Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආහාර පෙට්ටි දුසිම් ගණනක් උරහිස් මතින් බෙදා හැරි මිනිස්සු

කාර්මීකරණය ලෝකයාට දායක කළේ යන්ත්‍ර සූත්‍ර පමණක් ම නොවෙ යි. ක්ෂේත්‍ර ගණනාවක පුළුල් ව ව්‍යාප්ත වූ එය, මිනිසුන්ගේ ආහාර රටාව හා බැඳුණු වත් පිළිවෙත් විශේෂීකරණයට ද බලපෑවා. කාර්මීකරණයේ ප්‍රතිපලයක් ලෙස ජපානයේ බිහි වූ, කුසගිනි නිවීමට උණුසුම් ආහාර පෙට්ටි දුසිම් ගණනක් සිය උරහිස් මත තුලනය කරගනිමින් ජනාකීර්ණ ජපන් වීදිවල ගමන් කළ ආහාර බෙදා හැරි මිනිසුන්දැක්විය හැකි යි. ඔවුන් (ඩෙමේ – demae) හෙවත් delivery men ලෙස හැඳින්වුණා.

ඩෙමේ ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 1700 දී ජපානයේ විසූ ධනවත් වැඩවසම් ස්වාමිවරුන් හෙවත් ඩයිමියෝ (daimyō) පිරිස් සඳහා මෙම ආහාර බෙදා හැරීමේ (ඩෙමේ) ක්‍රමය ප්‍රථමයෙන් බිහි වූවා. ජපන් ඩයිමියෝවරුන් තම නිවෙස්වලට අවශ්‍ය ආහාර පාන පිළිබඳ ආපනශාලා හිමියන්ට දැනුම් දුන් පසු ආපනශාලාව සිය ඩෙමේ හෙවත් delivery men යොදා ගනිමින්
එම ආහාර පාන බෙදා හැරීම සිදු කළා. කාලය ගෙවීයත් ම, ආපනශාලා ආහාර පාන සමඟ ම ආහාර බෙදා හැරීමේ ‘ඩෙමේ’ ක්‍රමය ද වඩාත් ප්‍රචලිත වී ජපාන මධ්‍යම පන්තියට දැරිය හැකි මිලකට ඒවායේ වටිනාකම පහත බැස තිබුණා.

ටෝකියෝ නගරයේ සෝබා බෙදා හරින මිනිසෙක් 1956 -Old Japan Magazine \ Getty Images

මෙම ඩෙමේ ක්‍රමය උපයෝගී කර ගනිමින් එකල බෙදා හැරි ජනප්‍රියත ම ආහාරය වූයේ ‘සෝබා නූඩ්ල්ස්’. සෝබා නූඩ්ල්ස් සෝස් සමඟ හෝ උණුසුම් සුප් හොද්දක් සමඟ එකවර අනුභව කළ හැකි ආහාරයක්. සෝබා පිඟානක් සැමට දැරිය හැකි මිලකට ජපන් ආපනශාලාවල එකල අලෙවි වුණා.

උරහිස් මත ආහාර පෙට්ටි රැසක්

ඩෙමේ ක්‍රමයට සෝබා නූඩ්ල්ස් බෙදාහරින්නෙක් වීමට නම්, උරහිස් මත ආහාර පෙට්ටි රැසක් කුළුණක ආකාරයට සමබර ව තබා ගෙන කාර්යබහුල ජපන් වීදි දිග පාපැදිය මහත් සංයමයෙන් හැසිරවීමේ හැකියාව අනිවාර්යයෙන් ම තිබිය යුතු වූවා. ඩෙමේ මිනිසුන් ජපන් මහාමාර්ගවල බහුලව ම ගමන් කරන අයුරු දක්නට ලැබුණේ 50 දශකය ආරම්භයේ සිට යි.

උණුසුම් ආහාර පිර වූ පෙට්ටි කුළුණක ආකාරයට ගොඩ ගසා ගනිමින්, මහා මාර්ගයේ ධාවනය වන මෝටර් රථ හා ඔට්ටු වී ආහාර පිර වූ පෙට්ටිවල සමතුලිතබව රැකෙන පරිදි ගමන් කරන ඩෙමේ පාපැදිකරුවන් එකල ජපනුන්ට සාමාන්‍ය දසුනක් වූ බවයි පැවසෙන්නේ. ඇතැම් ඩෙමේ පාපැදිකරුවන් හැඬලය එක අතකින් අල්ලා ගෙන අනෙක් අතට ආහාර පෙට්ටි වාරු කර ගනිමින්, ඇතැම් විට සිගරට්ටුවක් ද දල්වා ගෙන ගමන් කරන අයුරු එකල සුලබ දසුනක් වූවා.

