Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CIA බුද්ධි තරුව සම්මානය ලැබූ 14 වියැති දැරිය

බුද්ධි තරුව (Intelligence Star) සම්මානය බුද්ධි සේවයෙහි විවිධ දස්කම් පෑ නිලධාරීන් සඳහා ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි කාර්යාංශය හෙවත් CIA සංවිධානය මඟින් පිරිනමනු ලබන ඉහළම සම්මානයකි. මෙම සම්මානයට හිමිකම් පෑ ලාබාලතමයෙකු පිළිබඳව CIA ඉතිහාසය වාර්තා කරයි. 1966 දී 14 වියෙහි පසු වූ මොරීන් ඩෙව්ලින් හට CIA සංවිධානයේ බුද්ධි තරුව සම්මානය හිමිවූයේ ඇය සිදු කළ සැබෑ වික්‍රමයක් හේතුවෙනුයි. CIA සංවිධානය මෙම තොරතුරු අනාවරණය කළේ 2014 වසරේ දී යි.

Daily Mail (Intelligence Star සම්මානය)

CIA බුද්ධි තරුව සම්මානය

ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු ඒජන්සි ආයතනයේ බුද්ධි නිලධාරීන්ට මෙවැනි ඇගයීමක් ලැබෙනුයේ අනතුරුදායක තත්ත්වයන් යටතේ සිදු කරන ලද නිර්භීත ක්‍රියාවන්වලට හෝ, බරපතල ගණයේ අවදානම් සහගත තත්ත්වයන් යටතේ හෝ, වෙනස් අන්දමින් සිදු කළ කැපී පෙනෙන ජයග්‍රහණයන් හෝ සේවාවන් සඳහා යි.

මෙම සම්මානය ප්‍රදානය කිරීම සිදු වන්නේ මධ්‍යම රහස් ඔත්තු ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් වන අතර, එහිදී අදාළ නිලධාරියා දක්වන ලද ‘අසාමාන්‍ය වීරත්වය’ පිළිබඳව ඔහු විශේෂයෙන්ම සඳහන් කරනු ලබයි. Distinguished Intellegence Cross සහ Distinguished Intellegence Medal නමැති සම්මාන දෙකට පසුව මධ්‍යම බුද්ධි කාර්යාංශය විසින් ලබා දෙන තෙවැනි ඉහළතම සම්මානය වන්නේ මෙම ‘CIA බුද්ධි තරුව’ සම්මානය යි. තව ද එය යුද්ධයේ දී විදහාපාන ලද අසමසම වීරත්වය සඳහා එක්සත් ජනපද මිලිටරි සම්මානය වන ‘රිදී තරුව’ සම්මානයට සමාන වේ. එක්සත් ජනපද ආණ්ඩුව විසින් පිරිනමන ලද දුර්ලභ ප්‍රණාම සම්මානවලින් එකක් ලෙස පිළිගැනෙන මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ ඉතාම සීමිත පිරිසක්.

Daily Mail

මොරින්ගේ වීර ක්‍රියාව

සම්මානයට පාත්‍ර වූ මොරීන් ඩෙව්ලින්ගේ පියා වන ලැරී ඩෙව්ලින් CIA බුද්ධි නිලධාරියකු වූ අතර, එවකට ඔහු කොංගෝ රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු ඒජන්සි ආයතනයේ ශාඛාවෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළා. ඩෙව්ලින් පවුල ජීවත් වූයේ සිවිල් යුද්ධ මෙන්ම පොදු නීති උල්ලංඝනය කිරීම් බහුලව පැවති කොංගෝහි අගනුවර වන කින්ෂාසා වල ය. එක් රාත්‍රියක, ලෝරන්ස් පවුලට භයානක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුණා.

‘The Youngest Intelligence Star’  ලෙස සඳහන් කර ඇති CIA ලේඛනවල දැක්වෙන අන්දමට කතාව මෙසේ ය.

