Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ පාතාල රැජිණ- වර්ජිනියා හිල්

ලෝක ඉතිහාසය දෙස බැලීමේ දී බොහෝ ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවන් රැසක් අපට හමුවනවා. එයින් බහුතර කාන්තාවන් සිය ජීවිත කාලය පුරාවටම ලෝකයට යහපතක් කරමින් ප්‍රසිද්ධියට පත්වුණු අය යි. නමුත් තවත් සමහර කාන්තාවන් ඔවුන් සිදුකරන ලද අයහපත් දේ නිසා ප්‍රසිද්ධියට පත්වුණා. වර්ජිනියා හිල් ද එවැන්නියක්.

ඇමරිකාවේ හොර මැරකම් බහුලව සිදුවුණු චිකාගෝ නගරයේ ජීවත් වුණු වර්ජිනියා තුරුණු වියේ දීම පාතාල කල්ලියක් සමග සම්බන්ධ වුණා. ඇගේ තීක්ෂණ බුද්ධිය සහ සුන්දර රූප සපුව නිසා වැඩිකල් යන්නට පෙර පාතාල ලෝකය තුළ නමක් හදාගන්නට ඇයට හැකිවුණා. එනිසා ඇය පසුව ප්‍රසිද්ධියට පත්වුණේ පාතාල ලෝකයේ රැජිණ ලෙසින්. මේ කියන්නට යන්නේ වර්ජිනියා හිල්ගේ ජීවිත කතාව යි.  

ජීවිතයේ මුල් අවධිය 

වර්ජිනියා හිල් 1916 අගෝස්තු 26 වැනිදා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ ලිප්ස්කොම්බ් ග්‍රාමයේ දී උපත ලැබුවා. ඒ මැක් හිල් සහ ඔහුගේ බිරිඳට ඉපදුණු 7 වැනි දරුවා ලෙසින්. කුඩා වර්ජනියාගේ පියා, මැක්, වෘත්තියෙන් අශ්ව වෙළෙන්දෙකු වුණු නිසා ඔවුන්ට මුදලින් අඩුවක් තිබුණේ නැහැ. එනිසා කුඩා වර්ජිනියා සහ ඇගේ සහෝදර සහෝදරියන් 9 දෙනා සතුටින් ජීවත් වුණා. නමුත් ඔවුන්ගේ සතුට වැඩි කාලයක් රැඳී තිබුණේ නැහැ. වර්ජිනියාගේ පියා සහ මව අතර නිතරම ඇතිවුණු අඩ දබර නිසා ඔවුන් නීතියෙන් වෙන්වීමට තීරණය කළා. දෙමාපියන් නීතියෙන් වෙන්වෙද්දී වර්ජිනියාගේ වයස අවුරුදු 8ක් පමණ වුණා.

වර්ජිනියාගේ මව, වර්ජිනියා සහ ඇගේ සහෝදර සහෝදරියන් ජෝර්ජියාවේ මරියාටා වෙත රැගෙන ගියා. වර්ජිනියා එහි රොබට්ස් පාසලට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු සිදුකළා. එම කාලයේ වර්ජිනියාගේ මව ඉතාමත් අසීරුවෙන් සිය දරුවන් රැකබලා ගත්තා. නමුත් වසර කිහිපයකින් වර්ජිනියාගේ මව වෙනත් කෙනෙකු විවාහ කරගැනීමෙන් ඔවුන්ට තිබුණු ආර්ථික ගැටලු තරමක් අඩුවුණා. 

ආර්ථික ගැටලු තරමක් දුරට සමනය වී ගියත්, වර්ජිනියාට සිය සුළුපියා නිසා කරදර රැසකට මුහුණදීමට සිදුවුණා. සුළුපියා ඇයට සහ ඇගේ සහෝදර සහෝදරියන්ට කෲරතර අයුරින් සැලකීම පුරුද්දක් කරගත්තා. එනිසා, 15 හැවිරිදි වියට එළඹෙන විය වර්ජිනියා සිය ජීවිතය එපාවන තත්ත්වයට පත්ව සිටියා.

වර්ජිනියා හිල් (archyde) 

චිකාගෝ නගරයේ පදිංචියට යාම 

වර්ජිනියා 14 හැවිරිදි විය වන විට තමාට වසරකින් පමණ වැඩිමහල් තරුණයෙකු වුණු ජෝර්ජ් රැන්ඩෙල් සමග පෙම් සබඳතාවයක් ඇතිකරගෙන තිබුණා. නිතරම කනස්සල්ලෙන් කාලය ගත කළා ඇය තමා විඳි හිරිහැර පිළිබඳව සිය පෙම්වතාට ද පවසා සිටියා. 

