Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙටි කලකින් ක්ෂය වී යන්නට තිබූ එප්පාවල පොස්ෆේට්

ශ්‍රී ලංකාව යනු ස්වභාවික සම්පත්වලින් පිරුණු රටකි. ඇල දොල, ගංගා, රජවරුන් නිර්මාණය කළ වැව් අමුණු මඟින් රට ජලයෙන් පෝෂණය කරනවා මෙන්ම රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සැපයුමද සිදු කරනු ලැබේ. ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු දිය ඇලි, කඳු හා වනාන්තර ආදිය සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. මෙවැනි ස්වභාවික සම්පත් අතර මැණික්,  පොස්ෆේට් වැනි ආර්ථිකමය වටිනාකමකින් යුතු සම්පත්ද රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී පවතී. එප්පාවල ඇති පොස්ෆේට් නිධියද එවැන්නකි.

තේ, පොල්, රබර්, කොකෝ, කුරුඳු ආදී දීර්ඝ කාලීන බෝගවලට අවශ්‍ය පොහොරවල අන්තර්ගත වන ප්‍රධානතම සංඝටකයක් ලෙස  පොස්ෆේට් දැක්විය හැක. විවිධ රසායනික පොහොර වර්ග නිෂ්පාදනයට පොස්ෆේට් අවශ්‍ය වීම නිසා බහුජාතික සමාගම්වලින් එයට හොඳ ඉල්ලුමක් පවතී. මෙවන් වටිනාකමකින් යුතු එප්පාවල  පොස්ෆේට් නිධිය පිළිබඳව කරුණු ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

පොස්ෆේට් නිධියේ පිහිටීම

exploresrilanka.lk

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙහි කොටසක් තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද අයත් වේ. මෙය අනුරාධපුර පැරණි නගරයට කිලෝමීටර් 20ක් පමණ දකුණට වන්නට පිහිටා ඇති අතර ලංකාවේ අග නගරය වන කොළඹට කිලෝමීටර් 150ක් පමණ ඊසාන දෙසට වන්නට පිහිටා ඇත.

නිධියේ වටිනාකම

ජාතික විද්‍යා පදනම ප්‍රකාශ කර ඇති ආකරයට එප්පාවල  පොස්ෆේට් නිධිය රටේ ඇති වටිනා ආර්ථික සම්පතකි. මීට හේතුව  පොස්ෆේට් නිධි නැවත අලුත්වැඩියා කර වර්ධනය කර ගත නොහැකි වීමයි.  පොස්ෆේට් යනු භාවිත කිරීමත් සමඟ ක්ෂය වන ඛනිජයකි. ජාතික විද්‍යා පදනම අන්තර්ජාතික විද්‍යාඥයින් ලොව ඇති  පොස්ෆේට් පිළිබඳ පළකර ඇති මත පදනම් කර ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම මෙම පොස්ෆේට් නිධිය අප රටේ පරිභෝජනය සඳහා ඉතිරි කර ගත යුතු බවයි. මෙය කැණීම සිදු කළ යුත්තේ දේශීය කෘෂිකර්මාන්තයේ අවශ්‍යතා මත පමණක් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. මේ තුළින් පරම්පරා ගණනාවකට එහි ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වේ.

පොස්ෆේට් නිධිය සම්බන්ධ ව්‍යාපෘතිය

dinamina.lk

මෙම  පොස්ෆේට් නිධිය සොයා ගැනීමෙන් පසු මෙහි  පොස්ෆේට් ලබාගැනීම 1974 වසරේදී ආරම්භ වූ අතර එම කාර්යය සිදු කරනු ලැබුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව (Divisional develpoment council) මගින් බව සඳහන් වේ. මෙහිදී කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යංශය මඟින් ටොන් 500ක පරීක්ෂණ ඇනවුමක් ලබා දී ඇති අතර එය මාස 4ක් වැනි කාලයක් තුලදී නිම කර ඇත. පසුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ගෙන ගිය ව්‍යාපෘතිය සිමා සහිත ලංකා  පොස්ෆේට් සමාගම ලබා ගෙන ඇත. මෙය සම්පුර්ණ රාජ්‍ය සමාගමකි. 1992 වසරේ සිමා සහිත ලංකා පොස්ෆේට් සමාගම සමඟ ඒකාබද්ධව පොස්ෆේට් නිෂ්පාදන කර ගෙන යාමට වෙනත් සමාගම්වලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන දැන්වීමක් දේශීය හා විදේශීය පුවත් පත්වල පල විය. මෙහිදී යෝජනාවන් 6ක් ලැබී තිබුණු බව සඳහන් වේ. පසුව Freeport MacMoran නැමති ඇමරිකානු සමාගම සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

