පිටසක්වළ ජීවීන් ගේ පැවැත්ම බැහැර නොකළ එක්සත් ජනපද ජනපතිවරු 

අමෙරිකා එක්සත් ජනපදය කියන්නේ හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO -Unidentified Flying Object)වගේ ම  පිටසක්වළ ජීවීන් ද නිතර නිතර දර්ශනය වන තෝතැන්නක්. එරට පළමුවෙනි ජනපති – ජෝර්ජ් වොෂින්ටන්ගේ සිට මෑත ජනපති ධූරය හෙබ වූ ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා වූ එක්සත් ජනපද ජනපතිවරුන් සියල්ලක් ම පාහේ පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම මුළුමනින් ම බැහැර නොකර විශ්වාස කළ බවටයි සාධක හමු ව ඇත්තේ. 

මෙයින් සමහර ජනපතිවරුන් සහ ජනපති අපේක්ෂකයන් පිටසක්වළ ජීවීන් ගේ පැවැත්ම බැහැර කළ නොහැකි බවත්, ඇතැම් අවස්ථාවලදී වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ පිටසක්වළ ජීවි අත්දැකීම්වලට තමන් මුහුණ දී ඇති බවත් මාධ්‍ය හමුවල දී පවසා තිබුණා. 

පිටසක්වළ ජීවි අත්දැකීම්

කලක් බ්‍රිතාන්‍ය අමාත්‍ය ධූරයක් හෙබ වූ, හඳුනා නොගත් පියාසර වස්තූ (UFO) විශ්ලේෂක නික් පෝර්ප් පවසන්නේ එක්සත් ජනපද ජනපතිවරුන්ගෙන් 36 %ක පිරිසක් සතුව එකිනෙකට වෙනස් වූ පිටසක්වළ ජීවී සහ හඳුනානොගත් පියාසර වස්තූ පිළිබඳ අත්දැකීම් සමුදායක් ම පැවති බව යි.

අතීතයේ සිට වර්තමානය දක්වා කාල පරාසය තුළ වූ එක්සත් ජනපද ජනාධිපතිවරුන් මුහුණ දුන් හඳුනානොගත් පියාසර වස්තූ හා බැදුණු අත්දැකීම්වල මූලාරම්භය ක්‍රිස්තු වර්ෂ 1800 දක්වා ඈතට දිව යනවා. මෙයින් පළමුවැන්නා වූයේ එක්සත් ජනපදයේ පළමුවෙනි ජනපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන්.

වොෂින්ටන් රත්‍රියේ දේව කන්නලව්වක – Wikipedia.org

ජෝර්ජ් වොෂින්ටන් – වනයක දුටු අරුමය  

මෙම අරුම පුදුම සිදුවීම වූයේ 1777 වසරේ ශීත ඍතුවේ එක් දිනකදී යි. ඒ වන විට ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන් සිටියේ සිය යුද සේනාව සමඟ බ්‍රිතාන්‍ය හේවායන්ට එරෙහි ව සටන් කිරීමට සූදානමින්. ඒවන විටත් පැවති ශීත කාලය, ලෙඩ රෝග ව්‍යාප්තිය මෙන් ම අත්‍යවශ භාණ්ඩවල හිඟයත් නිසා මෙම යුද්ධය සාර්ථක ව සිදු කිරීමට  අභියෝගයක් වුණා.

 සටන පැවති අතරතුර සතුරු විනාශයන්ට මුහුණ දී තිබූ ජෝර්ජ් වොෂින්ටන් තුළ, සුද්ධය පිළිබඳ තිබුණු උනන්දුව කෙමින් බැස යන්නට වුණා. මෙම තත්ත්වය හමුවේ වොෂින්ටන්ගේ යුද සේනාව පිලඩෙල්පියා සිට පෙනිසිල්වේනියාවේ වැලී ෆෝජ් හරහා ගමන් කිරීම ඇරඹුවා. ජෙනරාල් වොෂින්ටන්ගේ අරමුණ වූයේ පිලඩෙල්පියාවල සිටි බ්‍රිතාන්‍ය සේනාව පරාජය කිරීම යි. වොෂින්ටන්ට සිය සතුරා මුළුමනින් ම පරාජය කිරීමට හැකි වේද යන්න පිළිබඳ කිසියම් වූ සැකයක් ද පැවතුණා. 

