ඉතිහාසයේ පියා ලෙස විරුදාවලිය ලත් – හෙරඩෝටස්

ලෝකයේ විවධ දේ සඳහා ප්‍රසිද්ධ විවධ වූ පුදගලයින් දක්නට ලැබේ. ඒ අතර ඉතිහාසය යනු කාගේත් අවධානය යොමු වූ ක්ෂේත්‍රයකි. ඉතිහාසය පිළිබඳ ප්‍රචලිත විවධ වූ පුද්ගලයින් සිටියත් ඉතිහාසයේ පියා ලෙස විරුදාවලිය ලබා ඇති ලොව ප්‍රථම ඉතිහාසඥයා ලෙස සැළකෙන්නේ හෙරඩෝටස් ය. ග්‍රීක ජාතිකයෙක් වූ මොහු ක්‍රිස්තු පුර්ව 483 වසරේ ජීවත්ව සිට ඇති බව ප්‍රකාශ වේ. ඔහු ඉපදී ඇත්තේ Halicarnassus ප්‍රදේශයේ ය. ඔහුගේ පියා Lyxes වූ අතර මව වුයේ Dryo නමැති කාන්තාවයි.

හෙරඩෝටස් ඉතිහාස පිලිබඳ හැදෑරීමට පටන් ගත් පසු එය හේතුව හා ප්‍රතිපලය සමඟ සම්බන්ධ කර අධ්‍යයනය කරන ලදි. මොහුගේ හේතුඵල වාදය නිසා ඉතිහාසය පිළිබඳ හැදෑරීම දේශපාලන හා බුද්ධිමය අධ්‍යයනයන්ගේ අනිවාර්ය කොටසක් බවට පත් විය. ඉතිහාසය සඳහා විශාල සේවයක් කළ හෙරඩෝටස් පිලිබඳ සාකච්ඡා කිරීමට මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය

thegreatcourses.com

හෙරඩෝටස් උපන් Halicarnassus ප්‍රදේශය වානිජමය මධ්‍යස්ථානයක් විය. ඒ හේතුවෙන්ම මොහුගේ පවුල ධනවත් වෙළඳ පවුලක් විය. ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ මැද භාගයේ හෙරඩෝටස් ජීවත් වූ Halicarnassus ප්‍රදේශය පර්සියන් අධිරාජ්‍යයේ කොටසක් බවට පත් වූ අතර පසුව මෙම ප්‍රදේශය පාලනය කරන ලද්දේ දුෂ්ඨ පාලකයෙකු වූ Lygdamis විසිනි. හෙරඩෝටස්ගේ පවුල මොහුගේ පාලනයට එරෙහි වූ නිසා ඔවුන්ව එම ප්‍රදේශයෙන් පිටුවහල් කරන ලදි. නමුත් හෙරඩෝටස් තරුණ කාලයේදී නැවත Halicarnassus බලා පැමිණෙන ලද්දේ පර්සියානුවන්ට එරෙහිව දියත් කළ කැරැල්ලකට සහභාගී වීමටයි. නමුත් මෙයින් පසු හෙරඩෝටස් තමා උපන් නගරයට කෙදිනක වත් පැමිණියේ නැත.

තරුණ කාලය

වැඩිවියට පත් වූ හෙරඩෝටස් නිරන්තරයෙන්ම දේශපාලනමය වශයෙන් ක්‍රියාකාරී පුද්ගලයෙකු විය. ඔහු කෙදිනක වත් තමාගේ පවුල Halicarnassus ප්‍රදේශයෙන් පිටුවහල් කළ සිදුවීම අමතක නොකළේය. ඔහු දේශපාලනයට මැදිහත් වීම නිසා ඔහුගේ ජීවිතය තරමක් අසීරු තත්වයකට පත් විය. දේශපාලනය නිසා ඔහුට විවධ ප්‍රදේශ වල සංචාරය කිරීමට සිදු විය. ලෝකය හා විවිධ සංස්කෘතීන් පිලිබඳ දැන ගැනීමට ඇති හොඳම ක්‍රමය සංචාරය කිරීම බව කෙටි කාලයක් තුළදී ඔහුට වැටහිනි. ඔහු අලුත් ස්ථාන නරඹන විට ඒවා පිලිබඳ කරුණු ක්‍රමානුකූලව සටහන් කර තබා ගැනීමේ සිරිතක් ඔහු සතු විය.

thefamouspeople.com

තමා තොරතුරු ලබා ගන්නා මූලයන් පිලිබඳ හෙරඩෝටස් වැඩි සැලකිල්ලක් දක්වන ලදි. මොහු බොහෝ විට තොරතුරු ලබා ගන්නා ලද්දේ රදළයින්, පුජකයින් හා උසස් දේශපාලඥයින්ගෙනි. තමාට තම රටේ පුරවැසිභාවය නොමැති වීම පිලිබඳ ඉතාම කනස්සල්ලෙන් පසු වූ මොහු කීප වරක්ම ග්‍රීක පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ ද ඒ සෑම අවස්ථාවකම ඔහුව ප්‍රතික්ෂේප විය. අවසානයේ ඔහු athenian යටත් විජිතයක් වන thurium ප්‍රදේශයට සංක්‍රමණය විය.

