Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසයේ දුටු භයානකම ස්නයිපර්වරයා “වයිට් ඩෙත්”

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ 1939 වසරේ නොවැම්බර් මස තිස්වන දින එකල සෝවියට් රුසියාවේ පාලක ජෝසෆ් ස්ටාලින් විසින් ෆින්ලන්තය ආක්‍රමණය කිරීමේ අරමුණ ඇතිව රුසියානු හමුදා භටයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ෆින්ලන්තයේ බස්නාහිර දේශ සීමාව වෙත පිටත් කර හරිනු ලැබුවා. නොවැම්බර් මස 1940 වසරේ මාර්තු දොළොස්වන දින දක්වා පුරා මාස තුනක් මෙම රටවල් දෙක යුද වැදුණු අතර, අවසානයේ ෆින්ලන්තය රුසියානු ආක්‍රමණිකයින් පරදා තම දේශ සීමාවේ ස්වාධිපත්‍යය රැකගත්තා. ශීත සෘතුවේ සිදුවූ මෙම සටන හැඳින්වූයේ “Winter war” හෙවත් ශීත සෘතුවේ යුද්ධය ලෙසයි. ෆින්ලන්තයේ මෙම ජයග්‍රහණයේ පිටුපස සිටින්නේ ගොවියෙක්ව සිට පසු කලෙක අති බිහිසුණු ස්නයිපර් තුවක්කු භටයකු බවට පත්වූ සිමෝ හයිහා නැමැත්තායි. මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔහුගේ දිවියෙන් බිඳකුයි.

සිමෝ හයිහා තරුණ වියේදී (imgur.com)

දඩයමෙහි දස්කම් පෑ තරුණයා

1905 වසරේ දෙසැම්බර් මස 17වනදා රුසියාවට මායිම් වී ඇති බටහිර ෆින්ලන්තයේ ගොවි පවුලක සයවන දරුවා ලෙස උපන් සිමෝ වයස අවුරුදු විස්ස පමණ වන තෙක්ම සිය පවුලේ ගොවිතැන් කටයුතු වලට දායක වෙමින් දිවි ගෙවූ අයෙක්. ෆින්ලන්තයේ සෑම පුරවැසියෙක්ම තම දිවියේ එක් වසරක් ෆින්ලන්ත හමුදාවේ සේවයට බැඳී රටට සේවය කළ යුතුයි. එබැවින් 1925 වසරේදී ෆින්ලන්ත හමුදාවේ ස්වේච්ඡා බලකයට එක්වූ තරුණ සිමෝ ඉතා දක්ෂ තුවක්කුකරුවකු වශයෙන් හඳුනාගනු ලැබුවේ ඉතා ඉක්මණින්. ඉන් පෙර දඩයමෙහි දස්කම් පා ඇති තරුණ සිමෝ ඒ වන විටත් විවිධ දඩයම් තරඟ වලින් කුසලාන රැසක් දිනා සිටියා. නමුත් ඔහු දරුණු පුද්ගලයකු නම් නොවෙයි. ඔහු තමන්ගේ පාඩුවේ කාලය ගත කිරීමට කැමති, මදක් කුලෑටි පුද්ගලයෙක්. උසින් අඩි පහ නොඉක්මවූ ඔහු බැලු බැල්මට නම් කිසිවෙකුට බිය උපදවන්නෙක් නෙවෙයි. (ඇතැම් විට ඔහුගේ මේ කුඩා සිරුර ඔහුගේ කර්තව්‍යයන් වඩාත් පහසු කරන්නටත් ඇතැයි පැවසෙනවා.)

මේ අතර එළඹුනු ශීත සෘතු යුද්ධයේදී ෆින්ලන්ත හමුදාවන්ට සිමෝගේ දස්කම් ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ වන විටත් තම වසරක සේවාව නිම කොට නැවත ගොවිතැනට යොමුව සිටි සිමෝව වහාම යුද හමුදාවට කැඳවනු ලැබුවේ ස්ටාලින්ගේ හමුදා භට පිරිස් පරාජය කිරීමට නොහැකි තරම් විශාල බව ෆින්ලන්ත හමුදාවන්ට වැටහුණු නිසායි.

