Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැන් කොවිඩ් ඉවර ද? සිවු වැනි මාත්‍රාව ගත්ත ද?

මෙරට 2020 ජනවාරි සිට මේ දක්වා කොවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන් මිලියන 6කට වැඩි සංඛ්‍යාවක් අතරින් පුද්ගලයන් 16,500කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී ඇත. පසුගිය අගෝස්තු – සැප්තැම්බර් මාස වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබූ නමුත් නැවැතත් මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව පහළ යමින් තිබේ.

කොවිඩ් ආසාදිතයෙක් රෝහල්ගත කිරීමට සූදානම් වන අවස්ථාවක් – www.colombopage.com

වෛරසය පැතිරීම පහළ ගියත් මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි කොවිඩ්-19 ආශ්‍රිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් පිළිපදින ලෙස සහ නියමිත එන්නත් මාත්‍රා සහ බූස්ටර් එන්නත් ද ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පසුබිම හමුවේ මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සහ එන්නත්කරණ වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබඳව මේ ලිපියෙන් සොයා බලමු.

ගෝලීය වසංගත තත්ත්වය

2019 වසරේ අගභාගයේ චීනයේ වුහාන් නගරයේ පැතිරී ගිය හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් විය. පර්යේෂණ ගණනාවක ප්‍රතිපලයක් වශයෙන් එය SARS-CoV-2 වෛරසය මගින් ඇති වන බෝවන රෝගයක් බව අනාවරණය විය. එය කොවිඩ්-19 යනුවෙන් නම් කෙරුණු අතර, මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන බොහෝ දෙනෙක් මෘදු සහ මධ්‍යස්ථ රෝග ලක්ෂණ ඇති වී, විශේෂ ප්‍රතිකාර නොමැති ව සුවය ලබති. කෙසේ වෙතත්, සමහරු බරපතල ලෙස රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අතර ඇතැම්හු මරණයට පවා පත් වෙති.

කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ වුහාන් නගරයේ ඉදිකළ තාවකාලික රෝහලක් – www.TVMnews.net 

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ පළමු මරණය චීනයේ වුහාන් නගරයෙන් වාර්තා විය. එතැන් පටන් රටවල් කිහිපයක් හැර අනිකුත් සෑම රටක ම කොවිඩ්-19 ආසාධන සහ මරණ මිලියන ගණනක් වාර්තා විය. ආසන්නත ම දත්තවලට අනුව වෛරසය පැතිරීම ආරම්භයේ පටන් මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 599ක් සහ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 6.5කට ආසන්න වේ. වැඩි ම ආසාදන සහ මරණ වාර්තා වූ රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, සහ ප්‍රංශය වැනි රටවල් වේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය

කොවිඩ් වසංගතය වෙනත් රටවල පැතිරීම ආරම්භ වූ කාලයේ ම එය ශ්‍රී ලංකාව තුළ ද පැතිරීම ආරම්භ විය. මෙරට පළමු කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා 2020 ජනවාරි 27 දින හමු විය. ඒ අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් වූ චීන ජාතික තරුණියකි. ඊට අමතර ව, කොවිඩ්-19 ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා 2020 මාර්තු මස හඳුනා ගැනිණි. මෙරටින් ආසාදිතයෙක් හඳුනාගැනීමත් සමඟ යුද හමුදාව ඇතුළු ආයතන මැදිහත් වී නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගැනිණි. 

මෙරට පළමු කොවිඩ් ආසාදිතයා වූ චීන ජාතික තරුණිය – www.dailynews.lk

මෙරට ඇති වූ පළමු කොවිඩ් රැල්ල සාර්ථක ව පාලනය කිරීමට සෞඛ්‍ය ආයතන ඇතුළු බලධාරීන්ට හැකියාව ලැබුණත්, දෙවැනි සහ තෙවැනි කොවිඩ්-19 රැලි හේතුවෙන් කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. ඊට අමතර ව 2021 වසරේ අප්‍රේල් මස සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ දී කොවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ද ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබිණි.