වර්ජිනියා දිගින් දිගටම ජෝර්ජ් හමුවේ පැවසූ තොරතුරු නිසා තරුණ ජෝර්ජ් නිර්භීත තීරණයක් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1931 වසරේ නොවැම්බර් මාසයේ දී වර්ජිනියා සහ ජෝර්ජ් විවාහ දිවියට එළැඹුණා. හිතුමතේ විවාහ වුණු වර්ජිනියාට තවදුරටත් එම ප්‍රදේශයේ වාසය කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එනිසා ජෝර්ජ් සහ වර්ජිනියා චිකාගෝ නගරය වෙත පළායාමට තීරණය කළා. නමුත් චිකාගෝ වෙත ගොස් ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොතිබුණු නිසා ඔවුන් දෙදෙනා අසභ්‍ය චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වී මුදල් සෙවීමට කල්පනා කළා. 

මැර කල්ලියකට සම්බන්ධ වීම  

චිකාගෝ වෙත ගිය ජෝර්ජ් සහ වර්ජිනියා අසභ්‍ය චිත්‍රපටවල රඟපාමින් ආදායමක් උපයාගත්තා. නමුත් ටික කලක් ගතවන විට ඔවුන් දෙදෙනා විරසක වුණා. එම විරසකයේ අවසන් ප්‍රතිඵලය වුණේ වර්ජිනියා සහ ජෝර්ජ් දික්කසාද වී වෙන්ව ජීවත් වීමට තීරණය කිරීම යි. 

දික්කසාද වුණු වර්ජිනියාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් අවශ්‍ය වුණා. එනිසා ඇය 1933 වසරේ චිකාගෝ නුවර පැවැත්වුණු ලෝක වෙළඳ ප්‍රදර්ශනය තුළ, මාෆියා කල්ලියක් විසින් පවත්වාගෙන ගිය සැන් කාලෝ ඉතාලි ගම්මානයේ වේටර් රැකියාවක්  සොයාගත්තා. නමුත් එම රැකියාවෙන් ලැබුණු ආදායම ඇයගේ ජීවිකාව ගෙනයාම සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය අමතර ආදායමක් උපයාගැනීම සඳහා ගණිකා වෘත්තීයට යොමුවුණා. 

ගණිකා වෘත්තියේ නිරතවෙමින් සිටි වර්ජිනියාට ධනවත් පුද්ගලයෙකු වුණු ජෝසප් එප්ස්ටයින් හඳුනාගන්නට ලැබුණා. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධක් ගොඩනැගුණා. නමුත් එම සම්බන්ධය වැඩිකල් පැවතුණේ නැහැ. ඒ එප්ස්ටයින්ගේ අයහපත් චර්යා රටාවට වර්ජිනියා අකමැති වුණු නිසා යි. 

ජෝසප්ගෙන් ඈත්වුණු වර්ජිනියාට ඉන් පසුව ලකී ලුසියානෝ නම්  පුද්ගලයයාව  දැන හඳුනාගන්නට අවස්ථාව ලැබුණා. චිකාගෝ නුවර ප්‍රධාන මැර කල්ලියක සාමාජිකයෙකු වුණු ඔහු වර්ජිනියා සිය කල්ලියට සම්බන්ධ කරගත්තා. ඔහු වර්ජිනියාට අදහාගන්නට බැරි තරම් විශාල මුදලක් මාසික පඩිය ලෙස ගෙවීමට එකඟ වුණා. සල්ලිවලට තිබුණු දැඩි ආශාව නිසා වර්ජිනියා එම කල්ලිය සමග සම්බන්ධ වුණා.

