Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රජෙකුටත් රජකම එපා කල වොලිස් සිම්ප්සන්

එංගලන්තයේ VIII වෙනි එඩ්වර්ඩ් රජතුමාට කිරුල අතහැරීමට හේතුකාරක වන ඇමරිකානු ගැහැණිය ලෙසත්, රජ පවුලක් අපකීර්තියට​ පත් කරමින් රජෙකුගේ හදවත හොරකම් කල නින්දිත ගැහැණිය ලෙසත් ඇයව විවේචනය කළ අය විසින් හැඳින්වූ වොලිස් සිම්ප්සන් පිළිබඳ ඇතැමුන් තුළ වූ වෛරය කොතරම් ද කිවහොත්, ඇය ඇමරිකානු ගණිකාව නමින්ද හඳුන්වන්නට සමහරෙක් පෙළඹුණා. රජකම අත්හල එඩ්වර්ඩ් වින්ඩ්සර් ආදිපාදවරයා ලෙසින් හැඳින්වෙද්දී  ඇයව වින්ඩ්සර් අදිපාදීවරිය ලෙසින් පිළිගන්නටවත් ඇතැමුන් කැමති වුනේ නැහැ.

දෙවරක් දික්කසාද වූ ගැහැනියක රටේ රැජින වෙනවා දකින්න රට වැසියන්ට සේම එවකට රජ පවුලට ද අවශ්‍ය වුනේ නැහැ. මේ නිසාවෙන් අටවෙනි එඩ්වර්ඩ් රජුට සිදු වුනේ තමන්ගේ ආදරය ද එහෙමත් නැති නම් රජ කිරුල ද යන දෙකින් එකක් තෝරා ගන්න. කවුරුත් නොසිතපු විදියට ඔහු තෝරා ගත්තේ ඇය ව. මේ නිසාවෙන් එඩ්වර්ඩ්ගෙන් පසුව ඔහුගේ සොහොයුරා වුනු ඇල්බර්ට් කුමරු හෙවත් බර්ටි හයවෙනි ජෝර්ජ් නමින් රජ වෙනවා. ඒ දෙවන එලිසබෙත් රැජිනගේ පියා. ඒ අනුව එංගලන්තයේ වැඩිම කලක් කිරුල දැරූ රැජින වන එළිසබෙත් රැජිනට රජ වීමට හේතු පාදක වන සිද්ධිය වන්නේ ද අටවෙනි ජෝර්ජ් රජතුමා වොලිස් වෙනුවෙන් රජකම අතහැර දැමීමයි. එඩ්වර්ඩ් රජු සිහසුන අත නොහැරියා නම් ඇතැම්විට එලිසබත් කුමරිය රාජ්‍යත්වයට පත් වන්නේ නැහැ.

කවුද මේ වොලිස් සිම්ප්සන් – ළමා කාලය

වොලිස් ඉපදන්නේ 1896 ජුනි 19 වෙනිදා ඇමරිකාවේ දී පෙන්සල්වෙනියා සහ මේරිලන්ඩ් දේශසීමාව ආසන්නයේදී . උපත ලබද්දී ඇයගේ මව්පියන් ඇයට නම් තබන්නේ බෙසී වොලිස් වර්ෆිල්ඩ් යනුවෙන්. වොලිස් ඉපදිලා මාස පහක් යද්දී වොලිස්ගේ පියා ටීකල් වර්ෆිල්ඩ් ක්ෂය රෝගය නිසාවෙන් මියයනවා.

සැමියාගේ මරණයෙන් පසුව වැඩි මුදලක් අතේ නැතිව වුවත් ධනවත් ඥාතීන්ගේ උදව් උපකාර මධ්‍යයේ වොලිස්ගේ අම්මා වොලිස්ව උස් මහත් කරනවා. වොලිස්ට අවුරුදු 12 ක් වෙද්දී වොලිස්ගේ අම්මා ඇලිස් ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකුගේ පුත්‍රයෙක් සමගින් යලිත් විවාහ වෙනවා.

