ජනපතිගේ අලුත් ම උපදේශක කවුද මේ එරික් සෝල්හයිම්

නෝර්වේ රජයේ හිටපු ඇමතිවරයකු වන එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට අමුත්තෙක් නොවේ. කොටි ත්‍රස්තවාදී යුද්ධය පැවති කාලේ ඔහු නිතර ම මෙරටට ආගිය ඒ වගේ ම විපක්ෂ දේශපාලනඥයන්ගෙන් බොහෝ විවේචනවලට ලක් වූ කෙනෙක්. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විසඳීමට නෝර්වේ සාම මැදිහත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවට එකල පැමිණි සෝල්හයිම් අවුරුදු 24කට පසු යළිත් ආවේ ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙස කටයුතු කරන්න යි.

කොටින්ට පක්ෂ නියෝජිතයෙක් යැයි රටේ විශාල පිරිසක් ඒ කාලේ සෝල්හයිම්ට බැණ වැදුණා. එදා සෝල්හයිම්ට බැණ වැදුණ මෙදා ජනතාව කියන්නේ මොකක්දැයි බලන්නට ටික කලක් ඉවසිය යුතු යි.

 ජනපති රනිල් සහ නිලධාරින් සමඟ සාකච්ඡා කරමින් – Ceylontoday.lk

ජනපතිගේ ජාත්‍යන්තර දේශගුණික උපදේශක

ජනපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික උපදේශක ලෙස එරික් සෝල්හයිම් පත් කර ඇති බවයි සෝල්හයිම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.   මේ වනවිට ජනපතිගේ දේශගුණික උපදේශක ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන සමඟත් සෝල්හයිම් සාකච්ඡා කර තිබෙනවා.  ජනපතිවරයාගේ අනෙක් ජාත්‍යන්තර දේශගුණ උපදේශක වන්නේ හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ්.

හරිත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් ජනපතිවරයා සතුව විශිෂ්ට දැක්මක් හා නායකත්වයක් ඇති බව එරික් සෝල්හයිම්  සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. නෝර්වේ නිවුස් පුවත්පත සඳහන් කරන්නේ වර්ෂ 2017 දීත් රනිල් වික්‍රමසිංහ අගමැති ව සිටි සමයේ දී සෝල්හයිම්ට පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කිරීමට ආරාධනා කර ඇති බව යි.

සොල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 10වැනි දා යි. ඔහු  ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවයි මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාවට පැමිණි එරික් සෝල්හයිම් මෙරට රැඳී සිටින කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ  නියෝජිතයන් පිරිසක් හමු වී සාකච්ඡා පැවැත්වීම සිදුවුණා.  2022 නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත 27 වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනාධිපතිවරයා සමඟ  උපදේශක එරික් සෝල්හයිම් ද  සහභාගිවීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

 සාම නියෝජිතයකු ලෙස උතුරට ගිය අවස්ථාවක් – Ft.lk

කොටි සාම නියෝජිත

එරික් සෝල්හයිම්  ශ්‍රී ලාංකිකයන් හඳුනනන්නේ  ශ්‍රී ලංකා රජය සහ  එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත් වූ නොර්වේ සාම නියෝජිතයා ලෙසට යි. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා කිහිපයක දී ම ඔහු  ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින්  උතුරට ගොස් ප්‍රභාකරන් ඇතුළු  එල්.ටී.ටී.ඊ නායකයන්  හමුවී සාකච්ඡා කර තිබෙනවා. නමුත් සෝල්හයිම්ගේ සාම කතා ප්‍රතිඵලදායක වුණේ නැහැ. මේ නිසා ශ්‍රී ලංකා රජය මහින්ද රාජපක්ෂගේ පළමු පාලන කාලයේ කොටින් සමඟ යුද්ධය ආරම්භ කර 2009 දී එය ජයග්‍රහණය කළා.

සාම ගිවිසුම අත්සන් කළ සමයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය අභිබවා යමින් අගමැති රනිල් වික්‍රමසිංහ, එරික් සෝල්හයිම් ඇතුළු විදෙස් මැදිහත්වීම මත එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සිදුවුණා.  ඉන් පසුව දශක දෙකකට ආසන්න කාලයක් සෝල්හයිම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිහඬ ව සිටියා. ජනාධිපතිවීමෙන් අනතුරු ව රනිල් වික්‍රමසිංහ එරික් සෝල්හයිම් අතිශය සමීප රාජතාන්ත්‍රික කටයුතුවලට යළිත් වරක් සම්බන්ධ කරගෙන තිබෙනවා.

