Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Roar අපේ කතාව

මෙතෙක් කල්, Roar ඇරඹුනේ කොහොමද, Roar ගොඩනැගුනේ කොහොමද කියන එක ගැන විස්තරයක් අපි අපේ සිංහල පාඨකයින් සමඟ බෙදාගෙන නෑ. ඒ අඩුපාඩුව පාඨක ඔබ වෙනුවෙන් සම්පූර්ණ කරන එක Roar අපේ වගකීමක්. ඉතින්, Roar අපේ කතාව ඔබ සමඟ බෙදාගත යුතු කාලය මේ යැයි අපි හිතුවා.

Roar ඇරඹුනේ 2014 දී. ඒ, ඉංග්‍රීසියෙන් පුවත් සහ දැනුම සපයන වෙබ් අඩවියක් ලෙස යි. Roar ආරම්භකයා, වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා, එවක එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින්  සිටියා. පිටරටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින් දන්නවා තමන්ගේ රට මතක්වුණාම දැනෙන පාළුව. මුස්තෆාට ලංකාව ගැන තොරතුරු කියවන්න, ලංකාව හා සම්බන්ධයක් තියාගන්න අවශ්‍ය වුණත්, එවැනි වෙබ් අඩවියක් එකල ලංකාවේ තිබුණේ නැහැ. ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට සිය විශ්වවිද්‍යාලයීය මිතුරන් හා සම්බන්ධය පවත්වාගැනීමට වුවමනා වුණු නිසා Facebook නිර්මාණය කළා වගේ, මුස්තෆා ලංකාවට පැමිණීමෙන් පසු Roar නිර්මාණය කළේ විදේශයන්හි වසන ලාංකිකයින්ට ලංකාව මතක් වුණාම ඇතිවෙන සාංකාව මදකට හෝ සමනය කරගන්න හැකි වෙන්නයි කියලා ඔහු කියනවා.

ලාංකික අපි සිංහ ජාතියක්. ප්‍රෞඩ ජාතියක්. අපේ ලාංකික වෙබ් අඩවියක් ජාත්‍යන්තරයට ගෙනයාමේ දී ලාංකික අනන්‍යතාව පවත්වාගත යුතු යි. එනිසා සිංහයෙකුගේ ගර්ජනාව සංකේතවත් කරමින් Roar සන්නාමයත්, සංකේතය ලෙස සිංහ හිසකුත් අපි අපේ අනන්‍යතාවය කරගත්තා. ලංකාවේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් ඇරඹීමෙන් මුස්තෆාගෙ සාංකාව මදකට සමනය වුණා කියමුකෝ. නමුත් එම අවකාශයේ මහත් හිස්තැනක් තිබුණා. ඒ, සිංහලෙන් කියවන පාඨක ප්‍රජාවට Roar මුල් ඉංග්‍රීසි අඩවියෙන් උපරිම ඵල නෙලාගන්නට නොහැකි වීමයි. 2016 වසරේ මාර්තු මාසයේ දී Roar සිංහල ඇරඹෙන්නේ එහෙමයි.

Roar කණ්ඩායම

එවිට පැවති, සිංහල මාධ්‍යයෙන් ලිපි ලියනා වෙබ් අඩවි කීපයන් අතුරින් කෙටි කලකින් ඉදිරියටම පැමිණි වෙබ් අඩවියක් වීමට Roar අපට ගත වුණේ වසරකටත් අඩු කාලයක්. අපගේ ආරම්භක අරමුණ වුණේ හුදෙක් ශෙයාස් සහ ලයික්ස් පමණක් බලාපොරොත්තු වන වෙබ් අඩවියක් නොව, පාඨකයාට රසවත් වන අයුරින් දැනුම සහ වින්දනය සපයන වෙබ් අඩවියක් බවට පත් වීමට යි. ලොව වටෙන් අලුත්ම දැනුම සපයන ලිපි ආකර්ෂණීය, විශ්වාසනීය, සහ වින්දනීය අයුරින් ඉදිරිපත් කිරීම නිසා අප අපගේ ආරම්භක අරමුණ සාක්ෂාත් කරගෙන ඇති බවට Roar අපට විශ්වාසයෙන් කියන්නට පුළුවන්.

