Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනස පාලනය කිරීමට CIA ගත් අමානුෂික උත්සාහය

ඇමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි අංශය වන CIA එක ගැනත් කියවෙන කටකතා බොහොම යි. කොහොම නමුත් කලකට පසු ව සැබෑවක් බවට තහවුරු වූ CIA හි රහසිගත ව්‍යාපෘති ගණනාවක් ම ගැන අහන්න ලැබෙනවා. ඒ අතරිනුත් සැබෑ විද්‍යාත්මක පදනමකින් තොර වගේ ම මානුෂීය බව ගැන බරපතළ ගැටලු ඇති කළ ව්‍යාපෘතිත් තිබෙනවා. එයින් ප්‍රධාන ම එකක් තමයි MK Ultra ව්‍යාපෘතිය.

CIA ආයතනය මේ ගැන හෙළිදරව් වන්න පෙර ම එයට අදාළ වාර්තා සහ ලිපි ගොනු සියල්ල ම වගේ විනාශ කර දමා තිබුණු නිසා ඒ ගැන පැහැදිලි තොරතුරු හොයාගන්න පහසු වුණේ නැහැ. කොහොම නමුත් අදාළ ව්‍යාපෘතියට දායක වුණු පිරිස ලබාදුන් දිවුරුම් ප්‍රකාශ සහ සාක්ෂ්‍ය අනුව මේ රහසිගත ව්‍යාපෘතිය ගැන තොරතුරු බොහොමයක් හෙළි කරගන්නට හැකි වී තිබෙනවා.

දෙවැනි ලෝක යුද්ධය, කොරියානු යුද්ධය, සහ සීතල යුද්ධය

කොරියාවේ දී අල්ලා ගැනුණු ඇතැම් ඇමෙරිකානු යුධ සිරකරුවන්ගේ මනස වෙනස් කර ඇති බවට සැක මතු වුණා (thesun.co.uk)

තව කෙනෙකුගේ මනස පාලනය කරලා ඔහු හෝ ඇය හරහා තමන්ට අවශ්‍ය දේ සිදු කර ගත හැකි ක්‍රම ගැන, ඔවුන්ට බොරු කියන්න බැරි කරමින් ඇත්ත දැනගන්න අතීතයේ සිට ම විවිධ උත්සාහයන් තිබුණත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ව එයට විශේෂ අවධානයක් යොමු වුණා.

දෙවැනි ලෝක යුද්ධයත්, එයින් පසු ව සිදු වූ කොරියානු යුද්ධයත් සමග සෝවියට්වරුන්, චීන්නුන්, සහ උතුරු කොරියානුවන් සතු ව මනස පාලනය කළ හැකි විවිධ මත්ද්‍රව්‍ය සහ ක්‍රම පවතින බවත්, ඇමෙරිකානු යුධ සිරකරුවන්ට එරෙහිව ඒවා භාවිත කළ බවටත් වාර්තා පැතිරී ගියා. මෙයට ප්‍රධානතම හේතුව වුණේ යුධ සිරකරුවන් ව සිට නැවත පැමිණි ඇමෙරිකානුවන් බොහෝ දෙනෙකුගේ මතයන්, හැසිරෙන ආකාරය, සහ ඔවුන් ඇමෙරිකාව සහ කොමියුනිස්ට් රටවල් දකින ආකාරය කිසිවෙකුට විශ්වාස කළ නොහැකි තරමට සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබීම යි.

මේ නිසා තමන්ටත් එවන් හැකියාවන් ලබාගන්නට කරන උත්සාහයක් වශයෙනුයි CIA ආයතනය 1953 අප්‍රේල් 13 වැනි දා MK Ultra ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ.

මනස විකාර කරන රසායනිකය – LSD

LSD නිසා මනස විකාරරූපී වෙනවා (ytimg.com)

MK Ultra ව්‍යාපෘතිය යටතේ සිදු කළ පර්යේෂණ සියල්ල ම අතිශයින්ම රහසිගතව යි සිදු වුණේ. ඇමෙරිකාව සහ කැනඩාව තුළ පැවති විශ්ව විද්‍යාල, රෝහල්, සහ බන්ධනාගාර මේ සඳහා යොදා ගැනුණා. 1953 සිට 1964 දක්වා කාලයේ තමයි මේ පර්යේෂණ බහුතරයක් සිදු වී තිබුණේ.