මරුනොවුචි දිස්ත්‍රික්කයේ සෝබා බෙදා හරින මිනිසෙක් 1959 -Old Japan Magazine \Getty Images

ආහාර පෙට්ටි 20 ක් හෝ 30 ක් උර මත

බොහෝ අවස්ථාවලදී මෙම ඩෙමේ මිනිසුන්ට එක් වරක දී, එක් ආයතනයකට වුවමනා සම්පූර්ණ දිවා ආහාර රැගෙන යාමට ද සිදු වූවා. එබැවින් ආහාර පෙට්ටි 20 ක් හෝ 30 ක් එකවර රැගෙන ගොස් බෙදා හරින්නට ඔවුන්ට සිදු වුණා. තම පාරිභෝගිකයන්ට ඔවුන්ගේ දිවා ආහාරය බොහෝ විට උණුසුම් ව ලබා දීම සඳහා මේ ඩෙමේ පාපැදිකරුවන් සිය ආහාර බෙදා හැරීම හැකිතාක් කඩිනම් ව සිදු කිරීමට ද උත්සුක වූවා.

අලුත් නීතිරීති මෙම සෝබා බෙදා හැරීමේ මිනිසුන්ට පැනවූයේ මොවුන් දරාගත් මාර්ග අවදානම නිසාවෙනි -Old Japan Magazine / Getty Images

මෙම දිරිය ඩෙමේ පාපැදිකරුවන් ගේ කුසලතා කෙතරම් ජනප්‍රියද වූවා ද කිවහොත්, සමහර ටෝකියෝ ප්‍රදේශවාසීන් ඩෙමේ මිනිසුන්ගේ වීරකම් මහත් උජාරුවෙන් අනෙකුන් හා පැවසීමට අදටත් උනන්දු වනවා.

සෝබා නූඩ්ල්ස් සම්ප්‍රදාය

සෝබා නූඩ්ල්ස් අනුභව කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 1603 සිට ක්‍රිස්තු වර්ෂ 1868 දක්වා දිවෙන ජපන් ටොකුගාවා යුගයේ සිට යි. ටොකුගාවා යුගයේ ජපානයේ සෑම ප්‍රදේශයක ම සෝබා ආහාර සකසන හා බෙදාහරින ආයතන එකක් හෝ දෙකක් තිබුණා.

ටෝකියෝ හි සෝබා බෙදා හරින තරුණයෙක් -Old Japan Magazine \ Getty Images

එකල, එඩෝ (වත්මන් ටෝකියෝ) හි ජනයා ග්‍රාමීය දුප්පතුන්ට වඩා සැලකිය යුතු ලෙස ධනවත් වූවත් මොවුන් තයමින් (විටමින් බී 1) අඩු සුදු සහල් අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් බෙරිබෙරි (ශරීරයේ ප්‍රමාණවත් තරම් තයමින් (විටමින් B1) නොමැති රෝග) රෝගයට නිරන්තර ව ගොදුරු වූවා. තයමින් බහුල සෝබා ආහාර නිතිපතා කෑමට ගැනීමෙන් බෙරිබෙරි රෝගය වලක්වා ගත හැකි බව මොවුන් පසු ව සොයා ගත්තා.

සෝබා නූඩ්ල්ස් සාමාන්‍යයෙන් ඕනෑම අයකුට චොප්ස්ටික්ස් භාවිතයෙන් අනුභව කළ හැකි යි. උණුසුම් ජපන් නූඩ්ල්ස්, උගුරෙන් ශබ්ද නඟමින් මුඛය තුළට ඇද ගිල ගත හැකි යැයි පිළිගැනෙනවා. නූඩ්ල්ස් ඉක්මනින් මුඛය තුළට ඇද ගැනීමෙන් පහසුවෙන් ඒවා සිසිල් වීමට ද උපකාරී වනවා.

ටෝකියෝ හි ෂෙනිති ඔකෂිතා තම සෝබා නූඩ්ල්ස් කපන යන්ත්‍රය මෙහෙයවයි – 1956 දී ගත් සේයාරුවක් -Getty Images

‘ෂින්ෂු සෝබා’

ජපානයේ නගානෝ ප්‍රාන්තය සෝබා නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා තවමත් ප්‍රසිද්ධ යි. මේ ජනප්‍රියත්වයට එක් හේතුවක් වන්නේ සෝබා නිෂ්පාදනයට හොඳින් ගැළපෙන ස්වභාවික ලක්ෂණ නාගානෝ ප්‍රාන්තය සතු ව තිබීම යි. මෙම නූඩ්ල්ස් වර්ගය ‘ෂින්ෂු සෝබා’ ලෙස හඳුන්වනවා.