තරුණ වොලිස් (pinterest)

ඉන් අනතුරුව පවුල් පසුබිමත් වොලිස්ගේ පියාගේ සොයුරන්ගේ අනුග්‍රහය මතත් මේරිලන්ඩ් හි ධනවත් ගෞරවාන්විත යැයි සැලකු පාසලක අධ්‍යාපනයකට යොමු වෙන වොලිස් දක්ෂ ලෙස සිය අධ්‍යාපන කටයුතු කල බවට ඉතිහාසය සාක්ෂි දරනවා. කොයිතරම් දක්ෂ වුනත් ඇයගේ පාසල් කාලය පිළිබද සටහන් තුලින් ඇය පාසලේ සිටි කැරලිකාර සිසුවියක් ද ලෙසින් ද කියවෙනවා.

සාමාන්‍ය සිසුවියකට නැති තරම් එඩිතර කමක් තිබුණු වොලිස් පාසලේ දී රහසිගතව එලියට යාම, පෙම්වතුන් ඇසුරු කිරීම සහ දුම් පානය ආදී ක්‍රියාවන් හි නියැලුණු බව ඒ සමහර සටහන් වල සදහන්. එමෙන්ම මිනිසුන් ආකර්ශනය කර ගැනීමට ද ඇයට අපුරු හැකියාවක් තිබුණා ලු..

වොලිස් තරුණ කාලයේ දී (pinterest)

වොලිස්ගේ විවාහයන් සහ පෙම් සබදතා

1916 අප්‍රියෙල් මාසයේ දී ඇමරිකානු නාවික හමුදා නිලධාරියෙකු වූ ලුතිනන් අර්ල් වින්ෆිල්ඩ් ස්පෙන්සර් මුණ ගැසීමෙන් අනතුරුව එම වසරේ නොවැම්බරයේ බැල්ටිමෝර් හි දේවස්ථානයක දී වොලිස් සහ අර්ල් විවාහ වෙනවා. ඒ වෙද්දී වොලිස්ට වයස අවුරුදු 20ක්. කොහොම නමුත් වොලිස්ගේ සැමියා අර්ල් ස්පෙන්සර් දැඩිව මත්පැන් පානයට ඇබ්බැහිව සිටි නොසැලකිලිමත් ක්‍රියා කලාපයකින් යුතු අයෙකු ලෙසින් ප්‍රකටයි. අර්ල් ස්පෙන්සර්ට දිගින් දිගටම පලවෙනි ලෝක යුද්ධය සමගින් තැනින් තැන කටයුතු කිරීමට සිදු වූ අතර එම කාලයේ දී වොලිස් ද කාලයෙන් කාලයට තනිව සංචාරය කරමින් ජිවත් ව වෙන්න පුරුදු වෙලා තියෙනවා.

වොලිස් සහ අර්ල්ගේ විවාහයේ අවසන් කාලයේ දී වොලිස් වසරකට අධික කාලයක් තනිව චීනයේ ජිවත් වෙලා තියෙනවා. ඒ කාලයේ සමාජයේ තදින් පැතිර ගොස් තිබු කටකතාවන්ට අනුව වොලිස්ට බිජිං නුවර දී පසු කලෙක​ මුසලෝනිගේ බෑණා සහ මුසෝලිනීගේ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වුණු ගලෙයාට්සෝ සියානෝහමු වුණු බවත් ඔවුන් අතර තිබූ සබඳතාවයකින්​ වොලිස් ගැබ් ගෙන තිබුණු බවත් එම කළලය ගබ්සාවකින් විනාශ කල බවත් කියවෙනවා. මේ ගබ්සාව නිසාවෙන් කිසි දිනක ඇයට දරුවන් ලැබිය නොහැකි වූ බවත් කියවෙනවා.  කොහොම නමුත් පසු කාලීනව සියානෝගේ බිරිඳ වූ මුසෝලිනීගේ දියණිය එඩා එම කටකතා ප්‍රතික්ෂේප කළා.

ඉන් අනතුරුව තවත් කාලයක් චීනයේ සිටින වොලිස් පසුව ඒ වන විට අර්ල් ජිවත් වූ ඇමරිකාව වෙත නැවත පැමිණිය ද ඔවුන් දෙදෙනා ජිවත් වන්නේ වෙන් වයි. කෙසේ වුවත් වසර ගණනක් තිස්සේ වෙන් වීම් එක්වීම් හමුවේ ගෙවුණු ඒ විවාහය 1927 දෙසැම්බර් මාසයේ දී දික්කසාදයකින් කෙලවර වෙනවා.