කොංගෝ කොල්ලකරුවන්ගේ කඩා වැදීම

මුහුණු ආවරණ පැලඳි සන්නද්ධ කොල්ලකරුවන් තිදෙනකු මොරීන් නිදා සිටිය දී දොර අගුලු හරිමින් ඇගේ  කාමරයට ඇතුළු වී තිබෙනවා. කාමරයේ විදුලි පහන් දැල්වූ මංකොල්ලකරුවන්ගෙන් එක් අයෙක් මොරීන්ගේ රාත්‍රී ඇඳුම මස් කපන පිහියකින් ටිකෙන් ටික කපා දමන්නට පටන් ගත්තා. ඒ වන විට නින්දෙන් අවදිව සිටි ඇය ඔවුනට ඒත්තු ගන්වා සිටියේ නිදා සිටින බවකි. පොරවා සිටි රෙද්දෙහි එතී සිටි ඇය බොහෝ වෙලාවක් යනතෙක් අවදි වූයේ නැහැ. කොල්ලකරුවන් විසින් ඇගේ අතේ තිබූ මුදුවක් සහ වළල්ලක් සොරාගෙන තිබෙනවා.

ඔවුන්ගේ දේශීය ලින්ගලා භාෂාව දැන සිටි ඇය ඔවුනගේ කතාබහට හොඳින් සවන් දී තිබෙනවා. ඔවුන්ගේ භාෂාව ඇය තේරුම්ගෙන තිබුණත් ‘දූෂණය’ යන වචනය ඇය නොදැන සිටි නිසා එය ශාරීරික හානියක් සිදු කරන්නක් බව ඇයට තේරුම් ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කාමරයේ විදුලි ආලෝකය දැල්වූ ඔවුන් මස් කපන පිහිය ඇගේ ගෙළට තබන විට තවදුරටත් නිදා සිටින්නට ඇයට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ඇගේ විශාලතම බය තිබුණේ මව හෝ පියා දැනටමත් මරා දමා ඇතිද යන්න පිළිබඳව යි.

ඇය කතා කරන්නට උත්සාහ ගත් නමුත් කොල්ලකරුවෝ ප්‍රංශ භාෂාවෙන් කතා කරමින් ඉඟි කළේ කතා කළහොත් ඇයව මරා දමන බවට යි.

මව සහ පියා බේරා ගැනීම

ඔහු ඇගේ අතින් අදිමින් ඇඳෙන් ඉවතට ගැනීමට උත්සාහ දැරූ අතර ඇය වහා ක්‍රියාත්මක වෙමින් කොල්ලකරු අල්ලාගෙන සිටි අත මුදාගෙන ඇඳේ අනෙක් පසින් බිමට පැන තිබෙනවා. ඇඳුම් වලින් සිරුර වසා ගනිමින් සොරුන්ට නොබියව මුහුණ දුන් ඇය ලින්ගාලා භාෂාවෙන් දැඩිව පවසා සිටියේ නිවසේ කිසිවෙකුටත් හිරිහැරයක් නොකරන ලෙස යි. නිවසේ ඇවිද යද්දී මොරීන් ඔවුන්ට තවදුරටත් අනතුරු හඟවා සිටියේ ඇමරිකානුවන්ට හානි කළ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රහස් ක්‍රම සහ මැජික් ක්‍රම ඇති බව යි. එසේම ඇමෙරිකාව එවැනි පුද්ගලයින් නිරන්තරව මරා දමා තිබෙන බවයි. මොරීන් අවසානයේ දී මංකොල්ලකරුවන් ඉදිරිපසින් සහ පසුපසින් තුවක්කු තබා තර්ජනය කරද්දී එම මංකොල්ලකරුවන්ව ඇගේ දෙමාපියන්ගේ කාමරයට රැගෙන ගියා.

