Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් සැනසූ අයිරිෂ් හඬ එකතුව, Westlife

An empty street, an empty house 

A hole inside my heart

I’m all alone, the rooms are getting smaller

I wonder how, I wonder why, I wonder where they are

The days we had, the songs we sang together

බටහිර සංගීතයට ඇල්මක් දක්වන කෙනෙක් නම් ඉහත සංගීත ඛණ්ඩයේ හුරුපුරුදු බවක් නොදැනෙන්න විදියක් නැහැ. විශේෂයෙන්ම 90 දශකයේ කණ්ඩායම් සංගීතයට ආදරය කළ කෙනෙක් නම් මේ සින්දුව අනිවාර්යයෙන්ම අසා තිබෙනවා විය යුතු යි. 

ඉහතින් දැක්වෙන්නේ Westlife සංගීත කණ්ඩායම ගායනා කළ My love ගීතයේ මුල් පද පේළි කිහිපය යි. සමහර විට Youtube හෝ වෙන යම් ආකාරයකින් නැවත මෙම ගීතයට සවන් දුන්නොත්, ‘90 දශකයේ බිහිවූ කණ්ඩායම් සංගීතයේ මිහිරියාව ඔබට දැනේවි. නමුත් මෙය එකක් පමණ යි. මීට වඩා ජනප්‍රිය වූ, සහ මීට වඩා ඔබ ඇළුම් කරන Westlife කණ්ඩායමේ ගීත ඕනෑ තරම් ඇති. 

ඉතින් මේ උත්සාහ කරන්නේ අතීත මතකයක් හාරා අවුස්සා ඔබ හමුවට ගෙන ඒමට යි. Westlife කණ්ඩායමේ පටන්ගැන්ම, සංගීත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විකාශනය, සහ අද ඔවුන් සිටින්නේ කොතැන ද යන්න මේ ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබේවි.

I.O.YOU යටතේ ලෙස නිකුත් කළ පළමු ගීතයේ කවරය/oocities.org

සිහිනයක් සැබෑ කරගැනීමට වෙර දැරූ තිදෙනෙක්

අයර්ලන්තය කියන්නේ කොහොමත් ශක්තිමත් සංගීත පදනමක් තියෙන රටක්. ඔවුන්ටම අනන්‍ය වූ සංගීත ශෛලීන් සහ සාරවත් අයිරිෂ් සංස්කෘතික​ වටිනාකම් නිසා අයිරිෂ් කලාකරුවන්ට සංගීතය තුළ නව මානයන් සොයාගෙන යාමට හැකි වී තිබෙනවා. ඉතින් අයර්ලන්තයේ ස්ලිගෝ නම් කුඩා නගරයත්, මේ සාම්‍ප්‍රදායික අයර්ලන්ත සංගීතයෙන් පෝෂණය වූ පෙදෙසක්. Westlife කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ මෙම නගරය කේන්ද්‍ර කරගෙන යි.

Westlife කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් පස්දෙනාගෙන් තිදෙනෙකුම උපන්නේ ස්ලිගෝ නගරයේ යි. කියන් ඊගන්, ෂේන් ෆිලන්, සහ මාක් ෆීහිලි නම් වූ මේ තිදෙනා පාසල් මිතුරන්. වරෙක ඔවුන් තම උසස් පාසලේ සංගීත වැඩසටහනක් සඳහා තම ඉදිරිපත්කිරීම් කරන අතරතුරේ තමයි සංගීත කණ්ඩායමක් පිහිටුවාගැනීමේ අදහස පහළ වෙන්නේ. තවත් තිදෙනෙකු සම්බන්ධ කරගන්නා ඔවුන්, “6 as 1” නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවනවා. පසුව ඔවුන් කණ්ඩායමේ නම I.O.YOU ලෙස වෙනස් කරනවා.