synergyy.com

කතිකා වට කීපයකින් අනතුරව Freeport MacMoran සමාගම විසින් ඔවුන්ගේ ඛණිජ ආයෝජන ගිවිසුමේ කෙටුම්පතක් ඉදිරිපත් කෙරුණි. මෙම ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් හා ගිවිසුම් කමිටුව මගින් අධ්‍යනය කරන ලදී. පසුව Freeport MacMoran ඉදිරිපත් කරන ලද ගිවිසුම සංශෝධනයන් සහිතව නැවත ඔවුන්ට ලබා දෙන ලද අතර එහිදී Freeport MacMoran විසින් ජනාධිපතිතුමන්, නිතිපති තුමා, කාර්මික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ආදී විවිධ පුද්ගලයින් හමු වෙමින් අවසාන සාකච්ඡා වට පවත්වා ඇත. එහිදී Freeport MacMoran ඉදිරිපත් කළ ඛණිජ ආයෝජන ගිවිසුමට කාර්මික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද එකඟත්වය පළකරන ලදී.

එප්පාවල නඩුව

මෙය මුලික අයිතිවාසිකම් නඩුවකි. මෙම නඩුව ගොනු කර තිබුනේ ප්‍රදේශ වාසීන් 6 දෙනෙකු සහ අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන සඟ නමක් විසින් තම මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙනි. මෙම නඩුව පැවරීමට හේතු වූයේ විත්තිකරුවන් (නඩුවේ අනෙක් පාර්ශවය) විසින් එප්පාවල  පොස්ෆේට් නිධිය ආශ්‍රිතව සිදු ගෙන ගිය ව්‍යාපෘතියක් හේතුවෙන් මිනිසුන්ගේ ඉඩම්, ජිවන උපායන් හා පන්සල අවදානමට ලක් වීමයි.

මෙහි නඩු තීන්දුව 2000 වසරේ ලබා දුන් අතර එම තීන්දුව සඳහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම, තිරසාර සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතිකව පිළිගත් මුල ධර්ම හා තොරතුරු දැනගැනීමට ඇති අයිතින් පිළිබඳ මුලධර්ම එකට සංයෝජනය කර යොදා ගන්නා ලදී. මෙම තීන්දුවේදී නඩුව දැමු පුද්ගලයින්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමට ඉතා ආසන්න බවතීරණය වූ අතර නඩුවේ විත්තිකරුවන්ට එප්පාවල  පොස්ෆේට් නිධිය සම්බන්ධ ගිවිසුම්වලට එළඹීමෙන් වැලකී සිටින ලෙස නියෝග කරන ලදී.

exploresrilanka.lk

නිධිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ජාතික විද්‍යා පදනමේ එප්පාවල  පොස්ෆේට් කමිටුව මගින් ඉදිරිපත් කර ඇති නිර්ණායක

මෙය ඉදිරිපත් කර ඇත්තේ 1999 වසරේදීය. ඔවුනට අනුව මෙහි වාර්ෂිකව කැණීම් කළ යුත්තේ යම් සීමාවකට යටත්ව ය. උදාහරණයක් ලෙස වසරකට  පොස්ෆේට් මෙට්‍රික් ටොන් 350 000ක් පමණ ප්‍රමාණයක් කැණීමෙන් මෙම පොස්ෆේට් නිධිය පරම්පරා ගණනාවකට ඉතිරි කර ගත හැකි බව ඔවුන්ගේ මතය වී ඇත. මෙය කැණීමේදී රටේ ඇති පාරිසරික ප්‍රතිපත්ති දැඩිව අනුගමනය කළ යුතු බවද මෙහි සඳහන් කර ඇත.

මේ අනුව කෙටි කලක් තුළ අපේ රටට අහිමි වී යන්නට තිබූ එප්පාවල  පොස්ෆේට් තවත් දශක ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව සැලසී තිබේ. ඒ වෙනුවෙන් හඬක් නැගූ ක්‍රියාකාරීන් සියලු දෙනාට එම ගෞරවය හිමි විය යුතු වේ.

කවරයේ පින්තුරය – en.wikipedia.org

Related Articles