ඉතිහාසයේ පළමු කළු සමුරායිවරයා; යසුකේ

“සමුරායි” යන වදන ඇසූ පමණින් අපට මතක් වන්නේ අතීත වැඩවසම් ජපානයේ විසූ අභීත සටන්කාමීන්වයි. ජපන් ජාතිකයින් යනු ඉතා පැහැපත් සමක් ඇති, උසින් ඉතා විශාල නොවන පුද්ගලයින් සමූහයක්. සමුරායිවරුන්ගේ චරිත කථා සහ ජනප්‍රවාද ඇසුරින් නිමැවුණු චිත්‍රපට තුළින් පවා අප දැක ඇත්තේ එවැනි පුද්ගලයිනුයි. නමුත් මේ ලිපියෙන් කියැවෙන්නේ අනෙක් සමුරායිවරුන්ට වඩා අඩියක් පමණ උසින් යුතු වූ, මිනිසුන් දස දෙනෙකුගේ ශක්තිය රැගත් ඉතිහාසයේ පළමු කළු ජාතික සමුරායිවරයා වූ “යසුකේ” පිළිබඳවයි.

16වන සියවස සමයේදී ජපානය රාජ්‍යයක් වශයෙන් හොඳ තත්වයක සිටියේ නැහැ. බාහිර රාජ්‍යයන් සමගද මනා සබඳතාවයක් නොපවත්වාගෙන ගිය ජපානය එකල අභ්‍යන්තර වශයෙනුත් බෙදීමට ලක්ව තිබුණු රාජ්‍යයක්. මේ කාලයේදී “දයිම්යෝවරු” (daimyōs) නමින් හඳුන්වන ලද ප්‍රාදේශීය නායකයන් යටතේ බෙදී ගොස් පාලනය කෙරුණු ජපාන දූපත් රාජ්‍යය බාහිරත් සමග ගනුදෙනු නොකළ නිසා, දේශ ගවේෂණයේ යෙදුණු යුරෝපා රාජ්‍යයන් ජපානය වෙත පැමිණ ජපන් ජාතිකයින් මුණගැසෙන තුරුම ඔවුන් පිටස්තරයින් මුණගැසී තිබුණේ නෑ.

පෘතුගීසීන්ගේ ජපාන ආගමනය

ශ්‍රී ලංකාව මුලින්ම යටත් කරගත් පෘතුගීසී ජාතිකයින්ම මුලින්ම ජපානයටත් පය තැබූ විදේශිකයින් ලෙසත් හැඳින්වෙනවා. තමන්ගේ ආගම සහ භාෂාව මෙන්ම වහල් සේවයද ඔවුන් ජපානය වෙත රැගෙන විත් තිබුණා. අප්‍රිකානු රාජ්‍යයන්ගෙන් බලහත්කාරයෙන් අල්වා ගැනුණු අප්‍රිකානු වහල් සේවකයින් විශාල ප්‍රමාණයක් පෘතුගීසි ජාතිකයින්ගේ නැව් තුළ රඳවා සිටි අතර, පෘතුගීසීන් ජපානය තුළ සැරිසරද්දී තම ස්වාමි පුත්‍රයින් හට සාත්තු සප්පායම් කරමින් මෙම අප්‍රිකානු වහල් සේවකයින්ද ජපානය පුරා සැරිසැරුවා. මෙසේ ජපානය වෙත ආ වහල් සේවකයින්ගෙන් කෙනෙකු වූ “යසුකේ” නැමති කළු ජාතිකයා පසු කලෙක ජපානයේ සමුරායිවරයකු බවට පත්ව තිබෙන බවට ජපාන පුරාවෘත්ත සාක්ෂි පළ කරනවා.

