Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැස්සයි, සෙමයි, හෙම්බිරිස්සාවයි හැදෙන ඉන්ෆ්ලුවෙන්සාවෙන් බේරෙන්නට නම්

ඉන්ෆ්ලුවෙන්සාව හැදෙනවා කියන්නේ හැමෝම අකමැති දෙයක් වුණත් ඒ ගැන බොහෝ දෙනෙක් ඒ තරම් බරපතලව හිතන්නෙ නෑ. හැම වෙලාවෙම නහය සූරන්න, කහින්න, කිවිසුම් අරින්න වෙන එක සහ සමහර වෙලාවට දවස් කිහිපයක් රැකියාවට, පාසලට නොයා ගෙදර ඉන්න වෙන එකෙන් එහා ගිය තත්ත්වයක් ඇති වෙන්නෙ කලාතුරකින්. කොහොම වුණත් දැන් ශ්‍රී ලංකාවේත් ඉන්ෆ්ලුවෙන්සාව පැතිරී යන කාලය නිසා යන යන හැම තැනම කවුරු හරි හැම වෙලාවෙම කිවිසුම් අරිමින්, කහිමින් ඉන්නවා දකින්න පුළුවන්. මාතර, ගාල්ල ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශවල මේ තත්ත්වය වේගයෙන් පැතිරී යන බවක් පසුගිය මාස දෙකේදී දකින්න ලැබීමත් එක්ක ඉන්ෆ්ලුවෙන්සාව වසංගත මට්ටමකටම එනවාද කියලාත් කතාබහක් ඇති වුණා. නමුත් සෞඛ්‍ය අංශයේ බලධාරීන් නම් කිව්වෙ මේ ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැති බවයි. හැම අවුරුද්දකම ඉන්ෆ්ලුවෙන්සාව වැඩියෙන් පැතිරෙන කාලයට දකින්න ලැබෙන රෝගීන් ඉහළ යාම මෙවරත් දකින්න ලැබෙන බව ඔවුන්ගේ අදහසයි. නමුත් ඉන්ෆ්ලුවෙන්සාව දිගටම පැතිරී යන්න තියෙන ඉඩකඩ අවම කරගන්න එක ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Roar Media අපි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතාගෙන් මේ ගැන අදහස් විමසන්න තිරණය කළේ ඉන්ෆ්ලුවෙන්සාව ගැන වැඩි විස්තර වගේම එහි බලපෑම, එයින් ආරක්ෂා වීම සහ පැතිරී යාම වළක්වන ක්‍රම ගැනත් දැන ගැනීම සඳහායි.

ඉන්ෆ්ලුවෙන්සාව ගැන.

ඉන්ෆ්ලුවෙන්සාව ජීවිත තර්ජනයක් ඇති කරන්නේ ඉතාම කලාතුරකින්. නමුත් සොටු ගැලීම, උණ, උගුරේ අපහසුතා ආදිය ඇති වෙන එක හරිම කරදරයක් නේද? (medicos.lk)

ඉන්ෆ්ලුවෙන්සාව කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා (Influenza) කියන වෛරස් එක නිසා ඇති වන බෝ වන රෝග තත්ත්වයක්. එහි සාමාන්‍ය රෝග ලක්ෂ කිහිපයක් පහත දැක්වෙනවා.  

උණ
නිතර සොටු ගැලීම
කැස්ස
උගුරේ අපහසුතා
මස්පිඬු වේදනාව
බඩ එළිය යාම සහ වමනය, මෙය බොහෝ විට කුඩා දරුවන්ට පමණක් ඇති වන තත්ත්වයක්.
ඉන්ෆ්ලුවෙන්සාව සාමාන්‍යයෙන් වෙනත් බොහෝ රෝගවලට වඩා භයානක බවින් අඩු රෝගයක් කියලයි සැලකෙන්නේ. නමුත් ඉන්ෆ්ලුවෙන්සාව නිසා බොහෝ විට රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතුවල ඵලදායීතාව අඩු වෙන්නත්, එදිනෙදා ජීවිතයේ කටයුතුවලට පවා අනිසි බලපෑමක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉන්ෆ්ලුවෙන්සාව ඉතා භයානක විය හැකි පිරිසුත් සිටිනවා.

