Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයත් සමඟ බිඳවැටී ඇති එච්.අයි.වී පරීක්ෂණ

පසුගිය වසරේ පළමු කාර්තු 02 ට සාපේක්ෂ ව මෙම වසරේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති HIV ආසාදිතයන් සංඛ්‍යාව සියයට 185 කින් වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ 2021 වසරේ පළමු කාර්තු දෙකේ දී HIV ආසාදිතයන් 148 දෙනෙක් මෙරටින්  වාර්තා වී ඇති බව ය. මෙම වසරේ පළමු කාර්තු 02 තුළ HIV ආසාදිතයන් 274 දෙනෙක් වාර්තා වී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

තරුණ තරුණියන් අතර එච්. අයි.වී ආසාදනය ඉහළට

එයිනුත් පසුගිය වසර කිහිපය තුළ වැඩිහිටි පුද්ගලයන්ට වඩා තරුණ තරුණියන් අතර එච්. අයි.වී (මානව ප්‍රතිශක්ති ඌණකාරක වෛරසය) සහ ඒඩ්ස් (නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය)  ආසාදනය ඉහළ ගොස් ඇත. නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම සහ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම වැනි හේතු නිසා උද්ගත වී ඇති මේ තත්ත්වය තුළ එච්. අයි.වී/ ඒඩ්ස් ආසාදනය වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීම ඉතා වැදගත් බව අවධාරණය වේ.

ප්‍රතික්‍රීයක හිඟය සමග මෙරට එච්. අයි.වී/ ඒඩ්ස් පරීක්ෂණ ක්‍රියාවලිය පසුබෑමකට ලක්ව තිබේ – www.healthline.com

අත්‍යවශ්‍ය ඖෂධ 120කට වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි තත්වයකට ඖෂධ සැපයීම් අංශය කඩා වැටී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පසුගිය දා පවසා තිබිණි.

ඒ හේතුවෙන් රට පුරා රෝගීන්ගේ රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ 40කට අධික සංඛ්‍යාවක් සිදු කළ නොහැකි තත්වයකට වෛද්‍ය පර්‍යේෂණ අයතනය පත් ව ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

 ඖෂධ සහ අනිකුත් වෛද්‍ය උපකරණ හිඟය 

 වර්තමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ උද්ගත වී ඇති ඖෂධ සහ අනිකුත් වෛද්‍ය උපකරණ හිඟය සමඟ මෙරට එච්. අයි.වී/ ඒඩ්ස් පරීක්ෂණ ක්‍රියාවලිය පසුබෑමකට ලක්ව ඇති බව ද වාර්තා වේ. මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ තවත් ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක අදාළ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීම හරහා එච්. අයි.වී/ ඒඩ්ස් තත්ත්වයන්ට ගොදුරු වන පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ද ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනේ වෙබ් පිටුව/ www.aidscontrol.gov.lk

එච්. අයි. වී/ ඒඩ්ස්

එච්. අයි. වී/ ඒඩ්ස් යන තත්ත්ව දෙක ම එච්.අයි.වී වෛරසය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇතිකරන රෝගී තත්ත්ව වේ. මේ සඳහා මේ වන තෙක් සාර්ථක ඖෂධයක් හෝ වෙනත් ප්‍රතිකාරයක් සොයාගෙන නැත. ඊට හේතුව එච්.අයි.වී. වෛරසය ශරිරය තුළ ම තිබෙන ප්‍රෝටීන් විශේෂයෙක් විම ය. එබැවින් එය බිඳීම හෝ දුර්වල කිරීම ඉතා අපහසු බව විශේෂඥවරු පවසති.

එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග තත්ත්වයක් ඇති වීම පවා මිය යාමට හේතුවක් විය හැක. ඊට හේතුව ඔවුන්ගේ ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය, වෛරස ආසාදනය නිසා බිඳ වැටීම ය. එච්.අයි.වී. වෛරසය ශරීරගත වී වසර දහයක් වැනි දීර්ඝ කාලයක් ගත වන තුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත්, ඒඩ්ස් ආසාදනය වී කෙටි කාලයක් තුළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති වේ.