අර්ල් ස්පෙන්සර් හා තිබු විවාහය කෙලවර වෙනවාත් සමගම ඇන්ග්ලෝ – ඇමරිකානු නාවික මෙහෙයුම් විධායක  නිලධාරියෙකු වන අර්නස්ට් ඕල්ඩ්රික් සිම්ප්සන් සහ වොලිස් අතර සබදතාවක් ගොඩ නැගෙනවා. වොලිස් විවාහ කර ගැනීම සදහා අර්නස්ට් සිම්ප්සන් සිය පළමු බිරිද වූ ඩොරති ව දික්කසාද කරනු ලබන්නේ ඩොරතිට සහ අර්නස්ට් ට දාව උපත ලැබූ දියණියක් ද සිටියදීයි. වොලිස්ගේ පළමු විවාහයෙන් වෙන්ව මාස හතක් ගෙවී යද්දී 1928 ජුලි මාසයේ දී අර්නස්ට් සිම්ප්සන් සහ වොලිස් ලන්ඩන්හි වලදී විවාහ වෙනවා. ඒ කාලයේ දී 1929 දී වොලිස්ගේ අසනීප මව​ බැලීමට වොලිස් යලිත් ඇමරිකාවට යනවා.

වොලිස් සහ දෙවන සැමියා (pinterest)

සිය දෙවෙනි සැමියාගේ මරණයෙන් අනතුරුව විවාහ වූ තෙවෙනි සැමියා සමගින් ඒ වන විට ජිවත් වන වොලිස්ගේ අම්මා අසනීප තත්වය හේතුවෙන් ම කෙටි කලකින්  මිය යන්නේ වොලිස්ට ඇමරිකාවේ සිටි සමීපතම ඥාතියා ද අහිමි කරවමින්.

ඉන් අනතුරුව යලිත් ඇමරිකාවට පැමිණෙන වොලිස් අර්නස්ට් සිම්ප්සන් සමගින් විශාල සේවක සංඛ්‍යාවක් සමගින් ධනවත් නිවසකට පදිංචියට ගියත් පසුකලක ඔවුන්ගේ ධනය ටිකින් ටික පරිහානියට පත් වෙනවා.  ඒ කාලයේ දී වොලිස්ගේ මිතුරියක වූ කොන්සුවෙලෝගේ සොහොයුරිය තෙල්මා මුණ ගැසීම නිසා වොලිස්ගේ ජීවිතය වෙනස් මගක් ඇති කරන්න ආරම්භ වෙනවා.

එවකට වේල්සයේ කුමරු එඩ්වර්ඩ්ගේ එවකට සමීපතම හිතවතිය වුණු තෙල්මා වොලිස්ට එඩ්වර්ඩ් ව හදුන්වා දෙනවා. ඒ 1931 ජනවාරි 10 වෙනිදා. මෙම හමුවීමත් සමගින් ටිකින් එක අර්නස්ට් සිම්ප්සන් අමතක කරන වොලිස් එම විවාහයෙන් ද 1937 දී වෙන් වෙන්නේ නැවතත් ඇය විශ්වාසය කඩ කල බිරිඳක ලෙසින් ඉතිහාසයේ ලියවෙමින්.

එඩ්වර්ඩ් සහ තෙල්මා – Public Domain

අටවෙනි එඩ්වර්ඩ් හෙවත් වේල්සයේ කුමරු

වේල්සයේ කුමාරු හෙවත් එඩ්වර්ඩ් පස් වෙනි ජෝර්ජ් රජතුමාගේ සහ මේරි රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වගේම රජ කිරුලට උරුමකරු ද වුනා. 1894 ජුනි 23 වෙනිදා ඉපදුණු එඩ්වර්ඩ් රජ වීමට උපන් කුමරා වුණු නිසාවෙන් උපන්දා සිටම රජ කිරුල දැරීමට පුරුදු පුහුණු කල අයෙක්.