මෙතෙක් සිය සේනාව සමඟ වැලී ෆෝජ් දක්වා ගමන් කර තිබූ වොෂින්ටන්, රත්‍රියේ අසල වූ වනයකට යාමට උත්සුක වුණා. ඒ පසුදා බ්‍රිතාන්‍ය සේනාව හා පවතින සටනින් ජය අත් කර ගැනීමට තමාට හැකි වේවායි පතා දේව කන්නලව්වක යෙදෙන්නට යි. ක්ෂණයකින් ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන් හමුවේ දිස් වූයේ රාත්‍රිය ම දහවලක් සේ බබළවමින් තමා වෙත පැමිණෙමින් සිටි සුදු පැහැති සජීවී වස්තුවක්.

එම සුදු පැහැති සජීවී වස්තුව වොෂින්ටන්ට සමීප වනවාත් සමඟ ම ”මෙම සටනින් නුඹට නිසැකවම ජය අත් වේවි” යන හඬක් ශ්‍රවණය වූවා. එලෙස පවසා සුදු පැහැති සජීවී වස්තුව ක්ෂණයකින් අතුරුදන් වූ බව යි වොෂින්ටන් පසුකලෙක පැවසුවේ. මෙම අනපේක්ෂිත සිදුවීම වොෂින්ටන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා.

සිතූ පරිදි ම, පසුදා පැවති සටනින් ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන්ට බ්‍රිතාන්‍ය සේනාව පරදා ජය අත් කර ගැනීමට හැකි වුණා. එම අවස්ථාවේ හෙතෙම විශ්වාස කළේ මෙය, බාහිර වෙනත් කිසියම් හෝ ලෝකයකින් පැමිණි බලවේගයක් විය යුතු බව යි. 

ඒබ්‍රහම් ලින්කන් – History.com

ඒබ්‍රහම් ලින්කන් – සිහිනයෙන් දුටු පියාඹන යන්ත්‍රය

අමෙරිකා ඉතිහාසයේ තීරණාත්මක අවධියක් වූ සිවිල් යුද්ධය පැවති සමයේ ජනපති පදවියට පත් ඒබ්‍රහම් ලින්කන් ද මේ හා සමාන පිටසක්වල අත්දැකීමකට මුහුණ දී තිබුණා.

ජෝජ් විල්කිස් බූත් ඝාතකයා, ජනපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට පැය කීපයකට පෙර, 1865 අප්‍රේල් මස 14 වැනි දින ලින්කන් ජනපතිවරයා, ඔහුගේ යුද හමුදා ජෙනරාල්වරයා වූ උලිසස් එස්. ග්‍රාන්ට් වෙත තමා අත්විඳි කිසියම් අද්භූතකාරී සිදුවීමක් විස්තර කළා. 

එහිදී ලින්කන් ජනපතිවරයා ජෙනරාල් උලිසස් එස්. ග්‍රාන්ට් සමඟ ඒ වන විටත් පැවති උතුරු කැරොලිනා ප්‍රාන්තයෙහි සිදුවන සිවිල් යුද තතු විමසමින් සිටියා. ලින්කන් ජනපතිවරයා ජෙනරාල් ග්‍රාන්ට්ට, උතුරු කැරොලිනා ප්‍රාන්තයෙහි තත්ත්වය යහපත් වනු ඇතැයි ද, එයින් සිය පාර්ශවයට ජයග්‍රහණයක් අත් වේ යැයි ද විශ්වාසාත්මක අයුරකින් පවසා සිටියා.

මෙයින් පුදුමයට පත් ජෙනරාල් ග්‍රාන්ට් ලින්කන් ජනපතිවරයාගෙන් විමසුවේ, ”උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නිල යුද පණිවිඩකරු මේ වන තෙක් පැමිණ නැතත් කොහොමද ඔබ මෙවැන්නක් විශ්වාසාත්මකව පවසන්නේ?”