1997 දී I.O.YOU. ඔවුන්ගේ පළමු ගීතය වන “Together Girl Forever”  නිකුත් කළ නමුත්, එය අපේක්ෂා කළ පරිදි මිනිසුන් අතරට ගියේ නැහැ. සීමිත සාර්ථකත්වයකින් පසුව, ෂේන් ෆිලන්ගේ මව තම පුත්‍රයා ඇතුළු මෙම දක්ෂ තරුණයන්ගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් තීරණයක් ගන්නවා. ඇය ඒ වනවිටත් යුරෝපාකරයේ මෙන්ම එයින් එපිටටත් තම ජනප්‍රියත්වය විහිදවූ Boyzone සංගීත කණ්ඩායමේ කළමණාකරු, ලුවී වෝල්ෂ් සම්බන්ධ කරගන්නවා. ලුවී වෝල්ෂ්, Boyzone කණ්ඩායමේ සාමාජිකයෙකු වන රෝනන් කීටින් සමග එක්ව නව කණ්ඩායම කළමණාකරණය කිරීමට එකඟ වනවා. මෙම ආධුනික තරුණයන්ගේ අසාර්ථකත්වය ගැන ඔහු පුදුමයට පත් වෙන්නේ නැහැ.

කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහු සාමාජිකයන්ගේ පෙළගැස්මේ යම් වෙනසක් කිරීමට තීරණය කළා. ඒ අනුව I.O.YOU කණ්ඩායමේ සාමාජිකයන් වන ග්‍රැහැම්, මයිකල්, සහ ඩෙරෙක්ගෙන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටිනු ලැබූ අතර, නව සාමාජිකයින් සොයාගැනීම උදෙසා කුසලතා පරීක්ෂණ ආරම්භ කළා. අවසානයේ දී ඉවත්ව ගිය තිදෙනා වෙනුවට බ්‍රයන් මැක්ෆේඩන් සහ නිකී බර්න් තෝරාගත් අතර Westlife කණ්ඩායම නිල වශයෙන් පිහිටුවනු ලැබුවා. ආරම්භයේ පටන්ම Boyzone කණ්ඩායම Westlife කණ්ඩායම වෙනුවෙන් නිහතමානී දායකත්වයක් දැක්වූ බව නම් සඳහන් කළ යුතුම යි.

Westlife කණ්ඩායම ලෙස නිකුත් කළ පළමු ඇල්බමයේ කවරය/ wikipedia.org

සාර්ථකත්වයේ ඉහළම හිනි පෙත්තට

1999 අප්‍රියෙල් මාසයේ දී Westlife සිය පළමු ගීතය, ‘Swear it again’ නිකුත් කළ අතර, එය අයර්ලන්තය සහ එක්සත් රාජධානිය තුළ අතිශයින් ජනප්‍රිය වීමට පටන් ගත්තා. රසිකයන්ගෙන් එලෙස ලැබුණු අතිමහත් සහයෝගයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉක්මණින්ම තම කුළුදුල් ගීත ඇල්බමය නිකුත් කිරීමට පෙර මඟ බලා සිටියා. ඒ අනුව Westlife හි පළමු ගීත ඇල්බමය ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ නාමයෙන්ම 1999 නොවැම්බරයේ දී නිකුත්කෙරුනා.

පළමු ඇල්බමයේ ගීත කිහිපයක්ම එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ සංගීත දර්ශකවල ප්‍රථම ස්ථානයට පැමිණියා. එම ගීත අතර If I let you go, Flying without wings ප්‍රමුඛ වෙනවා. එයින් එපිටට මෙම ඇල්බමයේ ගීත යුරෝපය පුරාත්, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝමයක් ආසියාතික රටවල ද ජනප්‍රිය වෙනවා. කෙසේ නමුත්, ප්‍රථම ඇල්බමයෙන්ම මෙතරම් සාර්ථක වුණත්, ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදය තුළ නම් අපේක්ෂිත මට්ටමෙන් සාර්ථක වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වනවිටත් ඇමරිකානු සංගීත ක්ෂේත්‍රය තුළ තම අණසක පතුරුවා සිටි Backstreet boys, NSYNC, Britney Spears  වැන්නවුන් අතර Westlife කණ්ඩායමට කැපී පෙනෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඔවුන් ඇතැම් පැරණි ගීත ඔවුන්ගේම ශෛලියෙන් ගායනා කොට රසිකයන් වෙනුවෙන් ඉදිරිපත් කළා. ඒවා මිනිසුන් වැළඳ ගත්තේ ඉමහත් ආදරයෙන්. ඇතැම්විට මුල් ගායනයටත් වඩා ජනප්‍රිය වුණේ Westlife එම පැරණි ගීත වෙනුවෙන් කළ අනුවාදය යි. එලෙස ජනප්‍රිය වූ පැරණි ගීතවල අනුවාදයන් ලෙස Season in the sun, I have a dream, Uptown girl ඉදිරියෙන්ම තිබෙනවා.