හෙරඩෝටස්ගේ ඉතිහාසයේ විෂය පථය

thehundredbooks.com

මොහුගේ ඉතිහාසය සඳහා විෂය පථය වුයේ ග්‍රීසිය හා පර්සියාව අතර පැවතුන යුද්ධයි. අධ්‍යයනයේ පහසුවට මොහුගේ රචනාවන් පොත් නවයකට බෙදා දක්වා ඇත. මෙයින් 1 – 5 දක්වා පොත් ග්‍රීසිය හා පර්සියාව අතර යුද්ධයට හේතු වූ පසුබිම විස්තර කර ඇත. 6- 9 දක්වා පොත්වල ඇත්තේ එම යුද්ධවල ඉතිහාසයයි. මොහු විසින් රචිත ඉතිහාසයේ ප්‍රධාන කොටස් දෙකක් දැකිය හැක. ඉන් එක් කොටසක් වන්නේ ක්‍රිස්තු පුර්ව 480 සිට 479 දක්වා පැවති යුද්ධවල ආරම්භය හා යුද්ධ කිරීම පිලිබඳ වූ ක්‍රමානුකූල කතාන්දරයයි. අනෙක් කොටස වන්නේ පර්සියානු අධිරාජ්‍යයේ නැගී ඒම, එහි භූගෝලීය තොරතුරු, සමාජීය තොරතුරු හා ඉතිහාසය පිලිබඳ කර ඇති විස්තරයන් ය. පර්සියානු රාජ්‍යයේ පැවති බොහෝ දේවල් හෙරඩෝටස්ගේ හිතට කා වැදී තිබුණි. උදාහරණයක් ලෙස එහි විශාලත්වය, එහි පැවති දක්ෂ හමුදාවන් ආදිය දැක්විය හැක.  

ඉතිහාසයේ පියා බවට පත් වීම

historythrougholdbooks.wordpress.com

හෙරඩෝටස්ට පෙර ඉතිහාසය පිලිබඳ අධ්‍යයනය කිරීමේ, රචනා කිරීමේ හා අර්ථ නිරූපණය කිරීමේ ක්‍රමානුකූල ප්‍රවේශයක් නොපැවතුනි. මොහු ඉතිහාසය පිලිබඳ රචනා කිරීමට ප්‍රථමයෙන් කිසිවෙකුත් එය රචනා නොකරන ලද්දේ මීට පෙර එවැනි පොත් නොතිබූ නිසාවෙනි. ඒ පිළිබඳ සලකා බැලීමේදී ඉතිහාසය සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ හෙරඩෝටස්ටය. හෙරඩෝටස්ට පසුව විශිෂ්ට ග්‍රීක ඉතිහාසඥයකු වූ Thucydides බිහි විය. Thucydides ට අනුව හෙරඩෝටස් තම රචනා කිරීම් වල රසය වැඩි කිරීම සඳහා ඒවාට කල්පිතයන් එකතු කර ඇත.

හෙරඩෝටස් රචනා කිරීමේදී ප්‍රධාන ලෙස සැලකිල්ලට ලක් කරන ලද්දේ තෝරා ගත් යම් ක්‍රියාවක් හා එය සිදු වීමට හේතුවයි. මොහු සියලුම ක්‍රියාවන් පිලිබඳ අධ්‍යයනය කරන ලද්දේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඒ අවස්ථාව වන විට පැවති පර්සියානු හා ග්‍රීක ලියකියවිලි පරික්ෂා කිරීමෙනි. ඔහු තම නිරීක්ෂණද මේ සඳහා යොදා ගන්නා ලදි. ඔහු තමාගේ ඇස් දෙකෙන් දැක නොමැති දෙයක් කිසි විටක දැක ඇති දෙයක් ලෙස සටහන් තබා නොමැත.

kosmossociety.chs.harvard.edu

ලෝකයේ ඉපැරණිම පුදුම හත ලෙස සලකන රෝඩ්ස්හි හිරු දෙවි ප්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුළුන, ඔලිම්පියාවේ සුස් දෙව් ප්‍රතිමාව, මොසෝලස්ගේ සොහොන් ගැබ, ඇලෙක්සෙන්ධ්‍රියාවේ ප්‍රදීපාගාරය හා ගීසාහි යෝධ පිරමිඩ යන පුදුම හත මුලින්ම නම් කරන ලද්දේ හෙරඩෝටස් විසිනි.

පුද්ගලික ජීවිතය

ඉතිහාසඥයෙක්ට අමතරව හෙරඩෝටස් සංචාරකයෙක් ලෙස දැක්විය හැක. ඔහුට අනෙකුත් සංස්කෘතීන්, සිරිත් විරිත්, ආගම්, චාරිත්‍ර පිලිබඳ ඉගන ගැනීමේ මහත් කුතුහලයක් පැවතුණි. මොහු එක් අතකින් හොඳ කතා කියන්නෙක් ලෙසද දැක්විය හැක. ඔහු තමාගේ රචනාවන් බොහොමයක් සිදු කර ඇත්තේ කතා ගොඩනගන ආකාරයට අන් අයට කියවීම පහසු වීමට යි. වයස අවුරුදු 58ක් ජිවත් වූ මොහු ක්‍රිස්තු පුර්ව 425 දී මිය යන ලදී.

කවරයේ පින්තුරය  – ancient-origins.net

Related Articles