Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවිතයේ සැබෑ මායාව අත්විඳි, “මායා ඇන්ජෙලෝ”

“මිනිසුන්ට අමතක වේවි ඔබ කියූ දෑ

මිනිසුන්ට අමතක වේවි ඔබ කළ දෑ

නමුත්;

මිනිසුන්ට කිසිදාක අමතක නොවේවි

ඔබ ඔවුන් තුළ පුබුදු කළ හැඟුම්!

එය යි මා උගත් දේ…”  

මෙය ලිවීම අරඹද්දී, ඉහත කව ලියූ තැනැත්තිය පාඨක ඔබට හඳුන්වා දීම අරඹන්නේ කොතැනින්දැ යි ගැටළුවකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. එය එතරම්ම අපහසු මන්ද යන්න මේ ලිපිය කියවන අතරවාරයේ දී ඔබටත් අවධාරණය වනු ඇති.

ඈ, මායා ඇන්ජෙලෝ.

ඇත්තටම කවුද මේ?

“මාගරීට් ඇනී ජොන්සන් ඇන්ජෙලෝ” ලෙස 1928 වසරේ අප්‍රේල් මස 4 වැනි දා ඈ, එක්සත් ජනපදයේ මිසූරිහි දී මෙලොව වෙත දෑස් විවර කරනවා. පසු කලෙක ලේඛිකාවක, රංගන ශිල්පිනියක, තිර රචිකාවියක, නර්තන ශිල්පිනියක, කිවිඳියක මෙන්ම සිවිල් ක්‍රියාකාරිනියක වශයෙන් ද “මායා ඇන්ජෙලෝ” ලෙසින් ජනතාවට සමීප වූයේ ඇය යි. මායා, කලෙක ලිංගික ශ්‍රමිකයෙකු වශයෙන් ජීවන අරගලයේ යෙදුණු බව කියැවෙනවා. ඈ ජීවන රඟ මඬලේ බොහෝ චරිතවල යථාවබෝධය ලබන්නේ එහෙයිනුයි.

මායා ඇන්ජෙලෝ (news.artnet.com)

ජීවිත කතාව සැකෙවින්

මායා ජීවිතයේ මුල් වසරවල වැඩිමනක් කල් ගත කරන්නේ ඇයගේ මිත්තණිය (පියාගේ මව) සමග ආකැන්සස් හි දී යි. වයස අවු. 7 දී තම මවගේ අනියම් පෙම්වතා අතින් ලිංගික අඩත්තේට්ටමකට ලක්වීම ඇයව දැඩි ව කම්පනයට පත්කළ සිදුවීමක්. නමුත් බොහෝකල් යනතෙක් ඈ එය රහසක් වශයෙන් තබාගන්නේ, එම සිදුවීම හෙළිදරව් වුවහොත් තම මාමලා විසින් එම පුද්ගලයා ව ඝාතනය කෙරේයැ යි බියෙන්.

නැවත තම මව හා වසන්නට 1940 දී කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බලා යන මායා, එ් සමයේ දී රාත්‍රී සමාජ ශාලාවක වේටර්වරියක, ලිංගික සේවා සපයන්නියක, කෝකිවරියක මෙන්ම නළඟනක ද වශයෙන් සේවයෙහි නිරත වෙනවා.

කටුකත්වය තුළින් ජීවිතය උගත්, මායා ඇන්ජෙලෝ (readitforward.com)

කලාකාරිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වූ මායා

තමන්ට ලැබුණු ශිෂ්‍යත්වයකින් මායා, කැලිෆෝනියා ලේබර් ස්කූල් වෙත ඇතුළත් වන්නේ දෙවන ලෝක යුධ සමය අතරේ යි. එහි දී නර්තනය හා රංගනය හදාරන ඈ, සිය ගායන කුසලතාව නිසා 1950 දශකයේ මැදභාගයේ දී ජෝර්ජ් ගර්ෂ්වින්ගේ “Porgy and Bess” ඔපෙරා කණ්ඩායමට තෝරා ගැනෙනවා. ඈ 1957 දී “Calypso Heat Wave” නමින් තම පළමු ගීත ඇල්බමය ප්‍රකාශයට පත් කරන්නේ එයින් ලද පන්නරයෙන්. ඒ ඔස්සේ ඇය “Miss. Calypso” ලෙස වඩාත් ජනාදරයට පත්වෙනවා. එපමණක් නොව, මායා හාර්ලම් ලේඛක සංසදයේ ද සාමාජිකාවක්. එමෙන්ම ඇය සිවිල් අයිතීන් වෙනුවෙන් තම හඬ අවදි කළ සමාජ ක්‍රියාකාරිනියක වශයෙන් ද විවිධ සමාජ සේවා කටයුතුවල යෙදුණු බව කියැවෙනවා. මායා 1981 වසරේ දී උතුරු කැරොලයිනාවේ වේක් ෆොරෙස්ට් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියක වශයෙන් තම වෘත්තීය ගමන අරඹනවා.