වේල්සයේ කුමරා ලෙසින් සමාජය තුල ඉතා ඉහලම පිළිගැනීමට ලක් වුනු මිනිසා වුනු එඩ්වර්ඩ් මිතුරන් අතරේ ඩේවිඩ් ලෙසින් ආමන්ත්‍රණය වුනා. ජිවිතයේ 41 වෙනි අවුරුද්ද ද තනිකඩ ව ගෙව්වත් එවකට විවාහක කාන්තාවන් ගණනාවක් සමගින් ප්‍රේම සම්බන්ධතා තිබූ අයෙක් ලෙසින් එඩ්වර්ඩ් ගැන කටකතා නොසැහෙන්න පැතිර තිබුනේ රජ පවුල ද කම්පාවට පත් කරමින්.

එඩ්වර්ඩ් කුමරුගේ 1920 දී අඳින ලද සිතුවමක් (Pinterest)

1931 වසරේ ජනවාරියේ දී වොලිස් සහ ඔහුගේ පළමු හමුවීම පිළිබදව විශේෂ මතකයක් එඩ්වර්ඩ් තුල නොමැති වුනත් එම වසරේ දී සිදු වූ දෙවෙනි හමුව ඔවුන් මිතුරන් බවට පත් කරනවා. 1930  සහ 1934 අතරතුර කාලයේ දී විවිධ උත්සව අවස්ථා කිහිපයක දී ම එඩ්වර්ඩ්ට වොලිස් මුණ ගැසෙනවා. ඒ කාලය සිම්ප්සන් පවුල ඇතුලේ විවිධ මුල්‍ය අර්බුද සහ ගැටුම් ඇති වෙන්න පටන් ගෙන තිබු කාලයක්.

1934 ජනවාරියේ දී එතෙක් එඩ්වර්ඩ්ගේ පෙම්වතිය විදියට හිටපු තෙල්මා නිව්යෝර්ක් වෙත යාමත් සමග අර්නස්ට්ගේ බිරිද වුණු වොලිස් එඩ්වර්ඩ්ගේ පෙම්වතිය බවට පත් වෙනවා.

මේ සම්බන්ධය පවතින කාලයේ දී ම 1936 ජනවාරි 20 වෙනිදා පස්වෙනි ජෝර්ජ් රජතුමා මිය පරලොව යාමත් සමගින් එඩ්වර්ඩ් අටවෙනි එඩ්වර්ඩ් ලෙසින් එංගලන්තයේ රජ වුවත් එම රජ කිරුල ඔහුගේ හිසෙහි පවතින්නේ අවුරුද්දකටත් අඩු කාලයක් පමණයි. ඒ හරියටම දින 325 ක් පමණයි. එයට හේතුව වන්නේ ද වෙන කිසිවෙකුත් නෙවෙයි. වොලිස්.සිම්ප්සන්.

වොලිස් සිම්ප්සන් (Patrick Lichfield Condé Nast –  Getty Images)

දෙවරක් දික්කසාද වූ සහ විවිධ චෝදනා තුලින් සමාජ අපකීර්තියට පත් වූ චරිතයක් ලෙසින් ප්‍රකට වොලිස් රජ පවුලේ සාමාජිකයෙක් කර ගැනීමට එඩ්වර්ඩ් රජතුමා හැරෙන්නට වෙන කිසිවෙකුත් කැමති වුනේ නැහැ. ඒත් එඩ්වර්ඩ්ට ඔහු ආදරය කල ගැහැණිය විවාහ කරගැනීම ට අවශ්‍ය වුනා. හැබැයි එංගලන්තය පල්ලියට අනුවට දික්කසාද වූ ගැහැණියක් විවාහ කර ගැනීම රජුට තහනම් වුනා.

එම නිසාවෙන් 1936 දෙසැම්බර් 11 වෙනිදා තමන් ආදරය කල ගැහැණිය විවාහ කර ගැනීමට අට වෙනි එඩ්වර්ඩ් රජතුමා රජකම අතහැර දමනවා. එයින් මාස හයකට පසුව 1937 ජුනි 3 වෙනිදා ප්‍රංශයේ දී 16 දෙනකු සහභාගී වූ පුංචි උත්සවයකින් පසුව එඩ්වර්ඩ් සහ වොලිස් විවාහ වෙනවා.

