Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ජය ගැනීමට මරණය පරදා පැමිණි – බෙටී රොබින්සන්

ඒ 1928 වර්ෂය යි. දිනක් එක්සත් ජනපදයේ තෝන්ටන් නගරයේ දුම්රිය ස්ථානයේ සිදුවීමකි. දුම්රිය පිටත් වීමට සූදානමිනි. තෝන්ටන් පාසලේ සිසු සිසුවියන් ද නිවෙස් බලා යාමට සූදානමින් සිටියි. මේ අතර එක් සිසුවියක් දුම්රියට පැමිණීමට මොහොතක් ප්‍රමාද විය. ගමන ඉක්මන් නොවුණහොත් දුම්රිය මඟහැරෙන බව හොඳින් ම පැහැදිලි ය. ඇය විදුලි වේගයෙන් දිව අවුත් දුම්රිය පිටත් වන විට ම ඊට ගොඩවීමට සමත් වෙයි. ඇය පැමිණ අසුන්ගත් ස්ථානය අසලින් ම පැමිණ අසුන්ගත් අයෙක් මෙම සිදුවීම නිරීක්ෂණය කර තිබුණි. දුම්රිය අපේක්ෂාවෙන් සිටි ඔහු අන්කවරෙකුවත් නොව තෝන්ටන් පාසලේ පිරිමි ධාවන කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම විද්‍යා ගුරුවරයෙකු වූ චාල්ස් ප්‍රයිස් ය.

බෙටී රොබින්සන් (olympicshoes.blogspot)

පසු ව ඔලිම්පික් රන් පදක්කම් ද්විත්වයකට සහ රිදී පදක්කමකට හිමිකම් ලැබූ ඇය බෙටී රොබින්සන් ය. මෙය අපූරු සොයාගැනීමක් බව වටහාගත් චාල්ස් ඇය ව වහා ම පාසලේ ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබීය. ඒ වන විට තෝන්ටන් නගර පාසලේ කාන්තා ධාවන කණ්ඩායමක් නොවීය. බෙටී එහි ආරම්භක සාමාජිකාව විය. පුහුණු වීම සඳහා ද නිසි ස්ථානයක් නොවීය. මේ නිසා පාසලේ කොරිඩෝව යොදාගැනීමට චාල්ස් පුහුණුකරු යෝජනා කරන විට ඇය ඉතා සතුටින් එය බාර ගත්තා ය. බෙටී සෑම විට ම තම කටයුතු ඉතා සතුටින් කළ දැරියක් විය. ඇය ඊට පෙර ගිටාර් වාදනය මෙන්ම පාසල් වේදිකාවේ රංගනයෙන් ද දායක වෙමින් සිටි දැරියකි. ඇගේ ජීවිත කතාව පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යනයක් සිදුකරමින් රොසෑන් මොන්ටිලෝ විසින් Fire on the Track: Betty Robinson And The Truimph Of The Early Olympic Women කෘතිය 2017 දී එළිදක්වනු ලැබීය.

wbur

බෙටී එලිසබෙත් රොබින්සන් උපත ලැබුවේ 1911 අගෝස්තු 23 දා එක්සත් ජනපදයේ රිවර්ඩෙල් හි දී ය. ඇගේ පියා බැංකුවක සේවය කළ අතර මව් පිය දෙදෙනා ම ඇයට අධ්‍යාපනයට අමතර ව අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් සඳහා සම්පූර්ණ නිදහස ලබාදෙමින් ඇයට පාසල් ජීවිතය සතුටින් ගත කිරීමට අවස්ථාව ලබා දී තිබූ නිසා ම, ඇය සියලු බාහිර කටයුතු සඳහා ආසාවෙන් සහභාගී වෙමින් අත්දැකීම් ලබාගැනීමට සමත් විය. ඇගේ සාර්ථකත්වය තුළ තම දැරියගේ නිදහස් ජීවිතය දෙස බලා සතුටු වන දෙමාපියන්ගේ දායකත්වය අමතක කළ නොහැක.