එච්.අයි.වී/ ඒඩ්ස් ආසාදනය

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනට අනුව 2021 වසරේ පළමු කාර්තුව අවසානය වන විට මෙරටින් වාර්තා වූ එච්.අයි.වී/ ඒඩ්ස් ආසාදිතයන් සංඛ්‍යාව 4,073කි. එය 2021 දෙවැනි කාර්තුව අවසානය වන විට 4,142 දක්වාත්, තෙවැනි කාර්තුව අවසානය වන විට 4,245 දක්වාත්, සිව්වැනි කාර්තුව අවසානය වන විට 4,404 දක්වාත්, 2022 වසරේ පළමු කාර්තුව අවසානය වන විට 4,556 දක්වාත්, දෙවැනි කාර්තුව අවසානය වන විට 4,686 දක්වාත් ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් වැඩි ම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එච්.අයි.වී. වෛරසයේ රෝග ලක්ෂණ/ www.cdc.gov

2021 වසර සහ 2022 වසරේ දෙවැනි කාර්තුව දක්වා වූ සෑම කාර්තුවක ම වාර්තා වූ එච්.අයි.වී/ඒඩ්ස් ආසාදිතයන් අතර බහුතරය පිරිමි පුද්ගලයන් වේ. එච්.අයි.වී/ඒඩ්ස් ආසාදනය වන පිරිමි පුද්ගලයන් සහ කාන්තාවන අතර අනුපාතය 7:1ක් වශයෙන් දැක්වේ. මේ වසරේ දෙවැනි කාර්තුව අවසානය වන විට මෙරට සිටින ආසාදිතයන් 4,686 අතරින් 3,377ක් පිරිමි පුද්ගලයන් වන අතර 1,309ක් කාන්තාවන් වේ. ඊට අමතර ව, 2021 වසර සහ මේ වසරේ පළමු මාස හයක කාලය තුළ ඒඩ්ස් ආසාදනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 74කි.

තරුණ තරුණියන් අතර එච්.අයි.වී/ ඒඩ්ස් ආසාදනය ඉහළ යාම

පසුගිය කාලය තුළ තරුණ තරුණියන්, එනම් වයස අවුරුදු 15-24 අතර පුද්ගලයන් එච්.අයි.වී/ඒඩ්ස් ආසාදනයට ලක් වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 2021 වසර සහ මේ වසරේ පළමු මාස හයක කාලය තුළ මෙරටින් වාර්තා වූ එච්.අයි.වී/ඒඩ්ස් ආසාදිතයන් සංඛ්‍යාව 93 කි.

ඒ අතර 2021 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ මෙම වයස් ඛාණ්ඩයේ ආසාදිතයන් 12ක්, දෙවැනි කාර්තුව තුළ වාර්තා වූ ආසාදිතයන් 13ක්, තෙවැනි කාර්තුව තුළ වාර්තා වූ ආසාදිතයන් 12ක්, සිව්වැනි කාර්තුව තුළ වාර්තා වූ ආසාදිතයන් 22ක්, සහ 2022 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ ආසාදිතයන් 19ක් සහ දෙවැනි කාර්තුව තුළ වාර්තා වූ ආසාදිතයන් 15ක් ආදී වශයෙන් වේ.

ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලා විරෝධතා කරන වෛද්‍යවරු – www.reuters.com

රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය

වර්තමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ රජයට, ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ මුදල් සංචිත සපයා ගැනීම පවා දුෂ්කර වී ඇත. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ එන, රට පුරා රෝහල්වලට ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ, විශේෂයෙන් ම පරීක්ෂණ කට්ටල ගණනාවක තොග අවසන් වී ඇති බව පසුගිය කාලයේ වාර්තා විය.

විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධානවලින් ලැබුණු පරිත්‍යාග නිසා වෛද්‍ය උපකරණ සහ පරීක්ෂණ කට්ටල හිඟය යම්තාක් දුරකට පහ ව ගොස් ඇත. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක තවමත් අවශ්‍ය තරම් වෛද්‍ය උපකරණ සහ පරීක්ෂණ කට්ටල නොමැති බව වාර්තා වේ. මේ හේතුව නිසා එම රෝහල්වල සිදු කරන, එච්.අයි.වී/ඒඩ්ස් ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ඇතුළු වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට බාධා එල්ල වී ඇත.

