Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවත කරළියට ආ ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ ගේ අබිරහස

 1968 සිට 1985 වසර අතර කාලයේදී ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ යනුවෙන් හැඳින් වූ ඝාතකයා ටස්කනි හි ‘ආදර මාවත්’වලදී පෙම් යුවළ අටක් ඝාතනය කර තිබුණා. එකල ඒ හා සම්බන්ධ අබිරහස විසඳා ගැනීමට කිසිවකුට හරිහැටි නොහැකි වූ අතර, ඝාතනයට ලක් වූ අයගේ පවුල්වල උදවිය ඒ පිළිබඳ ව නවත ම පරීක්ෂණයක් සිදු කරන ලෙස බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ, එකල බලධාරීන් නොසැලකිලිමත් ලෙස සමහර සාක්ෂි විමර්ෂණය කිරීම මඟ හැර ඇති බව යි.

ඝාතන සිද්ධියක් වූ ස්ථානයක්- DailyKillerFact/Twitter

පෙම් සුවඳ විඳින්නන්ගේ මරුවා

ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා ලෙස විරුදවලිය ලත් දාම ඝාතකයා සෑම විට ම ඉලක්ක කළේ අහුමුළුවලට වී ලිංගික ක්‍රියාවල නිරත වන පෙම් යුවළ වන අතර, ඔහු හෝ ඇය බෙරෙටා වර්ගයේ පිස්තෝලයක් භාවිතයෙන් ඔවුන් ඝාතනය කළා. යුවළ 8 ක් එලෙස ඝාතනයට ලක් වූ අතර, ඝාතකයා කිසිදු දිනෙක පොලිසියට කොටු වූයේ නැහැ. මේ සඳහා සැක පිට කිහිප දෙනෙක් ම පොලිස් භාරයට ගැනුණු අතර, සමහරකුට දඬුවම් ද පැමිණ වුණා. කෙසේ නමුත් පසුකාලීන ව ඔවුන් කිසිවෙක් මේ ඝාතනවලට සම්බන්ධ නොවන බැව් සොයා ගැනුණා.

මෙම ඝාතකයා සම්බන්ධ ව විවිධ කතා පොත් සහ රූපවාහිනී වැඩසටහන් ද නිර්මාණය වූවා. සමහරෙක් විශ්වාස කරන්නට වූයේ යම් ආගමික කල්ලියක් හෝ, රජය ම අනුයුක්ත කළ කල්ලියක් මේ ඝාතන සිදු කරන්නට ඇති බව යි. ඇටර්නිවරයකු වන වැල්ටර් බිස්කොටි මෙලෙස ඝාතනය වූ තිදෙනකුගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටිනවා.

” අපි බලාපොරොත්තු වන්නේ, සත්‍යය හෙළි කර ගත හැකි නව විමර්ෂණයකුයි. පැරණි විමර්ෂණවලදී වැරදි බොහොමයක් සිදුවී ඇති බැව් අපට විශ්වාස යි ” ඔහු පවසනවා. 

” අපි ඉල්ලා සිටින්නේ නිසි ලෙස විමර්ෂණ සිදු නොකළ එක්තරා සැකකරුවකු සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් අරඹන ලෙස යි. නිර්නාමික ලිපියක තිබී හමු වූ ඩී.එන්.ඒ සාම්පල ද හරියාකාරව පරීක්ෂා කොට නැහැ’’

වැල්ටර් බිස්කොටි- primopianomolise.it

‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ සිදු කළ ඝතන

ෆ්ලෝරන්ස් හි හඳුනා නොගත් ඝාතකයා මුලින් ම මිනිස් ඝාතනයක් සිදු කළේ 1968 වසරේ අගෝස්තු මස 21 වැනි දා යි. ඔහු එදින 29 වියැති ඇන්ටෝනියෝ ලෝ බියන්කෝ සහ 32 හැවිරිදි ඔහුගේ බිරියගේ සොහොයුරිය, බාබරා  ලොකී වෙඩි තබා ඝාතනය කළා. මොවුන් ඝාතනය කෙරුණේ බියැන්කෝගේ කාරයේ දෙදෙනා සිටින විට යි. මීට අමතර ව ඒ වන විට ලොකීගේ සය හැවිරිදි දියණියත්, එම කාරයේ පසුපස ආසනයක නිදා සිටියා.

