Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංවිධානාත්මක ව මිනිස් දඩයමේ යෙදෙන කැලෑ අලින් බිහිවීමේ අවදානමක්

ලෝකයේ දකින්න ලැබෙන සුවහසක් සත්ත්ව සහ ශාක ප්‍රජාව ඇති වූ ආකාරය සොයමින් සිටි බටහිර විද්‍යාඥයන්ට විද්‍යාත්මක ව ඒ ගැන වටහා ගන්න අවස්ථාව ලැබුණු මුල්ම අවස්ථාව වුණේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය යි. ඒ ඔස්සේ පසුකාලීන ව කරපු අධ්‍යයන ගණනාවකින් අද පරිණාමවාදයට ප්‍රබල විද්‍යාත්මක පදනමක් බිහි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, කාලයක් තිස්සේ අත්දකින්න සිදුවන සිදුවීමකට අනුව හැඩගැසෙන්න සතුන්ට තිබෙන හැකියාව ගැනත් සාක්ෂ්‍ය ඕන තරම්.

ගන්නා ආහාරය හේතුවෙන් එකම කුරුළු වර්ගයේ හොට වෙනස් වීම ඩාවින්ට පරිණාමවාදය පිළිබඳ අදහස ඇති කළා (stream.org)

නමුත් විද්‍යාත්මක කුතුහලයකින් එහාට ගිහින් සාමාන්‍ය මිනිසුන්ට පවා සැබෑ ම තර්ජනයක් ඇති කළ හැකි දෙයක් ගැන මේ වන විට සාක්ෂ්‍ය මතු වෙමින් පවතිනවා. ඒ තමයි කාලයක් තිස්සේ මිනිසුන්ගේ පීඩාවට ලක් වුණු අලි ඇතුන් සංවිධානාත්මක ව මිනිසුන් දඩයම් කරන්නට පටන් ගැනීම. මේ වන විටත් ඉන්දියාවේ වනාන්තර මායිම් ගම්මානවල මෙය සිදුවනබවට ප්‍රබල සාක්ෂ්‍ය පවතිනවා.

අලි මිනිස් ගැටුම ශ්‍රී ලංකාවටත් අලුත් දෙයක් නොවන නිසා මෙයට හේතු වටහා ගැනීම අපේ රටටත් වැදගත්. ස්වභාවයෙන් ම බුද්ධිමත් සහ හොඳ මතක ශක්තියක් හිමි අලින්ට සංවිධානාත්මක ව මෙවැන්නක් සිදු කරන්න තියෙන හැකියාව බැලුවා ම සම්පූර්ණ හිතළුවක් කියලා ඉවත් කරන්න බැරි බව තමයි කියවෙන්නේ.

ඉන්දියාව සහ අලි

දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් විදිහට ඈත අතීතයේ සිට ම කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය වගේ දේවල් ඉන්දියාව තුළ පැවතුණා. විශේෂයෙන් ම අලි ඇතුන් හීලෑ කර විවිධ කාරණා සඳහා යොදාගැනීම ඉන්දියාවේ වසර දහස් ගණනක සිට සිදු වී තිබෙන බවට ඓතිහාසික සාක්ෂ්‍ය තිබෙනවා. අදටත් ලෝකයේ විශාලතම ආසියාතික අලි ගහනයක් සිටින්නේ ඉන්දියාව තුළ යි.

යුධ කටයුතු සඳහා අලි භාවිතයට දිගු ඉතිහාසයක් තිබෙනවා. (pinimg.com)

බහුතර හින්දු භක්තිකයන් පිරිසක් සිටින ඉන්දියාවේ අලි ඇතුන් සලකන්නේ දේවත්වයෙන් යුත් සත්ත්ව කොට්ඨාසයක් විදිහට යි. හින්දු ආගමිකයන්ගේ වැඩි ම පුද පූජාවන්ට ලක්වන ගණ දෙවියන්ගේ රූපයට සමාන රූපයක් තිබීම, විශාලත්වය වගේ කාරණා මෙයට ප්‍රධාන හේතු ලෙස සැලකෙනවා. මේ නිසා ස්වභාවයෙන් ම බුද්ධිමත් අලි ඇතුන්ගේ හැකියාවන් පිළිබඳ ව ජනප්‍රවාද, කටකතා, ඇදහිලි, සහ විශ්වාස ආදියත් ඉන්දියාවේ ඕන තරම්.

අලියෙකුට හිංසාවක් කළොත් මතක තබාගෙන සිට වසර ගණනාවකට පසු ව හෝ එයට පලිය ගන්නා බවටත් අදහසක් තිබෙනවා.