නැවතත් යුද පිටියට

නැවත යුද පිටියට පැමිණි සිමෝ තමා සතු වූ ඉතා පැරණි රුසියානු ගිනි අවිය උපයෝගී කර ගනිමින් ස්නයිපර් තුවක්කුකරුවකුගේ භූමිකාව රඟන්නට වුණා. දුර පෙනෙන කාචයක්වත් නොතිබූ එම පැරණි ගිනි අවියෙන් එල්ලය ගෙන වෙඩි ප්‍රහාර එල්ල කළ සිමෝ තාක්ෂණයේ පිහිටෙන් නොව, තම සහජ දක්ෂතාවය නිසාවෙන් තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ සෙබලෙක් ලෙසයි හැඳින්වෙන්නේ. ඔහුගේ හැකියාවන් පිළිබඳ සතුටට පත් ෆින්ලන්ත රජය පසු කලෙක ඔහු වෙනුවෙන්ම නිපදවන ලද ස්නයිපර් රයිෆල් ගිනි අවියක් ඔහු වෙත තෑගි කොට තිබෙනවා.

1940 වසරේ දිනෙක සිමෝ තම රාජකාරියෙහි යෙදෙමින් (arehistoricalphotos.com)

හිම තුළ සැඟවී ප්‍රහාර එල්ල කිරීම පහසු වන පරිදි සිමෝ ඇතුළු තුවක්කුකරුවන් වෙත ලබා දුන්නේ සුදු පැහැති ඇඳුම් කට්ටලයක්. අනෙක් සෙබළුන්ගෙන් වෙන්ව තනිව කටයුතු කළ හයිහා තමාටම ආවේණික ක්‍රියා පටිපාටියක් අනුගමනය කළා. ඔහු අඩි ගණනක් හිම තුළ සැඟවී තම ගිනි අවිය මෙහෙය වූවා. දිනකට සෑහෙන ආහාර පාන සහ උණ්ඩ කඳවුරෙන් ලබා ගන්නා හයිහා, මුළු දිනක් පුරාවට අඩු ගණනක් හිම තුළ සැඟවීගෙන ප්‍රහාර එල්ල කළා. ඇතැම් විට ඔහුගේ ඉලක්කය තිබෙන මානය හරහා රුසියානු සෙබළෙක් ගමන් ගන්නා තුරු ඔහුට පැය ගණන් හිම තුළ සැඟවී සිටින්නටත් සිදු වුණා.

ඔහු තම ගිනි අවිය වටා හිම කඳු ගොඩ ගසාගත්තේ ගිනි අවියෙන් උණ්ඩය නිකුත් වූ පසු නැගෙන දුමාරයද සඟවා ගැනීමටයි. තමා සිටිනා ඉරියව්ව වෙනස් නොවන පරිදි නොසෙල්වී සිටීමේ පහසුව පිණිස හයිහා තම මුඛයේ උඩු ඇන්ද සහ මුහුණේ උඩු කොටස හැකි තරම් හිම තුළට කිඳා බස්වාගෙන පැය ගණන් නොසෙල්වී සිටි බවත් පැවසෙනවා. ඔහු මෙසේ කළේ අධික සීතල නිසා ඔහුගේ මුවින් හා නාසයෙන් පිටවන දුම් වැනි ප්‍රාශ්වාසය සතුරාගේ දෑසට නොපෙනෙන ලෙස සඟවා ගැනීමටයි.

වාර්තාගත ඝාතන රැස!

