Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒරියා 51 පිටසක්වළ ජීවින්ට සම්බන්ධ ද? බොබ් ලසාර් ගේ හෙළිදරව්ව

අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හි පිහිටා ඇති ඒරියා 51 කලාපය සම්බන්ධයෙන් විවිධ කාලවලදී විවිධාකාරයේ මතභේදාත්මක තත්ත්ව රාශියක් ඇති වුණා. එම කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරක් ඇති බව සනාථ වී ඇතත් එහි පවතින රහසිගත මෙහෙයුම් සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප්‍රශ්නයක්.

ඒරියා 51 කලාපයේ දී පිටසක්වළ ජීවින් සමඟ අමෙරිකානු හමුදාව විවිධ මට්ටමේ අත්හදා බැලීම් සිදු කරන බවට අදහස් ලොව පුරා ප්‍රචලිත වී තිබෙනවා.

ඒරියා 51 කලාපය කිසිවකුට ඇතුළු විය නොහැකි පරිදි ආවරණය කර ඇති අන්දම – www.space.com

විශේෂ අවසරයක් ලද පුද්ගලයන් හැරෙන්නට වෙනත් අයට මෙම කලාපයට ඇතුළු වීමට නොහැකි වීමත්, කිසි ම ආකාරයකින් ඒරියා 51 තුළ සිදු කෙරෙන පර්යේෂණ කටයුතු කුමන ඒවා ද යන්න හෙළි නොකිරීමත් යන කාරණා මත සිටිමින් එහි පිටසක්වළ ජීවින් සමඟ යම් යම් සම්බන්ධතා ඇති බවට ඇතැම් පුද්ගලයන් තර්ක කරනවා. ඒවා සනාථ කිරීමට විවිධ අවස්ථාවල දී ආකර්ෂණීය සාක්ෂි පවා ලැබුණා. ලොව ම කැළඹූ එවැනි සිදුවීමක් බවට පත් වූයේ බොබ් ලසාර් නම් පුද්ගලයා කළ හෙළිදරව්ව යි. එය අදටත් ඒරියා 51 කලාපයේ ඇති රහස් පිළිබඳ විවිධ මතවාද ගොඩනගනවා.

* මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන ඇතැම් කරුණුවල නිරවද්‍යතාවේ යම් යම් ගැටලු ඔහුගේ හෙළිදරව්වෙන් පසුව ක්‍රියාත්මක වූ පරීක්ෂණවලදී ලොව පුරා පැන නැඟී ඇති බවත්, එම කරුණු පිළිබඳ ව ලිපිය අවසානයේ දී පැහැදිලි කිරීමට කටයුතු කළ බවත් සලකන්න.

කවුද මේ බොබ් ලසාර්

බොබ් ලසාර් අමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හී දි 1959 වසරේ ජනවාරි මස 26 වැනි දා උපත ලැබුවා. ලසාර් පිළිබඳ ව තොරතුරු සොයා යාමේදී ඔහු Massachusetts Institute of Technology හෙවත් MIT නම් ආයතනයෙන් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන තිබෙන බව හෙළි වනවා. ඔහු California Institute of Technology (Caltech) හි ඉලෙක්ට්‍රොනික කටයුතු සම්බන්ධ විශේෂ උපාධිධාරියෙක්. මෙම අධ්‍යාපන සුදුසුකම් හේතුවෙන් බොබ් ලසාර් භෞතික විද්‍යාඥයෙක් වශයෙන් කටයුතු කළා.

ඉහත දැක්වූ අධ්‍යාපන සුදුසුකම් සියල්ල තිබුණත් බොබ් ලසාර් යන නාමය අමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය වී තිබුණේ නෑ. ඔහු භෞතික විද්‍යාඥයෙක් ලෙස ලොස් අල්මෝස් භෞතික විද්‍යා ආයතනයක සේවය කළ බව ද සඳහන්. කුඩා කාලයේ පටන් ම ජෙට් එන්ජින් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් බොබ් ලසාර් යොමු කළා. පාසල් යන අවදියේ පටන් පාපැදිවලට විවිධ එන්ජින් සවි කරමින් අත්හදා බැලීමට පවා ඔහු කටයුතු කර තිබුණා.