වොලිස් සිය දෙවෙනි විවාහයෙන් නිත්‍යානුකුල ව වෙන් වන්නේ ද එයට මාසයකට පෙර මැයි මාසයේ දී යි.  නමුත් එඩ්වර්ඩ් රජු හා විවාහ වීමට වොලිස්ගේ වැඩි කැමැත්තක් නොතිබුණා වගේම ඇය රජු හා විවාහ වීමේ එඩිතර තීරණය ගැනීමට බිය වී සිටියා යැයි පැවසෙනවා. කොහොම නමුත් තමන් හා ඇය විවාහ වුයේ නැති නම් ජීවිතය නැති කරගන්නා බවට එඩ්වර්ඩ් ප්‍රකාශ කළ බව ද​ පැවසෙනවා.

වර්තමාන දෙවන එලිසබෙත් රැජිනගේ පියා සහ එඩ්වර්ඩ්ගේ සොහොයුරා වූ හයවෙනි ජෝර්ජ් රජුට කිරුල අත හැරීමෙන් මාස පහකට පසුව එඩ්වර්ඩ් විසින් මෙසේ පවසා තිබෙනවා..

“ වොලිස් මා අසලින් සිටින තාක් කල් රජ කිරුල මට මදක්වත් වටින්නේ නැහැ. “

1951 දී එඩ්වර්ඩ්ගේ චරිතාපදානයෙන් පැවසෙන පරිදි ඔහු ආදරය කල ගැහැණිය සමග ජිවත් වීමට තීරණය කිරීම ඔහුගේ ජිවිතයට නරකක් කර තිබුනේ නැහැ. ඔහු දිගින් දිගටම ඔහුගේ චරිතාපදානය තුලින් ඇය වර්ණනා කරනවා.  ඔහුට අනුව ඔහුගේ ජීවිතය සුන්දර කල ගැහැණිය වන්නේ වොලිස්.

වොලිස් සහ එඩ්වර්ඩ් බහමාස් හි 1942 දී (Ivan Dmitri Michael Ochs/Getty Images)

වොලිස් නාසි ඔත්තුකාරියක් ද ?

ජර්මානුවන්ට අනුකම්පා කල අයෙකු ලෙස එඩ්වර්ඩ් ප්‍රකට වූ අතර බොහෝ දෙනා වොලිස් ද ජර්මානු නියෝජිතයෙකු සහ නාසි ඔත්තුකාරියක යැයි සැක කළා. 1937  දී වොලිස් සහ එඩ්වර්ඩ් ජර්මනියට ගොස් හිටලර් ව ද මුණ ගැසුනා. මෙම හමුවීමෙන් පසුව හිට්ලර් විසින් වොලිස් පිළිබද ව “ she would have made a good queen.” යනුවෙන් ප්‍රකාශයක් කල බව ද වොලිස් පිළබද ලියවුනු සමහර කෘති වලින් පැවසෙනවා.

වොලිස් සහ එඩ්වර්ඩ් හිටලර් සමග (The Independent)

වොලිස් සහ එඩ්වර්ඩ් දෙවන ලෝක යුද්ධයට පෙර  පැරිසියේ ජිවත් වුනු අතර ඉන් අනතුරුව පසුව අවස්තානුකුලව 1940 දී පටන් වසර පහක් පමණ ඔවුන් බහමාස් හි ජීවිතය ගෙව්වා. යුද්ධයෙන් පසුව නැවතත් පැරිසියට පැමිණෙන වොලිස් සහ එඩ්වර්ඩ් ඔවුන්ගේ ජිවිතයේ ඉතුරු කාලය පුරාවටම දිවි ගෙව්වේ පැරිසියේ දී.

වොලිස් සහ එඩ්වර්ඩ්ගේ විවාහය නිසාවෙන් එඩ්වර්ඩ් රජ පවුලෙන් පිටුවහල් කෙරුණත් පසුව වසර ගණනක් තිස්සේ කාලය ගත වෙද්දී රාජිකිය පවුල සමගින් යම් හිතවත් කමක් ගොඩ නගා ගන්න වොලිස්ට හැකි වුනා.