උතුරු කුරොහිම් සිට දකුණු ටොගකුශි කඳුකරය දක්වා වූ ජපන් ප්‍රාන්ත පුරා බොහෝ ප්‍රසිද්ධ සෝබා නිෂ්පාදන මධ්‍යස්ථාන තව ම සොයා ගත හැකි අතර ම ජපානයේ දෙවන ඉහළ ම සෝබා නිෂ්පාදන ධාරිතාව ද ඉහත ප්‍රාන්ත සතු යි.

සුනබහොන්ටෙන් සෝබා වෙළෙඳසල් හිමිකරු 1945 – Old Japan Magazine \Getty Images

ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්

සෝබා නිෂ්පාදනයට අදාළ මූලික කාර්යයන් වනුයේ වගා කිරීම, ඇඹරීම සහ කැපීම යි. මෙම සමස්ත ක්‍රියාවලිය ම නගානෝ ප්‍රාන්තයේ සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්වලට අයිති බවත් පිළිගැනෙනවා.

සෝබා නූඩ්ල්ස් පිළියෙළ කරනවිට කැබලිවලට කැඩෙන බව අඩු කිරීමට, තිරිඟු පිටි ස්වල්පයක් සමඟ බක්වීට් පිටි (buck wheat) මිශ්‍ර කර ඒවා නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය රීතියක් ලෙස, ෂින්ෂු සෝබා නාමය නූඩ්ල්ස්වලට ලබා දිය හැක්කේ එය තුළ 40% හෝ ඊට වැඩිව සෝබා පිටි අඩංගු වන්නේ නම් පමණ යි.

සෝබා බෙදා හැරි ඩෙමේ මිනිසුන් ගේ නික්ම යාම

1961 මාර්තු මස ටෝකියෝ පොලිස් දෙපාර්තමේන්තුව එරට පාපැදිකරුවන් සඳහා නව මාර්ග නීති රැසක් අලුතින් හඳුන්වා දුන්නා. මෙයට හේතු වූයේ 50 දශක අග භාගයේ ඩෙමේ මිනිසුන් වැඩි වශයෙන් මාර්ග අනතුරුවලට මුහුණ දීම යි.

අවදානමක් සමඟ සොබා බෙදා හැරීමේ නිරත වීම – Old Japan Magazine \ Getty Images

සෝබා ආහාර පෙට්ටි රැසක් උරහිසේ රඳවා ගනිමින් පාපැදියක් ධාවනය කිරීම අනතුරුදායක බවත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් එය තහනම් කළ යුත්තක් බවත් ටෝකියෝ පොලිසිය මෙහි දී නිගමනය කළා.

ඩෙමේ මිනිසුන්ට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් ප්‍රමාණයෙන් අඩකට වඩා අහිමි වීමේ අවදානමක් මෙමඟින් මතු වන නිසා ඩෙමේ පාපැදිකරුවන්ට එතරම් දැඩි සීමා නොපැනවීමට ටෝකියෝ පොලිසිය පසුව තීරණය කළා.

ටෝකියෝ පොලිසියේ නව නීති රීති මාලාව

කෙසේ වුවත් ටෝකියෝ පොලිසියේ නව නීති රීති මාලාව නිසා ඉන් පසුව සෝබා බෙදා හැරි මිනිසුන් සහ තරුණයන් ටෝකියෝ වීදි හරහා පාපැදි ධාවනය කරන ප්‍රවණතාවයෙහි යම් අඩු වීමක් දක්නට ලැබුණා.

සෝබා නූඩ්ල්ස් සෝස් සමඟ හෝ උණුසුම් සුප් හොද්දක් සමඟ අනුභව කළ හැකි ආහාරයක් – www.finedininglovers.com

මෙයින් පසුව ජපන් මධ්‍යම පන්තියට දැරිය හැකි මිලකට අලෙවි වූ කුඩා මෝටර් රථ සෝබා බෙදා හැරීමට භාවිත කරන්නට ජපන් ආපනශාලා හිමියන් එකල වැඩි වශයෙන් හුරු වීමත් සමඟ, ටෝකියෝ හි සිටි ඩෙමේ පාපැදිකරුවන්ගේ ජනප්‍රියත්වය හා ඔවුන්ට ලැබුණු ඉල්ලුම ක්‍රමයෙන් පහළ බසින්නට වුණා. ඉන් පසුව සෝබා බෙදා හැරීමේ ක්‍රමය ජපන් සමාජයෙන් දුරස් ව ගියා.

කවරයේ ඡායාරූපය: Wikimedia Commons / Flickr / Pinterest / Old Japan Magazine
මූලාශ්‍ර :
rarehistoricalphotos.com
atlasobscura.com

ඡායාරූප මූලාශ්‍ර -
Wikimedia Commons
Flickr
Pinterest
Old Japan Magazine
Getty Images
www.finedininglovers.com
rimage.gnst.jp/livejapan.com

Related Articles