 ”අනිත් ප්‍රාන්තවල තිබුණ සිවිල් යුද්දයෙන් අපි ජය ගනිද්දි දැක්ක හීනය ම මං අදත් දැක්කා. ඉතින් මට විශ්වාසයි අද අපි උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගන්නවා.”

”එම සිහිනය කුමක්ද ජනපතිතුමනි?”

”එතකොට මං හිටියේ ගොඩක් ඉහළින්. මට දැනුණා මං මොකක් හරි උඩින් පියාඹන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුළෙ ඉන්නවා කියලා. ඒකෙ ඉන්න කොට දැක්කා මට පහළින් තිබුණ ගස්, ගංගා එහෙම ගොඩක් වේගයෙන් පහු වෙනවා. ඒ පියාඹන යන්ත්‍රය ඇතුළේ තිබුණ උපකරණ හා තාක්ෂණය නම් මං කවදාවත් ම මේ ලෝකයේ දැකලා නෑ. මට නම් හිතෙන්නේ ඒ පියාඹන යන්ත්‍රය මේ ලෝකයේ හදපු එකක් නෙමෙයි.”  

ලින්කන් ජනපතිවරයා එලෙස පැවසුවා.

තියඩොර් රූස්වෙල්ට් – billofrightsinstitute.org

සැග්මෝ හිල් හි හඳුනානොගත් පියාසර වස්තූ

මෙවැනි ම පිටසක්වළ අත්දැකීමකට මුහුණ දුන් තියඩොර් රූස්වෙල්ට් වනාහි 26 වෙනි එක්සත් ජනපද ජනපතිවරයා යි. පළමුවන ලෝක යුද්ධය හමුවේ අමෙරිකාවට නායකත්වය ලබා දී තිබුණේ මොහු යි.

රූස්වෙල්ට් ජනපතිවරයා වාසය කළ නිවස පිහිටා තිබුණේ, සැග්මෝ හිල්වල යි. කෙසේ වෙතත් 1907 වසරේ සැග්මෝ හිල් පදිංචිකරුවන් පැය 2 ක් පුරාවට ම දුටුවේ ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් පියාසර වස්තූවක්. මෙම අවස්ථාවේ රූස්වෙල්ට් ජනපතිවරයා සිටියේ සිය නිවස තුළ වැදගත් වූ රජකාරිමය කටයුත්තක, එනම් ජාතිය ඇමතීමේ කතාවක් සකස් කරමින්.

ජනපතිවරයා ගේ මෙම ජාතිය ඇමතීමේ කතා අන්තර්ගතය ගතතොත්, ඔහුගේ එක අරමුණක් වී තිබුණේ එක්සත් ජනපදයට නවීන සහ සවිමත් නාවික හමුදාවක අවශ්‍යතාව පවතින බව පෙන්වාදීම යි. හඳුනානොගත් පියාසර වස්තූ (UFO -Unidentified Flying Object) විශ්ලේෂක නික් පෝප් පවසන පරිදි, ජනපතිවරයා ගේ මෙම අරමුණ ම එක්සත් ජනපදය ලෝක බලවතා බවට පත් වීමට මඟ පෙන් වූ කරුණක්  ද වුණා. 

මෙම සැලැස්මට අමතරව රූස්වෙල්ට් ජනපතිවරයා සතු ව පර්ල් වරාය දියුණු කිරීමේ අරමුණක් ද පැවතියා. ජනපතිවරයා ගේ වැදගත් වූ කතාව සකස් කරමින් සිටින අතරතුර ම හඳුනානොගත් පියාසර වස්තූ ඔහුගේ නිවස අසළ  ඉහළ අහසේ පියාසර කරමින් සිටීම පුදුම සහගත බව හඳුනානොගත් පියාසර වස්තූ විශ්ලේෂක නික් පෝප් පවසනවා.