සම්මුඛ සාකච්ඡාවට එක් වූ බොබ් ලසාර් – www.decider.com

පෙර සඳහන් කළ පරිදිම බොබ් ලසාර් නමින් භෞතික විද්‍යාඥයෙක් සිටින බවට සහ ඔහුගේ කාර්යයන් අමෙරිකාවේ ජනප්‍රිය වී තිබුණේ නෑ. 1989 වර්ෂයේ දී ලාස් වේගාස් හි රූපවාහිනී නාලිකාවක් වන KLAS සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් නිසා බොබ් ලසාර් යන නාමය අමෙරිකාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේ ම ජනප්‍රිය වුණා. බොබ් ලසාර් ගේ මේ හෙළිදරව්ව ඒරියා 51 සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න නඟමින් සිටි අයට යම් උත්තේජනයක් ලබා දීමට ද හේතු වුණා.

හරි අපූරු රැකියාව

බොබ් ලසාර් හෙළිදරව් කළ ආකාරයට ඔහු රජයේ රැකියාවකට අයදුම් කිරීමට කටයුතු කර තිබෙනවා. එම රැකියාව වෙතට සම්මුඛ පරීක්ෂණයට ගිය පසු තමන්ට සාමාන්‍ය ආකාරයෙන් ම රජයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණ බවට ද ඔහු සඳහන් කළා. බොබ් ලසාර් යන නමින් ම සම්මුඛ සාකච්ඡාවේ දී තමන් හඳුන්වා දීමට ඔහු කටයුතු කර තිබුණා.

එම සම්මුඛ පරීක්ෂණය සමත් වීමෙන් අනතුරුව තමන්ට රැකියාව ලැබුණ බව ඔහු ඉන් පසු ඔහු KLAS සම්මුඛ සානච්ඡාවේ දී ප්‍රකාශ කළා. රැකියාව ලැබීමෙන් පසු බොබ් ලසාර්ට කොන්දේසි කිහිපයක් ම පැනවුණා. එයින් ප්‍රධානත ම කොන්දේසිය වූයේ ඔහු රැකියාව කරන ස්ථානයේ දී කිසිවකුත් සමඟකතාබහ කිරීම තහනම් වීම යි. තමන්ට පැවරුණු රාජකාරිය හැරුණු විට වෙනත් කටයුතු කිරීම ද ඔහුට තහනම් කර තිබුණා.

ඒරියා 51 කලාපයේ ගුවනින් ගත් ඡායාරූපයක් – www.nbcnews.com

බොබ් ලසාර් පවසන අන්දමට ඒරියා 51 කලාපයේ පිහිටා තිබෙන “S-4” නම් හමුදා කඳවුරක ඔහු සේවය කොට තිබෙනවා. එම කඳවුර පිටතට නොපෙනෙන පරිදි කඳු ගැටයක් හා සමාන්තර ව නිර්මාණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. මේ හේතුවෙන් බාහිර සිට නරඹන අයකුට එම ස්ථානයේ ගොඩනැඟිල්ලක් ඇති බව පෙනෙන්නේ නෑ. එලෙස රහසිගත ව තිබෙන එම ගොඩනැඟිල්ල ඇති ස්ථානය එවැනි භූ ලක්ෂණවලින් සමන්විත බවට ද ඔහු තහවුරු කර ගත්තා.

පිටසක්වළ යානාවල තාක්ෂණය සෙවීමක් ද?

බොබ් ලසාර් පවසන අන්දමට තමන් එම කලාපයට ගමන් කළත් එය කෙසේ සිදු වන්නේ ද යන්න ඔහුට අවබෝධයක් ලැබී තිබුණේ නෑ. උදෑසන නිවස අසලට පැමිණෙන වීදුරු ආවරණය කළ බස් රථයකින් ඔහු ඒරියා 51 කලාපය තුළට රැගෙන යාමට කටයුතු කර තිබුණා. එම බස් රථයේ නැඟී රැකියාවට ගිය පසු නැවත සවස් කාලයේ එලෙස ම තමන් නිවෙසට රැගෙන ආ බව බොබ් ලසාර් හෙළිදරව් කළා.

