Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆිලික්ස් ඩයස් උරණ කළ ‘සාගරයක් මැද’ සිනමා පටය

‘දවස’ පුවත්පතේ එවකට සේවය කළ එච්. ඩබ්ලිව්. අබේපාල හිටපු ඇමතිවරයකු වූ ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායකගේ සමීපත ම හිතවතෙක් විය. කොල්ලුපිටියේ මහ නුග ගාර්ඩ්න් නිවසෙහි විසූ ෆීලික්ස් දිනක් හදිසියේම එච්. ඩබ්ලිව්. අබේපාල කැඳවීය.

“අබේපාල ගමනක් යමුදැයි?” ෆීලික්ස් විමසා සිටියේ ය. කිසිවක් නොවිමසූ අබේපාල ද “යමු” යි කියා පෙරමුණ ගත්තේ ය. වෙනදා ටයි කෝට් අඳින ෆීලික්ස් එදා සාමාන්‍ය ඇඳුමක් ඇඳ කැප් එකක් ද හිසට දා ගත්තේය. මේ ඇඳුම් පැලඳුම් නිසා ෆීලික්ස් එදින හඳුනා ගැනීමට පවා අපහසු රූපකායකින් යුතු විය.

ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක අබේපාල සමඟ එදා කෙළින් ම ගියේ සිනමා හලක් වෙතට ය. ඔවුන් සිනමාහලට ළඟා වන විටත් සිනමා දර්ශනය ආරම්භ ව තිබිණි. එහි එදින තිරගත වූයේ ‘සාගරයක් මැද’ චිත්‍රපටය යි. එවක ඉතාමත් ආන්දෝලනයට පත් සිනමාපටයක් වන එය පුවීණ සිනමාකරුවකු වන ගාමිණී ෆොන්සේකා ගේ නිර්මාණයකි.

අබේපාල සමඟ ෆීලික්ස් ‘සාගරයක් මැද’ නරඹයි

සාගරයක් මැද සිනමාපටයේ ගාමිණී ෆොන්සේකා නිරූපණ කළේ දොස්තර මොළදණ්ඩගේ චරිතය යි. ෆෙඩ්රික් රාමනායකගේ චරිතය සඳහා එවක 70 -77 සමඟි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයක් දැරූ ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක චරිතය පාදක කරගත් බව ප්‍රසිද්ධ වී තිබිණි. ගාමිණී ෆොන්සේකා මෙම සිනමා පටය මගින් ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක දැඩි ලෙස ප්‍රහාරයකට ලක් කර ඇති බව ද ප්‍රචාරය වී තිබිණි.

ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක, අබේපාල සමඟ එදා හොරරහසේ මං සිනමාහලකට රිංගුවේ මේ “සාගරයක් මැද” චිත්‍රපටය නරඹනු පිණිස ය.
සිනමාහලේ පිටුපස ආසන පේළියක අබේපාල සමඟ වී වාඩි වූ ෆීලික්ස් ‘සාගරයක් මැද’ නැරඹී ය.

“අපූරුයි! මේ පෙන්වන්නේ මා නම් මං ඒ ගැන ආඩම්බර වෙනවා. ෆෙඩ්රික් රාමනායක කෙළින් මිනිහෙක්නේ” යි ෆීලික්ස් හිනාවෙමින් අබේපාලට කීය. 

එසේ පැවසූ ෆීලික්ස් ‘සාගරයක් මැද’ සිනමා පටයට එරෙහි ව පසුකලෙක අවි අමෝරා ගෙන සටනට පැමිණියේය. මේ ඒ කතාව යි.

ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා
ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක -dailynews.lk

සමඟි පෙරමුණු ආණ්ඩුවේ හත් අවුරුදු පාලනය

ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායකත් නියෝජනය කළ සමඟි පෙරමුණු ආණ්ඩුවේ හත් අවුරුදු පාලන කාලය තුළ රටේ පොදු ජනතාවට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. පැවැති ව්‍යවස්ථාවට අනුව වසර පහකට පමණකට පමණක් බලයේ රැඳී සිටිය හැකි වුව ද තමන් ලද තුනෙන් දෙකේ ජනවරම අවභාවිතා කරමින් හත් වසරක් දක්වා සිය පාලන කාලය දිගු කර ගත් සමඟි පෙරමුණු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ අයිතිය ද උදුරා ගත්තේය. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගත් ආණ්ඩුව දවස පුවත්පත් මුද්‍රණාලයට මුද්‍රා තැබී ය. 

