Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පතල වූ බෞද්ධ මිණි පහන

ගාල්ලේ වල්පොළ නම් කුඩා ගමේ 1907 දී උපත ලද වල්පොළ රාහුල හාමුදුරුවෝ කුඩාකල තබා තරුණ කාලයේ දී වුව නිසියාකාර පිරිවෙන් හෝ පාසැල් අධයාපනයක් නොලැබී ය. උන්වහන්සේ මුල් අවධියේ ද ආරණ්‍යගත ව වෙසෙමින් පිණ්ඩපාතික වීම, පිණ්ඩපාතයෙන් ලැබෙන ඕනෑම දෙයක් වැළඳීම ආදී ධූතාංග පිරුවේ ය. මුල් කාලයේ රාහුල හාමුදුරුවෝ පැවිදි වූ ඒ නිකාය කොටස පොල්කටු නිකාය ලෙස හැඳින්වූයේ පොල් කටු භාවිතා කොට පැන් පානය කිරීම ආදී වතාවත්වල නිරත වූ නිසා ය.

පසුකලෙක කොළඹට වැඩම කළ උන් වහන්සේට විවිධ දායක මහතුන්ගේ මඟ පෙන්වීමෙන්, ඉංග්‍රීසි, ගණිතය, සහ විද්‍යාව ඉගෙනීමට වරම් ලැබුණි. ඒ අතර කල්කටාවේ විශ්ව විද්‍යාලයකට ගොස් ඉගෙනීමේ අවස්ථාවක් ලැබුණ ද දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග ම ඒ කටයුතුවලට බාධා එල්ල විය. උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්, එවකට යුනිවර්සිටි කොලීජියෙන් ප්‍රථම උපාධිය 1941 දී ලබාගත් අතර එය එවකට බෞද්ධ භික්ෂුවක් ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් ව උපාධි ලැබූ පළමු අවස්ථාව විය.

groveatlantic.com

සත්‍යෝදය

සත්යෝදය යනු ලිපි මාලාවකි. එවකට පැවැති බෞද්ධ වතාවත් සංස්කෘතික අංග ආදිය තුළ සැබෑ බෞද්ධ දහම නොමැති බව 1931 තරම් ඈත කාලයේ දී වල්පොළ රාහුල හාමුදුරුවෝ පෙන්වා දුන්නේ ය. ඉන්දියාවේ බුදුන් වැඩ වාසය කළ බෙංගාලයට මෙන් තද වැසි සමයක් ලංකාවේ නොමැති බවත්, එබැවින් වස් පිංකම් පැවැත්වීම නිරර්ථක වැඩක් ලෙසත් උන්වහන්සේ දකින ලදී. එසේ ම යමෙකු සිත පහදවා ගන්නට පන්සලට යන කල ඒ සිත බිදීමට පිං කැට, සල් පිල්, පිරිකර ආදී නොයෙකුත් ආධාර වැඩසටහන් තිබීම ද උන්වහන්සේගේ සත්‍යෝදය හරහා දෝෂ දර්ශනයට ලක් විය. වර්තමානයේ ද අපේ ලංකාවේ බෞද්ධයින් අතර මුල් බැසගෙන තිබෙන ඇතැම් සිරිත් හරහා නියම බුදු දහමේ මූලයන්ට සිදුකරන බලපෑම වල්පොළ රාහුල හාමුදුරුවෝ සත්යෝදය මඟින් පෙන්වා දෙන ලදී.

කුලය සහ කුල බෙදීම් පිළිබඳ මතය

නිදහස ලබාගැනීමට දශක දෙකකට තුනකට එපිට ලංකාවේ කුල ක්‍රමය දැඩි ව බලපැවැත්වුණි. කොටින්ම 1920 ගණන්වල දී රජයේ රැකියාවලට ගැනීමේ දී ද කුලය සලකා බලා තිබුණි. 1927 දී වල්පොළ රාහුල හිමිට වයස අවුරුදු 20කි. තරුණ වියේ ද උන්වහන්සේ පීඩිත කුල ජනයාට දහම් සිසිල ලබාදෙමින් ඔවුන් සමග වාසය කළේ ය. ඔවුන් සමග නිරාහාර ව සිට ඒ මුදලින් යම් යම් මහජන සේවාවන් කිරීමට උන්වහන්සේට මුල් කාලයේ දී හැකි විය. 1940 තරම් ඈත කාලයේ දී මේ කුල බෙදීමට විරුද්ධ ව සිය පෑන සහ හඬ මෙහෙය වීය. ඒ හරහා සියම් නිකායේ ගොයිගම කුලයේ අය පමණක් පැවිදි කිරීම සහ කුල අනුව පන්සල් බෙදීම උන්වහන්සේ එදා දැඩි ව විවේචනය කළේ ය.