මෙම ඝාතනයට මුලින් සැක කෙරුණේ ලොකී ගේ සැමියා වන ස්ටෙෆානෝ මෙලේ යි. මේ සඳහා ඔහු වරදකරු ලෙස ද නම් කෙරුණු අතර, ලොකී සහ බියැන්කෝ ගේ අනියම් සම්බන්ධය නිසා මෙලෙස ඔහු, ඔවුන් දෙනෙනා ඝාතනය කරන්නට ඇති බවට විශ්වාස කෙරුණා. කෙසේ නමුත් සියල්ල උඩු යටිකුරු වූයේ, මේ ඝාතන සිදුකිරීමට යොදා ගත් ආයුධයෙන් ම 1974 වසරේ සැප්තැම්බර් මස 15 වැනි දා තවත් ද්විත්ව ඝාතනයක් සිදුවීමත් සමඟ යි. ඒ වන විට මෙලේ දඬුවම් විඳිමින් සිටියා.

පිහි පහර 96 ක්

මෙලෙස මිය ගොස් තිබුණේ පැස්කුවෙල් ජෙන්ටිල්කෝර් හා ස්ටෙෆානියා පෙටිනි යන දෙදෙනා යි. ඔවුන් මර දමා තිබුණේ සිය කාරයේ ලිංගිකව එක් වෙමින් සිටිය දී යි. ඝාතනය කිරීමෙන් අනතුරුව පෙටිනි වෙත පිහි පහර 96 ක් එල්ල වී තිබූ අතර, ඇගේ ලිංගේන්ද්‍රිය ද ඉවත් කර තිබුණා. මෙලෙස ම 1981  වසරේ ජුනි මස 6 වැනි දා ජියෝවානි ෆොගී සහ විවාහපේක්ෂිත කාමෙලා ඩෙ නුකියෝ ද වෙඩි තබා ඝාතනය කළා. ඔවුන් ද ඒ වන විට සිය කාරයේ ලිංගිකව එක් වෙමින් සිට තිබෙනවා. ඝාතකයා  කමෙලා ගේ ලිංගික පෙදෙස කපා ඉවත් කරගෙන ගොස් තිබුණා.

ජියෝවානි ෆොගී සහ කාමෙලා ඩෙ නුකියෝ- Wikimedia Commons

විසි හතර වියැති ස්ටෙෆානෝ බෝල්ඩි සහ ඔහුගේ පෙම්වතිය වූ සුසානා කැම්බි 1981 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ද පවුලෝ මයිනාඩි හා ඇන්ටොනෙල්ලා මිග්ලිඕරිනී 1982 ජුනි 19 වැනි දා ද, මේ ආකරයෙන් ම සිය වාහන තුළ ඝාතනය වුණා. 

1983 වසරේ සැප්තැම්බර් මස 19වැනි දා විල්හෙල්ම් ෆ්‍රෙඩෙරිච් හෝස්ට් මේයර් සහ ඔහුගේ පෙම්වතාත් මේ ඝාතකයාට ගොදුරු වූ අතර, ඔවුන් ඉතලියට සංචාරය සඳහා පැමිණි සමරිසි ජර්මානු යුවළක් වුණා. 1984 වසරේ ජූලි මස 29 වැනි දා මේ ඉරණමට ගොදුරු වූයේ ක්ලෝඩියෝ ස්ටෙෆනාකි හා පියා ගිල්ඩා රොන්ටිනි යන යුවළ යි. රොන්ටිනි ගේ ලිංගේන්ද්‍රියත් අතුරුදහන් ව තිබුණා.

ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයාගේ අවසන් ගොදුරු දෙක වුයේ ප්‍රංශ ජාතික යුවළක්. ජීන් මිචෙල් ක්‍රැවෙයිච්විලි හ නාඩින් මෝරියට් ඒ දෙදෙනා යි. ඔවුන් වන ලැහැබක කඳවුරු ලා සිටියදී මේ ඉරණමට ගොදුරු ව තිබුණා. මෙවර ඝාතකයා මෙම යුවළ ඝාතනය කර, කාන්තාවගේ ලිංගේන්ද්‍රිය කපා ගෙන යාමට අමතර ව, අපුල දනවන තවත් දෙයක් සිදු කළා. ඔහු මෝරියට්ගේ පියයුරක කොටසක් කපා, ලිපියක් ද සමඟින් එය, එම ප්‍රදේශයේ බලධාරිණියක වන සිල්වියා ඩෙලා මොනිකා වෙත තැපැල් කරන්නට කටයුතු කළා.

සැකකරුවෝ

නාඩින් මෝරියට් ගේ දියණිය වන එස්ටෙල් ලැන්සියෝටි පසුගිය දිනක, ඇගේ ඝාතකයා සොයා ගැනීමට උදව් වන ලෙස බිස්කොටි ගෙන් ඉල්ලා තිබෙනවා. මෝරියට් ඇතුළු සිවු දෙනකුගේ ලිංගේන්ද්‍රියන් ඝාතකයා කපා රැගෙන ගොස් තිබූ අතර. වසර ගණනාවක් ගත වුව ද මේ පිළිබඳ ව කිසිදු සාර්ථක සාක්ෂියක් සොයා ගන්නට බලධාරීන් සමත් වූයේ නැහැ. වසර ගණනක ඇවෑමෙන්, මෙම සිද්ධීන් පිළිබඳ මතකය බොහෝ දෙනකු කෙරෙන් තුරන් ව ගිය ද, තම මව වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ අදහස එස්ටෙල් අතැර තිබුණේ නැහැ.

2022 වසරේ මාර්තු මස 25 වන දා ඇය බිස්කොටි හමුවන්නේ ඒ නිසා යි. කාමෙලා ඩෙ නුන්සියෝ ගේ ඥාතීනුත් බිස්කොටි ගෙන් ඝාතකයා හඳුනා ගැනීමට උදව් ඉල්ලා තිබෙනවා. ගොවියෙක් වූ පියෙට්‍රෝ පැසියානි 1994 වසරේ දී මේ ඝාතනවලට සැක පිට පොලිස් භාරයට ගැනුණු අතර, නිර්නාමික ඔත්තුවක් හේතුවෙන් ඔහු මෙලෙස අත් අඩංගුවට ගැනුණා. මේ ඝාතන සිද්ධිවලින් 6 කට ඔහු වැරදිකරු ද කෙරුණු අතර, ඊට අමතර ව ඔහුගේ ම දියණියන් දෙදෙනාට ලිංගික අඩන්තේට්ටම් කිරීමත් හේතුවෙන් ඔහුට දඬුවම් ලැබුණා.

ගියැම්පියෙරෝ විජිලැන්ටි- lanazione.it

ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

පැසියානිනිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබුණ ද 1996 වසරේ දී ඔහුගේ ඇපෑලක් සලකා බැලූ ඉතාලි අධිකරණය, නැවත පරීක්ෂණ පවත්වා, මෙම ඝාතනවලට ඔහුගේ සම්බන්ධයක් නොමැති බැව් සොයා ගත්තා. කෙසේ නමුත් ඔහු 1998 වසරේ දී මිය ගිය අතර, බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරන්නේ ඔහු සහ මිතුරු මාරියෝ වානි හා ජියැන්කාලෝ ලොටි මෙම ඝාතන සිදු කරන්නට ඇති බව යි.