එජාපය සහ අනෙකුත් විපක්ෂ වේදිකාවේ ජනතාව හමුවේ කරුණු දැක්වූයේ හත් අවුරුදු සමගි පෙරමුණු පාලන සමයේ සිදු කළ ජනතා විරෝධී ක්‍රියා පිළිබඳ ය. 1977  දී ජේ.  ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඉතා සුවිශාල ජනවරමක් ලබා බලයට පත්වන්නේ ද මේ පසුබිම තුළ ය. ගාමිණී ෆොන්සේකා සිනමාවේදියා සාගරයක් මැද නිර්මාණය තුළින් ගෙනහැර දක්වන්නේ එවක 70 -77 සමඟි පෙරමුණු ආණ්ඩුවේ විෂමාචාර කරුණු කාරණා ය. ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ‘සාගරයක් මැද’ චිත්‍රපටය නරඹන්නට යන්නේ ඒ පිළිබද සිය සිත තුළ වන කුහුල සමනය කර ගනු පිණිස ය. 

චිත්‍රපටයේ සහ සැබෑ  චරිතවල ගැළපීම් 

සාගරයක් මැද චිත්‍රපටයේ රචකයා වශයෙන් සඳහන් වන්නේ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියකු මෙන් ම රංගන ශිල්පියකු වශයෙන් ද ප්‍රකට ව සිටි ධර්ම ශ්‍රී මුණසිංහ ය. නාමාවලියේ සඳහන් වූයේ චිත්‍රපට කතාන්දරය මන:කල්පිත බව ය. සිනමාපටයේ කතා පුවත දිග හැරෙන්නේ ප්‍රධාන චරිත දෙකක් පදනම් කරගෙන ය. එක් චරිතයක් වූයේ රාජ්‍ය අධිකරණ අමාත්‍ය ෆෙඩ්රික් රාමනායක ය. ඔහු ඇඳ සිටින්නේ ද හමුදා නිල ඇඳුමට සමාන වූවකි. එයින් සංකේතවත් කර තිබුණේ රාමනායක අමාත්‍යවරයාගේගේ පැසිස්ට්වාදී මානසිකත්වය ය. ගාම්භීර පෙනුමක් ආරෝපණය කරගෙන සිටින රාමනායක දුම්ම බීමට ඇබ්බැහි වූ පුද්ගලයකු විය.

ඒ කාලයේ ප්‍රභූවරුන් දුම් පානය කළේ දුම් පයිප්පයෙනි. ( දිවංගත අග්‍රාමාත්‍යවරුන් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක මෙන් ම ෆිලික්ස් ආර්. ඩී. බණ්ඩාරනායක අමාත්‍යවරයා ද ප්‍රසිද්ධියේ මෙලෙස දුම් පානය කළ දේශපාලන ප්‍රභූවරුන් අතර සිටියි.) මෙහි ලා සුවිශේෂී කාරණාවක් වූයේ රාමනායක අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයක් ද දක්නට ලැබීම යි. රාමනායක ගේ චරිතයට ප්‍රතිවිරෝධ චරිතය රජයේ වෛද්‍යවරයකු වූ දොස්තර මොළදණ්ඩ විය.

ඉයන් වික්‍රමනායක හා ගාමිණී පෙනී සිටින සාගරයක් මැද ජවනිකාවක්
ඉයන් වික්‍රමනායක හා ගාමිණී පෙනී සිටින සාගරයක් මැද ජවනිකාවක්-bbc.co.uk

”සාගරයක් මැද ”  කාතාවේ  ගලා යෑම 

චිත්‍රපටයේ නිරූපණය ව තිබුණු අයුරින්, වෛද්‍යවරයා විවාහක ය. දරු තිදෙනකුගේ පියෙකි. ඔහුගේ බිරියගේ භූමිකාව නිරූපණය කළේ වීණා ජයකොඩි ය. එම වෛද්‍යවරයාට රජයේ සේවයෙන් ලැබෙන වැටුප ජීවත් වන්නට ප්‍රමාණවත් නොවී ය. 1970 – 1977 සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ දී රජයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික චැනල් සේවය ද සපුරා තහනම් කර තිබිණි. චිත්‍රපටියේ එන මනකල්පිත රාජ්‍යයේද එසේම වීය.  රජයේ අමාත්‍යය වරයකුගේ මගඩියකට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා වෛද්‍යවරයාට බලවත් සතුරන් පිරිසක් ඇති වී, ඔවුන්ගේ කුමන්ත්‍රණයකට ගොදුරු වීම නිසා වෛද්‍යවරයාට බන්ධනාගාර ගත වීමට සිදුවේ.