වොලිස් සහ එඩ්වර්ඩ් (Robert Siegler/Getty Images )

වොලිස් සහ එඩ්වර්ඩ්ගේ විවාහයෙන් පසුව ගෙවී ගිය මුල් අවුරුදු තිහේ දී ඔවුන්ගේ සැලසුම වී තිබුනේ ඔවුන්ගේ මරණයෙන් පසුව වොලිස්ගේ දේශය වුනු  ඇමරිකාවේ බැල්ටිමෝර් හි දී සිරුරු භූමිදානය වනවා දකින්නයි. නමුත් 1960 දී දෙවන එලිසබෙත් මහා රැජින සමගින් ඔවුන් ඇති කර ගත් එකඟතාවයක් මත එම තීරණය වෙනස් කරන්න සිදු වුනා.

ඒ අනුව 1972 මැයි 28 වෙනිදා පැරිසියේ දී අවුරුදු 77ක් වූ  එඩ්වර්ඩ්ගේ මිය යැමත් සමගින් එඩ්වර්ඩ්ගේ අවමඟුල් උත්සවය එංගලන්තයේ දී පැවැත්වුනු අතර ඒ කාලය තුල බකිංහැම් මාලිගය තුල නැවතී සිටීමට ද වොලිස්ට යම් අවසරයක් රාජකීය පවුලෙන් ලැබී තිබුනා. වසර 14කට පසුව 1986 දී වොලිස් මියගිය අවස්ථාවේ දී ද වොලිස්ගේ අවමගුල් උත්සවය පැවැත්වුනේ ද වින්ඩ්සර් බලකොටුව​ට අයත් ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ දී යි. වින්ඩ්සර් බලකොටුව​ දෙවෙනි එලිසබෙත් රැජිනට​ අයත් මාලිගාවක් වන අතර පසුකාලින ව චාල්ස් සහ කැමිලා යුවලගේ විවාහය සිදු කෙරුනේ ද මෙහිදියි. එමෙන්ම මෑතකදී හැරී කුමරු සහ මේගන් මාර්කල් විවාහ වූයේ ද එම දේවස්ථානයේදී. වින්ඩ්සර් මාලිගය ආසන්නයේ තිබෙන රාජිකිය සොහොන් පිටියේ එඩ්වර්ඩ්ගේ සොහොන පසෙකින් වොලිස්ගේ සිරුර ද භූමිදානය කරන්න රාජකීය​ පවුල කටයුතු කරා.

වොලිස්ගේ ආභරණ එකතුව .

රැජිනක් වගේ ජීවිතය ගෙවූ වොලිස් (Getty Images)

කිසි දිනක බ්‍රිතාන්‍ය රජ බිසව වීමට නොහැකි වුනත් ඇය ජිවත් වුනේ රැජිනක් වගේ. ඇය සතුව වටිනා රාජිකිය ආභරණ එකතුවක් සතු වුනා. මිල කල නොහැකි තරම් දුර්ලභ හා වටිනා ආභරණ එකතුවක් මෙම ආභරණ එකතුවෙන් කිහිපයක් පමණ  2013 වර්ෂයේ දී සොතබි ආයතනයෙන් වෙන්දේසියට තබා තිබුනා. එම වෙන්දේසියෙන් ඩොලර් මිලියන් හයක් පමණ ලැබී තිබුනා. එමෙන්ම 1987 වර්ෂයේ දී

තිබු වොලිස්ගේ ආභරණ කිහිපයක වෙන්දේසිය අපුරු වාර්තාවක් තැබුවේ  එම ආභරණ සදහා ඩොලර් මිලියන 50කට අධික වාර්තාමය මිලකට වෙන්දේසි වෙමින්.

දෛවයේ සරදරමකට මෙන් ඩයනා කුමරියගේ පෙම්වතා වූ ඩොඩි අල් ෆයිඩ්ගේ පියා මොහොමඩ් අල්ෆයිඩ් 1987 වෙන්දේසියට පෙර වොලිස්ගේ ආභරණ එකතුව විශාල මිලකට මිලදී ගැනීමට උත්සාහ දරා තිබුනා.

මූලාශ්‍ර​

  1. Wallis Simpson: The Baltimorean Who Became A Royal
  1. Inside the Biggest Royal Scandal Ever: How King Edward VIII’s Explosive Affair With Wallis Simpson Changed the Course of History
  1. Who was Wallis Simpson? American socialite whose affair with King Edward VIII led to him abdicating the throne
  1. Wallis Simpson’s extraordinary collection of lovers

Cover Image: වොලිස් සිම්ප්සන් සහ එඩ්වර්ඩ් (Getty Images)

Related Articles