අමෙරිකාවේ 33 වෙනි ජනපතිවරයා වූ හැරී එස්. ටෘමන් – nsarchive.gwu.edu

පියාසර වස්තූ වාර්තා වීම්වල ස්වර්ණමය යුගය

හඳුනා නොගත් පියාසර වස්තූ (UFO -Unidentified Flying Object) විශ්ලේෂකයන් පවසන පරිදි 20 වෙනි සියවස වනාහි එක්සත් ජනපදය තුළ හඳුනා නොගත් පියාසර වස්තූ වාර්තා වීම් දුලබ තත්ත්වයක පැවති කාල වකවානුවක්.

 දෙවෙනි ලෝක යුද්ධ කාල වකවානුව තුළ මෙම තත්ත්වය වෙනස් වුණා. අමෙරිකාවේ 33 වෙනි ජනපතිවරයා වූ හැරී එස්. ටෘමන් කාල වකවානුව, හඳුනානොගත් පියාසර වස්තූ වාර්තා වීම්වල ස්වර්ණමය යුගය ලෙසින් දැක්විය හැකි යි. හඳුනා නොගත් පියාසර වස්තූවක් අමෙරිකාවේ රූස්වෙල්ට් ප්‍රදේශයට කඩා වැටීම ද මෙම අවදියේ දී සිදු වූවක්.

මීට අමතරව, 1952 වසරේ දී වොෂින්ටන් ජාතික ගුවන් තොටුපළ රේඩාර් පද්ධතියට හඳුනා නොගත් පියාසර වස්තූවක් දිස් වී ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් එය ලුහුබැඳ ගොස් තිබුණා. එහිදී එක්  ප්‍රහාරක ජෙට් යානා නියමුවෙක් මෙම පියාසර වස්තූවට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට අවසරය ඉල්ලා සිටියා. එවිටම වාගේ මෙම හඳුනා නොගත් පියාසර වස්තූව ඉහළ අහසේ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ. 

මෙම සිදුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වූ හැරී එස්. ටෘමන් ජනපතිවරයා සඳහන් කර ඇත්තේ හඳුනා නොගත් පියාසර වස්තූන් ගේ විෂය කාරණාවල යම්කිසි පැවැත්මක් තිබෙන බව යි.

ජනපති අයිසන්හවර් – golfdigest.com

ඩ්වයිට් අයිසන්හවර්ගේ හදිසි තත්ත්වය

හැරී එස්. ටෘමන්ට පසු ව ජනපති පදවියට පත් ඩ්වයිට් අයිසන්හවර්, දිනක් සිය නිල රාජකාරියෙන් බැහැර ව විවේක සුවයෙන් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියා. එදින කාලසටහනට අනුව සැලසුම් කර තිබුණු භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ඔහුට නොහැකි වූවා.

කිසිවකුටත් නොදන්වා ජනපතිවරයා භෝජන සංග්‍රහයට නොපැමිණි හේතුව ලෙස ඔහුගේ සේවක මඩුල්ල කියා සිටියේ ජනපතිවරයාට හදිසි තත්ත්වයක් මතු වී දන්ත සායනයට ගිය බව යි.

Presidential-X-Files – අයිසන්හවර් ජනපතිගේ UFO සිදුවීමක් එකල පුවත්පතක පළ වී ඇති අයුරු – potus-geeks.livejournal.com

 විස්මය දනවන කරුණ නම් ජනපතිවරයාගේ එදින වෙද්‍ය සහ දන්ත වාර්තාවල පෙර දා සහභාගී වූ සායනයේ තොරතුරු කිසිවක් සඳහන් ව නොතිබීම යි. ලේඛක ග්‍රාන්ට් කැමරන් පවසනුයේ ජනපතිවරයා එදින දන්ත සායනයට නොව පාම් ස්ප්‍රින්ග්ස් කැලිෆෝනියා වෙත ගිය බව යි. ඔහු පවසන්නේ ජනපතිවරයා එහිදී පිටසක්වළ ජීවීන් රහසිගතව මුණ ගැසුණ බව යි.

අයිසන්හවර් ජනපතිවරයාගේ මිණිබිරියක් වන ලෝරා අයිසන්හවර් පවසන්නේ ජනපතිවරයාපිටසක්වළ ජීවීන් රහසිගත ව  මුණ ගැසුණ බව ඇතැම් මූලාශ්‍ර සනාථ කරන මුත් ඒවා බැහැර කිරීමට සමත් වන කිසිදු සාක්ෂියක් නොමැති බව යි.