ප්‍රහාරයන්ට හේතුව

අලි ඇතුන් කැලෑවේ ආහාර අහිමි වීම නිසා ඒ ආසන්නයේ ගම්මාන සහ වගාබිම්වල වගා කර ඇති ආහාර බෝගවලට ආකර්ෂණය වීම ඉතා ම සාමාන්‍ය දෙයක්. අලින් සිටින කැලෑවන්ට නුදුරින් වගාබිම් ඇති බොහෝ ප්‍රදේශවල වගාව පීදෙන කාලයට අලි ඇතුන් එළවීම සඳහා රාත්‍රී මුර කිරීමත් නිතර දකින්න ලැබෙනවා. වනාන්තරයේ ආහාර අහිමි කාලවල අලි ඇතුන් ගම් වැදීමත්, අලි මිනිස් ගැටුමත් තවත් උග්‍ර වෙනවා.

ඉන්දියාවේ ජායිපයිගූරි ප්‍රදේශය (downtoearth.org.in)

විශාල කැලෑවන් ගණනාවකට මායිම්ව පිහිටා තිබෙන ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජායිපයිගූරි (Jaipaiguri) ප්‍රදේශයේ ගම්මාන ලොව අලි ප්‍රහාරයකට ලක් වීමේ වැඩි ම අවදානමක් ඇති ප්‍රදේශය යි. කාලයක් තිස්සේ වනාන්තර කපා දමමින් වගා භූමි පුළුල් කිරීම නිසා භෝග පීදෙන කාලයට දිනපතා ම අලි ඇතුන් පැමිණීම වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. දිනකට අයෙක් අලි ප්‍රහාර නිසා මිය යාම අනිවාර්ය යි.

කොහොම වුණත් මෙය සාමාන්‍ය අලි මිනිස් ගැටුමකින් එහා ගොස් අලින් විසින් මිනිසුන්ට පහරදීමක් බවට පත්වන බව යි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් සිදුවන විදිහට අලියෙක් සිටින තැනකට අහම්බයෙන් යන පුද්ගලයෙක් ප්‍රහාරයට ලක් වීම වෙනුවට මේ ප්‍රදේශයේ අලින් දැන් රහසේ ලං වී මිනිසුන් මරා දමන බවත්, මෙය සංවිධානාත්මකව සිදුවෙන දෙයක් බවත් මේ ගම්මානවල බොහෝ දෙනෙක්ගේ අදහස යි.

අලින් තුළ මිනිසුන් කෙරෙහි නිතර ඇති වන කේන්තිය වෛරයකට හැරීම

සැලසුම්කර පහර දෙන්නේ මාංශ භක්ෂකයන් පමණයි (nacathensdotnet.files.wordpress.com)

කුරුමානම් අල්ලා, අවස්ථාව ලබාගෙන පහර දීම සාමාන්‍යයෙන් මාංශ භක්ෂකයන්ට සීමා වූ දෙයක්. එය සිදුවන්නේත් බොහෝ විට ආහාරයට ගැනීමේ අවශ්‍යතාවයෙන් පමණයි. කේන්තිය ගැනීමට හිතා මතා, සැලසුම් සහගත ව මිනිසුන් මරා දැමීම පෙර ඇසූ නොවූ විරූ දෙයක්. කොහොම නමුත් මේ තත්ත්වයට හේතු වුණු කාරණා විශ්ලේෂණය කළා ම මෙය සම්පූර්ණයෙන් ම බැහැර කරන්න බැරි බව විද්‍යාඥයන්ගේ අදහස යි.

ජායිපයිගූරි ප්‍රදේශයට පැමිණෙන අලින් ප්‍රමාණය එන්න එන්න ම වැඩි වෙනවා වගේ ම ඔවුන්ගේ රංචුවල ප්‍රමාණයත් වසර 15ක පමණ සිට වැඩිවෙමින් පවතිනවා. මේ නිසා ම ප්‍රදේශයේ අස්වනු කාලයේ සෑම රාත්‍රියක ම වගේ අලින් එළවීම සඳහා මහා පරිමාණ මුර සංචාර සිදුවෙනවා. වනජීවී ආරක්ෂක නිලධාරීන් ජීප් ගණනාවක් යොදාගනිමින් අලින් පැමිණෙන ස්ථානවලට ගොස් ඔවුන් පන්නා දමන්නට කටයුතු කරනවා.

කාලයක් තිස්සේ මෙවැනි දේ සිදු වීම නිසා අලින්ගේ හැසිරීම එයට හැඩ ගැසීමත්, කාලයක් තිස්සේ ආහාර ගැනීමට නොදී පන්නා දැමීමත් එක්ක මිනිසුන් කෙරෙහි කේන්තියක් හට ගැනීම අනිවාර්යයෙන් ම සිදු විය හැකියි. ඉතා ම බුද්ධිමත්, හොඳ මතක ශක්තියකින් යුතු වගේ ම හොඳ සන්නිවේදන හැකියාවක් තිබෙන අලින්ට තරහක් හිතේ තියාගෙන ඉන්නත් පුළුවන්.