කතාවේ වඩාත් සුවිශේෂී ම පරිච්ඡේදය වන්නේ එම S-4 හමුදා කඳවුර තුළ ඔහු සිදු කළ රැකියාව යි. එහිදී බොබ් ලසාර්ට සිදුවී ඇත්තේ සර්පිලාකාර යානයක ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ව තොරතුරු එක්රැස් කිරීම වීම විශේෂත්වයක්. ඔහු රැකියාව කළ එම ස්ථානයේ විවිධ ප්‍රමාණයේ එවැනි යානා තවත් 8 ක් තිබූ බවටත් තමන් තාක්ෂණය සොයා ගියේ එතරම් විශාල පරිමාණයේ යානයක නොවන බවටත් ඔහු ප්‍රකාශ කළා.

බොබ් ලසාර් ඇඳි S-4 හමුදා කඳවුරේ සිතුවමක් – www.foxnews.com

එම යානා නිර්මාණය වී ඇති අන්දම සහ හැඩය අනුව ඒවා කිසිසේත් ම මනුෂ්‍ය නිර්මාණයක් නොවන බව ද ඔහු පැහැදිලි කළා. ද්‍රවශීලී ටයිටේනියම් වැනි ශක්තිමත් ලෝහයකින් නිර්මාණය වී තිබූ මෙම සර්පිලාකාර යානය තට්ටු තුනකින් සමන්විත වුණා. එම යානාවල කිසිදු වයරයක් හෝ සම්බන්ධ කර ඇති සම්බන්ධයකයක් දකින්නට නොලැබීම ද විශේෂත්වයක්. ඔහුට භාර වී තිබුණේ එම යානය ගමන් කරන්නේ කෙසේද සහ එම යානයේ පහත ම තට්ටුවේ තිබූ ප්‍රචාලන පද්ධතිය සැකසී ඇති අන්දම පිළිබඳ ව අධ්‍යයනය කොට එය සොයා ගැනීම යි. එම යානා නිෂ්පාදනය කර තිබූ තාක්ෂණය අනුව බොබ් ලසාර්ට එම අභ්යෝගය ජය ගැනීම පහසු වුණේ නෑ.

ලසාර් හෙළි කරන අන්දමට එම යානාවලට සුවිශේෂී තාක්ෂණයක් හිමි වී තිබෙනවා. සාමාන්‍යයෙන් පෘථිවිය තුළ යම්කිසි ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් සිදු කරමින් රථ වාහන ගමන් කරනවා. (නිව්ටන් ගේ තුන්වෙනි නියමය අනුව) නමුත් මෙම යානාවල කොටස් ත්‍රිත්වයක් තිබූ බවත් ඒවා නමින්, ගුරුත්ව තරංගය පාලනය කළ හැකි ඇන්ටනාවක්, පදාර්ථ සහ ප්‍රතිපදාර්ථ ප්‍රතික්‍රියකාරකයක් හා ගුරුත්ව විමෝචක තුනක් වශයෙන්. මේවා මඟින් යානය යාමට අවශ්‍ය ස්ථානය ඉලක්ක කරගෙන අංශක 180 ක් පමණ හැරීමේ හැකියාවෙන් ද සමන්විත යි. ඉහත පද්ධතිය බලගැන්වෙන්නේ එලෙමෙන්ට් 115 (Element 115) නම් මූලද්‍රව්‍යකින් බවත් බොබ් ලසාර් ප්‍රකාශ කළා.

ලසාර් ගේ ප්‍රකාශවලින් ලොවම කැලඹෙයි!