සාගරයක් මැද චිත්‍රපටය රූගත කරන අවධියේ 18 වැනි වියේ පසු වූ කමල් අද්දරාරච්චි චිත්‍රපටියේ වෛද්‍යවරයාගේ වැඩිමහල් දරුවාගේ පෙරළිකාර චරිතයක් රඟපාමින් සිනමාපට රංගනයට පිවිසියේ ය. අයිරාංගනී සේරසිංහ මෙම සිනමාපටයේ චරිත නිරූපණය කළේ රාමනායකගේ මව ලෙසිනි. ඇය මානසික සංකූලතාවකින්  පෙළෙන වියපත් කාන්තාවක ලෙස අපූර්ව ලෙස රංගනයෙන් ඉදිරිපත් කර තිබිණි. බණ්ඩාරනායක යමතිනි ගේ හත් අවුරුදු පාලන සමයේ තවත් ආන්දෝලනාත්මක චරිතයක් වූයේ  අල්ලස් කොමසාරිස් ඉයන් වික්‍රමනායක ය. සාගරයක් මැද චිත්‍රපටියේ තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ ඔහු තම නිල චරිතය තමන් ම නිරූපණය කිරීම ය. චිත්‍රපටයේ දී වෛද්‍යවරයා අල්ලස් දැලට හසු කරවන්නේ ද ඉයන් වික්‍රමනායක ය.

https://assets.roar.media/assets/2MSaqBFVTplr2xMi_Iranganie-Serasinghe.jpg
අයිරාංගනී සේරසිංහ – information About Sri Lanka

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිපේ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන්  1970 දී කටයුතු කළ එච්. එන්. නවරත්න ‘සාගරයක් මැද’ සිනමාපටයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස චරිත නිරූපණය කළේය .පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා පොලිස් වෙඩි පහරින්1 976දී  මරමුවට පත් වීම, ජනතා විමුක්ති පෙරමුණේ රහස් පන්ති, එජාප ආණ්ඩුවේ මර්දනයට එරෙහි ව සිදු කළ විරෝධතා හා කම්කරු අරගල, ආණ්ඩුවෙන් දොට්ට දැමූ සමසමාජ පක්ෂයේ යෝජනා ද, සාගරයක් මැද චිත්‍රපටියේ අන්තර්ගත වූ සිදුවීම් කිහිපයකි.

මෙම චිත්‍රපටය මුලින් ම තිරගත වන්නේ අදට අවුරුදු හතළිහකට පමණ පෙර 1980 ජූලි 24 වැනි දා ය. අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ‘සාගරයක් මැද’ සිනමාපටයට හිමි විය. චිත්‍රපටය තිරගත වන විට හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනියගේ මෙන්ම හිටපු අමාත්‍ය ෆීලික්ස් ආර් ඩී බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය ද ජයවර්ධන ආණ්ඩුව අහිමි කර තිබිණි. ‘සාගරයක් මැද’ චිත්‍රපටය අවසන් වන්නේ අතීතයේ දී බල තෘෂ්ණාවෙන් සිදු වූ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී සිදුවීම් හා විෂමාචාර වර්තමානයේ මෙන් ම අනාගතයේ දී ද සිදුවිය හැකි බව අවධාරණයට ලක් කරමිනි.

ෆිලික්ස් වන්දි ඉල්ලයි 

‘බලකාමයෙන් මත් වූ අධිකරණය ඇමති පිළිබඳ කතාව “සාගරයක් මැද ” : ෆිලීක්ස්ට අපහාස කළොත් වන්දි ඕනෑ.’ නමින් අදට වසර 41කට පෙර, 1980 මාර්තු 23 වැනි දා, ගුණදාස ලියනගේ ගේ සංස්කරණයෙන් නිකුත් වූ ‘සත් දින ‘ ජාතික පුවත් පතේ ප්‍රධාන සිරස්තලය රට්ටුන් අතර ඉමහත් ආන්දෝලනයක් ඇතිකරන්නට සමත් විය.  ඒ වන විට “සාගරයක් මැද ” චිත්‍රපටය කිහිපවරක් ම නැරඹූව ද රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ද එයට ලැබී නොතිබිණි. මේ අතර ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ‘සාගරයක් මැද’ චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කළ ද අවසානයේදී එය අසාර්ථක විය.