පළමු ඇල්බමයේ සාර්ථකත්වය සමග Westlife කණ්ඩායම තම ජනප්‍රියත්වය එක දිගට පවත්වා ගනිමින් Coast to coast, World of our own, Turnaround යන ගීත ඇල්බමයන් පිළිවෙලින් 2000, 2001, 2003 යන වර්ෂවල නිකුත් කළ අතර, ලොව පුරා සංගීත ප්‍රසංග සංවිධාන කරමින් ඉමහත් රසික ආකර්ෂණයක් දිනා ගත්තා. අනෙක් ගායකයන් සහ සංගීත කණ්ඩායම් මෙන් නොව Westlife කණ්ඩායමේ විශේෂත්වය වන්නේ අවුරුද්දක පමණ ප‍රතරය තබමින් ගීත ඇල්බම නිකුත් කිරීම යි. ඒ හැම එකක්ම අතිශයින් ජනප්‍රිය වුණේ සංගීතය කෙරෙහි ඔවුන් තුළ වූ ජීව ගුණය මැනවින් ලොවට පසක් කරමින්. 2002 වර්ෂයේ දී ඒ වනතෙක් ඔවුන්ගේ වැඩියෙන්ම ජනප්‍රිය වූ ගීත එක තැනකට අරගත් Greatest Hits ඇල්බමයක් ද නිකුත් කළා.

බ්‍රයන්ගේ නික්මයාම

රසික ආකර්ෂණයේ උපරිම තලයක සිටින අතරතුර ටිකක් අවදානම් සහගත සිදුවිමකට 2004 වර්ෂයේ දී මුහුණදීමට Westlife කණ්ඩායමට සිද්ධ වෙනවා. ඒ, කණ්ඩායමේ සාමාජිකයෙක් වන බ්‍රයන් මැක්ෆේඩන් කණ්ඩායමෙන් ඉවත්වීමට ගත් තීරණය නිසයි. ආකර්ෂණීය සිනහවකින් යුත් බ්‍රයන් කණ්ඩායම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙක්. විශේෂයෙන්ම ස්ත්‍රී රසික පාර්ශවයෙන් ඔහුට නොමඳ ජනප්‍රියත්වයක් ලැබුණා. බ්‍රයන්ගේ නික්මයාම කණ්ඩායමේ සිව්වන සංගීත ප්‍රසංග මාලාවට සති තුනකට කළින් නිවේදනය කළ අතර කණ්ඩායම හැර යාමේ හේතුව වශයෙන් ඔහු ප්‍රකාශ කළේ, තම පවුලේ සාමාජිකයන් සමග වැඩි වේලාවක් ගත කිරීමට තමන්ට අවශ්‍ය නිසා මෙම තීරණයට එළඹුණු බව යි.

බ්‍රයන් මැක්ෆේඩන් ගේ පළමු ඒක පුද්ගල ඇල්බමය/ discogs.com

“ඔබට පවුලක් ලැබුණු විට ජීවිත දෙකක් හසුරුවා ගැනීම ඉතා අපහසු දෙයක්,” වරෙක තම නික්මයාම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක දී බ්‍රයන් එලෙසින් ප්‍රකාශ කළා.