ආරම්භක සමයේ දී අප්‍රසිද්ධ, කුඩා පැතිරීමක් තිබූ තවත් එක් වෙබ් අඩවියක් වුණු අපි, ප්‍රවර්ග කීපයකට පමණක් සීමා වී සිටියා. නමුත් අද වන විට Roar Sinhala ප්‍රවෘත්ති හා වාර්තාමය කරුණු, එදිනෙදා සිරිලක තොරතුරු, ආර්ථිකමය, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ලිපි, කලාව, ජීවන රටා, සහ සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු, චරිත, සොබාදහම හා වන සම්පත ගැන වාර්තා, චාරිකා,  සහ විශේෂාංග ආදී ලෙස පුළුල් වූ පරාසයක දැනුම ඔබ වෙත ගෙන එන, දිනකට 30 000කට අධික පිරිසක් පරිශීලනය කරන වෙබ් අඩවියක් බවට පත්ව තිබෙනවා. 2016 මැයි මස වන විට මසකට අපගේ වෙබ් අඩවිය පරිශීලනය කළ සංඛ්‍යාව 105 000ක් පමණ වුණත්, අද වන විට එය මිලියන 1.1 දක්වා වර්ධනය වී ඇත්තේ අප විසින් ඔබ වෙත ඉදිරිපත් කරන නව දැනුමට ඔබ ප්‍රිය කරන නිසා බව අප විශ්වාස කරනවා.

ශ්‍රී ලාංකික අපි දියුණු වන්නට සිහින දකින ජාතියක්. නමුත් යමෙකුට තිබිය යුත්තේ සිහින නොව, අරමුණු බව Roar අපි විශ්වාස කරනවා. සිහින සැබෑ වන්නට හෝ නොවන්නට පුළුවන්. නමුත් වෙහෙසවන්නෙකුට අරමුණු සාක්ෂාත් කරගැනීම අපහසු නැහැ. Roar ලෝකය ඉදිරියට යා යුතු වුණා. ශ්‍රී ලාංකික අපට කළ හැකි දේ මෙයය යන්න ලෝකය දැකිය යුතු වුණා. Roar විසින් 2016 සැප්තැම්බරයේ Roar Bangla, සහ ඔක්තෝබරයේ දී Roar Tamil පිහි‍ටුවනු ලබන්නේ එම අරමුණ දිනාගන්නට යි. ඉතින්, Roar දිනුවා! බංගලාදේශයටත් බෙංගාලි බසින් දැනුම බෙදන්නට ශ්‍රී ලාංකික අපට හැකිවුණා! 2018 අප්‍රේල් වන විට බංගලාදේශයේ දැනුම බෙදන වෙබ් අඩවි සියල්ල පරයා, ඉන් පළමු තැනට පැමිණෙන්නට ශ්‍රී ලාංකික අපට හැකි වුණා.

බංගලාදේශයේ Roar Bangla කණ්ඩායම

ලංකාවේ අපට එකක් දිනා එතනින් නතරවීමේ සිරිතක් නැහැනෙ. 2017 වසරේ ජනවාරියේ දී Roar Hindi ඉන්දියාවේ දී ආරම්භ කළේ ඒ නොපසුබසින උත්සාහය නිසායි. ඉන්දියාවේත් Roar-පන්නයේ වෙබ් අඩවි බොහොම තිබුණත්, අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම ඇත්තේ ජනගහනයෙන් 33%කට පමණ පමණක් වුවත්, මිලියන 21කට අධික ප්‍රමාණයක් වීඩියෝ නැරඹූ, මිලියනයකට අධික ප්‍රමාණයක් වෙබ් අඩවිය කියවූ, එසේම ඉන්දියාවේ දැනුම බෙදන වෙබ් අඩවි අතරේ පළමු පෙළේ වෙබ් අඩවියක් බවට පත්වීමට Roar සමත්ව තිබෙනවා. කාට ද ඉතින් ආඩම්බර?