දියවැඩියාව, ඇදුම, වකුගඩු රෝග වැනි කල්පවතින රෝග තත්ත්වවලින් පීඩා විඳින පිරිස්.
ගර්භණී සහ කිරි දෙන මව්වරුන්.
වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්.
වයස අවුරුදු 65 ට ඉහළ වැඩිහිටියන්

හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුනොත් බොහෝ විට දින හතරක් පහක් ගත වූ පසුව එය සුව අතට හැරෙනවා. නමුත් ඇතැම් අවදානම් තත්ත්වයන්වල ඉන්න පිරිස්වලට ඒ නිසා අතිරේක ගැටළු මතු වෙන්න ඉඩ තිබෙනවා. (dailymirror.lk)

“විවිධ අතිරේක සංකූලතා මතුවීමේ අවදානමක් තිබෙන නිසා ඉන්ෆ්ලුවෙන්සාව පැතිරී යන කාලවල මේ වගේ අවදානම් කාණ්ඩවල අය විශේෂයෙන් ප්‍රවේශම් වෙන එක වැදගත්.” වෛද්‍ය ගිනිගේ මහතා විස්තර කළා. මේ වගේ අතිරේක සංකූලතා අතර නියුමෝනියාව වගේ භයානක තත්ත්ව පවා ඇති වීමට ඉඩක් තිබුණත් එවැනි මට්ටමක් දක්වා යාමට තියෙන ඉඩකඩ ඉතා අඩු බවත් ගිනිගේ මහතා විශේෂයෙන්ම කියා සිටියා.

“ඉන්ෆ්ලුවෙන්සාව කියන්නේ ස්වයං පාලනයක් සහිත රෝග තත්ත්වයක්.” ඔහු එසේ කිව්වේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් දින හතරක් පහක් තුළ රෝග ලක්ෂණ පහ වී යන බව පැහැදිලි කරමින්. ඒ වගේම මෙය ඇති කරන්නේ වෛරසයක් මගින් නිසා මේ වෙනුවෙන් ස්ථිර බෙහෙතක් නියම කරන්නත් හැකියාවක් නොමැති බව ඔහු මතක් කරා.

ඉන්ෆ්ලුවෙන්සාව පැතිරී යන සමය

පසුගිය අවුරුදු දහය පුරාම දකින්න ලැබුණු ප්‍රවණතාවක් තමයි මෝසම් වැසි සහිත කාලයට සමගාමීව ඉන්ෆ්ලුවෙන්සාවේ හිස එසවීමකුත් සිදු වෙන එක. (badullapgh.org)

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩිම ගණනක් වාර්තා වෙන්නේ මෝසම් කාල වකවානු ආරම්භ වීමත් එක්කයි. ගිනිගේ මහතාට අනුව මෙය පසුගිය අවුරුදු දහය පුරාවටම දකින්න ලැබුණු තත්ත්වයක්. හැම අවුරුද්දකම පළමු ඉන්ෆ්ලුවෙන්සා “වාරය” මැයි, ජූනි, ජූලි මාස තුනේදීත්, දෙවන ඉන්ෆ්ලුවෙන්සා වාරය ඔක්තෝබර් සිට ඊළඟ අවුරුද්දේ ජනවාරි දක්වාත් පැතිරී යනවා.