එකල විසූ වහල් සේවකයින් සියල්ලකගේම පාහේ ජීවන තතු ඉතිහාසයට පවා අමතකව ගොස් තිබුණත්, බොහෝ දෙනා සැක පහළ කරන්නේ යසුකේ අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යයේ උපත ලබන්නට ඇති බවටයි. Jesuit missionary හෙවත් ජේසු නිකායික මිෂනාරිවරයකු වූ පෘතුගීසි ජාතික ඇලෙස්සාන්ඩ්‍රෝ වැලිඤ්ඤානෝ නැමැත්තා (Alessandro Valignano) සමග යසුකේද ජපානය වෙත ආ බවයි පැවසෙන්නේ. ඇලෙස්සාන්ඩ්‍රෝ අග්නි දිග වෙත ක්‍රිස්තියානි දහම රැගෙන ඒමේ පුරෝගාමියකු වූ අතර, පසු කලෙක ඔහුගේ මිතුරකු වූ ලුවී ෆෘවා (Louis Frois) නැමති මිෂනාරිවරයා විසින් ලියන ලද ලිපි පෙළක් මගින් අභීත රණශූර යසුකේගේ චරිතය පිළිබඳ බොහෝ තතු හෙළි කරගන්නටත් මග පෑදී තිබෙනවා.

ඇලෙස්සාන්ඩ්‍රෝ සමග යසුකේගේ ජපාන ආගමනය (defendernetwork.com)

“කළු පැහැති යෝධ මිනිසා”

ජපන් ජාතිකයින් කිසිවෙක්ට ඊට පෙර අප්‍රිකානු ජාතිකයෙකු නෙත ගැටී තිබී නැති නිසා යසුකේගේ පැමිණීම ජපානය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. “කළු පැහැති විශාල මිනිසා” නරඹන්නට නන් දෙසින් ජපන් ජාතිකයින් වැල නොකැඩී පැමිණි බවත්, මිෂනාරී නිවස ඉදිරිපිට පොර කමින් සිටි ඇතැම් පුද්ගලයින් අධික ජන ගඟකට මැදිවී මිය ගිය බවත් ලුවී ෆෘවාගේ ලිපි වල සඳහන්ව තිබෙනවා. වේගයෙන් පැතිර ගිය මේ පුවත ජපානයේ දයිම්යෝවරුන්ගේ අවධානයටත් පාත්‍ර වුණේ ඉතා ඉක්මනින්.

මෙකල විසූ ඕඩා නොබුන්ගා (Oda Nobunga) නම් වූ දයිම්යෝවරයා ජපානයේ යුරෝපානු සංස්කෘතිය පිළිබඳ විශේෂ ඇල්මක් දැක්වූ පාලකයෙකු ලෙස ප්‍රසිද්ධයි. මිෂනාරීවරුන්ට ජපානයේ කියෝතෝ නුවර දේවස්ථානයක් ඉදි කරන්නටත්, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන්නටත් මුල් වී කටයුතු කළ මේ දයොම්යෝවරයා පසු කලෙක ජපානය එක්සේසත් කරන්නට පවා ප්‍රමුඛත්වය ගෙන කැපවීමෙන් කටයුතු කොට තිබෙනවා. මුලින්ම යසුකේ දුටු විට නොබුන්ගා ඔහුව විස්තර කරේ “මිනිසුන් දස දෙනෙකුගේ ශක්තිය හිමි යෝධයෙකු” ලෙසිනුයි. ජපාන ජාතිකයින් මදක් උසින් අඩු නිසා යසුකේගේ අඩි හයක පමණ උස ඔවුන්ට විස්මය දනවන්නක් වන්නට ඇති.

යසුකේගේ සිතුවමක් (geekexchange.com)