 සාම සාකච්ඡා අතරතුර තමිල් සෙල්වම් ඇතුළු කොටි නියෝජිතයන් හමුවූ අවස්ථාවක- tamilnet.com

සෝල්හයිම්ගේ සාමය

එරික් සෝල්හයිම් 1998 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊ සංවිධානය සමඟ සාම ක්‍රියාවලියේ ප්‍රධාන පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කළ නියෝජිතයා යි. වර්ෂ 2000 සිට 2005 දක්වා සිදුවුණු සාම ක්‍රියාවලියේදී මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ සෝල්හයිම් ජාත්‍යන්තරයේ ද විවේචනයට ලක්වුණු චරිතයක්. 2002  පෙබරවාරියේ දී ජනපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා. ඉන් පසු 2002 සිට 2003 දක්වා ජිනීවා මුල් කර ගෙන සාම සාකච්ඡා වට 6ක් පැවැත්වුණා.

මේවා සාර්ථක නොවුණු අතර කොටින් බොහෝ අවස්ථාවල දී සටන් විරාම ගිවිසුම කඩ කර හමුදාවට ප්‍රහාර එල්ල කළා. එරික් සොල්හයිම් කලකට ඉහත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැඟෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබා දීමට තමා ඉදිරිපත් වන බව යි. එරික් සෝල්හයිම් එල්.ටී.ටී.ඊ ය සමඟ සාකච්ඡා කිරීමේ දී විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම චෝදනා කර සිටියේ ඔහු එල්ටීටීඊ හිතවාදියකු බව යි.

සාම සාකච්ඡා පැවති සමයේ එල්ටීටීඊයට ඔහු මුදල් ලබා දුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේ දී ජනාධිපතිවරණ මැතිවරණ රැස්වීමක දී චෝදනා එල්ල කළත් සෝල්හයිම් එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ඔහු අමාත්‍යවරයකුව සිටි කාලයේ දී ශ්‍රී ලංකාවේ සාම සාකච්ඡා සඳහා පමණක් නොව සුඩානය, නේපාලය, මියන්මාරය සහ බුරුන්ඩි යන රටවල සාම ක්‍රියාවලියටත් දායක වී තිබෙනවා.

එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ කොටි නායක ප්‍රභාකරන් සමඟ – newscutter.lk

ප්‍රභාකරන් ඇසුරු කළා

වර්ෂ 2017 දී ඉන්දියාවේ ඩබ්ලිව්.අයි.ඕ.එන්. පුවත් සේවය සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සෝල්හයිම් සඳහන් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව යි.

ඔහු වැඩිකලක් ඇසුරු කිරීමට තමන්ට අවස්ථාවක් තිබුණේ නම්  ඔහුගේ ආකල්ප වෙනස්කොට බලපෑමක් සිදුකිරීමට  තමාට හැකියාවක් තිබූ බවත් සෝල්හයිම් පවසා තිබුණා.

සාම සාධක මෙහෙවර  අසර්ථකවීමට  එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් නොමැතිවීම තීරණාත්මක ව බලපෑ බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තමාගේ දෙවැනි නිවහන ලෙස සැලකිය හැකි බවත් ඔහු එහිදී පවසා තිබෙනවා.

 සෝල්හයිම් දේශපාලනයට පිවිසි නොර්වේ පාර්ලිමේන්තුව – Ejpress.org

සෝල්හයිම්ගේ පැටිකිරිය

වර්ෂ  1955 ජනවාරි 18 දා නෝර්වේවල උපන් එරික් සෝල්හයිම් උසස් අධ්‍යානටය ලබන්නේ නෝර්වේහි ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙන්. ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පිළිබඳ උපාධියක් ඔහු ඉන් ලබා ගත්තා. පසුව ඔහු වාමාංශික දේශපාලනයට පිවිසුණා. ඒ   සමාජවාදී වාමාංශික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන්.

විවාහකයෙක් වන සෝල්හයිම් අතර දරුවන් හතර දෙනකුගේ පියෙක්. තරුණ සෝල්හයිම් 1977 සිට 1981 දක්වා එරට සමාජවාදී පක්ෂයේ  තරුණ අංශයට නායකත්වය දී තිබෙනවා. සමාජවාදී පක්ෂයේ ලේකම්වරයා වශයෙන් 1981 සිට 1985 දක්වා ඔහු කටයුතු කළා.  සෝල්හයිම් 1987 සිට 1997 දක්වා සමාජවාදී   පක්ෂයේ නායකයා ලෙසත් කටයුතු කර තිබෙනවා. 1989 සිට 2001 දක්වා නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් ඔහු කටයුතු කළා.