ඒ වගේම ගිනිගේ මහතා කියපු තවත් දෙයක් තමයි හැමවිටම ඉන්ෆ්ලුවෙන්සාව පැතිරීම රටේ එක්තරා නිශ්චිත ස්ථානයකින් ආරම්භ වීමත් සාමාන්‍ය දෙයක් බව. 2017 අවුරුද්දේ මෙහි ආරම්භය සිදු වුණේ මහනුවර ප්‍රදේශයෙන්, 2018 අවුරුද්දේ බොහෝ දෙනෙක් දන්නා විදිහට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණු දකුණු පළාතෙන් මෙය ආරම්භ වුණා. “දකුණු පළාතේ මේ වන විට තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන්න පටන් අරන්.” ගිනිගේ මහතා කියා සිටියා. “කොහොම වුණත් අපිට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමෙන් වළකින්න ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න එක ඉතාම වැදගත්. ඒ වගේම දැනටමත් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳිලා තිබෙනවා නම් එය ඔබෙන් වෙනත් අයට වැළඳෙන්න තිබෙන ඉඩකඩ අවම කරන එකත් ඔබේ වගකීමක්.”

ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමෙන් සහ එය පැතිරීමට දායක වීමෙන් වළකින්නේ කොහොමද?

නිතරම සබන් යොදා ඔබේ දෑත් සෝදන එක -විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසුව, පොදු ස්ථානවල නිතර ස්පර්ශයට ලක් වෙන දොර අගුල් වැනි දෑ ඇල්ලීමෙන් අනතුරුව- ඔබට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමෙන් ආරක්ෂා වෙන්නත්, දැනටමත් එය වැළඳිලා නම් එය පැතිරී යාමට තියෙන ඉඩකඩ අවම කරගන්නත් උදව් වෙනවා. (tompietrasik.photoshelter.com)

නිතරම ඔබේ දෑත් සෝදන්න

සබන් දාලා අත සෝදන්න කියන එක වෛද්‍ය උපදෙසක් වගේ පෙනෙන්නේ නැති වුණත් එය ඇතුළුව සාමාන්‍ය යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඉන්ෆ්ලුවෙන්සාව වැළඳිලා සොටු හූර හූර, කැහැ කැහැ ඉන්න සිදු වෙන එකක් නැහැ.

ඉන්ෆ්ලුවෙන්සාව ස්පර්ශයෙනුත් බෝ වන රෝගයක්. ඒ කියන්නේ රෝගකාරක තැවරී ඇති මතුපිටක් අතින් ස්පර්ශ කිරීමෙන් පසුව ඔබේ ඇස්, නාසය හෝ කට අසල ඔබේ අත ස්පර්ශ වුණොත් එයින් ඔබට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. නිතරම අත් සබන් යොදා සෝදන එක, විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් පසුව, පොදු ස්ථානවල නිතර ස්පර්ශයට ලක් වෙන දොර අගුල් වගේ දේවල් ඇල්ලීමෙන් පසුව අත් සෝදා ගන්න එකෙන් මේ විදිහට ඉන්ෆ්ලුවෙන්සාවට ගොදුරු වීම පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්.

කහින විට, කිවිසුම් අරින විට කට සහ නාසය ආවරණය කර ගන්න

කහිනකොට, කිඹුහුම් අරිනකොට කට සහ නාසය ආවරණය කර ගන්න එක හොඳ පුරුද්දක් බව ඔබේ දෙමව්පියන් වුණත් පුංචි කාලේ කියලා දෙන්න ඇති, නමුත් ඒ පිටිපස්සේ හොඳ පුරුදුවලින් එහා ගිය ලොකු වැදගත්කමක් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සාව ආසාදිත කෙළ බිඳිතිවලින් ඉක්මණින් පැතිරී යන්න ඉඩක් තිබෙනවා. ඒ කියන්නේ රෝගය වැළඳුණු කෙනෙක් කහිනකොට, කිවිසුම් අරිනකොට සහ බොහෝ විට කතා කරනකොට වුණත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහිත කෙළ බිඳිති වාතයට මුසු වෙන්නත්, එය වාතය හරහා පා වී ගොස් ආසන්නයේ සිටින පිරිස් වෙත රෝගය බෝ වෙන්න ඉඩ තිබෙනවා කියන එක. “ඔබ ළඟ ලේන්සුවක් හෝ ටිෂූ එකක් නැතිනම් කැස්ස හෝ කිවිසුම අත්ලෙන් ආවරණය කරනවා වෙනුවට හැම වෙලාවකම වැලමිටේ ඇතුළු පැත්ත භාවිත කරන්න.” ගිනිගේ මහතා විශේෂයෙන්ම මතක් කළා. ඒ වගේම එකම ලේන්සුව නොසෝදා දිගු වෙලාවක් භාවිත කිරීම සහ එකම ටිෂූ එක බොහෝ වාර ගණනක් භාවිතයත් සුදුසු නැහැ. ඒ වගේම ලේන්සුව හෝ ටිෂූ එක මේසය මත හෝ වෙනත් තැනක විවෘතව තැබීමත් වාතයට ආසාදිත අංශු නිකුත් වෙන්න හේතු වෙනවා.

