200ක පමණ භූමි ප්‍රමාණයක් හිමිව තිබුණා. කෙසේ නමුත් මෙම ප්‍රමාණයෙන් සැතපුම් 600 ක් පමණම සමන්විත වූයේ කැලෑවන්ගෙන් යුක්ත වූ මාගම්පත්තුව යන ප්‍රදේශයයි.

එවකට හම්බන්තොට  ප්‍රදේශය

1911 වසරේ දී ජන සංගණනයක් පැවැත් වූ අතර එවකට ප්‍රදේශයේ ජනගහනය වූයේ 110,508 කි. මේ අතරින් බහුතරයක් පහතරට සිංහලයන් වුණා. නමුත් හම්බන්තොට නගරය සමන්විත වූයේ මුස්ලිම්වරුන්ගෙනි. එවකට ප්‍රධානම ජීවනෝපාය වූයේ වී ගොවිතැනයි. මෙම වී වගාවට අමතරව හේන් වගාවත්, පොල් හා පැඟිරි වගාවත් සාර්ථකව සිදු කෙරුණා. මීට අමතරව ලුණු ලේවායන් තුළින්ද අදායම් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණා.

වුල්ෆ්ගේ දිනපොතේ දත්ත

මොහු පරිපාලන කටයුතු කරන වකවානු වලදී සිදු වූ විශේෂ සිදුවීම්, දුටු විශේෂ කරුණු, අලි ඇතුන් ආදිය ගැනත් සටහන් කිරීමේ කටයුත්තක නිරතව සිටියා. වුල්ෆ් ට තදින්ම දැනුන එම සිදුවීම් වලින් කිහිපයක් නම්,

1909 මාර්තු මස 16 වන දින සටහන් කර ඇත්තේ ‘මා කටුවන​ රජයේ පාසල අධීක්ෂණය කළ අතර එම ස්කෝලයේ ගුරුවරයෙකුට සාමාන්‍ය දැනීම යටතේ පාඩමක් උගන්වන ලෙස මම යෝජනා කළෙමි. පාඩමේ මාතෘකාව වූයේ ‘මහා මුහුදයි’. ඔහු ඉතා හරවත් පාඩමක් සිසුන් ඉදිරියේ ඉතා සිත් ගන්නා සුළු අන්දමට ඉදිරිපත් කළේය. ගුරුවරයාගේ වියක්ත බව මට ඉන්පසු ප්‍රත්‍යක්ෂ වුණි’ යනුවෙනි.

1910 අගෝස්තු 8 වන දින සඳහන් කර ඇත්තේ, ‘ශාන්ත ජෝසෆ් රෝමානු කතෝලික වත්තට මම ගියෙමි. බොහෝ කාලයක් තිස්සේ එහි යෑමට මට උවමනාවක් තිබිණි. වත්තේ පොල් වගාව සරුවට කර ගෙන යන බවක් පෙනේ. මෙම වගාව සඳහා සම්පූර්ණ ශ්‍රමය ලැබෙන්නේ කාන්තාවන්ගෙනි. මොවුන් ඈත ගම්වලින් පැමිණෙන අය වූ අතර ඉතා අඩු පඩියකට උදැල්ලත්, පොළවත් සමඟ ගැටෙති’ යනුවෙනි.

නැවත එංගලන්තය බලා පිටත් වීම හා විවාහය

wikimedia.org ( බිරිඳ සමඟ)

වර්ෂ 1911 දී පමණ ලෙනාර්ඩ් වුල්ෆ් නැවත එංගලන්තය බලා පිටත් වුණා. ඔහු නැවත ලංකාවට පැමිණෙනු ලබන්නේ වසර 50 කට පමණ පසුවයි. එනම් වයස අවුරුදු 81 දී පමණය.  එසේ පැමිණෙනු ලැබුවේ වසර කිහිපයකට පෙර පාලන කටයුතු සිදු කළ හම්බන්තොට දකින අටියෙනි.