“මායා” ගායනයක නිරතවෙමින් (LargeUp)

ලේඛන ජීවිතය

කළු ඇමරිකානු කාන්තාවක විසින් රචිත, වැඩිම අලෙවි වාර්තා තැබූ පළමු අප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය ලෙස ලේඛන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වන්නට, මායා අතින් 1969 දී ලියවුණු “I Know Why the Caged Bird Sings” සමත් වෙනවා. ඒ ඇයගේ ගෙවුණු අතීත දිවිය පාදක කොටගත් ස්වයං චරිතාපදානය යි. ඇයව ජාත්‍යන්තර කීර්තියට පත් වන්නට මේ කෘතිය ඉවහල් වූ අතර, 1986 දී ‘All God’s Children Need Traveling Shoes’ නමින් ඇය ඝානාවේ ගතකළ කාලයේ අත්දැකීම් අළලා තවත් ස්වයං චරිතාපදානයක් ප්‍රකාශයට පත් කරනවා. 1994 දී, අධ්‍යාත්මික වශයෙන් යහපත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ තමාගේ දර්ශනය ඇතුළත් විශේෂාංග රචනා එකතුවක් ‘Wouldn’t Take Nothing for My Journey Now’ නමින් කෘතියක් ලෙස පාඨකයා වෙත පිරිනැමෙනවා. එතනිනුත් නොනවතින මායා 2002 වසරේ දී ‘A Song Flung Up to Heaven’ කෘතියත්, යෞවනියක් කාන්තාවක ලෙසින් සමාජයට පා නගන විට උගත යුතු දෑ ආශ්‍රයෙන් 2008 දී ‘Letter to My Daughter’ කෘතියත්, 2005 දී ‘A Lifetime of Memories With Recipes’ නමින් ආහාර වට්ටෝරු කෘතියකුත්, සහ 2010 දී ‘Great Food, All Day Long’ නම් තවත් කෘතියකුත් ජනගත කරනු ලැබුවා.

මායා – කිවිඳිය

මායා ඇන්ජෙලෝ විසින් කාව්‍ය කෘති කිහිපයක්ම එළිදැක්වුණු අතර, ඉන් වඩාත් ජනප්‍රිය වූයේ 1971 දී ඇය විසින් ප්‍රකාශයට පත් කළ ‘Just Give Me a Cool Drink of Water ‘Fore I Die’ නම් කාව්‍ය සංග්‍රහය යි. සාහිත්‍යකරණය, ජනමාධ්‍යකරණය, හා සංගීත සංයෝජනය ඔස්සේ නොවූ විරූ දස්කම් පෑම වෙනුවෙන් ලබාදෙන පුලිට්සර් සම්මානයට ද එම කෘතිය නිර්දේශ වුණා. තව ද, 1993 ජනවාරියේ බිල් ක්ලින්ටන්ගේ ජනාධිපති ධුරයේ වැඩ බාරගැනීමේ උත්සවයේ දී, ඇය ඔහු වෙනුවෙන් ලියා කියැවූ ‘On the Pulse of Morning’ පැදි පෙළ ජනප්‍රසාදයට ලක්වීම සුවිශේෂී කරුණක්. එම කවියේ හඬ අනුවාදය වෙනුවෙන් මායාට ග්‍රැමී සම්මානය ද ප්‍රදානය කෙරෙනවා. ඊට අමතර ව Still I Rise (1978), Now Sheba Sings the Song (1987), සහ I Shall Not Be Moved (1990) යන කාව්‍ය ග්‍රන්ථයන් ද ඈ විසින් රචනා කෙරුණා.

මායා ඇන්ජෙලෝ සහ ඇය විසින් රචිත පොතක් (Paperback Paris)

දිවි ගමනේ අවසන

කලෙක සිට රෝගාතුරව සිටි මායා 2014 මැයි මස 28 වැනි දා උතුරු කැරොලයිනාවේ, වින්ස්ටන් සලීම්හි පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලන්නේ රටම කම්පා කරමිනුයි. ජනමාධ්‍ය ඔස්සේ එම පුවත සැලවීමත් සමග සමාජ ජාල ඔස්සේ බොහෝ ජනතාව ශෝකය ප්‍රකාශ කරන්නට වුණා. ප්‍රවීණ ගායිකාවන් හා දේශපාලකයින් ද ශෝකය පළකිරීම සඳහා මායාගේ තමන් කැමතිම ප්‍රකාශයන් උපුටන වශයෙන් තම ට්විටර් ගිණුමවල පළකර තිබුණා. ඒ අතරේ වූ හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ ශෝක ප්‍රකාශයත් සමග මෙම ලිපිය නිමා කෙරෙනවා. මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් සහ මායා පිළිබඳව මීට අමතරව ඔබ යමක් දන්නේ නම් ඒවාත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

බැරැක් ඔබාමා විසින් “මායා”ට පදක්කමක් පළඳවමින් (Academy of Achievement)

“ඇන්ජෙලෝ නම් ඒ අතිදක්ෂ ලේඛිකාව, රැඩිකල් මිතුරිය, සත්‍යවාදී ආශ්චර්යයමත් ගැහැණිය සතුව මහා ශක්තියක් තිබුණා, ‘අප සැවොම දෙවියන්ගේ දරුවන්, අපි හැමෝටම තියෙනවා යමක් කැප කරන්නට අනෙකා උදෙසා’ බව අපට නිතර සිහිපත් කරන්නට.”

කවරයේ පින්තූරය: Makers

මූලාශ්‍රයයන්:

britannica.com

biography.com

history.com

Related Articles