Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෙනරාල් ෂියා උල් හක්, අගමැති අලි භූතෝ එල්ලා මරා දැමීම

පාකිස්ථානය අතීතයේ සිටම හමුදා කුමන්ත්‍රණවලට නමගිය රටක් ලෙස හැදින්විය හැකියි. 1947 වසරේ දී පාකිස්ථානය නම් රටක් අලුතෙන් නිර්මාණය වන අතර එහි පාලන බලය ලබා ගන්නේ මොහොමඩ් අලි ජින්නාගේ සමීප සගයෙක් වෙන  අලි ඛාන් ය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් සඳහා පාකිස්ථානය අවතීර්ණය වන්නේ ඊටත් බොහෝ කාලයකට පසුවයි. 

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවතීර්ණය වූවත් පාකිස්ථානය වරින් වර හමුදා කුමන්ත්‍රණ රැසකට මුහුණ දෙනවා. පාකිස්ථාන පාලකයා පාකිස්ථානු හමුදාවට හිතවත් බවක් නොදක්වන විට එරට ආණ්ඩුව පෙරළා දැමීමට පාකිස්ථාන හමුදා කිහිපවරක්ම කටයුතු කර තිබෙනවා. ජනරාල් සියා උල්හක් විසින් සුල්ෆිකාර් අලිභූතෝ බලයෙන් පහකර රාජ්‍ය බලය අත්කර ගැනීම, හමුදාපති පර්වේස් මුෂාරෆ් විසින් නවාස් ෂෙරිෆ් අගමැතිවරයා පළවා හැර ආණ්ඩු බලය ලබා ගැනීම එවැනි හමුදා කුමන්ත්‍රණ අතර ප්‍රධාන ඒවා ලෙස සඳහන් කළ හැකියි.

ජෙනරාල් සියා උල් හක් විසින් සුල්ෆිකාර් අලිභූතෝ බලයෙන් පහකර රාජ්‍ය බලය අත්කර ගැනීම හා පසුව පැවැත්වූ නඩු විභාගයකින් පසුව සුල්ෆිකාර් අලිභූතෝව එල්ලා මරා දැමීම පිළිබඳව යි මේ ලිපියට තේමා වෙන්නේ.

සුල්ෆිකාර් අලිභූතෝ පාකිස්ථානයේ අගමැති ධූරයට පත්වීම 

සුල්ෆිකාර් අලිභූතෝ (i.ytimg.com)

ජෙනරාල් අයුබ්ඛාන් යටතේ දේශපාලනයට අත්පොත් තබන සුල්ෆිකාර් 1958 වසරේ දී එරට කැබිනට් මණ්ඩලයට එකතු වෙනවා. 1963 වසරේ දී විදේශ ඇමැතිවරයා ලෙස පත් වෙන අතර 1967 දී ඉන් ඉවත්ව නව පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඒ  Pakistan Peoples Party හෙවත් පාකිස්ථානු මහජන පක්‍ෂය යි.

1971 දී පාකිස්ථාන මහා මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනාගන්නේ නැගෙනහිර පාකිස්ථානයේ අවාමි ලීගය යි. බටහිර පාකිස්ථානයේ වැඩි බලය සුල්ෆිකාර් අලි භූතෝගේ පක්ෂයට ලැබෙනවා. නැගෙනහිර පාකිස්ථානයේ අවාමි ලීගයට බටහිර පාකිස්ථානය කැමැත්තක් දක්වන්නේ නෑ. එහිදී බලය පැවරීම පිළිබඳව විශාල අර්බුදයක් නිර්මාණය වෙන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පාකිස්ථානයේ සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. පසුව මෙම අර්බුදය ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් බවට පත් වෙනවා. ඉන්දියාවේ හමුදාමය මැදිහත්වීම මත නැගෙනහිර පාකිස්ථානය, බංගලාදේශය නමින් ස්වාධීන රාජ්‍යක් බවට පත් වීම බටහිර පාකිස්ථානයට පිළිගැනීමට සිදුවෙනවා.

ඉන් පසුව 1971 දී ඔවුන්ට ඉතිරි වූ බටහිර පාකිස්ථානයේ ජනාධිපති බවට පත් වූ සුල්ෆිකාර් අලිභූතෝ 1972 අප්‍රේල් මාසයේ දී යුද නීතිය ඉවත් කොට පාකිස්ථානයට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. 1973 වසරේ දී ඔහු පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙනවා.

අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම 

ජනරාල් සියා උල්හක් (i.dawn.com)

1977 වසරේ දී පාකිස්ථානයේ  පැවති ඊළඟ මැතිවරණයේ දී නැවතත් ජයග්‍රහණය කිරීමට සුල්ෆිකාර් අලිභූතෝ  ප්‍රමුඛ පාකිස්ථානු මහජන පක්‍ෂය සමත් වෙනවා. නමුත් මෙවර මැතිවරණය අසාධාරණ බව පවසමින් විපක්ෂයේ කණ්ඩායම් රටපුරා විරෝධතා ව්‍යාපාරවල නිරත වෙනවා. 

මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පාකිස්ථානය පුරා පැතිරී යාම ඉතා වේගයෙන් සිදු වෙනවා. පොදු දේපොළ හානි කිරීම, සිවිල් නීති කඩකිරීමේ තත්වයන් දිගින් දිගටම වර්ධනය වූ අතර මේ හේතුවෙන් රටේ දේශපාලනික අර්බුදය සීග්‍රයෙන් ඉහළ යනවා. මේ සමඟ ආණ්ඩුවේ ප්‍රධානි සුල්ෆිකාර් අලිභූතෝ ද විරෝධතා මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරනවා. ඔහු විපක්ෂයේ ප්‍රබලයන් මර්ධනය කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගැනීම් වධ හිංසා පැමිණවීම් හා සිරගත කිරීමවලට අණ ලබා දෙනවා.

ක්‍රමක්‍රමයෙන් රට අරාජිකත්වයට ඇද වැටුණු අතර රටේ දේශපාලන ස්ථාවරත්වය ද දිනෙන් දිනම දිය වී යන ආකාරයක් දකින්න ලැබෙනවා. සුපුරුදු පරිදි මේ අවස්ථාවේදී එරට හමුදා ප්‍රධානියා සිය බලය භාවිතා කිරීමට තීරණය කරනවා. මේ අනුව පාකිස්ථාන් හමුදාවේ ප්‍රධානියා වන ජනරාල් සියා උල් හක් සුල්පිකාර් අලිභූතෝව බලයෙන් පහ කර රාජ්‍ය බලය අත්කර ගන්නවා. ඒ 1977 ජූලි 5 වැනිදා යි. ජෙනරාල් මොහමඩ් සියා උල් හක්ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණය සිදු වූ අතර අත්අඩංගුවට ගත් භූතෝ නිවාස අඩස්සියේ රඳවා තබනවා.

සුල්ෆිකාර් අලිභූතෝ එල්ලා මරා දැමීම 

පසු කාලයේ දී පාකිස්ථානයේ අගමැතිනියක් බවට පත් වූ බේනාසීර් භූතෝ සුල්ෆිකාර් අලිභූතෝගේ දියණියකි (biography.com)

හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වන බව ජෙනරාල්වරයා පොරොන්දු වූවත් එම පොරොන්දුව ඉටු වන්නේ නෑ. සුල්ෆිකාර් අලිභූතෝව නිවාස අඩස්සියේ තබා මැතිවරණයක් කරා ගමන් කිරීම තමන්ට අවාසිදායක බව සිතන ජෙනරාල්වරයා භූතෝව නිදහස් කිරීමට කටයුතු කරනවා. නමුත් ඔහුට ගැලවීමට නොහැකි ඔප්පු කළ හැකි චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීම මගින් තමාට එල්ලවෙන ජනතා අප්‍රසාදය වලක්වා ගැනීමට හැකි බවත් ජෙනරාල්වරයා කල්පනා කරනවා.

ඒ අනුව එම වසරේම සැප්තැම්බර් 3 වැනිදා භූතෝ අත්අඩංගුවට ගනු ලබනවා. 1974 මාර්තු මාසයේ දී දේශපාලන විරුද්ධවාදියෙකුගේ පියෙක් ඝාතනය කිරීම යන චෝදනාව ඔහුට එල්ල වෙනවා. පසුව හරිහැටි චෝදනා ඔප්පු කළ නොහැකි බැවින් දින කිහිපයකින් භූතෝව නිදහස් කිරීමට අධිකරණය තීරණය කරනවා. නමුත් ෂියා උල් හක් නැවතත් හමුදා නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අණ කරනවා. කිසිඳු නිරීක්ෂකයෙකුට නඩුව විභාග වන අධිකරණයට ඇතුල් වීමට ජෙනරාල්වරයා අවසර ලබා දෙන්නේ නෑ. නඩුව විභාග වන කාලය තුළ තමාගෙන් සමාව ගතහොත් නිදහස ලැබෙන බව ජෙනරාල්වරයා භූතෝට දන්වා යැවූ බව ද සඳහන්. නමුත් භූතෝ විසින් එය ප්‍රතික්ෂේප කරනවා.

අසාධාරණ නඩු විභාගයකින් අනතුරව ඉහත දැක්වූ චෝදනා මත ඔහුව එල්ලා මැරීමට 1978 මාර්තු 18 දා තීරණය වෙනවා. භූතෝ නිදහස් කරන ලෙස ඉල්ලා ලෝකයේ බොහෝ රටවල නායකයන් විශාල ප්‍රමාණයක් ජෙනරල්වරයාගෙන් ඉල්ලීම් කළත් එම ඉල්ලීම්වලට ඔහු ඇහුම්කන් දෙන්නේ නෑ. එසේ ඉල්ලීම් කළ නායකයන් අතර ඇමෙරිකානු හා ප්‍රංශ නායකයන් ද සිටිනවා. 

අත්අඩංගුවට ගැනීමෙන් පසුව (i2.wp.com)

හමුදා කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය ලෙස භුතෝව 1979 අප්‍රේල් 4 දා එල්ලා මරා දමනවා. මෙය, පාකිස්ථානයේ මෙන්ම ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට පයින් ගැසූ අවස්ථාවක් ලෙස බොහෝ දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය - i.ytimg.com

Related Articles