නමුත් එතනින් එහාට බ්‍රයන් මැක්ෆේඩන් තම සංගීත දිවිය නවමු මඟකට යොමු කරවා ගනිමින් සාර්ථක වුණා. ඒකපුද්ගල ඇල්බම කිහිපයක්ම නිකුත් කළ ඔහු, පසුකාලීනව තම උපන් දේශය වන අයර්ලන්තය සහ එක්සත් රාජධානියට වඩා ඕස්ට්‍රේලියාව තුළ ගායකයෙක් ලෙස ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. Irish son, Real to me, Almost here යන ගීත බ්‍රයන් මැක්ෆේඩන්ව ඒක පුද්ගල ගායකයෙක් ලෙස සාර්ථකත්වය කරා ගෙන යාමට ඉවහල් වුණා.

සමුගැනීම තෙක්  Westlife ආ ගමන්මඟ

බ්‍රයන්ගේ ඉවත්ව යෑමෙන් පසු පැහැදිලි හිඩැසක් කණ්ඩායම තුළ තිබුණත්, ඉතිරි සාමාජිකයන් හතරදෙනා කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් මනා කැපවීමකින් යුතුව සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම ගමන් කළා. ඒ අනුව 2004 – 2010 යන කාල පරාසය ඇතුළත ගීත ඇල්බම හයක් පමණ නිකුත් කිරීමට ඔවුන් සමත් වුණා. නමුත් ඒ ඇල්බම බොහෝමයක් ජනප්‍රිය වුණේ යුරෝපා කලාපය තුළ යි. මෙම කාලය අතරතුර කණ්ඩායමේ සාමාජිකයෙක් වන මාක් ෆීහිලි තම පෞද්ගලික ජීවිතයේ අභියෝගයකට මුහුණදීමට පටන් ගන්නවා.

මාක් ෆීහිලි කන්ඩායම තුළ සිටින එකම සමලිංගික දිශානතියක් තිබෙන සාමාජිකයා යි. 2005 වර්ෂයේ දී සමරිසියෙක් ලෙස ඔහු ප්‍රසිද්ධියේම ලෝකය හමුවට එන අතර එය ඔහුට බොහෝ දුෂ්කර කාර්යයක් වූ බව කියැවෙනවා. තමාගේ ලිංගික දිශානතිය පිළිබඳව බොහෝ කලක සිට ස්වයං අරගලයක නියුතු වුණ බවත්, උපදේශන සේවාවල පිහිට පවා පැතූ බවත් සඳහන්. මෙම අභියෝගයට මුහුණ දීම සම්බන්ධයෙන් කන්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ලැබුණ සහයෝගය ඔහු පසු කලෙක අගය කළ අතර, විශේෂයෙන්ම කියන් ඊගන් ඔහුට විශාල සහයෝගයක් දැක්වූ බව පැවසුවා. අද වන විට මාක් ෆීහිලි සමරිසි නැඹුරුවක් සහිත ප්‍රසිද්ධ කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක්.

සමුගැනීමේ ප්‍රසංගයේ අදියරකට පැමිණි ජනගඟ/youtube.com/watch?v=msUIx9CaEQg

තම අවසාන ඇල්බමය වන “Gravity” නිකුත් වීමෙන් අනතුරුව තවදුරටත් කණ්ඩායමක් ලෙස ගමනක් යනවා ද, නැත්නම් විශ්‍රාමයක් ගන්නවා ද යන්න තීරණය කිරීමට Westlife සාමාජිකයන් පටන් ගන්නවා. මක්නිසාද යත්, ඒ වන විටත් Westlife, එක්සත් රාජධානිය තුළ වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ සංගීත කන්ඩායමක් ලෙස නම් දරා තිබුණා. එකළඟ නිකුත් කළ ගීත ඇල්බමයන් සහ එකළඟ සංවිධානය කළ සංගීත ප්‍රසංග මාලාවන් එයට හොඳම නිදසුන් ලෙස දැක්විය හැකියි.