චිකාගෝ ප්‍රදර්ශනය පිළිබඳ දැන්වීමක් (WBEZ)

අපරාධකාරියක් ලෙසින් ප්‍රසිද්ධියට පත්වීම 

චිකාගෝ පාතාල කල්ලියට සම්බන්ධ වුණු වර්ජිනියාට ප්‍රධාන වශයෙන් පැවරුණු වගකීම වුණේ මැර කල්ලියේ සාමාජිකයන් අතර පණිවිඩ යැවීම යි. හොර බඩු ප්‍රවාහනය සඳහා ද ඇයව යොදාගැනුනා. ඊට අමතරව මෙහෙයුම්වලට පෙර ඔත්තු බැලීම ද වර්ජිනියාගේ කටයුත්තක් වුණා. වර්ජිනියාගේ සුන්දර පෙනුම නිසා කිසිවෙකු ඇය සැක කළේ නැහැ. එනිසා පාතාල කල්ලියට වර්ජිනියා සම්බන්ධවීම ඔවුන්ගේ මෙහෙයුම් හොඳින් කරගෙන යාමට උදව්වක් වුණා. 

මේ සියල්ල අතරතුර, පාතාල කල්ලියේ සිටි මැරයන්ගේ ලිංගික මනදොළ සපුරාලන්නට ද වර්ජිනියාට සිදුවුණා. ඇය සෑමවිටම කල්පනා කළේ යහමින් මුදල් හරිහම්බ කරගන්නා ආකාරය පිළිබඳව යි. එනිසා ඇය ඕනෑම දුරාචාරයක යෙදීමට දෙවරක් සිතුවේ නැහැ. චිකාගෝ කල්ලිය සමග අපරාධවල යෙදෙමින් සිටි වර්ජිනියා එම කල්ලියේ සිටි ජෝ ඇඩෝනිස්ගේ අනියම් බිරිඳ බවට ද පත්වුණා. කෙමෙන් පාතාල ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්වුණු වර්ජිනියා 1930 දශකයේ අගභාගය වන විට වෘත්තිමය අපරාධකාරියකගේ තත්ත්වයට පත්ව සිටියා. 

වර්ජිනියා උත්සවයක දී ඇගේ පෙම්වතෙකු සමග (spokemens.com)

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැලීම 

1930 දශකයේ අග භාගයේ දී ඇඩෝනිස් සිය අනියම් බිරිඳ වුණු වර්ජිනියා ලොස් ඇන්ජලීස් වෙත පිටත් කර හැරියා. ලොස් ඇන්ජලීස් වෙත ගිය ඇය, මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සහ චිකාගෝ කල්ලිය අතර පැවති මත්ද්‍රව්‍ය ගනුදෙනු එහි සිට හසුරවනු ලැබුවා. එසේම එම කාලය තුළ ඇය ඇතැම් හොලිවුඩ් සිනමා තරු සමග ද සමීප සම්බන්ධතා පවත්වනු ලැබුවා. එරල් ෆ්ලයින් සහ වික්ටර් මේචර් යන ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවන් යුගලය සමග ඇය එකට ජීවත් වුණා. එනිසා ඇයට යහමින් මුදල් හදල් සහ තෑගි බෝග බොහොමයක් ලැබුණා. ඇය නර්තන ශිල්පියෙකු වන කාලෝස් වැල්ඩෙස් සමග ද ටික  කලක් විවාහ වී සිටියා. එම විවාහය පැවති අතරතුර මෙක්සිකෝවට ගිය වර්ජිනියා එහි දී ප්‍රභූවරියක් සේ පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන ගියා. ඒ වන විට වර්ජිනියා චිකාගෝ පාතාලයේ රැජිණක් බවට පත්ව සිටියා.

පාතාල කල්ලි නායකයෙකු සමග එකට ජීවත් වෙයි 

1944 වසරේ දී වර්ජිනියා සහ වැල්ඩෙස් දෙපලගේ විවාහය දෙදරා ගියා. වර්ජිනියාට බග්සි සීගල් නම් පාතාල කල්ලි නායකයාව හඳුනාගන්නට ලැබුණේ සීගල්ගේ කල්ලිය සහ ලුසියානෝගේ කල්ලිය අතර සිදුවුණු ගණුදෙනුවල ප්‍රතිඵලයක් වශයෙන්. සීගල් ඒ වන විට එස්ටා ක්‍රකවර් සමග විවාහ වී සිටියත් ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවයක් තිබුණේ නැහැ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, කැසිනෝ සූදුව ජයටම කරගෙන ගිය සීගල් ඒ වන විට විශාල ධනවතෙකු වී සිටියා. එනිසා වර්ජිනියා පාතාල කල්ලි නායක සීගල් සමග එකට වාසය කිරීමට කැමැත්ත පළ කළා. වර්ජිනියාගේ සුන්දර පෙනුම සහ සරාගී බව නිසා සීගල් ඇයට දැඩි කැමැත්තකින් සිටි බව පැවසෙනවා. 

