Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාල්ල මහින්දය එකලු කළ යුරෝපීයයා: ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ්

ශ්‍රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත කිරීම සහ බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සුවිසල් සේවයක් සිදු කළ ස්වදේශිකයන් පිළිබඳ අපි අසා ඇත්තෙමු. එක්සත් රාජධානියේ කතෝලිකයෙකුව ඉපිද, පසුකාලීනව මෙරට බුදු සසුන සහ බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් සිදු කළ ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ් මහතා පිළිබඳ මෙම ලිපිය තොරතුරු ගෙන එයි.

ළමා විය සහ අධ්‍යාපනය

එංගලන්තයේ නෝෆෝක් නම් ප්‍රාන්තයේ දී 1871 අප්‍රේල් මස 13 වැනි දින උපත ලද ඔහුගේ පියා වූයේ ක්‍රිස්තියානි පල්ලියක භාරකාර පුජකවරයා ලෙස ද, පසුව ලොවන්ටන්ට් ක්‍රිස්තියානි පල්ලියේ නායක පුජකවරයා ද ලෙස කටයුතු කළ ඩබ්ලිව්. වුඩ්වඩ් ය. කුඩා කල සිට ම ඉගෙනීමට දක්ෂයකු වු ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ් ලන්ඩන් නගරයේ පිහිටි පාසලකට 1879 වසරේ දී ඇතුළත් වූ අතර අධ්‍යාපනය ලබන අතර වාරයේ දී චිත්‍ර ඇඳීම, සංගීතයට සවන් දීම හා මුහුදු වෙරළේ ඇවිදීම ආදී කටයුතු ද ඔහු ප්‍රිය කළේය.

ලතින් රචනය පිලිබද විද්‍යාලයීය ස්වර්ණ මුද්‍රිකාව 1889 වසරේ දී දිනා ගැනීමට ද සමත් වූ ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සිඩ්නි සසෙක්ස් විද්‍යාලයට උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1890 ඔක්තෝම්බර් මාසයේ දී ඇතුළත් විය. අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩා කටයුතුවලට ද දක්ෂයෙකු වු වුඩ්වඩ් ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, පාපන්දු, ඔරු පැදීම යන ක්‍රීඩාවන් හි නියැළී ඇත. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කර ගුරු වෘත්තිය තෝරා ගන්නා ඔහු එංගලන්තයෙ ස්ටැන්ෆඩ් විද්‍යාලයේ උපවිදුහල්පති තනතුරට 1898 වසරේ දී පත් වන අතර ඉන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත්තේය.

එෆ්.එල්. වුඩ්වඩ් මහතා – exoticindiaart.com

පුනරුත්පත්තිය පිළිබඳව හැදෑරීම

රැකියාවක් ලබාගැනීමෙන් අනතුරුව ද ශ්‍රාස්ත්‍ර ගවේෂණයේ යෙදුණු ඔහුට පුනරුත්පත්තිය ගැන හැදෑරීමට අවශ්‍ය වූ අතර ඔහු ඒ සදහා ලන්ඩන් පරමවිඥානාර්ථ සමාගමට 1902 දී සම්බන්ධ විය. එම සමාගමට බැඳී හින්දු හා බෞද්ධ දර්ශනයන්හි පුනරුත්පත්ති ඉගැන්වීම් හැදෑරූ ඔහු සුප්‍රසිද්ධ බ්ලැවැට්ස්කි මැතිනිය සහ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගත්තේය.

ඕල්කට්තුමන් හා සමීපව ඇසුරු කළ ඔහු බෞද්ධ දර්ශනය ලෝකයට ගෙන යාම සඳහා සිදු කරන ඕනෑම කටයුත්තකට සහයෝගය ලබා දීමට සූදානම් බව පැවැසීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඕල්කට් තුමන්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ගාලු පරමවිඥානාර්ථ සමිතිය ගාල්ලේ ආරම්භ කළ මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරය භාරගන්නා ලෙස ඕල්කට්තුමන් වුඩ්වඩ් ගෙන් 1892 වසරේ දී ඉල්ලා සිටියේ ය. එවකට නිසි නායකත්වයත් නොමැතිව අභාවයට යමින් පැවැති එම විද්‍යාලයේ විදුහල්පති ධූරය භාරගන්නා මෙන් ලැබුණු ආරාධනාව භාරගත් වුඩ්වඩ් ලංකාවට ඒමට 1903 ජූලි 6 වැනි දා නැව් නැගි අතර එම වසරේම අගෝස්තු 1 වැනිදා මෙරටට පැමිණියේය.

ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පති ලෙස පත්වීම

ලංකාවට පැමිණ නව විදුහලේ විදුහල්පති ධූරය භාර ගත් එතුමන්ට පැවරුණු පළමු රාජකාරිය වූයේ එවකට ආරම්භ වූ මහින්ද – ධර්මරාජ ක්‍රිකට් තරගයේ විනිසුරුවරයා ලෙස කටයුතු කිරීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක් වු ඔහු තම ධූර කාලයේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු නොකළ ක්‍රිකට් තරගයක් එම ප්‍රදේශයේ වූයේ කලාතුරකිනි. වර්තමානයේ ශ්‍රි ලංකාවේ පැරැණිතම මහා ක්‍රිකට් තරගවලින් එකක් වන ගාල්ල මහින්ද- රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරගය 1905 වසරේ දී ආරම්භ කරන ලද්දේ ද ඔහුගේ මූලිකත්වයෙනි.

ගාලු කොටුවේ නුසුදුසු පරිසරයක තිබු මහින්ද විද්‍යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි දවටගහවත්ත නම් කඳුගැටය කරා 1908 ජනවාරි 15 වැනිදා ගෙන ආ වුඩ්වඩ් මහතා, විද්‍යාලයීය නව ගොඩනැගිලි ඉදිකිරීමේ දී සැලසුම් ශිල්පියෙකු, ඉදිකිරීම් සුපරීක්ෂකවරයෙකු මෙන්ම අත් උදව්කරුවෙකු ලෙස ද කටයුතු කළේය.

මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාව – facebook.com/MahindaCollege

සිය මවගේ අභාවයෙන් පසුව උරුමය වශයෙන් හිමි වූ රු 20,000 මුදලද ඔහු මහින්ද විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදල සඳහාම යෙදවීය. 1912 දී එම විද්‍යාලයේ ඉදි කළ ප්‍රධාන ශාලාව ඕල්කට්තුමන්ට උපහාරයක් ලෙස ඕල්කට් ශාලාව ලෙස නම් කිරීමට ඔහු කටයුතු කළේය. එය විවෘත කිරීමට පැමිණි එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ වූ ජෝන් හාවඩ් එම ශාලාව එකල පාසලක් සතු වූ විශාලම ශාලාව බව ප්‍රකාශ කළේය.

සුවිශේෂී කරුණක් නම් යුරෝපීය ජාතිකයෙකු වූ වුඩ්වඩ් මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ යුරෝපීයයෙකු වූ හාවඩ් මහතාට ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ ආරාධනා පත්‍රය ලියා ඇත්තේ සිංහල භාෂාවෙන් වීමයි. වුඩ්වඩ් මහතාට මහින්ද විදුහලෙන් බිහි කිරීමට අවශ්‍ය වූයේ ඉංග්‍රිසි උගත් ලිපිකරුවන් නොවන බව ඉන් මනාව පැහැදිලි වේ.

සිංහල භාෂාවට කළ මෙහෙවර

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉංග්‍රිසි මාධ්‍ය පාසලක විෂය නිර්දේශයට සිංහල, පාලි සහ ලංකා ඉතිහාසය යන විෂයයන් ඇතුළත් කිරීමේ ගෞරවය ද ඔහුට හිමි වෙයි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සමඟ ඔහුට තිබූ සම්බන්ධකම් උපයෝගී කරගෙන කේම්බ්‍රිජ් විභාග සඳහා ද එම විෂයයන් ඇතුළත් කිරීමට ඔහු කටයුතු කළේය. ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ඔහු එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව උපදෙස් ලබා ගැනීමට පිහිටුවන ලද කමිටුවේ සමාජිකයෙක් ද විය.

වුඩ්වඩ් මහතා – Cultural And Religious Themes in the life of F.L. Woodward – Michael Powell

වුඩ්වඩ් මහතා සිංහල භාෂාවට කෙතරම් ඇලුම් කර තිබේ ද යත් ඔහු පසුකාලීනව සිය නම “වනපාල“ ලෙස වෙනස් කරගැනීමට ද කටයුතු කළේය. ගාල්ලේ පරමවිඥානාර්ථ සභාවේ සහ තරුණ බෞද්ධ සමිතියේ කටයුතුවලදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ ඔහු “ද බුඩිස්ට්” නම් සඟරාවේ සංස්කාරක වශයෙන් ද කලක් කටයුතු කළේය.