1928 ඔලිම්පික් උළෙල

සෑම විට ම සුන්දර සිනහවකින් ඈ සැරසී සිටියා ය (youtube)

1928 ජූලි මස 28 වන දා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ දී 9 වන ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිත ව තිබුණි. ඒ වන විට බෙටී කෙටිදුර ධාවනය සඳහා පුහුණු වීම් ආරම්භ කර මාස කිහිපයකි. නමුත් පූර්ව පරීක්ෂණ වෙත පැමිණෙන විට ඇය එක්සත් ජනපදය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවේ සියලු දෙනා පුදුමයට පත් කරවමිනි. 1928ට පෙර මලල ක්‍රීඩා බොහොමයක් ම කාන්තාවන්ගෙන් තොරව පැවැත්වුණු අතර, පළමු වරට මීටර් 100 කාන්තා ඉසව්ව පැවැත්වුණේ ද මෙම අවස්ථාවේ දී ය. මීටර් 100 කාන්තා අවසන් වටය සඳහා මෙම තරගයේ දී සුදුසුකම් ලද එක්සත් ජනපදයේ එකම ක්‍රීඩිකාව ද ඇය යි.

පුහුණුවීම් අතරතුර (chicagotribune)

වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් ලෙස ඊට සහභාගී වූ බෙටී රොබින්සන් ලොව අනෙකුත් ක්‍රීඩිකාවන් පරදා මීටර් 100 රන් පදක්කමට තමන් සතු කරගැනීමට සමත් විය. ඒ සඳහා ඇය ගතකළ කාලය තත්පර 12.2ක් විය. ඇය මෙසේ ලොව ප්‍රථම ඔලිම්පික් මීටර් 100 කාන්තා ජයග්‍රාහිකාව ලෙස ඉතිහාසයට එක්විය. එහි දී රිදී සහ ලෝකඩ පදක්කම් කැනඩාවේ ෆැනී රොසෙන්ෆෙල්ඩ් සහ ඊතල් ස්මිත් විසින් දිනා ගනු ලැබීය. එපමණක් නොව මීටර් 100×4 කාන්තා සහාය දිවීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ද බෙටී සහ ඇගේ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණයෙන් පසු ව පිළිගැනීමේ උත්සවයේ දී මව්පියන් සමග (chicagotribune)
1931දී (chicagotribune)

ගුවන් අනතුර

ඒ 1931 වසර යි. මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වීමට වසරක කාලයක් පමණක් ඉතිරි ව තිබිණි. බෙටීගේ ඥාති සොහොයුරෙකු වූ විල්, ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලබමින් සිටි තරුණයෙකි. දිනක් ඔහු පුහුණු වෙමින් සිටි කුඩා ගුවන් යානය බෙටී සමගින් අනතුරකට පත් විය.

ගුවන් අනතුර (chicagotribune)

අනතුරින් පසු ව විල් ව සොයාගන්නා විට ඔහු ජීවතුන් අතර සිටි අතර පාද දෙක ම කැඩී ගොස් තිබුණි. නමුත් බෙටී ව සොයාගන්නා විට ඇගේ හිසින් ලේ වහනය වෙමින් තිබූ අතර ඇය කිසිදු ප්‍රතිචාරයක් ද නොදැක්වීය. මේ නිසා ඇය මියගොස් ඇති බව විශ්වාස කරමින් රෝහල වෙත ගෙන යනු වෙනුවට මරණ පරීක්ෂක වෙතට රැගෙන යන ලදී. ඇගේ පාද ස්ථාන තුනකින් කැඩී, ඇඹරී ගොස් තිබුණි. ඇගේ දකුණු අත බිඳී තිබූ අතර දකුණු ඇස තුවාල වී තිබුණි. ඇය හුස්ම ගනිමින් සිටින බව දුටු මරණ පරීක්ෂක වහා ම ඇය ව වෛද්‍යවරයෙක් වෙතට යොමු කරන ලදී. එහි දී දැනුම්දෙනු ලැබුවේ ඇයට සුවය ලැබිය හැකි නමුත් නැවත ඇවිදීමට හැකි නොවනු ඇති බව යි.

ඇයට සුවය ලැබී නැවත ක්‍රීඩා කිරීමට ද අවස්ථාව ලැබුණු නමුත් 1932 වසරේ එක්සත් ජනපදය සත්කාරකත්වය දරමින් ලොස් ඇන්ජලීස් හි පැවති ඔලිම්පික් උළෙල ඇයට අහිමි විය. ඇය නැවත පුහුණු වීම් ආරම්භ කළේ වසර පහක ඉලක්කයක් තබා ගනිමිනි. ඒ 1936 වසරේ ජර්මනියේ පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙල සඳහා යි. මෙකල ක්‍රීඩා කටයුතු සඳහා කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා බොහෝ ය. පිරිමි තරගකරුවන්ට රජයෙන් ආධාර ලබාදුන්න ද කාන්තාවන්ට ඒ සඳහා තමන්ගේ ම මුදලින් ගමන් වියදම් පවා පිරිමසා ගැනීමට සිදු විය. බෙටී ද මෙම දුෂ්කරතාවන්ගෙන් පීඩාවට පත් ව සිටියේ ය.