ඔහු සමාජවාදී පක්ෂයේ සිටියත් දක්ෂිණාංශිකයෙක් ලෙස කටයුතු කිරීම නිසා ඔහුගේ කටයුතු  සමාජවාදී   පක්ෂය තුළ විවේචනයට ලක්වුණා. පක්ෂ නායකයා ලෙස වසර දහයක් කටයුතු කිරීමෙන් පසුව 1997 දී ඔහුට ඉල්ලා අස්වීමට සිදුවුණා. පසුව නෝර්වේ හරිත පක්ෂයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.  ඉන් අනතුරුව සෝල්හයිම්  වර්ෂ 2000 දී  නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙක් ලෙස පත්වීමක් ලබා ගත්තා.

 සෝල්හයිම් නොර්වේහි උත්සවයක් අතරතුර – srilankaguardian.org

සෝල්හයිම් 2005 දී ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වෙමින් නැවත එරට දේශපාලනයට පැමිණියා. වර්ෂ 2007 දී ඔහු ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය තනතුරට අතිරේක ව පරිසර අමාත්‍යවරයා බවට පත් වූණා. 2012 දී ඔහු රජයෙන් ඉවත් වී  විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෙක් ලෙස යළිත් ක්‍රියා කළා.

සෝල්හයිම් පසුගිය වසර 100 තුළ නෝර්වේහි ක්‍රියාත්මක වූ වැදගත්ම පාරිසරික නීතියක් ලෙස සලකන  ස්වභාව විවිධත්ව පනත  ක්‍රියාත්මක කිරීමට මුල් වුණා. වැසි වනාන්තර සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන නෝර්වේ,  බ්‍රසීලය, ඉන්දුනීසියාව, ගයනාව සහ අනෙකුත් රටවල් සමඟ සමීපව සහයෝගීව කටයුතු කරන නෝර්වීජියානු දේශගුණය සහ වනාන්තර මුලපිරීම නම් ක්‍රියාන්විතය ද පිහිටුවූයේ  සෝල්හයිම්ගේ මඟ පෙන්වීම යටතේ යි.

 පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස – Bbc.com

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන

2016 මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ලෙස සෝල්හයිම් පත් කළා.  ඒ අතර ම එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයා ලෙසත් කටයුතු කළා.  2018 ජුනි මාසයේදී එම තනතුරෙන් ඔහු ඉවත් වුණු අතර ඉන්පසු එම තනතුරට පත්වුණේ අචිම් ස්ටයිනර්. සෝල්හයිම් පසුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.  2018 නොවැම්බර් මාසයේදී ඔහුගේ නිරන්තර ජාත්‍යන්තර සංචාර සහ ඇතැම් අභ්‍යන්තර නීති කඩකිරීම් විවේචනයට ලක්වුණා.  එහි ප්‍රතිඵලයක් ලෙස, ඩෙන්මාර්කය, ස්වීඩනය, ජපානය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල රජයන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වෙත තම අරමුදල් සැපයීම අත්හිටවුවා. ඒ අතර සිදුවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අභ්‍යන්තර විගණනයකින් පසුව සෝල්හයිම් ඉල්ලා අස්වුණා.

සෝල්හයිම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ  දී පරිසරය, ගැටුම් සහ ව්‍යසන පිළිබඳ විශේෂ නියෝජිතයා සහ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සඳහා ස්වභාවධර්මයේ අනුග්‍රාහකයෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා.

 ජාත්‍යන්තර සම්මාන

පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර කටයුතු නිසා ඔහුට සම්මාන කිහිපයක් ම හිමි වුණා. UN Environment’s Champions of the Earth සම්මානය, TIME Magazine’s Hero of the Environment සම්මාන ඒ අතර තිබෙනවා. ඊට අමතර ව ඉන්දියාවේ දිල්ලි හි ටෙරී  විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධිය ද සෝල්හයිම්ට  ප්‍රදානය කළා.  සෝල්හයිම් ග්‍රන්ථ කිහිපයක් ද ලියා පළ කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය - සෝල්හයිම් සහ රනිල් කොටි සාම ක්‍රියාවලිය පැවති කාලයේදි - SENA VIDANAGAMA/AFP via Getty Images 

මූලාශ්‍ර:

 Bbc.com

Lankadeepa.lk

Ft.lk

Related Articles