පොදු ස්ථානවලින් ඉවත් වී සිටින්න

ඉන්ෆ්ලුවෙන්සාව පැතිරීම වළක්වා ගන්න තියෙන එකම සාර්ථක ක්‍රමය හැමෝම ක්‍රියාශීලීව එයින් වැළකී සිටින්නත්, එය වෙනත් අයට බෝ වීම වළක්වා ගන්නත් උත්සාහ කරන එක බව වෛද්‍ය ගිනිගේ මහතා විශේෂයෙන්ම මතක් කළා. භාවිත කරන ලේන්සු නිතර සේදීම භාවිත කළ ටිෂූ වහා ඉවත් කිරීම මෙයට හොඳ ක්‍රමයක් (news-medical.net)

විශේෂයෙන්ම ඔබ ඉහතින් සඳහන් කරපු විශේෂ අවදානමක් සහිත කාණ්ඩවලට අයත් නම් පොදු ස්ථානවල ගැවසීම අවම කර ගැනීමත් වැදගත්. ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුණු බවට රෝග ලක්ෂණ මතු වුණොත් වහාම පළපුරුදු වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ඔබට රෝගය නිසා අතිරේක සංකූලතා මතුවීමට ඇති ඉඩකඩ අවම කරගන්න එය ලොකු පහසුවක් වේවි. “ඒ වගේම ඔබට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී ඇති නම් පොදු ස්ථානවලින් හැකිතරම් ඈත් වෙලා ඉන්න සමාජයීය වගකීමක් තිබෙන බවත් සිතට ගන්න.” ගිනිගේ මහතා කියා සිටියා. “උදාහරණයක් විදිහට ඔබේ දරුවෙකුට ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇති නම් ඔවුන් පාසලට යැවීමෙන් එය අනෙක් දරුවන්ටත් ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා එවැනි දේවල් වළක්වා ගන්නත් උත්සාහ කරන්න.” ඒ වගේම ඔබේ දරුවාට ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුණු පසු ප්‍රමාණවත් විවේකයක් ගන්නට ඉඩ නොදීමත් තත්ත්වය බරපතල අතට හැරෙන්න හේතුවක් විය හැකි බවත් ඔහු මතක් කළා.

පෝෂ්‍යදායී ආහාර ගන්න

ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී ඇති විට ඕනෑම කෙනෙකුට ආහාර අරුචියක් ඇති වෙන එක සාධාරණයි. නමුත් නිතරම පෝෂ්‍යදායී ආහාර ගන්න එක ඉන්ෆ්ලුවෙන්සාවට එරෙහිව සටන් කරන ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න හරිම වැදගත්. ඒ වගේම දියර ආහාර වැඩිපුර ගැනීම සහ හොඳ විවේකයක් ගැනීමත් සංකූලතා නැතිව ඉක්මණින් රෝගය සුව වෙන්න උදව්වක් වෙනවා.

කවරයේ රූපය: sundaytimes.lk

Related Articles