බග්සි සීගල් (Mob Museum)

එම කාල සමය වන විට වර්ජිනියා හඳුන්වනු ලැබුවේ “ෆ්ලෙමින්ගෝ” නම් සුරතල් නාමයෙන්. ඒ ඇයට සිහින් දිගු දෙපා තිබුණු නිසා යි. එකල ලාස් වේගාස් නුවර ජීවත් වුණු සීගල් විශාල කැසිනෝ ශාලාවක් සහිත හෝටලයක් ඉදිකරනු ලැබුවා. එයට ඔහුගේ ආදරවන්තියෙගේ සුරතල් නාමය වුණු ෆ්ලෙමින්ගෝ යන නම තැබුවා. 1946 වසරේ අගභාගය වන විට සීගල් රූමත් වර්ජිනියාව විවාහ කරගැනීම සඳහා සූදානමෙන් සිටියා. එනිසා ඔහු සිය බිරිඳ වුණු එස්ටා දික්කසාද කිරීමට පවා කටයුතු කළා. ඒ වන විට සීගල් සහ එස්ටා විවාහ වී වසර 17ක් ගතව තිබුණා. 

ෆ්ලෙමිංගෝ හෝටලය (Noirsville)

1947 වසර වන විට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන්, ගණිකා වෘත්තියේ නිරත වීමෙන්, සහ ධනවත් පෙම්වතුන්ගේ මාර්ගයෙන් වර්ජිනියා විශාල මුදලක් උපයා තිබුණා. ඒ මුදල්වලින් ඇය සුඛෝපභෝගී බෙවර්ලි හිල්ස් නගරයෙන් සුවිසල් නිවසක් මිල දී ගත්තා. ඇතැම් අවස්ථාවල සීගල් සහ වර්ජිනියා එම නිවසේ ද වාසය කළා. 

ව්‍යාපාර කටයුතු සඳහා අධික මුදලක් වියදම් කිරීම නිසා 1947 මුල් භාගය වන විට සීගල් ආර්ථික වශයෙන් පිරිහී සිටියා. එසේම ඔහු ප්‍රතිවාදී පාතාල කල්ලි සමග ගැටුම් ඇතිකර ගත්තා. එනිසා ලාස් වේගාස් නුවර රැඳී සිටීම අවදානම් බව තේරුම්ගත් සීගල් වැඩිපුර කාලය ගත කළේ ඔහුගේ ආදරවන්තියගේ මන්දිරයේ යි. නමුත් මේ අතරේ, සීගල්ගේ ගමන් බිමන් ගැන අවධානයෙන් සිටි පිරිසක් ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටියා. 

1947 ජූනි 20 වැනිදා සීගල් සිය පෙම්වතියගේ බෙවර්ලි හිල්ස් නිවසේ දී ඝාතනයට ලක්වුණා.

සීගල් මියගොස් සිටි අයුරු (AP)  

යුරෝපයට සංක්‍රමණය වීම 

1950 වසරේ මුල් භාගයේ දී වර්ජිනියා නැවතත් විවාහ වුණේ හාන්ස් හෝසර් නම් ඕස්ට්‍රියානු ජාතිකයා සමග යි. ඇයගේ අනිකුත් පෙම්වතුන් සහ සැමියන් මෙන්ම ඔහු ද ධනවතෙකු වුණා. එම වසරේ නොවැම්බරයේ දී ඔවුන් දෙපළට පිරිමි දරුවෙක් උපන්නා. ඔහුට පීටර් හෝසර් යන නම තැබුවා. ඒ යුගයේ නිව්යෝක් ටයිම්ස් සඟරාව වර්ජිනියා හැඳින්වූයේ මැර කල්ලිවල රැජිණ ලෙස යි. නමුත් වර්ජිනියා එවැනි කතා ප්‍රතික්ෂේප කළා.

1951 මාර්තු මාසයේ දී කීෆෝවර් කමිටුව ඇමරිකාවේ සංවිධානාත්මක අපරාධ පිළිබඳව විමර්ශනයක් කළා. එක්සත් ජනපද සෙනෙට් සභික එස්ටෙස් කීෆෝවර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු එම කමිටුව ඉදිරියේ සාක්ෂ්‍ය අබාදීමට වර්ජිනියා හිල් ද කැඳවනු ලැබුවා. 