ඉවත දැමිය නොහැකි සාක්ෂ්‍ය

මේ තත්ත්වයට දැනටමත් පැහැදිලි සාක්ෂ්‍ය පවා තිබෙනවා. අලින් ධාන්‍ය ගබඩා පසුකරගෙන විත් මිනිසුන් නිදාගෙන සිටින කාමරවලට පැමිණ පහරදුන් අවස්ථා ගණනාවක් පිළිබඳ ව දකින්න ලැබෙනවා. ඉතා හොඳ ඉවක් තිබෙන අලින් ආහාර ගැනීම පසෙක දමා මෙවැන්නකට පෙළඹීමට වෙනත් පැහැදිලි කිරීමක් නැති තරම්. එසේ ම සාමාන්‍ය අලියෙකු මෙන් ක්ෂණික කෝපය නිසා මහ හඬ නගමින් පහර දීම වෙනුවට වැඩි ශබ්දයක් නොනඟා හොර රහසේ ම මිනිසුන් මරා දැමූ අවස්ථාත් ගණනාවක් අවධානයට ලක් වී තිබෙනවා. වෙනකක් තබා අලින් නිවෙස්වල දොරට තට්ටු කර දොර ඇර බලන පුද්ගලයන් මරා දැමීමට පවා පුරුදු වී සිටින බවට වාර්තා තිබෙනවා.

මේ සාක්ෂ්‍ය ගැන සොයා බලපු බොහෝ විද්‍යාඥයන්ගේ අදහස වෙලා තිබෙන්නේ අලින් මිනිසුන්ව දඩයම් කරමින් සිටින බවට පවතින මතය සම්පූර්ණයෙන් ම බැහැර කළ නොහැකි බව යි. සාමාන්‍යයෙන් හිතන ආකාරයට වැරදි වෙලාවේ, වැරදි තැනක සිටීම නිසා මිනිසුන් අලින් අතින් මිය යාම වෙනුවට මිනිසා සොයාගෙන පැමිණ පහර දෙන්නට අවශ්‍ය බුද්ධිමය හැකියාව නම් අලින්ට අනිවාර්යයෙන් ම පවතින බවත් පිළිගත යුතු ම යි.

අපේ රටේදීත් සිදු විය හැකි දෙයක්ද?

සංවිධානාත්මක ව මිනිසුන්ට පහර දෙන්නට තරම් බුද්ධි මට්ටම සහ ශක්තිය කියන දෙක ම හිමි එක ම සත්ත්ව කොට්ඨාසය විදිහට අලින් සලකන්න පුළුවන්. කාලයක් තිස්සේ ඔවුන්ගේ කෝපය ඇවිස්සීම නිසා මිනිසුන් කෙරෙහි නොරිස්සුමක් ඇතිවීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් ම බැහැර කරන්න බැහැ.

blogs.worldbank.org

දැනටමත් ශ්‍රී ලංකාවේ ගම්මාන අසල කැලෑවල සිටින අලින් බොහෝ දේට හැඩ ගැසී ඇති බව දකින්න පුළුවන්. අලි වැටවල් මඟහැර යාමට හෝ එය අකර්මණ්‍ය කිරීමට සිතා ගැනීමට අපහසු උපක්‍රම යොදාගන්නා අලින්, කෑම ඉල්ලාගෙන කෑමට පුරුදු වූ අලින් ඇතුළුව පුහුණු නොකළ අලින්ගේ පවා බුද්ධිමත් බවට, සැලසුම්කාරී බවට සාක්ෂ්‍ය අපේ රටෙත් ඕන තරම්.

අලි-මිනිස් ගැටුම ලංකාවටත් අමුතු දෙයක් නෙවෙයි. අලින්ටත් මිනිසුන්ටත් තම තමන්ගේ බල ප්‍රදේශයන්හි වසන්නට හැකි වන සේ ක්‍රියාමාර්ගයන් ගන්නවා වෙනුවට, තාවකාලික සහ ප්‍රයෝගික නොවන සැලසුම් ක්‍රියාවට නැංවීමයි ලංකාවේ සාමාන්‍යයෙන් නම් සිදුවෙන්නේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින්ගේ වාසභූමි අහිමිවීමත්, අලි මංකඩ ඇහිරී යෑමත් නිසා අලිත්, මිනිසුනුත් දෙපිරිසම අමාරුවේ වැටිලා. 

අප සත්ත්ව ලෝකය ගැන බොහෝ දේ දන්නවායැ යි සිතා සිටියාට නොදන්නා දේ ඕනෑ තරම් තිබිය හැකියි. බුද්ධි මට්ටමෙන් අඩු සත්ත්ව කොට්ඨාසයකට වඩා බුද්ධිය වැඩි සතුන් සමග ගනුදෙනු කිරීමේ දී කෙතරම් ප්‍රවේශම් විය යුතු ද යන්නට මෙය ඉතා ම හොඳ උදාහරණයක්. සංවිධානාත්මක ව, සැලසුම් සහගත ව මිනිසුන්ට පහරදෙන අලින් පිරිසක් අපගේ ම ක්‍රියාකලාප නිසා බිහිවෙනවා නම්, එයට මූලික වන අපගේ හැසිරීම් පාලනය කර ගැනීම අප කාගේත් අභිප්‍රාය විය යුතු යි.

කවරයේ රූපය: joyreactor.cc

Related Articles