බනිස් මාමාගේ මැජික් දේශපාලනේ

ඩබ්ලිව්. දහනායක හෙවත් විජයානන්ද දහනායක, අප රටේ අගමැති පදවිය මාස හයක් දැරූ අපූරු දේශපාලනඥයෙක්. වාමාංශිකයකු, ජාතිකවාදියකු, බණ්ඩාරනායකවාදියකු ලෙස වරින්වර ‍තම දේශපාලන භූමිකාව වෙනස් කළ දහනායක දේශපාලනය අවසන් කළේ එක්සත් ජාතික පක්ෂ‍යෙන්. ඔහු තරම් පිල් මාරු කළ කෙනෙක් නැති තරම්. ඇමැතිවරයකු, අගමැතිවරයකු ලෙස ර‍‍ටේ නමක් තැබූ සරල චරිතයක් වූ දහනායකට කිසිම වංචා දූෂණ චෝදනාවක් නැහැ.

 දහනායක ඉගෙනගත් රිඩ්මන්ඩ් විදුහල-wikipedia.org

ජීවන තතු

විජයානන්ද දහනායක ගාල්ලේ ප්‍රභූ නිවසක 1902 ඔක්තෝබර් මස 2 වැනිදා උපත ලැබුවේ නිවුන් දරුවන් ලෙසට යි. ඔහුගේ  නිවුන් බාල සහෝදරයාට කල්යාණප්‍රිය දහනායක යන නම ලබාදී තිබුණා. මෙම නිවුන්දරු උපත සිදුවන විට ඔවුන්ගේ පියා ගාල්ලේ විජයානන්ද පිරිවෙනෙහි උත්සවයකට සහභාගි වෙමින් සිට ඇති හෙයින් වැඩිමහල් දරුවාට ‘විජයානන්ද’ නම තැබූ බැව් පැවසෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් ඔහු1917 දී කේම්බ්‍රිජ් ජුනියර් විභාගය සමත්වීමෙන් පසු ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඉංග්‍රීසි අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරයකු ලෙස පුහුණුව ලබා තිබෙනවා.  විජයානන්ද වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබෙන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. පසුව1928 දී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට පත්වීමක් ලැබෙනවා.

ගාල්ල නගරය 1900 මුල් කාලයේ-  facebook

 ගාල්ල නගරාධිපති

ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ පැවති රටේ දේශපාලනය ඉංග්‍රීසින්ට ආවැඩූ පිරිසක් අත තමයි පැවතුණේ. 1930 දශකය වනවිට ගාල්ල නගර සභාවේ පාලනය පැවතුණේ ඒකාධිකාරී අයුරින්.ජනතාවට සේවයක් සලසනු වෙනුවට සාමාන්‍ය ජනතාව බියට පත් කර බදු අය කර ගැනීම බොහෝ විට සිදුවුණා.  මේවාට විරුද්ධව කතා කිරීමට වැඩිදෙනෙක් බිය වුණා.   

මෙවන් පසුබිමක් ගාල්ල නගරයේ පවතින අතරවාරයේ  තරුණ දහනායක තවත් හිතවතුන් කිහිප දෙනකු සමඟ මිනී පෙට්ටි රැගෙන විත් කළු පැහැති කොළ අලවා විලාප කියමින් විරෝධතාව ප්‍රකාශ කළා. මෙම විරෝධතා ව්‍යාපාරය ඉතා සාර්ථක වූ බව පවැසෙනවා. කෙටි කලකින් ගාල්ල නගර සභාවේ කළුවැල්ල කොට්ඨාස මන්ත්‍රීවරයා මිය යාම නිසා එයට අතුරු මැතිවරණයක් පවත්වනවා. එයට තරග කරන දහනායක  නාගරික සභිකයකු ලෙස තේරී පත් වෙනවා.

ගාලු නගර සභාව – Gallemc.gov. lk

 

ඉන්පසු 1939 දී පැවති නගර සභා ජන්දයෙන් ගාල්ලේ පළමු නගරාධිපති ලෙස පත්වීමට තරුණ විජයානන්ද දහනායකට අවස්ථාව ලැබෙනවා. දූෂණ වංචාවලින් තොරව ගාල්ල නගර සභාව ක්‍රමක්‍රමයෙන් නගා සිටවූ ඔහුට ජනතා කැමැත්ත වැඩිවැඩියෙන් ලැබුණා. එවකට සිටි වාමාංශික ව්‍යාපාරයට හිතවත් වූ ඔහු නාගරික කොට්ඨාසය තුළ මැයි දිනය නිවාඩු දිනයක් බවටත් පත් කරනවා. රටේම මැයි දින නිවාඩුව ලැබුණේ 1956 දි යි.

