Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලි-මිනිස් ගැටුමට සොයන නව විසඳුම්?

මෙරට ප්‍රදේශ ගණනාවක පවතින අලි-මිනිස් ගැටුම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් මෙන් ම අලින් ද බොහෝ පීඩා විඳිති. අලි-මිනිස් ගැටුම නිසා වාර්ෂිකව මිනිස් සහ අලි මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වන අතර, වගා සහ දේපල හානි විශාල ප්‍රමාණයක් ද සිදු වේ. විවිධ හේතු නිසා නිර්මාණය වී ඇති මෙම අර්බුදයට තාවකාලික විසඳුම් ලබා දී තිබුනත්, ඊට ස්ථිරසාර විසඳුමක් සෙවීමට මේ වන තෙක් අදාළ ආයතනවලට හැකි වී නැත.

අලි වෙඩි භාවිතය සහ අලි වැට ඉදිකිරීම වැනි ක්‍රම මගින් අලි-මිනිස් ගැටුම යම් මට්ටමකට හෝ පාලනය වුවත්, ඒවා 100%ක් සාර්ථක විසඳුම් නොවන බව දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක් වන කරුණකි. අලි වෙඩි මිල දී ගැනීම සහ විදුලි වැටවල් ඉදිකිරිම සඳහා වාර්ෂික ව විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වුවත්, ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිපල ලැබෙන්නේ ද යන්න ගැටලු සහගත ය.

විදුලි වැටක් අසල සිටින වන අලි – www.worldbank.org

අලි-මිනිස් ගැටුම

උතුරුමැද, වයඹ, ඌව, දකුණු සහ නැඟෙනහිර වැනි පළාත්වල, විශේෂයෙන්ම මහවැලි කලාප ආශ්‍රිතව සිදු වන වන අලි ගම්වලට කඩාවැදීම, වන අලි පහරදීම හේතුවෙන් පුද්ගලයන් මිය යාම සහ වගා සහ දේපල හානි සිදුවීම මෙන් ම, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි තුවාල ලැබීම සහ මිය යාම අලි-මිනිස් ගැටුම ලෙස හැඳින්වේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මේ වන විට රට පුරා දිස්ත්‍රික්ක 19කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක අලි-මිනිස් ගැටුම ආශ්‍රිත සිදුවීම් වාර්තා වේ.

දීර්ඝ කාලයක් තිස්සේ වන අලි ජීවත් වූ කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කර මිනිස් වාසස්ථාන ඉදිකිරීම සහ විවිධ වගා සඳහා එම ඉඩම් අත්පත් කරගැනීම අලි-මිනිස් ගැටුම උත්සන්න වීමට බලපෑ ප්‍රධාන හේතුවකි. වරින් වර බලයට පැමිණෙන රජයන් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහා අලි නිරන්තරයෙන් ගැවසෙන කැලෑ ප්‍රදේශ යොදා ගැනීම ද පසුගිය වසර කිහිපය තුළ අලි-මිනිස් ගැටුම ඉහළ යාමට හේතු වී තිබේ.

අලි මරණ පිළිබඳ දත්ත – www.sundaytimes.lk

මිනිස් ජීවිත හානි

අලි-මිනිස් ගැටුමේ ඉතාමත් භයානක සහ අවාසනාවන්ත ප්‍රතිපලයක් ලෙස වන අලි පහරදීම නිසා සිදුවන ජීවිත හානි හැඳින්විය හැකි ය. එහි බිහිසුණු බව කොතරම් ද යත් පසුගිය දශක දෙකක කාලය තුළ වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයන් 1,504ක් මිය ගොස් ඇත. මෑතකාලීන ව, එනම් 2015 වසරේ දී සිදු වූ මරණ 63ක්, 2016 වසරේ දී සිදු වූ මරණ 88ක්, 2017 වසරේ දී සිදු වූ මරණ 87ක්, 2018 වසරේ දී සිදු වූ මරණ 96ක්, 2019 වසරේ දී සිදු වූ මරණ 122ක්, 2020 වසරේ දී සිදු වූ මරණ 112ක්, 2021 වසරේ දී සිදු වූ මරණ 142ක්, සහ මේ වසරේ පළමු කාර්තුව, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ සිදු වූ මරණ 34ක් ඇතුළත් වේ.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී සිය ගෙවත්තට පැමිණි වන අලියෙක් එළවා දැමීමට උත්සාහ කළ 72 හැවිරිදි පුද්ගලයකු සැප්තැම්බර් 30 දින අලුයම වන අලි ප්‍රහාරයකින් මිය ගියේ ය. කැබිතිගොල්ලෑවේ ප්‍රදේශයේදී ම සැප්තැම්බර් 29 දින සිදු වූ තවත් වන අලි ප්‍රහාර දෙකකින් 80 හැවිරිදි කාන්තාවක සහ 44 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියහ. එම මරණ ද සමග සැප්තැම්බර් මාසයේ තුන්වැනි සතිය තුළ උතුරුමැද පළාත තුළ පමණක් වන අලි පහරදීම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 11කි.

හක්ක පටස් ආහාරයට ගැනීම නිසා තුවාල ලැබූ අලියෙක් – www.mongabay.com

නිමක් නැති අලි මරණ

අලි-මිනිස් ගැටුම නිසා සිදුවන මිනිස් මරණවලට සාපේක්ෂ ව අලි මරණ ද විශාල සංඛ්‍යාවක් වාර්තා වේ. පසුගිය වසර සියයකට ආසන්න කාලය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් මෙරට අලි ගහණය 75%කින් පමණ අඩු වී ඇති බව කියැවේ. වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 දී වන අලි 407කුත්, 2020 දී 328කුත්, 2021 දී 375කුත්, මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ 258කුත්, අලි-මිනිස් ගැටුම ආශ්‍රිත සිදුවීම් නිසා මිය ගොස් තිබේ.