ගුණදාස ලියනගේ – www.silumina.lk

1960 මාර්තු මැතිවරණයේ දී මෙන් ම, 1970 මහ මැතිවරණයේදීත් දොම්පේ ආසනයෙන් මැතිසබයට පිවිසි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක යනු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමීප ඥාතිවරයෙකි. 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හෙතෙම සමඟි පෙරමුණු ආණ්ඩුවේ හවුල්කාරිත්වයෙන් ලංකා සම සමාජ පක්ෂය 1975 දී  ඉවත් කළ පසු මුදල් අමාත්‍ය පදවිය ද දැරී ය.

‘සත් දින’ පුවතට සිය විරෝධය පළ කරමින් ෆිලික්ස් ඩයස් බණ්ඩාරනයාක හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ‘සාගරයක් මැද ‘ චිත්‍රපටයෙන් තමන්ගේ චරිත ඝාතනය කර තිබේනම් නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා මෙන් ම චිත්‍රපට සංස්ථාව ද තමාට වන්දි ගෙවීමට සූදානමින් සිටිය යුතු බව ය.

සම්මාන හා ඇගයීම් රැසක්

සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම ද ‘ සාගරයක් මැද සිනමා පටය පිළිබඳව තම කියවීම ‘ සත්දින ‘ පුවත්පතට සපයා තිබිණ. චිත්‍රපටය දිගින් දිගට ම වාරණය කරන රැඟුම් පාලක මණ්ඩලය ද ඔහුගේ ගැරහුමට ලක් විය. චිත්‍රපටයේ එන රාමනායකගේ චරිතය, පසුගිය සමඟි පෙරමුණු ආණ්ඩුවේ දූෂිත පරාජිත අමාත්‍යවරයකුගේ භූමිකාවට පමණක් සම කරන්නට ප්‍රයත්න දැරීම අමනෝඥ බව නවගත්තේගම සිය ලිපිය මගින් තර්ක කර තිබිණ. තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර සිටියේ හෙට දවසේදීත් මානව හිතවාදීන් හා දේශපාලකයන් ලෙස වෙස් බැඳී මෙවන් ෆැසිස්ට්වාදීන් රට්ටුන් ඉදිරියේ නිරුවත් කිරීමට මෙවැනි නිර්මාණ තව තවත් බිහි විය යුතු බව යි.

ගාමිණි ෆොන්සේකා මහතා
ගාමිණි ෆොන්සේකා   -pinterest.com

 

1956 දී රේඛාව ‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ගාමිණි ෆොන්සේකා ශ්‍රීලාංකේය සිනමාවේ නව මං පෙත් සොයා ගිය රැඩිකල්වාදියෙකි: පෙරළිකාරයෙකි. ඔහුගේ ප්‍රථම නිර්මාණය “පරසතු මල් ” (1966) මෙන්ම දෙවැනි නිර්මාණය වූ, උතුමාණනි |(1979) චිත්‍රපටය ද ගැලරියේ සිට බැල්කනිය දක්වා වූ සෑම තරාතිරමක ම ප්‍රේක්ෂක මෙන්ම විචාරක අවධානයට ද ලක්වූ ජනප්‍රිය නිර්මාණ විය. 

‘සාගරයක් මැද’ චිත්‍රපටය, දස වන සරසවිය සම්මාන ප්‍රදානෝත්සවයේ දී ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මානයට පත්‍ර විය. නිෂ්පාදක ආනන්ද අබේනායක ද, හොඳ ම අධ්‍යක්ෂණය ගාමිණී ෆොන්සේකා ද, හොඳ ම තිර නාටකය ධර්ම ශ්‍රී මුණසිංහ ද, හොඳ ම සංස්කරණය ඩී බී නිහාල්සිංහ ද, හොඳ ම අංග රචනය ශේෂා පලිහක්කාර ද,හොඳ ම කලා අධ්‍යක්ෂණය එරල් කෙරී හා හොඳ ම සහාය නිළිය අයිරාංගනී සේරසිංහ ද වශයෙන් සම්මාන හතක් දිනා ගැනීමට සමත් විය.

කවරයේ ජායාරූපය -සාගරයක් මැද චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාගේ ජවනිකාවක්  - /mubi.com/films/sagarayak-meda

මූලාශ්‍ර:

සත්දින පුවත්පත 1980

www.films.lk

dinamina.lk

සරසවිය පුවත්පත

Related Articles