රිචඩ් නික්සන් සහ ජැකී ග්ලීසන්- Wikipedia.org

රිචඩ් නික්සන් දුටු පිටසක්වළ ජීවී සිරුරු

37 වන එක්සත් ජනපද ජනපතිවරයා වූ රිචඩ් නික්සන් සිය පදවිප්‍රාප්ත පස්වෙනි අවුරුද්ද ගත කරමින්  සිටියේ වෙහෙසකාරීව යි. ඒ වනවිට ඇවිළෙමින් තිබූ වියට්නාම යුද්ධය මෙයට හේතුව යි. සිය ජනතාවට ඔහු පොරොන්දු වී තිබුණේ යුද්ධය හමාර කර ලෝක සාමය සහ රටට නව දැක්මක් ඉදිරිපත් කරන බව යි. එබැවින් හෙතෙම වියට්නාමය තුළ සිදුවන හමුදා මෙහෙයුම තවදුරටත් පුළුල් ව සිදු කිරීමට සූදානම් වූවා. 

කෙසේ වෙතත් මෙම වෙහෙසකාරී රාජකාරීවලින් මොහොතකට හෝ මිදීමට සිතූ නික්සන් ජනපතිවරයා විවේකී ව ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීමට සැලසුම් කළේ සිය හිත මිතුරෙක් වූ ප්‍රසිද්ධ විකට නළු ජැකී ග්ලීසන් සමඟ යි. 

මෙම විකට නළු ජැකී ග්ලීසන් හඳුනා නොගත් පියාසර වස්තූ ගැන දැඩි ඇල්මක් දැක්වූවෙක්. මොහුගේ නිවස සාදා ඇත්තේ ද හඳුනා නොගත් පියාසර වස්තූ අනුරුවකට අනුව යි. ග්ලීසන්ගේ බිරිය – බෙවලි ග්ලීසන් රචිත ලිපියක ඇය පවසා ඇත්තේ එදින සිය ස්වාමියා සහ රිචඩ් නික්සන් ජනපතිවරයා ලැබූ ගොල්ෆ් අත්දැකීම අරුම පුදුම එකක් වූ බව යි.

ජැකී ග්ලීසන්ගේ නිවස සාදා ඇත්තේ ද හඳුනා නොගත් පියාසර වස්තූ අනුරුවකට අනුව යි – theoldhouselife.com

ජැකී ග්ලීසන් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත ව නිවසට වී සිටිය දී පූර්ව දැනුම් දීමකින් තොර ව ම ඔහුගේ නිවසට කළු පැහැති ලිමොසින් රථයක් පැමිණියා. එම රථය දෙසට පැමිණි ජැකී ග්ලීසන් දුටුවේ කිසිදු ශරීර ආරක්ෂකයකු නොමැති ව තම නිවසට පැමිණ සිටි සිය මිතුරා වූ රටේ පළමු පුරවැසියා යි.

රිය තුළ සිටි ජනපති නික්සන් ජැකී ග්ලීසන්ට පැවසුවේ, ”ඔබගේ හඳුනා නොගත් පියාසර වස්තූවක් දැක ගැනීමේ සිහිනය ඉටු කර ගැනීමට නම් තමා හා මෙම ගමන යාමට පැමිණෙන ලෙස සි. එහිදී ඔවුන් ළඟා වූයේ ෆ්ලොරිඩා හි පිහිටි රහසිගත ගුවන් හමුදා කඳවුරකට යි.

ජැකී ග්ලීසන්ගේ UFO සිදුවීම එකල පුවත්පතක් වාර්තා කළ අයුරු – Presidential-X-Files.jpg

හමුදා කඳවුරේ දී රිචඩ් නික්සන් සිය හිත මිතුරු ජැකී ග්ලීසන්ට පෙන්වා දී තිබුණේ පිටසක්වළ යානයක සුන්බුන් සහ මියගිය පිටසක්වළ ජීවියකුගේ සිරුරක්. නිවසට ගිය වහාම ග්ලීසන් සිය බිරියට තමා දුටු සියල්ල ම පවසා සිටියා. 