ප්‍රතිකාර ලබමින් (chicagotribune)

මේවන විට 1929 ලෝක මහා ආර්ථික අර්බුදය නිසා රැකියා අහිමි වූ ලක්ෂ ගණනක් අතරට බෙටීගේ පියා ද ඇතුළත් විය. මේ නිසා ඇගේ වෛද්‍ය පහසුකම් සඳහා ගෙවීම් සිදුකිරීමට ද දුෂ්කරතා පැමිණුනි. අවසානයේ තමන් සතු බඩු මුට්ටු විකුණා දමා වියදම් පියවා ගැනීමට බෙටීගේ පවුලට සිදු විය. ඒ අතර ඇයට ලේකම්වරියක් ලෙස රැකියාවක ද නිරත වීමට සිදු විය.

1936 බර්ලින් ඔලිම්පික්

නිතර ම සිනාමුසු මුහුණින් සිටි ඇය බර්ලින් වෙත පැමිණීමෙන් පසු ව එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඇය ව හැඳින්වූයේ ‘සිනාසෙන බෙටී’ (Smilling Betty) ලෙස යි. පස් වසරක ඉලක්කයකින් පසු ව මීටර් 100×4 කාන්තා සහාය දිවීමේ තරගයට බෙටී සුදුසුකම් ලැබූ අතර අවසන් තරගය ඉතා උණුසුම්කාරී විය. බෙටී කණ්ඩායමේ තුන්වැනියා ලෙස යෂ්ටිය ලබාගන්නා විටත් ජර්මන් ක්‍රීඩිකාව බොහෝ පරතරයක් තබා තිබුණි. ආරම්භයේ පටන් ම ජර්මන් කණ්ඩායම පෙරමුණ ගෙන තිබුණි. නමුත් අවසන් වටයේ දී ජර්මන් ක්‍රීඩිකාව යෂ්ටිය හුවමාරු කිරීමේ දී එය ගිලිහී යාම නිසා අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු විය. මේ නිසා බෙටීගෙන් යෂ්ටිය ලබාගත් හෙලන් ස්ටීෆන්ස් පළමුව තරගය අවසන් කරමින් රන් පදක්කම තමන් සතු කරගැනීමට එක්සත් ජනපද කණ්ඩායම සමත් විය. කාන්තා මීටර් 100 තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ද එක්සත් ජනපදයේ හෙලන් ස්ටීෆන්ස් විසින් ම ය.

පසුකලෙක ඇය ව්‍යාපාරිකයෙකු වූ රිචඩ් ෂ්වාට්ස් සමග විවාහ වූ අතර දරුවන් දෙදෙනෙකුගේ මාපියන් බවට ද පත් විය. 1971 දී එක්සත් ජනපද ඔලිම්පික් කමිටුව බෙටී රොබින්සන් විසින් සිදු කළ මෙහෙය උදෙසා ගෞරවය පුදකරන ලදී.

ඇයට හිමි වූ පදක්කම්(dyestat)

ක්‍රීඩාව තුළ දී ඇය පෙන්වා දුන්නේ ධාවන පථය වුව ද විනෝදයෙන් යුතු ව අත්විඳිය යුත්තක් බව යි. ඇගේ එදා සුන්දර සිනහව තවමත් ඊට සාක්ෂ්‍ය දරයි.

දරුවන් දෙදෙනා සමග (dyestat)

ඔලිම්පික් රන් පදක්කම් ද්විත්වයකට ද, රිදී පදක්කමකට ද හිමිකම් කී සුන්දර බෙටී එලිසබෙත් රොබින්සන් නව සියවස ලැබීමට ප්‍රථම 1999 මැයි මස 18 වන දා එක්සත් ජනපදයේ කොලරාඩෝ හි දී අවසන් සුසුම් හෙලී ය.

1988 දී (chicagotribune)

කවරයේ පින්තුරය: 1928 ඔලිම්පික් මීටර් 100 අවසන් අවස්ථාව (chicagotribune)

මූලාශ්‍රයයන්:

wbur.org

Related Articles