සෙල්සියස් අංශක සෘණ හතළිහක පමණ සීතලක් පවතිද්දී නොකඩවා දින සියයක පමණ කාලයක් මෙසේ තම ගිනි අවිය මෙහෙයවූ සිමෝ හයිහා මානව ඉතිහාසයේ ස්නයිපර් තුවක්කුකරුවකු විසින් සිදු කරන ලද සනාථ කරගත් ඝාතන ගණනට හිමි වාර්තාවද පිහිට වූයේ මෙලෙසයි. එම ඝාතන ගණන 500ත් 542ත් අතර වනවා. ඔහු මේ ඝාතන සියල්ල සිදු කළේ මාස තුනක් වැනි කාලයක් තුළයි. රජය විසින් දෙන ලද ගිනි අවිය වෙනුවට තම ගිනි අවිය භාවිතා කළ හයිහා වටහා ගත්තේ කාචයක් සහිත ගිනි අවි මතට හිරු එළිය වැටීමෙන් එම කාචය දිදුලන විට තමාව සතුරාට හඳුනා ගැනීමට පහසු ඉලක්කයක් බවට පත්වන බව වටහා ගත්තා. ඔහු සතුරු පාර්ශවයේ බොහෝ ස්නයිපර් තුවක්කුකරුවන් හඳුනා ගත්තේද එලෙසයි.

හිමේ සැඟවී සිටිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ මෙම බිහිසුණු තුවක්කුකරුවාට රුසියානු රතු හමුදා බලකායන්හි භටයින් පටබැඳි නම වූයේ “වයිට් ඩෙත්” (White Death) යන්නයි.

යුද සමයෙන් පසුව ගත් සිමෝගේ ඡායාරූපයක්. (allthatsinteresting.com)

අනපේක්ෂිත ප්‍රහාරය

ශීත සෘතු යුද්ධය නිමා වන්නට දින එකොළහකට පෙර හයිහා වෙත සෝවියට් හමුදා භටයෙකුගේ වෙඩිල්ලක් එල්ල වුණා. මෙතෙක් කල් ඉලක්ක කරගැනීම ඉතා අපහසු වූ වයිට් ඩෙත් වෙත වැදුණු මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ වම් හකු ඇටයට හානි වූ අතර, ඔහු හරියටම දින එකොළහක් කෝමා තත්වයේ පසුවුණා. තම මුහුණෙන් අඩක් රහිතව සිටි සිමෝ නැවත පියවි සිහිය ලබද්දී දෙරට අතර සාම ගිවිසුම් ලියැවෙමින් පැවතුණා.

යුද සමයෙන් පසුව හයිහා තම හැකියාව නැවතත් උපයෝගී කරගත්තේ සුපුරුදු පරිදි සතුන් දඩයම් කිරීමටයි. “මූස්” වර්ගයේ ගෝනුන් දඩයමෙහි දස්කම් පෑ හයිහා පසු කාලීනව ෆින්ලන්ත ජනපති උර්හෝ කෙකෝනන් සමග නිරතුරුවම දඩයමේ යෙදුණු බවයි පැවසෙන්නේ.

ඉතා දිගු ආයු කාලයකට හිමිකම් කී සිමෝ හයිහා 2002 වසරේ ෆින්ලන්තයේ හමීනා නුවර වැඩිහිටි නිවාසයකදී මිය ගියේ වයස අවුරුදු අනූහයේදී යි.

හයිහාගේ ජීවිතය ඇසුරින් “වයිට් ඩෙත්” නමින් ගීතයක්ද ලියැවී තිබෙනවා. මේ ගීතය ගායනා කරන්නේ “සැබටන්” නම් වන ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක් විසිනුයි.

කවරයේ ඡායාරූපය – allthatsinteresting.com  

තොරතුරු උපුටා ගැනීම – www.britannica.com , badassoftheweek.com වෙබ් අඩවි ඇසුරින් සහ allthatsinteresting.com වෙබ් අඩවියේ “How “White Death” Simo Hayha Became The Deadliest Sniper In History” ලිපිය ඇසුරිනි.

Related Articles