1983 වසරේ දී මෙම සිදුවීම පුවත් පත්වල පළ වුව ද, ජැකී ග්ලීසන් ඒ හමුවේ සිය මුනිවත රැක සිටි අතර රිචඩ් නික්සන් ද සිය මුනිවත රැක සිටීම විස්මය දනවනසුලු යි. ඇතැමුන් පවසන්නේ මෙම නිහැඬියාවට හේතුව වනුයේ  රහසිගත ලිපිගොනු සහ මූලාශ්‍ර ජැකී ග්ලීසන් ගේ බිරිය ප්‍රසිද්ධ කිරීම නිසා බව යි.

ජනපති ජිමි කාටර් – ehn.org

ජිමී කාටර් ගේ හඳුනා නොගත් පියාසර වස්තූ පොරොන්දුව

1969 වසරේ ඔක්තෝබර් මස ලියරි ජෝජියා සිංහ සමාජයේ සාමාජිකයන් කිහිප දෙනෙක් එදින රාත්‍රී අහසේ දුටුවේ හඳුනානොගත් පියාසර වස්තූවක්. මොවුන් අතර අනාගත එක්සත් ජනපද ජනපතිවරයා වූ ජිමි කාටර් ද සිටියා. මෙයින් සිවු වසරකට ද පසුව හෙතෙම සිය ජනපති අපේක්ෂක සටනේ දී දුන් පොරොන්දුවක් වුයේ මෙම හඳුනා නොගත් පියාසර වස්තූ සහිත ලිපිලේඛන සියල්ල හෙළි කිරීමට තමා කැමති බව යි.  පසුව ජනපති වූ හෙතෙම සඳහන් කළේ එලෙස රහස්‍ය ලිපිලේඛන හෙළි කිරීම අපහසු බව යි.

රොනල්ඩ් රේගන් -Star Wars මෙහෙයුම 

ජනපති වීමට ප්‍රථම එකල කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරය හෙබ වූ රොනල්ඩ් රේගන් ඔහුගේ ආරක්ෂකයන් සමඟ ජෙට් යානාවකට ගොඩ වූයේ බේකස්ෆීල්ඩ් හි පැවැත්වීමට සූදානම් කර තිබූ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට යි. අඩි 35,000 ක පමණ ඉහළින් ගමන් කරමින් තිබූ ජෙට් යානාව තුළ සිටි ආණ්ඩුකාර රේගන් ඉතාමත් දීප්තිමත් ආලෝකයක් සිය ජෙට් යානාව සමඟ ම ගමන් කරන අයුරු සි‍යැසින් ම දුටුවා. ගුවන් යානා නියමුවා ද මෙම දීප්තිමත් ආලෝකය පසුපස සිය ජෙට් යානාවෙන් හඹා යන්නට වුණා. 

– ජනපති රොනල්ඩ් රේගන්ගේ Star Wars මෙහෙයුම -Youtube.com

 ගමනාන්තය වෙතට ළඟා වූ විගස ආණ්ඩුකාර රොනල්ඩ් රේගන් සිය හිතවතකුට පැවසුවේ තමා හඳුනානොගත් පියාසර වස්තූවක් සි‍යැසින් ම දුටු බව යි. මෙම සිදුවීම ඔහුට, හඳුනා නොගත් පියාසර වස්තූ විෂය කෙරෙහි තිබූ උනන්දුව වැඩි වීම සහ පිටසක්වල ජීවීන් සිටින බව ඔහු තුළ පැවති විශ්වාසය වැඩි වීමටත් හේතු වුණා.