බිස්කොටිට අනුව පැසියානි  හෝ මිතුරන් මේ ඝාතනවලට සම්බන්ධ නොවූ අය වීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු සිදු වී ඇති ආකාරය අනුව එය එසේ විය හැකි බැව් ඔහු නිශ්චිතව ම පවසනවා. මේ ඝාතන සම්බන්ධයෙන් මීට පෙරත් කිහිප දෙනෙක් ම සිර ගත කෙරුණු අතර, ඔවුන් දඬුවම් විඳිමින් සිටිය දී ම, තව තවත් එවැනි ඝාතන වීම යන කරුණු නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණා.

ඉවත දැමූ සාක්ෂි

බිස්කොටිට අනුව පියෙට්‍රෝ පැසියානි සම්බන්ධ ලිපිගොනු පරිශීලන කිරීමෙන් මේ සිද්ධිය සම්බන්ධ සත්‍යය වෙත වඩාත් ළඟා විය හැකි යි. පැසියානි සහ මිතුරන් දෙදෙනා ප්‍රචණ්ඩකාරී සහ ලිංගිකමය අපරාධ රාශියක් කර තිබෙනවා. ඔවුන් තිහෙනා ප්‍රදේශයේ ගණිකා නිවාසවලට නිතර ගොස් තිබෙන අතර, මින් ලොටී පාපොච්ඡාරණයක් කරමින් ඉහත ඝාතනවලින් 4 ක් සිදුකළ ආකාරය ද පවසා තිබුණා.

බිස්කොටි, ලොටී ගෙ පාපොච්චාරණයේ නොගැළපෙන තැන් කිහිපයක් ම හඳුනා ගෙන තිබෙනවා. එත් සමඟ ම පැසිනිගේ සමීප මිතුරෙක් වූ ගියැම්පියෙරෝ විජිලැන්ටි වෙත ද බිස්කොටි ගේ අවධානය යොමු වී තිබෙනවා. ඔහු මෙම ඝාතන සම්බන්ධයෙන් වරක් පොලිස් අත් අඩංගුවට ගැනුණ ද, කිසියම් හේතුවක් නිසා ඔහු ඉක්මනින් ම නිදොස් කොට නිදහස් වුණා.

බිස්කොටිට අනුව එකල, ඔහුගේ නිවෙස පොලිසිය පරීක්ෂා කළ විට සැක කටයුතු දේ රාශියක් හමු ව තිබෙනවා. පොලිසියේ නොසැලකිලිමත්කම නිසා, නීතියේ කපොල්ලකින් රිංගා ඔහු නිදහස් ව තිබෙනවා. බිස්කොටි සහ තවත් නීතීඥවරුන් කිහිපදෙනෙක් ම පවසන්නේ  විජිලැන්ටි පිළිබඳ ව වහාම නව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව යි.

1985 වසරේ දී ඩෙලා මොනිකා වෙත එවුණු ලිපියෙන් උකහා ගත් ලද ඩී. එන්. ඒ පැසියානි හා සැසඳුණේ නැහැ. නමුත් ඒවා විජිලැන්ටි ගේ ඩී.එන්.ඒ හා සසඳා නැහැ. එය එසේ සිදු ව තිබීම පිළිබඳව බිස්කොටි සිය මවිතය පළ කරනවා. ඔහුට අනුව ඒවා විජිලැන්ටි හා සමපාත වීමේ විශාල හැකියාවක් තිබෙනවා.

පසුවදන

ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා පිළිබඳ ව කිහිපවිටක් ම ලොව කතාබහ ඇති වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක දී, මෙම සිද්ධිය සම්පූර්ණයෙන් විසඳා අවසන් කරන්නට කිසිවෙක් සමත් වූයේ නැහැ. වසර ගණනාවකට පසු දැන් නැවතත් ඊට අවස්ථාව එළඹ තිබෙනවා.

කවරයේ ඡායාරූපය- gettyimages.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Criminalminds.fandom.com
listverse.com

Related Articles