එම යානා ගමන් කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් කළ විමෝචකවලින් ප්‍රතිගුරුත්වයක් නිර්මාණය කොට ඉන් පසුව ඉහළට එසවෙන බවත්, එම එසවීමෙන් අනතුරු ව තමන්ට යාමට අවශ්‍ය දිශාව වෙතට හැරීමට එම යානාවලට හැකියාව ඇති බවටත් ඔහු හෙළි කළා. ඉහත සඳහන් කළ ආකාරයට ම එම යානාවල යටි පැත්ත ගමන් කිරීමට අවශ්‍ය දිශාව වෙත අංශක 180 ක් හැරීම සිදු කරනවා. ඉන් පසුව එම යානය අවකාශයේ ඉතා වේගවත් ගමනක් යාමට තරම් හැකියාවකින් සමන්විත වුණා.

බොබ් ලසාර්ට රැකියාව කරන ස්ථානයේ සිටින පිරිස් සමඟින් කතා බහ කිරීම සහ වෙනත් දෑ සෙවීම තහනම් කර තිබුණත් ඔහු එම නීති සැලකිල්ලට ගත්තේ නෑ. එහි සිටින ඇතැම් අය සමඟින් කතා බහට මෙන් ම විවිධ තොරතුරු සෙවීමටත් බොබ් ලසාර් කටයුතු කළා.

එහිදී ඔහු වසර 10,000ක පමණ අතීතයේ පටන් “සෙටා රෙටිකුලි” (Zeta Reticuli) නම් තාරකා පද්ධතියක සිට එම පිටසක්වල ජීවින් පෘථිවි වාසීන් සමඟ සම්බන්ධතා පවත්වමින් විවිධ කටයුතුවලට සහයෝගය ලබා දුන් බවට තොරතුරු අනාවරණය කළා.

බොබ් ලසාර් ප්‍රකාශ කළ පිටසක්වළ යානය – www.klas8newsnow.com

බොබ් ලසාර් එක් අවස්ථාවක දී තමන් රැකියාව කළ ස්ථානයේ වෙනත් තැනක සිටි විද්‍යාඥයන් දෙදෙනෙක් සහ අසාමාන්‍ය පෙනුමැති ජීවියෙක් යම්කිසි පරීක්ෂණයක් සිදු කළ අයුරු දුටු බවට ද සඳහන් කළා. එලෙමෙන්ට් 115 මූලද්‍රව්‍යයෙන් කොටසක් ආරක්ෂකයන්ට හොරෙන් තම නිවසට රැගෙන යාමට පවා බොබ් ලසාර් කටයුතු කර තිබුණා.

තමන්ට අදාළ රැකියාවෙන් තොර කරුණු සෙවීමෙන් වලකින මෙන් උපදෙස් ලැබී තිබුණ ද බොබ් ලසාර් එය සැලකිල්ලට ගත්තේ නෑ. ඒ අනුව සෑම බදාදා දිනයක දී ම පැපුස්ලේක් නම් ප්‍රදේශයට රැගෙන යන මෙම යානාවලින් කිහිපයක් පරීක්ෂණ මට්ටමේ පියාසර කටයුතුවල නිරත වන බව ද ඔහු අනාවරණය කර ගත්තා.

අවස්ථා කිහිපයකදී බදාදා දිනයන් හී දි පැපුස්ලේක් (Papoose Lake) ප්‍රදේශය වෙතට තම මිතුරන් කිහිප දෙනෙක් සමග ගමන් කළ බොබ් ලසාර්, එම යානා පියාසර කරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළා. එපමණකින් නොනවතින ඔහු එම යානාවල වීඩියෝ දර්ශන කිහිපයක් ලබා ගැනීමට ද කටයුතු කර තිබුණා.

එලෙස ගමන් කළ දිනයක දී බොබ් ලසාර් සහ මිතුරන් පිරිස හමුදා නිලධාරිය කුට හසුවූවා. අනතුරුව සොයා ගත් කරුණුවලින් පසු බොබ් ලසාර් රැකියාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. තමන්ට මරණ තර්ජන එල්ල වේ යැයි බියෙන් පසු වූ බොබ් ලසාර් ඉන් අනතුරු ව ඉහත සිදුවීම මාධ්‍ය හමුවේ අනාවරණය කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් ඔහුගේ මෙම කතා පුවත සමස්ත ලෝකය ම කැලඹීමට සමත් වුණා.