ඒ අනුව සමුගැනීමේ චාරිකාව ලෙස Greatest Hits Tour නම් ප්‍රසංග මාලාව ඔවුන් සංවිධානය කරනවා. ඔවුන්ට ගෞරවාන්විත ලෙස සමුදීමට ලෝකය පුරා රසිකයන් සැදී පැහැදී සිටි අතර එම ප්‍රසංග මාලාවේ අවසාන අදියර 2012 ජුනි 23 වන දින අයර්ලන්තයේ ඩබ්ලින්හි ක්‍රෝක් පාක් ක්‍රීඩාංගනයේ දී දහස් ගණනක් වූ ආදරණීය රසිකයන් මැද පැවැත්වුණා. එම ප්‍රසංග මාලාවේ සෑම අදියරකම ප්‍රවේශපත් ඉතා සුළු කාලයකින් විකිණී අවසන් වූ බව කියැවෙනවා. ක්‍රෝක්පාක් ක්‍රීඩාංගනයේ පැවැත්වුණ ප්‍රසංගයට 80000 පමණ ජනකායක් Westlife කණ්ඩායමට සමුදීමට පැමිණෙනවා.

සමුගැනීමෙන් පසු අවධිය සහ පුනරාගමනය

සමුගැනීමේ ප්‍රසංගයෙන් පසු, කලින්ම කණ්ඩායමෙන් ඉවත් වූ බ්‍රයන් මැක්ෆේඩන් මෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ද ඒකපුද්ගල සංගීතකරණය කෙරෙහි යොමුවුණා. තනි පුද්ගලයන් වශයෙන් වෙනස්ම සංගීත අනන්‍යතා ඔස්සේ නැවත රසික හදවත් අතරට ආ ඔවුන් එක් එක් කෙනා ඒක පුද්ගල සංගීත ඇල්බමයන් කිහිපයක්ම නිකුත් කළා. මෙයින් වඩාත්ම සාර්ථක වුණේ ෂේන් ෆිලන් නම් සාමාජිකයා යි. ඔහු You and me, Right here, Love always ලෙස ඇල්බම ත්‍රිත්වයක් නිකුත් කරන අතර අනෙකුත් සාමාජිකයන් ද තම තමන්ගේ අනන්‍යතා ආරක්ෂා කරගනිමින් ගීත ඇල්බම නිකුත් කරනවා.

Westlife පුනරාගමනය Spectrum ඇල්බමයෙන් සිදුවිය/ discogs.com

කෙසේ නමුත් 2018 වර්ෂයේ දී පමණ Westlife කණ්ඩායමේ නැවත ආගමනයක් සම්බන්ධයෙන් රාවයන් සහ කටකතා පැතිරෙන්න පටන් ගන්නා අතර, ඒ සියළු ආරංචි සත්‍ය කරමින් තම 20 වැනි සංවත්සරය වෙනුවෙන් නැවත Westlife කණ්ඩායම පිහිටුවා ගන්නා බව කණ්ඩායමේ සාමාජිකයන් නිවේදනය කරනවා.

ඒ අනුව දශකයකට ආසන්න කාලයක නිහැඬියාවකට පසු Spectrum නමින් ගීත ඇල්බමයක් Westlife විසින් නිකුත් කරනවා. ඊට සමගාමීව The Twenty Tour නමින් සංගීත ප්‍රසංග මාලාවක් යුරෝපය සහ ආසියාව පුරා ඔවුන් සංවිධානය කරන්නේ 90 දශකයේ ‍රසිකයන් අමන්දානන්දයට පත් කළ ඒ මතකය නැවත අළුත් කරමින්. Spectrum ඇල්බමයේ ගීත නිර්මාණය වෙනුවෙන් වර්තමානයේ අන්තර්ජාතික වශයෙන් සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගෙන සිටින Ed sheeran වැනි නවකයන්ගේ උපකාරය ලබා ගැනීමටත් Westlife සංගීත කණ්ඩායම උනන්දු වුණා.

Westlife මේ දක්වා MTV Europe, Brit Award, World music award ඇතුළු සම්මාන රාශිකයට හිමිකම් ලබා හෝ නිර්දේශ වී තිබෙනවා. ඉතින්, ඔබේ ප්‍රියතම Westlife  ගීය කුමක් ද?

cover photo : wallpapersafari.com

මූලාශ්‍රයයන්: allmusic.com

cmuse.org

express.co.uk

irishmirror.ie

Related Articles