එකල මෙරට වැඩ සිටි මුල්පෙළේ භික්ෂූන් වහන්සේලා වූ දොඩන්දූවේ ශ්‍රි සීලක්ඛන්ධ මහ නාහිමි, මහගොඩ ඥානේෂ්වර නාහිමි, රත්මලානේ ධම්මාරාම නාහිමි ඇතුළු මහා සංඝයාගේ ඇසුර නිසාම කෙටි කලකින් පාලි භාෂාව ද ඉගෙන ගත් ඔහු ඉන් අනතුරුව ත්‍රිපිටක ග්‍රන්ථ කියැවීම ආරම්භ කළේය.භාවනා කිරීම දෛනික පුරුද්දක් කර ගත් ඔහු පාසල් සිසුන්ට පොහෝ දින සිල් සමාදන් වීමේ වැඩසටහන් ද සංවිධානය කරන්නට මුල්විය.

මෙරටින් නික්ම යෑම

පසුකාලීනව මෙරට පැවැතුනු දේශගුණය ඔහුට ගුණදායක නොවූ බැවින් සහ ත්‍රිපිටක ග්‍රන්ථ ඉංග්‍රිසියට පරිවර්තනය කිරීම සඳහා විවේකය අවශ්‍ය වූ බැවින් වුඩ්වඩ් මහතා ලංකාවෙන් 1919 වසරේ දී සමුගත්තේය. එකී සමුගැනීමට දකුණු පළාතේ 200කට අධික මහා සංඝරත්නය වැඩම කළ බව කියැවේ. ඔහු කළ සේවාව අගය කරමින් ඔහුට පාලි පුස්කොළ පොතක් හා සර්වඥ ධාතූන් වහන්සේලා කීප නමක් ද පරිත්‍යාගය කර තිබේ.

වුඩ්වඩ් මහතා පරිවර්තනය කළ ග්‍රන්ථයක්/ exoticindiaart.com

1919 වසරේ දී ටස්මෙනියාව බලා පිටත් වන ඔහු එහි පලතුරු වත්තක් වගා කරමින් නිදහස් ජීවිතයක් ගෙවීය. එම කාලය තුළ විනය ග්‍රන්ථ පහක් ද, අභිධර්ම ග්‍රන්ථ හතරක් ද, සූත්‍ර පිටකයේ ග්‍රන්ථ දහ හතරක් ද ඉංග්‍රිසියට පරිවර්තනය කළ ඔහු ඒවා ලන්ඩන් පාලි ග්‍රන්ථ සමාගම හරහා බෙදාහැරීමට ද කටයුතු කළේය.

වුඩ්වඩ් මහතාගේ ග්‍රන්ථ කරණය

ඔහු සිදුකළ පරිවර්තන අතර ‘Some sayings of the Buddha according to the Pali canon’, ‘The Minor Anthologies of the Pali Canon’, ‘The Buddha’s Path of Virtue: A Translation of the Dhammapada’, ‘The Book of the Kindred Sayings’, ‘The Book of Gradual Sayings’ යන පරිවර්තන මූලික වේ. ඊට අමතරව ‘Manorathapuranee’ නම් වූ ග්‍රන්ථය මුලින් ම රෝම භාෂාවට පරිවර්තනය කළේ ද මෙතුමාය.

වුඩ්වඩ් මහතා පරිවර්තනය කළ තවත් ග්‍රන්ථයක්/ exoticindiaart.com

ලෝකයේ බොහෝ විද්වතුන් වෙත පැවරුණු, නමුත් ඉටු නොවුණු කාර්යයක් වූ ‘Pali Tripitaka Concordance’ යන ග්‍රන්ථය සකස් කිරීම ද ඔහු සිදු කළේය. ඔහු විසින් රචනා කළ ග්‍රන්ථ අතර ‘Pictures of Buddhist Ceylon and Other Papers’, ‘Francis Bacon and the Cipher Story’, ‘Buddhist Stories. Translated from the Pāli’, ‘The Buddhist Doctrine of Reversible Merit’ සහ ‘Peace’ යන කෘති ප්‍රධාන තැනක් ගනී.

අභාවය

වුඩ්වඩ් මහතා සිය ජීවිතයේ අවසාන කාලයේ දී ඉතා සරල ජීවිතයක් ගත කළේය. එතුමන් 1952 මැයි 27 වනදා ටස්මේනියාවේ බීකන්ස්ෆීල්ඩ් රොහලේ දී අභාවප්‍රාප්ත විය.

Cover Photo- www.facebook.com/ Mahinda College- Galle

මූලාශ්‍ර-

Cultural And Religious Themes in the life of F.L.Woodward - Michael Powell

මා දුටු මහින්දය - නිශ්ශංක ද සිල්වා

මහින්දේ තමයි ඉස්කෝලේ - සුන්දර නිහතමානී ද මැල්

 

Related Articles