එම අවස්ථාවේ දී මොරීන්ගේ දෙමව්පියන් නින්දෙන් අවදි වූ අතර, කොල්ලකරුවන් තමන්ට අවශ්‍ය දේවල් සොරකම් කරන තෙක් තිදෙනාටම සිටගෙන සිටීමට සිදුවුණා. මේ සියල්ල සිදු වෙද්දී මොරින්ගේ මව කොල්ලකරුවන්ට ප්‍රංශ භාෂාවෙන් බැණ වදිමින් නිවසින් බැහැර වන ලෙස පවසා තිබෙනවා. නිවස මංකොල්ල කන අතරවාරයේ දී මොරීන්ට නාන කාමරයට යන ලෙස ඔවුන් තර්ජනය කර ඇත.

මොරීන් පළමුව එහි ඇතුළු වූ අතර ඇගේ පසුපස පියාත් මවත් පැමිණ තිබෙනවා. පිටුපස දොර හැර දමා තිබුණු අතර, නානකාමරයේ ඇතුළු වූ දොරට ඔවුන්ගේ ශරීරවලින් තදකොට කොල්ලකරුවන්ට ඇතුළු වීමට පෙර එය අගුලු දමා තිබෙනවා. මොරීන් විශාල වතුර බෝතල් දෙකක් ඇගේ පියාට ලබා දුන්නේ අවශ්‍යතාවක් වුවහොත් භාවිතා කිරීම සඳහා යි. පසුව ජනේලයෙන් සියලු දෙනාම උදව් ඉල්ලා කෑ ගැසූ අතර මිනිත්තු කිහිපයකින් පසු, ඔවුන්ගේ කටහඬ කෝකියාට ඇසී තිබෙනවා.

The New York Times (ලැරී ඩෙව්ලින්)

කොල්ලකරුවන් පලායාම

කොල්ලකරුවන් පලා ගිය අතර, නිවසේ නාන කාමර දොර අගුළු විවෘත කළ පියා සහ දියණිය තුවක්කු දෙකක් ගෙන කොල්ලකරුවන් අල්ලා ගැනීම සඳහා ඔවුන් පසුපස හඹා යන්නට යන්නට වුණා.

පසුව ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කළ බව ලේඛනවල සඳහන් වෙනවා.

ලැරී ඩෙව්ලින් එම කාල වකවාණුවේදී, වොෂින්ටන් ටයිම්ස්හි වාර්තාවකට ලබා දුන් සාකච්ඡාවක පවසා ඇත්තේ කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වූ පසු එය සිය පවුලේ අවසානය බව තමන්ට වැටහුණු බව යි. නාන කාමර තුළ ඝාතනයට ලක් වූ තවත් පවුල් ගැන ඔහු දැන සිටි නමුත් නානකාමරයේ දොර තල්ලු කර වසා දැමීමට හැකි වූ නිසා මරණයෙන් ගැලවෙන්නට ඩෙව්ලින් පවුලට වාසනාව ලැබුණා.

මොරීන් CIA සංවිධානයට සම්බන්ධ වීම

හදිසි අවස්ථාවක වහා ක්‍රියාත්මක වීම, සන්සුන්ව ක්‍රියා කිරීම, දේශීය භාෂාව භාවිත කිරීමේ හැකියාව, ස්ථිරසාර පියවර ගැනීම පිණිස දේශීය දැනුම උපයෝගී කර ගැනීම යන විශිෂ්ටතා නිසා මොරීන් ඩෙව්ලින් ඇමෙරිකාවේ දෙවන විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබුවා.

නව යොවුන් වියේදීම මොරීන්ට CIA සංවිධානයට සේවය සලසන්න අවස්ථාව ලැබුණා. 2008 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියේ මොරීන් සිය පියාගේ අනුප්‍රාප්තිකාව වශයෙන් CIA සංවිධානයට සම්බන්ධ වී සිටින බවයි. ඇය මේ වන විට CIA සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක තනතුරක කටයුතු කරමින් සිටිනවා.

Cover – businessinsider.com

Declassified CIA Reports Reveal the Youngest Recipient of the Intelligence Star

http://www.businessinsider.com/cia-intelligence-star-congo-2014-10

http://www.dailymail.co.uk/news/article-2790448/declassified-documents-reveal-14-year-old-girl-received-intelligence-star-cia.html

Related Articles