වර්ෂ 1912 පමණ වුල්ෆ් විවාහ දිවියට එක් වූවා. එනම් Adeline Virginia Stephen සමඟයි. පසුකාලීනව ඇයව හඳුන්වනු ලැබුවේ වර්ජිනියා වුල්ෆ් යනුවෙනි.

කතුවරයෙකු ලෙස වුල්ෆ්

විවාහයෙන් අනතුරුව වුල්ෆ් ලිවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඔහුගේ ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත් කරනු ලැබූවේ 1913 දීය. එම නවකතාව වන්නේ ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ යන්නයි. එසේත් නැතිනම් ‘බැද්දේගම’ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන නව කතාවයි. මේ සඳහා පාදක වුයේ සිලෝන් හි යටත් විජිත පාලනය සමයයි. අනතුරුව වුල්ෆ් කම්කරු පක්ෂයට හා ෆේබියන් සංවිධානයට එක් වූ අතරම 1916 වසරේදී පමණ ලෝක සාමය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු සහ වර්ජිනියා එක්ව 1917 දී “හොගාර්ත්” ප්‍රකාශන සමාගම පිහිටුවාගනු ලැබුණා.

බැද්දේගම

වුල්ෆ් යන නාමය ඇසූ පමණින්ම ලාංකිකයන් ඔහුව හඳුනන්නේ ඔහු විසින් රචිත කෘතිය හේතුවෙනි. මේ සඳහා පාදක තිබෙන්නේ යටත් විජිත වකවානු වල ලාංකිකයන් විසින් ගත කරනු ලැබූ ජන ජිවිතයේ සැබෑ ස්වරූපයයි. ඔහු මෙරට ගත කළේ ඉතාමත් කෙටි කාලයක් වුවත් එවකට ගැමියන් මුහුණ දුන් ගැටළු, සමාජ පැවතුම්, ජන ජීවිතය ආදී කරුණු සම්බන්ධයෙන් ඔහුට තිබුණේ පෘථුල තේරුම් ගැනීමකි. වුල්ෆ් ලංකාවටත්, මෙම හම්බන්තොට ජනතාවටත් ඉමහත් සෙනහසක් දැක්වූවා.

“ශ්‍රී ලංකාවේ හත් අවුරුදු සිවිල් සේවා කාලය තුළදී මා සෞන්දර්යාත්මක දේශපාලන සත්ත්වයකු බවට පත් කළේය. දහස් සංඛ්‍යාත සිංහල දෙමළ ජනතාව පත්ව සිටි අසරණ තත්ත්වය මා භීතියට පත් කළේය. අධිරාජ්‍ය වාදයේ කුරිරු බව මා දුටුවෙමි’යනුවෙන් සඳහන් කර තිබෙනවා.

මෙම කෘතියට අමතරව The Wise Virgins, International Government, The Future of Constantinople, Cooperation and the Future of Industry, Economic Imperialism, Empire and Commerce in Africa, Socialism and Co-operation, Fear and Politics , Hunting the Highbrow, Imperialism and Civilization, Quack! Quack!,Barbarians At The Gate, The War for Peace ආදියද වුල්ෆ් විසින් රචිත කෘති අතර වැදගත් වනවා.

දිවියේ අවසන් වකවානුව

tate.org.uk (වයසින් මුහුකුරා ගිය වුල්ෆ්)

වුල්ෆ්ගේ බිරිඳ වූ වර්ජිනියා කලක් තිස්සේ මානසික ව්‍යාධි තත්ත්වයකින් පෙළුණා. නමුත් ඔවුන් දෙදෙනා අතර ඉතා සමීප සබඳතාවක් වූ බව විශ්වාස කෙරෙනවා. ඇය 1941 මාර්තුවේදී සියදිවි නසා ගත්තා.

වුල්ෆ් මිය ගියේ ඊට වසර විසි අටකට පසු 1969 අගෝස්තු 14 වනදා යි.

Cover Image: දකුණු පස සිටින්නේ ලෙනාර්ඩ් වුල්ෆ් ය​ (leonardwoolf.altervista.org)

Related Articles