ශ්‍රී ලංකාවේ ලිංගාශ්‍රිත රෝග සායන පැවැත්වෙන ප්‍රදේශ – www.aidscontrol.gov.lk

බිඳ වැටී ඇති පරීක්ෂණ

මේ දිනවල කොළඹ ජාතික රෝහල සහ තවත් ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකට ලැබෙන පරීක්ෂණ කට්ටල, විශේෂයෙන් ම ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් එච්.අයි.වී/ඒඩ්ස් ආශ්‍රිත පරීක්ෂණ ගණනාවක් බිඳ වැටි තිබේ.

උදාහරණයක් ලෙස එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ඒඩ්ස් තත්ත්වයට පත් වී තිබේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් තිබෙන නමුත් අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟ වීම හේතුවෙන් ජාතික රෝහල තුළ එම පරීක්ෂණය සිදු කිරීම මේ වන විට සීමා වී ඇත. රට පුරා විවිධ ප්‍රදේශවලින් එච්.අයි.වී. ආසාදිතයන් මෙම පරීක්ෂණය සිදු කර ගැනීමට ජාතික රෝහලට පැමිණෙන නමුත් මේ වන විට ඔවුන්ට ආපසු හැරී යාමට සිදු ව ඇති බව වාර්තා වේ.

අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟය

එච්.අයි.වී. ආසාදිත මවක් ප්‍රසූත කරන දරුවාට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී තිබේ ද යන්න තහවුරු කර ගැනීමට සිදු කරන තවත් පරීක්ෂණයක් සිදු කිරීම ද, අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන්, මේ වන විට සීමා වී ඇත. එච්.අයි.වී. ආසාදිත මවක් බිහි කරන දරුවකුට වෛරසය වැලඳී තිබේ ද යන්න අනාවරණය කර ගැනීම අතිශයින් ම වැදගත් සහ සංවේදී කරුණක් වුවත්, ජාතික රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක එම පරීක්ෂණය සිදු කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අඩාල වී තිබේ.

ඉහත කී පරීක්ෂණවලට අමතර ව, එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ පුද්ගලයකුගේ රුධිරයේ අඩංගු වෛරස ප්‍රමාණය පරික්ෂා කිරීමට සිදු කරන තවත් පරීක්ෂණයක් තිබේ. එම පරීක්ෂණය මඟීන් ආසාදිතයකුගේ රුධිරයේ අඩංගු වෛරස ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැන ගත හැකි අතර, එය ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී ඉතා වැදගත් වේ. මේ වන විට පවතින වෛද්‍ය උපකරණ සහ අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් අදාළ පරීක්ෂණය සිදු කිරීම ද සීමා සහිත වී ඇත.

එච්.අයි.වී/ ඒඩ්ස් පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කිරීම බලධාරීන්ගේ වගකීමකි – www.cdc.gov

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම සහ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම වැනි හේතු නිසා එච්.අයි.වී/ ඒඩ්ස් පමණක් නොව වෙනත් බොහෝ ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම මේ වන විට ඉහළ අගයක් ගනී. එබැවින් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කළ යුතු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවිය යුතු වුවත් වර්තමානය වන විට සිදු වී ඇත්තේ මෙතෙක් කලක් සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් අඩු වීම ය.

මේ තත්ත්වය නුදුරු අනාගතයේ දී සමාජ සහ ආර්ථික වශයෙන් භයානක ප්‍රතිපල රැසකට හේතු විය හැකි බැවින් අදාළ වෛද්‍ය උපකරණ සහ ප්‍රතික්‍රීයක වැනි දෑ අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල්වලට සපයා මෙම පරීක්ෂණ ක්‍රියාවලිය තව තවත් පුළුල් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අදාළ බලධාරීන්ගේ වගකීම වේ.

කවරයේ ඡායාරූපය- ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ උද්ගත වී ඇති ඖෂධ සහ අනිකුත් වෛද්‍ය උපකරණ හිඟය සමග මෙරට එච්. අයි.වී/ ඒඩ්ස් පරීක්ෂණ ක්‍රියාවලිය පසුබෑමකට ලක්ව තිබේ - www.healthline.com

මූලාශ්‍ර:
www.aidscontrol.gov.lk

www.themorning.lk

www.who.com

www.dailymirror.lk

Nethnews.lk

Related Articles