යසුකේගේ කාල වර්ණ සම සත්‍යයක් විය නොහැකි බව විශ්වාස කළ මේ දයිම්යෝවරයා යසුකේගේ සිරුර හොඳින් අතුල්ලා සේදිය යුතු බවට නියම කොට තිබුණා. නමුත් කොපමණ සේදුවත් ඔහුගේ සමේ පැහැය වෙනස් නොවන බව වටහාගත් දයිම්යෝවරයා ඉන් පසුව නම් යසුකේගේ සිරුරේ තීන්ත ගල්වා නොමැති බවට විශ්වාස කරන්නට පටන් ගත් බව පැවසෙනවා. යසුකේ තමා දැන සිටි ජපන් වදන් කිහිපය උපයෝගී කරගෙන නොබුන්ගා සමග කතාබහ කළ අතර, ඉතා ඉක්මනින්ම නොබුන්ගාගේ සිත ඇද ගන්නට යසුකේ සමත් වූ බව ලුවිස්ගේ ලිපි වල සඳහන් වනවා. යසුකේ තමාගේ යටතට ගත් නොබුන්ගා ඔහු වෙත වෙනමම නිවසක්, ජීවත් වීමට මුදලක් මෙන්ම කටානාවක් හෙවත් කඩුවක්ද ත්‍යාග කොට තිබෙනවා. යසුකේ හෙවත් “කළු පැහැති මිනිසා” (The Black one) යන ජපන් නාමයද ඔහුට හිමි වන්නට ඇත්තේ මේ සමයේදීයි.

සටන් බිමට යන්නට සැරසෙන යසුකේගේ සිතුවමක් (ozy.com)

වහල් සේවයේ සිට සමුරායිවරයකු දක්වා..

එතැන් පටන් යසුකේ නොබුන්ගා දයිම්යෝවරයාගේ වැදගත් සහායකයකු සහ උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නට වූ අතර, ඔහු නොබුන්ගා යටතේ “සේවාවන් සැපයීමට බැඳී සිටින්නෙකු” හෙවත් “සමුරායිවරයකු වශයෙන් කටයුතු කළ බවත් ඉතිහාසය සඳහන් කරනවා. පෘතුගීසීන් යටතේ “දේපලක්” ලෙසින් හැඳින්වුණු යසුකේ ජපානය තුළ “ප්‍රභූවරයකු” බවට පත් වූයේ එලෙසයි.

ඕඩා නොබුන්ගා දයිම්යෝවරයා (defendernetwork.com)

1582 වසරේ යසුකේගේ මිතුරකු වූ අකේශි මිට්සුහිදේ (Akeshi Mitsuhide) නම් වූ සමුරායිවරයා විසින් නොබුන්ගාගේ යටතේ වූ ජපාන ප්‍රාන්ත සහ සහ ඔහුගේ මාළිගාව යටත් කරගන්නට සටනක් මෙහෙය වූ අතර, එම සටනේදී නොබුන්ගාගේ මාළිගාව අකේශිගෙන් බේරා ගන්නට යසුකේ දිවි නොතකා සටන් කොට තිබෙනවා. (මේ කාලය වන විට ජපාන ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් අඩක් පමණ පැවතුණේ නොබුන්ගා සතුවයි.) නොබුන්ගාද ඔහු සමග සටනට එක් වුවද, අවසානයේ තමාට පරාජය බාරගන්නට සිදුවන බව තේරුම්ගත් නොබුන්ගා, සතුරා අතින් මිය යෑමට වඩා ගෞරවාන්විත විකල්පය වන “සෙප්පුකු” හෙවත් සියදිවි නසා ගැනීමේ විකල්පය තෝරා ගත්තා.

තමා සටනින් පරාජය වූ බව දැන දැනත් යසුකේ දිගටම සටන් වැදුනද, අවසානයේ ඔහු තමාගේ කටානාව සතුරා වෙත භාර දී තිබෙනවා. යසුකේ උපතින් ජපන් ජාතිකයකු නොවූ හෙයින් ඔහුට මරණ දඬුවම ලබා දීමට සතුරා එකඟ නොවූ අතර, ඔවුන් විසින් යසුකේව නැවතත් පෘතුගීසි මිෂනාරිවරුන් වෙත යවා තිබෙනවා. ඒ වන විටත් ජපාන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා තිබූ යසුකේ තම ජීවිතයේ අවසාන හුස්ම හෙළනා තුරු දිවි ගෙවූයේ මිෂනාරීවරුන් සමගයි.

කවරයේ ඡායාරූපය – wallpaperflare.com

තොරතුරු උපුටා ගැනීම – allthatsinteresting.com වෙබ් අඩවියේ “Yasuke: The African Slave Who Rose To Become History’s First Black Samurai” ලිපිය ඇසුරිණි.

Related Articles