 පරිණත දේශපාලනඥයා – Dbsjeyaraj.com

බිබිලෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට

ඒ කාලේ පාර්ලිමේන්තුවට කිව්වේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියල යි. 1944 දී බිබිල ආසනය නියෝජනය කළ මන්ත්‍රී ජී.සී. රඹුක්පොත හදිසියේ මිය යාම නිසා එම ආසනයට අතුරු මැතිවරණයක් පවත්වනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර ආසනයක් වූ බිබිලට තරග වැදීමට දහනායක බිබිල ගොස් බිබිල වලව්වේ නැවතී සිට ඡන්ද සටන මෙහෙයවනවා.   ප්‍රදේශයේ බස් හිමි  බලවතකු වූ ඇස්.ඒ. පීරිස් තමයි අනෙක් අපේක්ෂකයා වුණේ.

ජන්දයේ දී පීරිස් වැඩි ඡන්ද 274කින් ජය ගන්නවා. පීරිස් රජයේ කොන්ත්‍රාත්කරුවකු බව හෙළි කරගන්නා දහනායක එම වැරැද්ද උලුප්පා  ජයග්‍රාහී අපේක්ෂකයාට එරෙහි ව මැතිවරණ පෙත්සමක් ගොනුකරනවා. ඉහළ උසාවියේ දී තමා වෙනුවෙන් තමා ම පෙනී සිටිමින් පීරිස්ට එරෙහිව කතා කරනවා. එහි ප්‍රතිඵලය වුණේ පීරිස්ට අසුන අහිමි වීම යි.  බිබිල අසුන සඳහා ඊළඟ අතුරු මැතිවරණය 1944 ඔක්තෝබර් මාසයට යෙදුණු අතර එහිදී විජයානන්ද දහනායක වැඩි ඡන්ද 1108කින් පීරිස් පරදවා බිබිල අසුන ජය ගන්නවා.

 බණ්ඩාරනායක රජයේ ඇමති මණ්ඩලයට එක්වෙමින් – getty images 

බනිස් මාමා

බිබිල මන්ත්‍රීවරයා වශයෙන් සිටින අතර ලංකාවේ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට බ්‍රිතාන්‍ය පාලකයන් සූදානම් වෙනවා. තරුව ලකුණින් ලංකා සමසමාජ  පක්ෂයෙන් 1947 මහ මැතිවරණයට ගාල්ල ආසනයෙන් ඉදිරිපත් වූ ඔහු එජාපයෙන් ඉදිරිපත් වූ ප්‍රබල අපේක්ෂකයකු මෙන්ම ධනවතකු ද වූ එච්. ඩබ්ලිව්. අමරසූරිය පරදවා ගාල්ල ආසනය ජයග්‍රහණය කරනවා. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 16588ක්.

මේ අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එජාපයෙන් ඉවත් වී ශ්‍රිලනිපය පිහිටුවාගෙන තිබුණා. දහනායක බණ්ඩාරනායකට සහාය දෙනවා. ශ්‍රීලනිපය යටතේ 1956 දී මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉන් ජයග්‍රහණය කරන අතර  අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස විජයානන්ද දහනායක පත් කරනවා.

ඒ වනවිට පරාජය වුණු ජෝන් කොතලාවල ආණ්ඩුවෙන් පාසල් දරුවන්ට නොමිලේ දුන් කිරි වීදුරුව නවත්වා තිබුණේ. අලුත් අධ්‍යාපන ඇමති දහනායක කිරි වීදුරුවක් සමඟ බනිස් ගෙඩියක් ද පාසල් ළමයින්ට  ලබා දීමට කටයුතු කළා. මේ නිසා ඔහු ‘බනිස් මාමා’ යන නමින් ප්‍රසිද්ධ වුණා.

රැස්වීමක් අමතමින් –  lankadeepa.lk

සූට්කේස් අගමැති

අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජය ජනප්‍රිය වෙමින් පවතින අතර අගමැතිවරයා නොසිතු අයුරින් වෙඩිතබා ඝාතනය කෙරෙනවා. ඒ1959 සැප්තැම්බර් 26 වැනිදා යි.  අගමැතිවරයාගේ අභාවයෙන් පසු රටේ පාලනය මෙහෙයවීම සඳහා නව අගමැතිවරයකු කඩිනමින් පත්කළ යුතු වෙනවා.