පැපුස් ලේක් ප්‍රදේශය – www.newadameusiumofart.com

බොබ් ලසාර් කියන්නේ බොරුවක් ද?

ඔහුගේ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් පසුව විද්‍යාඥයන් ගණනාවක් ම එම මත බැහැර කිරීමට කටයුතු කළා. එම විද්‍යාඥයන් ගේ තර්කය වූයේ භෞතික විද්‍යාව පිළිබඳව දැනීමක් නොමැති කෙනකුට ඔහුගේ කතා විශ්වාස කළ හැකි මට්ටමේ පැවතියත් භෞතික විද්‍යාත්මක ව බැලූ කල ඒවා ඉතා ම සාමාන්‍ය කරුණු බව යි. මෙතෙක් කල් පිටසක්වළ ජීවින් සම්බන්ධයෙන් ගොඩනැඟුණු විවිධ මතවලට යම් යම් වෙනස්කම් එක් කිරීම මඟින් බොබ් ලසාර් ඒවා නැවත ප්‍රකාශ කළ බවට ද ඔවුන් චෝදනා කළා.

මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි විශ්ව විද්‍යාල ද්විත්වයකින් උපාධි දෙකක් බොබ් ලසාර් ලබා ගෙන තිබුණ ද එවැනි තැනැත්තෙක් තම විශ්ව විද්‍යාලවල කිසි දිනෙක අධ්‍යාපනය නොලැබූ බවට එම ආයතන තහවුරු කළා.තමන්ගේ අවසන් වසරේ නිබන්ධනය සිදු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ගේ නම බොබ් ලසාර් ට අමතක වී තිබුණා. එය බොබ් ලසාර් ප්‍රකාශ කළ කරුණු සාවද්‍ය වීමට එල්ල කළ ප්‍රධාන සාක්ෂියක්.

බොබ් ලසාර් ගේ මෑතකාලීන සේයාරුවක් – www.filminquiry.com

ඔහු එකල කළ නිබන්ධන සොයා ගැනීමට හැකියාව ලැබුණේත් නෑ. මෙයට ප්‍රථම අවස්ථාවක බොබ් ලසාර් පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක ඔහු තමන්ට භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් ෆැසිෆිකා විශ්ව විද්‍යාලයෙන් උපාධි ඇති බවට ප්‍රකාශ කර තිබුණා. එවැනි විශ්ව විද්‍යාලයක් නොමැති බවත් බොබ් ලසාර් ප්‍රථමයෙන් සඳහන් කළ විශ්ව විද්‍යාල සහ ෆැසිෆිකා විශ්ව විද්‍යාලය එකිනෙකට පරස්පර බවත් පෙනී යනවා. කෙසේ වෙතත් මේ කරුණු ඔහුගේ ප්‍රකාශයට සෑහෙන තරම් බලපෑමක් එල්ල කළා.

අවධානය යොමු කළ යුතු කරුණු

පෙර සඳහන් කළ විශ්වාස කළ නොහැකි කරුණු මෙන්ම මෙම කතාවේ බොබ් ලසාර්ට වාසි සහගත කරුණු කිහිපයක් ද පවතිනවා. ඉන් පළමුවැන්න වන්නේ ඔහු සහ මිතුරන් පැපුස්ලේක් ප්‍රදේශයේ සිදු කළ වීඩියෝ දර්ශන යි. ඒවා මාධ්‍ය වෙත ලබා දීමට බොබ් ලසාර් කටයුතු කළා. එම දර්ශනවලට අනුව යම් හඳුනා නොගත් වස්තූන් කිහිපයක් එම ප්‍රදේශයේ පියාසර කරන අන්දම දැක ගත හැකි වනවා. ඒ 1989 වර්ෂය නිසා මේවා නිර්මාණය කළ දර්ශන වීමට ඇත්තේ සෑහෙන අඩු ඉඩකඩක්.