රේගන්, 40 වන එක්සත් ජනපද ජනපතිවරයා වූ පසුව එක් බුද්ධි අංශ නිලධාරියෙක් ඔහුට පවසන්නේ හඳුනා නොගත් පියාසර වස්තූ වනාහි අතිශය රහසිගත යන තේමාවටත් වඩා ඉහළින් පවතින යමක් බව යි. 1987 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ජනපති රොනල්ඩ් රේගන් පැවසුවේ හඳුනා නොගත් පියාසර වස්තූ  සහ පිටසක්වළ ජීවීන් සිටින බවත් ඔවුන් මනුෂ්‍යයාට තර්ජනයක් වුවහොත් ඒ සඳහා මුහුණ දීමට සියලු දෙනා එක් ව සූදානම් විය යුතු බව යි. මෙලෙස මහ සමුළුවක් ප්‍රසිද්ධියේ අමතමින් හඳුනා නොගත් පියාසර වස්තූ පිළිබඳ පැහැදිලි මනසකින් යුතුව අදහස් පළ කළ එක් ජනපතිවරයෙක් වූයේ රොනල්ඩ් රේගන්. 

පසු කලෙක ජනපති රොනල්ඩ් රේගන්  ‘Star Wars’ යන නමින් අභ්‍යවකාශය තුළ මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම කෙරෙහි ද උනන්දු වූවා. ඔහුගේ සැලැස්ම වී ඇත්තේ මොනයම් අවස්ථාවක හෝ හඳුනා නොගත් පියාසර වස්තූ මඟින් තමන්ට තර්ජනයක් වුවහොත් එම තර්ජනය අභ්‍යවකාශය තුළ පිහිටුවා තිබෙන මිසයිල පද්ධතිය මඟින් විනාශයට පත් කිරීම යි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද අභ්‍යවකාශ බළකාය

2019 වසරේ ජූලි මස 1 වැනි දා fox news channel හි පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදී ටකර් කාල්සන් විමසුවේ, ”ඔබ හඳුනානොගත් පියාසර වස්තූන් ගැන දක්වන අදහස කුමක්ද? ඒවා සත්‍යයක්ද?’ කියා යි. මෙයට පිළිතුරු ලබාදුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා,”මං අහල තියෙනවා සමහර ජනතාව හඳුනා නොගත් පියාසර වස්තූන් ඔවුන්ට දර්ශනය වුණා යැයි පවසනවා. නමුත් මේවායේ සත්‍ය අසත්‍යතාව හරියටම කියන්න බෑ. ඒවා එහෙම වුණත් මට එවැනි දේවල් ගැන තියෙන්නේ විවෘත මනසක්.”

ට්‍රම්ප් ජනාධිපතිවරයා එක්සත් ජනපද අභ්‍යවකාශ බළකාය අමතමින් – bangkokpost.com

මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පිටසක්වළ ජීවින් සහ හඳුනා නොගත් පියාසර වස්තූන් ගේ විෂය කාරණාව බැහැර නොකර ඒ හමුවේ සිය මුනිවත රැක සිටියා. සමහර හඳුනානොගත් පියාසර වස්තූ විශ්ලේෂකයන් පවසන්නේ අමෙරිකා බුද්ධි ආයතන මෙම පිටසක්වළ ජීවින් ගේ පැවැත්ම ගැන දැන සිටිය ද ඔවුන් ඒවා කිසිදා ප්‍රසිද්ධියට පත් නොකරන බව යි.

පසුකලෙක ට්‍රම්ප් ජනාධිපතිවරයා එක්සත් ජනපද අභ්‍යවකාශ බළකාය (United States Space Force) යන නමින් තවත් එක් බළකා කඳවුරක් ආරම්භ කිරීමට මුල පිරුවා. එක්සත් ජනපද අභ්‍යවකාශ බළකාය යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ අභ්‍යවකාශ සේවා ශාඛාව වන අතර ලොව තිබෙන එක ම ස්වාධීන අභ්‍යවකාශ බළකාය යි. ඇතමුන් පවසන්නේ මෙය මීට පෙර ජනපතිවරයකු ව සිටි රොනල්ඩ් රේගන් මෙහෙය වූ ‘Star Wars’ මෙහෙයුම හා සමාන තවත් එක් ඉදිරි පිම්මක් බව යි.

කවරයේ ඡායාරූපය - හඳුනා නොගත් පියාසර වස්තූ - www.yourcentralvalley.com
මූලාශ්‍ර:
History channel ancient aliens - aliens and presidents
Trump Signs Law Establishing U.S. Space Force - Department of Defense - www.defense.gov

Related Articles