බාරකාර රජයක් පිහිටුවා, අගමැතිවරයා වශයෙන් කටයුතු කිරීමට නිත්‍යානුකූල ව බලතල හිමි ව සිටියේ සභානායක සහ වාරිමාර්ග ඇමති සී. පී. ද සිල්වා යි. ඔහු දැඩි ලෙස ගිලන්වයි සිටියේ. මේ නිසා වැඩබලන සභානායක වරයා ලෙස අගමැති බණ්ඩාරනායක විසින් ම  පත්කරනු ලැබ සිටියේ දහනායක යි.

අගමැති වශයෙන් දිව්රුම්දී මට අවස්ථාව එළඹුණේ විජයානන්ද දහනායකට යි. ඔහු අග්‍රාණ්ඩුකාරවරයා වූ ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දීඅගමැති තනතුරට පත්වුණා. දහනායක අරලියගහ මන්දිරයට එනවිට ගෙන ආවේ එකම එක සූට්කේසයක් පමණ යි. ලොකු හම් පටියකින් බඳින ලද මෙම විශාල සූට්කේස් එක ඇතුළේ ඇඳුම් පමණක් නොව සෙරෙප්පු පවා තිබුණු බව පැවසෙනවා. අරලියගහ මන්දිරයේ විශාල කාමර ඉඩ වැඩි බව පවසමින් ඔහු කාමරයක් ඇතුළේ දෙකට බෙදා කුඩා නිදන කාමරයක් තනවා ගත් බව එවකට හිටපු අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් සඳහන් කර තිබෙනවා.

අගමැති තනතුරෙහි වැඩ බාරගත් දහනායක රට පුරා හදිසි නීතිය පනවා නීතිය ක්‍රියාත්මකර රට තුළ සාමය ඇති කිරීමට වෙහෙස ගත්තා. මේ අතර දහනායක රජය තුළ විවිධ ගැටුම් ඇති වීමට පටන් ගත්තා. අගමැති දහනායක කළේ ඔහුට හිතවත් නැති ඇමතිවරුන් හිටිගමන් අස්කිරීම යි. රජය පවත්වාගෙන යාම දුෂ්කර බව පෙනුණු අතර මැති ඇමැතිවරුන් විමතියට පත්කරමින් 1959 දෙසැම්බර් 07 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහායි.

 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු-  facebook

අගමැති පරදී

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 1960 මාර්තු 19 දින යි. මේ අතර අගමැති දහනායක මහතා ශ්‍රිලනිපයෙන් ඉල්ලනු වෙනුවටලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් අලුත් පක්ෂයක් පිහිටුවා ඉන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළා.  ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු අගමැතිවරයා ඡන්ද483 කින් එ.ජා.ප. යේ අපේක්‍ෂකයාට පරාජය වී තිබුණා.  ගාල්ල දිනුවේ ඩබ්ලිව්.ඩී.ඇස්. අබේගුණවර්ධන යි.

ඡන්ද පරාජයෙන් පසුව තමාගේ සුපුරුදු සූට්කේස් දෙක ද ගෙන අරලියගහ මැදුරින් සමුගත් දහනායක ගාලු ගියේ අගමැති ලේකම්ගෙන් ඉල්ලා ගත් මෝටර් රථයකින්. ඉන් පසුව අබේගුණවර්ධනට එරෙහි ව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කර ඔහුගේ මන්ත්‍රීකම අහෝසි කරවනවා. පසුව1960 ජුලි අතුරු මැතිවරණයට ද ගාල්ල අසුනින් ම ඉදිරිපත් වී වැඩිඡන්ද 444කින් හිටපු මන්ත්‍රීවරයා පරජය කරනවා.

පැරණි පාර්ලිමේන්තුව සහ අමුඩයකින් සැරසී පාර්ලිමේන්තුවට යමින්- wikipedia.org

 

අමුඩ මන්ත්‍රී

1960 දශකයේ දිනක එවක රජය චීත්ත රෙදි යාරයක මිල ශත 10කින් වැඩි කරනවා. එය ජනතාව අතර බොහෝ කතාබහට ලක්වුණු සිද්ධියක්. විරුද්ධ පක්ෂය රෙදිමිල අධිකයයි කියමින් මොර දුන්නා. මේ සිද්ධියට විරෝධය පළ කිරීමට මන්ත්‍රී දහනායක ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු රැස්වීමට අමුඩයකින් සැරසී එන බව පුවත්පත්වලට ආරංචි වී තිබුණා. ඔහු පාර්ලිමේන්තු පියගැට පෙළ අසලින් මෝටර් රථයෙන් බැස්සේ අමුඩය පමණක් සහිත ව යි.