භික්ෂුවගේ දේශපාලනය

හැම පුද්ගලයෙකු ම දන්නා පරිදි නිදහස් අධ්‍යාපනය යනු කන්නංගර මහතාගේ මූලිකත්වයෙන් ඇරඹුණු ක්‍රියාදාමයකි. එහෙත් එහි දී නිදහස් අධ්‍යාපනය ගෙන ඒමට විරුද්ධ පිරිස එදා ප්‍රබල විය. ඩී. එස්. සේනානයක, ජේ. ආර්. ජයවර්ධන පමණක් නොව වල්පොළ හාමුදුරුවෝ ම පසුකලෙක කියන පරිදි බණ්ඩාරනායක පවා එදා නිදහස් අධ්‍යාපනය ගෙන ඒමට විරුද්ධ විය. අසුන පරාජය වීම නිසා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කන්නංගර මහතාට අපහසු වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටියේ වල්පොළ රාහුල, යක්කඩුවේ පඤ්ඤාරාම ආදී හිමිවරුන් ය. ඒ හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයාගේ මූලිකත්වයෙන් අත්සන් කෙරුණ අත්සන් දහස් ගණනකින් යුත් පෙත්සමක් මඟින් නිදහස් අධ්‍යාපනය බලාත්මක කිරීමට එවකට රජයට බලකරන ලදී.

මේ වකවානුවේ ම භික්ෂු දේශපාලනයේ දී භික්ෂුව රටේ ජනතාවගේ ප්‍රශ්නවල දී ආරාමික ව සිට ඒවාට පිළිතුරු සෙවීමට මැදිහත් විය යුතුයැ යි වඩාත් නැණවත් අන්දමේ විග්‍රහයක් ද වල්පොළ රාහුල හිමි විසින් රචිත එම භික්ෂුවගේ උරුමය පොත  මෑතක දී ද භික්ෂු දේශපාලනය ගැන කතා කරන තැන්වල වඩාත් ප්‍රබල වූ කරුණු ඇතැළත් ග්‍රන්ථයක් වුණි.

kathika.files.wordpress.com

මහාචාර්ය හාමුදුරුවෝ

වල්පොළ රාහුල හාමුදුරුවෝ 1956 දී ලක්දිව බුදු සමය නමින් පර්යේෂණ නිබන්ධනයක් සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළේ ය. එය සලකා බැලූ ප්‍රංශය උන්වහන්සේට පශ්චාත් උපාධි පර්යේෂණ ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී. එතැන් සිට විසි අවුරුද්දකටත් වඩා කාලයක් ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ව සිටි උන්වහන්සේ එහි දී මහායාන අභිධර්මය ගැන හැදෑරු අතර, මහායාන අභිධර්ම පුස්තක ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම ද සිදු කළේ ය. එවකට පෙරදිග ආගම් සම්බන්ධයෙන් ප්‍රංශය ආදී රටවල උගතුන් විරල වූ අතර, වල්පොළ රාහුල හාමුදුරුවෝ එකල ලොව පිළිගත් උගතෙක්, නැණවතෙක් ලෙස ආගම් සම්බන්ධ ලොව උසස්ම සභාවලින් පවා පිළිගන්නා ලදී.

ඇමෙරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ ලංකාවේ ඇති ථේරවාද බුදු දහම ඇමෙරිකාවේ ප්‍රචාරය කිරීමට ද දායක විණි. පසුකලෙක ඔක්ස්ෆර්ඩ් සරසවිය ආදී ප්‍රකට තැන්වල ද නිබන්ධන සැකසීම පර්යේෂණ කිරීම ආදී භාරධූර කාර්යයන්ට හිමියන්ගේ සහයෝගය ලබාගෙන තිබේ.

විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන්

වර්තමාන ජයවර්ධනපුර හෙවත් එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස 1966  දී පත් වූ රාහුල හාමුදුරුවෝ එහි අධ්‍යාපනික තත්ත්වය උසස් කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තේ ය. විදෙස් මහාචාර්යවරුන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට ගෙන්වා ගැනීමට ක්‍රියා කළ අතර, විශ්ව විද්‍යාලය යනු රජයෙන් වෙන් වූ වෙනම ම තැනක් ලෙස පැවතිය යුතු ය යන්න උන්වහන්සේගේ අදහස විය. 1969 දී විශ්ව විද්‍යාලයෙන් නික්ම යන්නට වූ කල උන්වහන්සේට මුල් කාලයේ විරුද්ධ වූ සිසුන් ම පසුකලෙක උන්වහන්සේ අවශ්‍යයැ යි හඬ නගන්නට විය.

එසේ ම බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට පිහිටුවා වූ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ද වල්පොළ රාහුල නාහිමිගේ මඟ පෙන්වීම මත නිර්මාණය වූවකි.

බුදුන් වදාළ ධර්මය

වසර 2500ක කාලය තුළ ධර්මය එලෙස ම නොනැසී පැවති බව පිළිගැනීමට අපහසු කාරණාවකි. එබැවින් විවිධ ගුරුකුල විසින් බුදුන් වදාළේ මේයැ යි විවිධ අර්ථකථන ධර්මයට සපයනු ලැබේ. ඒ අතුරින් බුදුන්ගේ ධර්මයේ සරල සාරාංශය (What Buddha Taught) නම් වල්පොළ රාහුල හිමිගේ කෘතිය තුළ අන්තර්ගත ව ඇතැයි බොහෝ විද්වතුන්ගේ මතය වේ. මෙම කෘතිය භාෂා 20කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර 20 වන සියවසේ බෞද්ධ ආගම, දර්ශනය අලලා ලියැවුණු සරල එහෙත් ප්‍රබල කෘතියක් ලෙස බටහිර ලෝකයේ ද මෙම කෘතිය සලකනු ලැබේ.

ජගත් කීර්තිය

අවසාන කාලයේ වුව ද වැඩි විසිතුරුවලින් තොර සරල ජීවිතයකට උන්වහන්සේ ප්‍රිය කළ ද උන්වහන්සේගේ කිතුගොස සැඟවිය නොහැකි විය. ඉන්දියාවේ දිල්ලියේ පැවති ආගමික සමුළුවකට අනිවාර්යෙයන් ම රාහුල හාමුදුරුවෝ සහභාගී වන්නට වුවමනායැ යි එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි විශ්වාස කළේ ය. එකල ඉන්දිරා ගාන්ධි එවකට ලංකාවේ උතුරේ කලබල හේතුවෙන් ලංකාව සමග යම් මතභේද තිබූ කලක් විය. එම ආරාධනය රාහුල හාමුදරුවෝ ප්‍රතික්ෂේප කළත් එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස, සහ ජේ. ආර්. ජයවර්ධනයන්ගේ බලවත් පෙරැත්තය මත උන්වහන්සේ ඉන්දියාවට වඩින ලදී. පසුකලෙක කියා ඇති පරිදි ඉන්දිරා ගාන්ධි මැතිනිය උන්වහන්සේ හමුවන විට බලවත් සිත් පීඩාවකින් සිට ඇත. කෙසේ වෙතත් ඉන් මාස තුනක් යන්නට මත්තෙන් සික් ජාතික ආරක්ෂකයෙකුගේ වෙඩි පහරින් ගාන්ධී මැතිනිය මිය පරලොව ගිය විට ඒ පිළිබඳ ව රාහුල හාමුදුරුවෝ බලවත් සේ සිය ශෙෘ්කය පළ කොට තිබුණි.

වල්පොළ රාහුල හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක්. (alltravels.com)

දහමට අනුකූල අවසානය

වැඩි විසිතුරු නැති, ගිහි කතා නැති අවසානයක් උන්වන්සේ මරණයේ දී ද බලාපොරොත්තු විය. එසේ ම ගුණකථන, සිහිගැන්වීම් ආදී දේට ද වල්පොළ රහල් හිමියෝ එතරම් මනාප නොවී ය. එවකට 1997 දී රටේ සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෞද්ගලිකව ම හඳුනන චරිතයක් වුව ද, වල්පොළ රාහුල හාමුදුරුවන්ගේ අවසාන කටයුතු උන්වහන්සේ නියම කළ ආකාරයට බොහෝ සරල ව සිදු කළේ මරණයේ දී ද ලොවට ආදර්ශයක් ලබා දෙමිනි.  

Cover Image: wikimedia.org

Related Articles