ඉන්දියාවේ Roar හින්දි කණ්ඩායම

ලාංකිකයා දැනුම සෙවීමේ පිපාසයෙන් පෙලෙන්නෙක්. ඉස්සර පොතපතින් ලබාගත් දැනුම, අද වන විට අන්තර්ජාලය හරහා වෙබ් අඩවි අඩවි වලින් ලබාගන්නා තැනට ඇවිත් තියෙනවා. ඉංග්‍රීසි කියවන පාඨකයාට දැනුම ලබාගැනීමට අපමණ දේශීය සහ විදේශීය වෙබ් අඩවි තිබුණත්, සිංහල පාඨකයාට මෑතක් වනතුරුත් ඒ වාසනාව හිමිවුණේ නැහැ. විශ්වාසනීය, රසවත්, එමෙන්ම නව දැනුම සපයන වෙබ් අඩවි වල මදකම මෙන්ම, විශ්වාසනීයත්වයෙන් අඩු, නිරවද්‍යතාවයෙන් අඩු ප්‍රවෘත්ති සහ ඕපාදූප පල කරන, ශ්‍රී ලංකාවේ නිත්‍යානුකූලව ලියාපදිංචි වී ද නැති නිසා පල කරන තොරතුරු සම්බන්ධයෙන් වගකීමක් ද රහිත වෙබ් අඩවි බහුල වීම මෙයට හේතුවක් ලෙස දකින්න පුළුවන්. ඒ හිස්තැන පුරවන්නට Roar සෑම විටම උත්සාහ කරන්නේ ලාංකික පාඨකයාට ඉහළ ප්‍රමිතියකින් යුතු තොරතුරු ලබාදීම ලංකාවේ ලියාපදිංචි වෙබ් අඩවියක් වශයෙන් අපගේ වගකීම ද, ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ යුතුකම ද බව අප විශ්වාස කරන නිසා යි.

මුදල් සහ ප්‍රසිද්ධිය පසුපස හඹා යන වෙබ් අඩවියකට නම් අවශ්‍ය වන්නේ ගොසිප්, මඩ, සහ ලිංගිකත්වය යන මෙයින් සියල්ල හෝ එකක් විකිණීම පමණ යි. නමුත් Roar අපි, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ‍රැකගෙන, “ලාංකිකයින් දැනුමෙන් සපිරි, ලොවටම දැනුම බෙදන බුද්ධිමත් ජාතියක්” බව ලොවට කියාපෑම අරමුණු කරගත් සන්නාමයක්. එම අරමුණ දිනීමට කැමැති ලාංකිකයින් පිරිසක් එකට එක්ව, මහන්සියෙන් Roar ගොඩනගන්නේ දකුණු ආසියාවෙනුත් ඔබ්බට, මුළු ලෝකයම ජයගන්න යි.

Roarහි අපට, Roar පුරුෂාර්ථයන් කීපයක් සපයනවා: සත්‍යවාදී බවේ සිංහ ගර්ජනාව, (Roar අප සෑමවිටම විශ්වාසනීය සහ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා), සම්භාවනයේ සිංහ ගර්ජනාව, (Roar ශ්‍රී ලාංකික හඬ ලෝකයටම ඇසෙන්නට සලස්වනවා), සහ දකුණු ආසියාවෙනුත් එපිටට ගොස් ලොවම දිනීමට අපව දිරිගන්වන අභිචේතනයේ සිංහ ගර්ජනය යි. මේ පුරුෂාර්ථයන්ට වටිනාකම් එක්වන්නේ පාඨක ඔබ නිසා යි. Roar සමඟ ‍රැඳී සිටින පාඨක ප්‍රජාව අප ඉහළින්ම අගය කරන්නේ, ගරු කරන්නේ ඒ නිසා යි. ඔබ අප හා රැඳී සිටීම අපට ගෞරවයක් බව සලකන්නේ ඒ නිසා යි. ඉතින්,

Roar, ලංකාවට දැනුම බෙදන වෙබ් අඩවි අතුරින් විශ්වාසනීය වෙබ් අඩවිය.

දකුණු ආසියාව දිනූ ශ්‍රී ලාංකික වෙබ් අඩවිය.

මහන්සි වී ගොඩනැගෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෙබ් අඩවිය.

ලාංකික බුද්ධිමතුන් කියවන වෙබ් අඩවිය.

Roar, ශ්‍රී ලාංකික ඔබේ වෙබ් අඩවිය.

ඔබට ජය!

Related Articles