රූපවාහිනිය නොතිබූ එකල පුවත්පත් වාර්තාකරුවන්ගේ කැමරා හතර අතින් ක්‍රියාත්මක වුණා. සිද්ධිය දැනගත් පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා ආලින්දයට පැමිණ  අමුඩයෙන් සැරසුණ මන්ත්‍රීට පාර්ලිමේන්තු සභා ගර්භයට යාමට ඉඩදීමට නොහැකි බව පැවසුවා. අමුඩ ගැසූ මන්ත්‍රීට සභා ගැබට ඇතුළු වීමට අවස්ථාව නොලැබුණත් සිද්ධි‍ය ඡායාරූපත් සමඟ පුවත්පත්වල පළ වී තිබුණා. එය එවකට මාධ්‍යවල ඉතා ජනප්‍රිය ප්‍රවෘත්තියක් බවට පත්වුණා.

 ඇමතිවරයකු ලෙස සහ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු – dinamina.lk

පරිණත දේශපාලනඥයා

1965 මහ මැතිවරණයේදී ගාල්ල ආසනයට දහනායක  ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ ද සහයෝගය ඔහුට ලැබුණා. පහසු ජයක් ලැබූ දහනායකට එජාප ආණ්ඩුවේ ස්වදේශ අමාත්‍ය පදවිය ලැබුණා. 1970 දක්වා ඇමැතිකම දැරූ දහනායක 1970 මහ මැතිවරණයේදී ගාල්ල ආසනය නැවතත් එජාපයෙන් ම ඉදිරිපත් වී ජයගත්තා. පසුව පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ දහනායක මන්ත්‍රීවරයා 1977 මැතිවරණය ද ස්වාධීන ව තරග කළත් එජාප අපේක්ෂක ඩී.ජී. ඇල්බට් සිල්වාට පරාජය වෙනවා.

ඒ දහනායකගේ දෙවැනි ගාලු පරාජය යි. ඒ වන විට වියපත් ව සිටියත් දහනායකගේ ක්‍රියාශීලී දේශපාලන මොළය හසුරුවමින් ටික දිනකින් ජයග්‍රාහි අපේක්ෂකයාට එරෙහි ව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනවා. එම පෙත්සම නිසා ඩී. ජී. ඇල්බට් සිල්වාට මන්ත්‍රීකම අහිමිවුණා.  අනතුරුව 1979 පැවැති අතුරු මැතිවරණයෙන් එජාපයෙන්ම ඉදිරිපත්වූ දහ ගාල්ල ජයගෙන යළිත් පාර්ලිමේන්තුවට පිවිසෙනවා. මේ නිසා ඔහුට සමහරු කිව්වේ මැජික් දේශපාලනඥයා කියල යි.

ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස 1979 සිට 1986 දක්වා කල්ගෙවූ මේ ජ්‍යෙෂ්ඨයා ජේ.ආර්. ජයවර්ධන රජයේ සමුපකාර ඇමැති පදවියට පත් කෙරෙනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 84ක්. අනතුරු ව 1989 මහ මැතිවරණයේදීඑජාප ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වී තිබුණ ද මන්ත්‍රී ධුරයක් හිමි වුණේ නැහැ. අවසන් කාලයේ ගාල්ල නිවසට වී කල්ගත කළ දහනායක මියගියේ 95 හැවිරිදි වියේදී යි. ඒ1997 මැයි මස හතර වැනිදා යි. ඔහු මියගොස් අවුරුදු 24ක් ගෙවුණත් අදටත් දහගේ දේශපාලන වැඩ අපට අමතක නොවේ.

 

කවරයේ ඡායාරූපය: ඇමැති දහනායක විවෘත කිරීමකට සහභාගිවෙමින් සහ ඔහු සැමරීමට නිකුත් කළ මුද්දරය- dinamina.lk - colnect.com 

මූලාශ්‍ර:

elections.gov.lk

srilankaguardian.org

ලංකාදීප සහ දිනමිණ/ සිළුමිණ පුවත්පත් වාර්තා

Related Articles