වර්ජිනියා කීෆෝවර් නඩු විභාගයේ දී සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින් (AP)

නඩු විභාගයේ දී වර්ජිනියාගෙන් කැසිනෝ ව්‍යාපාර, ඔට්ටු ඇල්ලීම් වැනි කාරණා සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවා. නමුත් තම සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බවට සිදුකෙරුණු චෝදනා ඇය ප්‍රතික්ෂේප කළේ එවැනි දෑ ගැන තමන්ට දැනුමක් නැති බව පවසමින්. වර්ජිනියාට විශාල ධනයක් ලැබුණේ කෙසේ ද යන කාරණය පිළිබඳව කමිටුව විමසා සිටියා. වර්ජිනියා පවසා සිටියේ “පිරිමින් අශ්වයන්ට රේස් ඔට්ටු අල්ලනවාටත් වඩා වැඩි මුදලක් ඇය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ බව” යි. කොමිසමේ නිලධාරීන්, ඇය වෙනුවෙන් ඒ අයුරින් ඔට්ටු ඇල්ලීමට හේතුව කුමක් ද යන්න පෙරළා ප්‍රශ්න කළ විට පිළිතුරු ලෙස වර්ජිනියා පැවසුවේ තමා ලෝකයේ හොඳම ගණිකාව නිසා පිරිමින් එසේ ඇය වෙනුවෙන් මුදල් විසි කළේ බවයි. 

1954 වසරේ දී වර්ජිනියාට ආදායම් බදු පැහැර හැරීම පිළිබඳ චෝදනාවක් එල්ල වුණා. ඉන් බේරීමට ඇය හොර රහසේම යුරෝපයට පළාගියා. සිය සැමියා සහ දරුවා සමග යුරෝපයට ගිය වර්ජිනියා ඕස්ට්‍රියාවේ ජීවත් වුණා.

වර්ජිනියා සොයාගැනීම සඳහා පළවුණු දැන්වීම (Pinterest)

ජීවිතයේ අවසාන කාලය 

වර්ජිනියා හිල් සිය ජීවිතයේ අවසන් කාලය සිය සැමියා සහ පුත්‍රයා සමගින් ගත කළා. එම කාලය අතරතුර ඇය කිහිපවරක්ම සියදිවි හානිකරගැනීමට උත්සාහ කළා. සීගල් සමග එකට ජීවත් වුණු කාලයේ ද ඇය සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණා. වර්ජිනියා යුරෝපයට ගොස් රහසිගතව ජීවත් වුණත් ඇයට චිකාගෝ කල්ලිවලින් තර්ජන එල්ල වුණේ ඇය සිදුකරන ලද ඇතැම් අනාවරණයන් නිසා යි. 

වර්ජිනියා සිය සැමියා සහ දරුවා සමග (Pinterest)

අප්‍රකටව සිය අවසන් කාලය ගතකළ වර්ජිනියාගේ නිසල සිරුර 1966 මාර්තු 24 වැනිදා සැල්ස්බර්ග් ප්‍රදේශයේ ගංගාවක් අසල වැටී තිබිය දී හසුවුණා. ඇයගේ මරණය නිදි පෙති අධික ප්‍රමාණයක් පානය කිරීමෙන් සිදුවුණු මරණයක් බවට මරණ පරීක්ෂණයේ දී හෙලිදරව් වුණා. නමුත් ඇයගේ මරණය සිදුවන්නට සති කිහිපයකට පෙර චිකාගෝවේ ඉතාලි-ඇමරිකානු මාෆියාවේ සාමාජිකයන් වර්ජිනියා ජීවත් වුණු ප්‍රදේශයේ සැරිසැරූ බව වාර්තා වුණා.  වර්ජිනියාගේ මරණයට ඔවුන්ගේ සම්බන්ධයක් තිබුණු බවට රාවයක් පැතිර ගියා. එනිසා ඇයගේ මරණයේ සැකමුසු තැන් කිහිපයක් අදටත් ඉතිරිව තිබෙනවා. 

වර්ජිනියාගේ සොහොන (Al)

කවරයේ ඡායාරූපය- වර්ජිනියා හිල් 

මූලාශ්‍රයයන්- washingtonpost.com

                        themobmuseum.org

                        al.com 

Related Articles