ඔහු ඉදිරිපත් කළ වීඩියෝ දර්ශනයක ඇතුළත් වන හඳුනා නොගත් පියාසර වස්තුවක් – www.dailymotion.com

බොබ් ලසාර් සත්‍ය ප්‍රකාශ කරනවා ද යන්න සොයා බැලෙන යන්ත්‍රවලට සිව් වතාවක් සම්බන්ධ කළත් ඔහු බොරුවක් ප්‍රකාශ කරන බවට අනාවරණය වූයේ නෑ. ඔහු මෙම ප්‍රකාශය සිදු කළ වහාම අමෙරිකානු FBI ආයතනය බොබ් ලසාර් ගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය දැඩි පරීක්ෂාවකට ලක් කර තිබුණා. ලසාර්ට පක්ෂව අදහස් දක්වන පිරිස් ඔහු එලෙමෙන්ට් 115 මූලද්‍රව්‍යයෙන් කොටසක් නිවසට රැගෙන ආ බවට කළ ප්‍රකාශය නිසා එවැනි පරීක්ෂාවක් සිදු කළ බවට පවසනවා. ඔවුන් ගේ තර්කය වන්නේ බොබ් ලසාර් අසත්‍ය ප්‍රකාශ කළා නම් එලෙස ඔහුගේ නිවස FBI ලවා පරීක්ෂා කිරීම අනවශ්‍ය බව යි.

පෙර සඳහන් කළ පරිදි බොබ් ලසාර් ලොස් ඇලමොස් හි සේවය කළ බවට ඔහු ප්‍රකාශ කර තිබුණත් එම ආයතනය එය ප්‍රතික්ෂේප කළා. නමුත් පසුව මාධ්‍යවේදියෙක් බොබ් ලසාර් නම් අයෙක් ලොස් ඇලමොස් හි සේවය කළ බවට කරුණු අනාවරණය කර ගත්තා. තවත් මාධ්‍යවේදියෙක් ඒරියා 51 කලාපය තුළ S-4 නම් හමුදා කඳවුරක් ඇති බවට අනාවරණය කර ගැනීමට සමත් වුණා. මෙම කරුණු බොබ් ලසාර් ගේ ප්‍රකාශයට වාසි ගෙන දෙනවා.

2019 දී අමරිකාව නිකුත් කළ වීඩියෝ දර්ශන වල තිබෙන හඳුනා නොගත් වස්තූන් ද අංශක 180 ක් හැරවී ගමන් කළ ආකාරය – www.theguardian.com

2019 වර්ෂයේ දී අමරිකානු ආරක්ෂක අංශ, හඳුනා නොගත් යානා කිහිපයක් ගමන් කරන අන්දමේ වීඩියෝ පට කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබුණා. ඔවුන් එලෙස නිකුත් කළ එම හඳුනා නොගත් පියාසර වස්තූන් බොබ් ලසාර් පෙර ප්‍රකාශ කළ අන්දමට ම අංශක 180 ක පමණ හැඩයකින් හැරී අවශ්‍ය දිශාවට ගමන් කරන ආකාරය දකින්නට ලැබීම සුවිශේෂී කාරණයක්.

මෙය සිදුවන්නේ ඔහුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් වසර 30 කට පසුව යි. බොබ් ලසාර් තවමත් අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන පුද්ගලයෙක්. වර්තමානයේදීත් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ මත ඉදිරිපත් වන ආකාරය ඇති තරම් දැකගැනීමට හැකි වනවා.

කවරයේ ඡායාරූපය - ඒරියා 51 ප්‍රදේශයේ පිටසක්වල ජීවින් වෙනුවෙන් සැකසුණු පෝස්ටරයක් - www.abcnews.com
මූලාශ්‍ර :
www.nevadacurrent.com
www.space.com
www.thestar.com

Related Articles