ගත වූ මාස කිහිපය තුළ සිදු වූ වන අලි මරණවලින් 35ක් වෙඩි තැබීම නිසාත්, 25ක් විදුලිසැර වැදීම නිසාත්, 30 හක්ක පටස් ආහාරයට ගැනීම නිසාත්, හයක් දුම්රිය අනතුරු නිසාත්, දෙකක් මාර්ග අනතුරු නිසාත්, 10ක් දියේ ගිලීම නිසාත්, හයක් වගා ළිංවලට වැටීම නිසාත්, තුනක් විවිධ අනතුරුවලට ලක්වීම නිසාත් සිදු වී ඇත. වෙනත් හේතු නිසා සිදු වූ වන අලි මරණ 98ක් වාර්තා වී අතර, කැලෑබද ප්‍රදේශවල තිබී නරක් වූ වන අලි මළ සිරුරු 29ක් සහ දිරාපත් වී ගිය සිරුරු 12ක් හමු වී ඇත.

මියගිය වන අලියෙක් – www.bbc.com

විදුලි වැටවල්

ගම්වලට කඩා වදින වන අලින් පලවා හැරීම සඳහා වන අලි ගැවසෙන ප්‍රදේශවලින් බහුතරයක විදුලි වැටවල් ඉදිකර ඇත. කෙසේ වෙතත් මෙම විදුලි වැටවල් නිසි පරිදි නඩත්තු කිරීමක් සිදු නොවන බව කාලයක් තිස්සේ එල්ල වන චෝදනාවකි. සමහර ප්‍රදේශවල ඉදි කර ඇති විදුලි වැටවල කොටස් කැඩී බිඳී ගොස් ඇති අතර ඒවාට විදුලි සැපයුම ලබා දීම ද නිසි පරිදි සිදු නොවේ. මේ නිසා විදුලි වැටෙන් පැන ගොස් වන අලි ගම්වලට ඇතුළුවීමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ.

අලි-මිනිස් ගැටුම හේතුවෙන් සිදු වන මිනිස් සහ අලි මරණ සංඛ්‍යාව සහ දේපල සහ වගා හානි සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් අලි-මිනිස් ගැටුම ඇති බවට හඳුනා ගෙන ඇති සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය පරිදි අවශ්‍ය ස්ථානවල විදුලි වැටවල් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශය පසුගියදා සඳහන් කළේ ය. අමාත්‍යංශය සඳහන් කළේ විදුලි වැටවල් ඉදිකිරීමේ කටයුතු ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව යි.

වන අලි හානි කළ වගාවක් – www.sundaytimes.lk

අලි වෙඩි

ගම්වදින වන අලින් බිය ගැන්වීම සඳහා එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අලි වෙඩි ලබා දීම, අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන් ක්‍රියාත්මක කරන තවත් එක ව්‍යාපෘතියකි. සාමාන්‍යයෙන් වසරක් සඳහා අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය මිලියන 1.4ක් බවත්, එම ප්‍රමාණය මිල දී ගැනීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 2,800ක් වැය කරන බවත් පසුගියදා වාර්තා විය.

කෙසේ වෙතත් සමහර පුද්ගලයන් වන අලින්ට අමතරව වඳුරන් සහ වෙනත් සතුන් පලවාහැරීම සඳහා ද අලි වෙඩි භාවිත කරන බව වාර්තා වේ. අපේක්ෂිත අරමුණ පසෙකලා වෙනත් අරමුණු උදෙසා අලි වෙඩි භාවිතය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වේ. යම්කිසි ඉඩමකට හෝ වගාබිමකට හානි කරන වන අලියෙක් පලවාහැරීම සඳහා අදාළ ඉඩම් හෝ වගාහිමියා අලි වෙඩි භාවිත කළත් වන අලියා දිව යන්නේ වෙනත් අයකුගේ ඉඩමකට හෝ වගාබිමකට බැවින් සිදු වන හානිය එලෙසින් ම පවතී. එවැනි හේතු නිසා අලි වෙඩි භාවිතය අපේක්ෂිත ප්‍රතිපල ගෙන දෙන්නේ ද යන්න ගැටලු සහගත ය.

නව විසඳුම් සොයන බලධාරීහු

අලි-මිනිස් ගැටුම නිරාකරණය සඳහා දැනට භාවිත කෙරෙන ක්‍රම එතරම් සාර්ථක ප්‍රතිපල ගෙන නොදෙන බැවින් ඒ සඳහා නව විසඳුම් සෙවීම පිළිබඳව මේ වන විට වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී දෙපාර්තමේන්තුවට සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වැනි අදාළ ආයතනවලට, අලි-මිනිස් ගැටුම නිරාකරණය සඳහා දැනට භාවිතා කෙරෙන ක්‍රමවලට අමතරව ක්‍රියාත්මක කළ හැකි වෙනත් වැඩසටහන් පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යංශයට වාර්තා කරන ලෙස උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ ආයතනවල යෝජනා ලැබුණු වහාම ඒවායේ ප්‍රයෝගික බව ද සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යි. 

කවරයේ ඡායාරූපය- අලි-මිනිස් ගැටුම හේතුවෙන් මිනිස්සු මෙන් ම අලි ද බොහෝ පීඩා විඳිති -www.newsfirst.lk
මූලාශ්‍ර:
www.mongabay.com
www.bbc.com
www.themorning.lk
කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදන

Related Articles