2021 අගෝස්තු මස කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය මෙරටට ඇතුළුවීමත් සමඟ කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම ආරම්භ විය. ඒ හේතුවෙන් 2021 අගෝස්තු වන විට ජනගහනයට සාපේක්ෂ ව වැඩි ම කොවිඩ්-19 දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර සිව්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් විය. අවශ්‍ය අවස්ථාවලදී රට අගුලු දැමීම සහ සංචරණ සීමා පැනවීමට බලධාරීන් කටයුතු නොකිරීම සහ අතලොස්සක් ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම මෙම තත්ත්වයට හේතු විය.

කොවිඩ් ආසාධනය නිසා මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය අධි ශීතකරණයක තැන්පත් කරන සෞඛ්‍ය සේවකයෝ – www.abcnews.go.com

වෛරසය පැතිරීම පහළ යාම

2021 වසරේ අවසාන භාගයේ දී කොවිඩ්-19 පැතිරීම ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, සහ රත්නපුර ශික්ෂණ රෝහල වැනි ප්‍රධාන පෙළේ රෝගී රෝහල් කිහිපයක ධාරිතාව ඉක්මවා ගිය අවස්ථා පවා වාර්තා විය. එම කාල සීමාවේ දී දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගිය අතර, මරණ සංඛ්‍යාව 100-200 අතර පරාසයක පැවතිණි. මේ කාලය තුළ රෝහල්වල ඉඩ පහසුකම් නොතිබීම නිසා රෝගීන් වාට්ටුවලින් පිටත රැඳී සිටින අයුරු පවා දක්නට ලැබිණි.

 කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන, ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම, සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් 2022 වසරේ මුල්භාගයේ පටන් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය විය. ඒ සමඟ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු විය. මේ නිසා සංචරණ සීමා ලිහිල් වූ අතර, නව සාමාන්‍යකරණයක් යටතේ එදිනෙදා කටයුතු කරගෙන යාමට ජනතාවට අවස්ථාව ලැබිණි.

කොවිඩ්-19 පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ – www.who.int

වසංගත තත්ත්වය නැවැත ඉහළ යයි

2022 වසර මුල් භාගයේ වසංගත තත්ත්වය තරමක් දුරට පහළ බැසීමත් සමඟ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10-20 තරම් අඩු මට්ටමකත්, මරණ සංඛ්‍යාව එකක් වැනි ඉතා අඩු මට්ටමකත් පැවතිණි. සමහර දිනවල කොවිඩ් ආශ්‍රිත මරණ එකක් හෝ වාර්තා නොවී ය.

 සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය මෑතක දී පෙන්වා දුන්නේ ලෝකයේ බොහෝ රටවල වර්තමානය වන විට කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණවල සැලකිය යුතු වැඩි වීමක් නිරීක්ෂණය වන බව යි. සමහර රටවල කොවිඩ්-19 නව අනු ප්‍රභේද කිහිපයක් හමු වී ඇති බවත්, ඒවා දැනට පැතිරෙන කොවිඩ්-19 ප්‍රභේදයන්ට වඩා වේගයෙන් පැතිරෙන සහ බරපතල සංකූලතා ඇති වීමට හේතු විය හැකි ඒවා බවත් වසංගත රෝග ඒකකය සඳහන් කළේ ය.

සාමාන්‍යයෙන් ගෝලීය ආසාදිතයන් සහ මරණ ඉහළ යාමක් සිදු වන සෑම අවස්ථාවක ම මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ද ඉහළ යන බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නැවතත් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී තිබේ. වසංගත රෝග ඒකකය අනතුරු ඇඟවූ පරිදි, පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 100-200 දක්වාත්, මරණ සංඛ්‍යාව 5-10 දක්වාත් ඉහළ ගියේය. 

COVID-19 තත්ත්ව වාර්තාව – 2022-ඔක්තෝබර්-11 – www.hpb.health.gov.lk/si

 

එන්නත් ලබාගන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි

වසංගත තත්ත්වය වරින් වර ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සිව්වැනි හෝ නියමිත කොවිඩ් එන්නත් මාත්‍රාව නොපමාව ලබා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. කොවිඩ්-19 පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දී මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇති බැවින් ඒවායෙන් ලැබුණු ප්‍රතිශක්තිය මේ වන විට අඩු වී ඇති බවත්, එබැවින් තෙවැනි සහ සිව්වැනි එන්නත් මාත්‍රා නියමිත කාලයට ලබා ගැනීම ඉතා වැදගත් බවත් වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පසුගිය දා සඳහන් කළේ ය.

කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු මෙරට වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 14.4ක් වුවත්, මේ වන විට එය ලබාගෙන තිබෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන අටක් පමණක් බවත් වාර්තා විය. කොවිඩ්-19 පැතිරීම ඉහළ යන අවස්ථාවක එන්නත් මාත්‍රා නියමිත කාලයට ලබාගෙන තිබේ නම් වෛරසය වැලඳුණත්, බරපතල සංකූලතා ඇති වීමට, රෝහල්ගත වීමට සහ මරණයට පත් වීමට ඇති සම්භාවිතාව ඉතා අඩු බව වසංගත රෝග ඒකකය පෙන්වා දී තිබේ.

සිව්වැනි මාත්‍රාව

 නිදන්ගත රෝගවලින් පෙලෙන පුද්ගලයන් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබා දීම ද මේ වන විට ක්‍රියාත්මක වේ. එම ඛාණ්ඩවලට අමතරව වයස අවුරුදු 20ට වැඩි ඕනෑම අයකුට ළඟ ම පිහිටි රෝහලෙන් හෝ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලයෙන් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකියාව ඇත.

ඊට අමතරව වයස අවුරුදු 12-19 අතර සිසුන් සඳහා එන්නත් මාත්‍රා දෙකක් නිර්දේශ කර ඇති අතර මේ වන තෙක් ඒවා ලබා නො ගත් සිසුන්ට රෝහලකින් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යයලයකින් අදාළ එන්නත් මාත්‍රා ලබාගත හැකි යි.

එන්නත්කරණ මධ්‍යස්ථානයක් – www.dailymirror.lk

එන්නත්කරණ තත්ත්වය

කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩ(ර්)නා යන කොවිඩ්-19 එන්නත් මෙරට භාවිතයට ගැනෙන ඒවා වේ. වසංගත රෝග ඒකකයේ එන්නත්කරණයට අදාළ දත්තවලට අනුව (අගෝස්තු 21 වන විට) මෙරට ජනතාවට ලබා දී ඇති සම්පූර්ණ කොවිඩ්-19 එන්නත් මාත්‍රා ගණන 40,006,499කි. ඒ අතර පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා වශයෙන් ලබා දුන් කොවිෂීල්ඩ් මාත්‍රා 2,898,224ක්, පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් සයිනොෆාම් මාත්‍රා 23,276,245ක්, පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් ස්පුට්නික් මාත්‍රා 314,922ක්, පළමු, දෙවැනි, තෙවැනි, සහ සිව්වැනි මාත්‍රා වශයෙන් ලබා දුන් ෆයිසර් මාත්‍රා 11,924,946ක්, සහ, පළමු සහ දෙවැනි මාත්‍රා ලෙස ලබා දුන් මොඩ(ර්)නා එන්නත් මාත්‍රා 1,592,162ක් වේ. 

පසුගිය ජූලි 31 වැනි දින කල් ඉකුත් වීමට නියමිත ව තිබූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක කල් ඉකුත් වීමේ දිනය මෙම මස (ඔක්තෝබර්) 31 දින දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අදාළ එන්නත් නිෂ්පාදන සමාගම සිදු කළ අධ්‍යයනයන් අනුව එම එන්නත් තොගයේ කල් ඉකුත් වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කළ හැකි බව අනාවරණය වී ඇති බව යි. අදාළ එන්නත් තොගය ද සමඟ මෙරටට ලැබුණු සහ මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන හතක පමණ මෙම මස 31 දින කල් ඉකුත් වීමට නියමිත බව ද පසුගියදා වාර්තා විය.  

කවරයේ ඡායාරූපය- මෙරට කොවිඩ්-19 පැතිරීම යළි ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ - www.latimes.com

මූලාශ්‍ර:

www.epid.gov.lk

www.dailynews.com

www.themorning.com

www.who.int

Related Articles