CIA හි වැඩි අවධානයට ලක් වුණු ක්‍රමයක් වුණේ “lysergic acid diethylamide” හෙවත් LSD කියන රසායනිකය ශරීර ගත කිරීම ගැන යි. පොදුවේ Acid යන නමින් හැඳින්වුණු, අතිශයින්ම ප්‍රබල ලෙස මනස විකාර රූපී කරන්න හැකියාවක් තිබුණු මේ රසායනිකය භාවිතයෙන් කෙනෙකුගේ මනස අවශ්‍ය ලෙස හැඩගැස්විය හැකි බවට CIA හි ප්‍රධාන රසායනික හා විෂ පිළිබඳ විශේෂඥයා වූ සිඩ්නි ගොට්ලීබ් විශ්වාස කළා.

sometimes-interesting.com

ඒ අනුව LSD ලබාදීම ගැන පර්යේෂණවලට මුදල් ලබාදෙමින් විවිධ විශ්ව විද්‍යාලවල ඒවා සිදු කරවන්න CIA එක කටයුතු කළා. කොහොම නමුත් ඒ සඳහා යොදා ගැනුණේ සත්‍යය සඟවමින් නිර්මාණය කළ විද්‍යාත්මක අරමුදල්. මේ පර්යේෂණ CIA වෙනුවෙන් සිදුවන බවට අදාළ විශ්ව විද්‍යාලවත්, ඒවාට ලක් වූ රෝගීන්වත් කිසිසේත් දැන සිටියේ නැහැ. කෙසේ නමුත් විශ්ව විද්‍යාලවල පර්යේෂණවලට බොහෝ විට යොදා ගැනුණේ කැමැත්තෙන් ම මේ සඳහා දායක වූ විශ්ව විද්‍යාල සිසුන්.

රසායනික පර්යේෂණවලට සදාචාරයක් නැති ක්‍රම ගණනාවක්

කිසිසේත් සදාචාරාත්මක නොවන ක්‍රමවේදත් මේ වෙනුවෙන් යොදා ගැනුණා. තමන් වෙත එන පුද්ගලයන් විශේෂයෙන් සකසන ලද හෝටල් කාමර වෙත ගෙන යන්නටත්, ඔවුන් වෙත LSD මිශ්‍ර මත්පැන් පානයට ලබා දෙන්නටත් CIA ආයතනය කුලී ගණිකාවන් යොදා ගනු ලැබුවා. මෙම කාමරවල සැඟ වූ පටිගත කිරීමේ උපාංග සහ එකපසක සිට විනිවිද දැකිය හැකි කන්නාඩි හරහා ඔවුන්ගේ හැසිරීම් වෙනස් වීම අධ්‍යයනය කෙරුණා.

බන්ධනාගාර රැඳවියන් යොදාගෙන වද දීම පිළිබඳ පරීක්ෂණ කර තිබෙනවා (allthingscrimeblog.com)

මීට අමතර ව LSD හොර රහසේ එකිනෙකාට ලබාදෙන්නට CIA සේවකයන් ම පොළඹවා ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළ බවට පවා සාක්ෂ්‍ය තිබෙනවා. රෝහල්වලට මානසික ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාරවල මුවාවෙන් ඔවුන්ට LSD ලබාදුන් බවත්, බන්ධනාගාර රැඳවියන් යොදාගෙන පර්යේෂණ සිදු කළ බවත් කියවෙනවා. මීට අමතර ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් තවත් මත්ද්‍රව්‍ය ලබාදෙමින් LSD පර්යේෂණවලට කැමැත්තෙන් ම දායක වන්නට පොළඹවාගෙන තිබෙනවා.

LSDවලට අමතර ව MDMA, salvia, psilocybin වැනි තවත් මනස විකාර කරන රසායනික ලබාදෙමින් පර්යේෂණ සිදුකර තිබෙනවා.

විදුලි සැර වද්දවා ස්නායු දුර්වල කරවීම

මානසික රෝග නිසා රෝහල්ගත වුණු රෝගීන් හට CIA හි වෛද්‍යවරුන් යොදවාගෙන මතකය විකෘති කරන විදුලි ප්‍රතිකාර ලබාදීමත් සිදු වුණා. විවිධ නිද්‍රාශීලී බෙහෙත් ලබා දී සති තුනක් පමණ එක දිගට නිදාගන්නට සලස්වා අදාළ කාලය පුරාවට ම සිරුරේ ස්නායුවල පණිවිඩ හුවමාරුවට බාධා වන ලෙස ප්‍රබල විදුලි සැර ලබාදීම් සිදුකර තිබෙනවා. මේ ක්‍රියාවලියෙන් ස්නායු අඩපණ වන අතරේ ම පටිගත කළ විවිධ පණිවිඩ දිගට ම ඇසෙන්නට සලස්වනු ලැබුවා. මෙයින් ඔවුන් උත්සාහ ගත්තේ කෙනෙකු ගොඩනගා ගත් ස්වයංපාලනය සම්පූර්ණයෙන් ම අක්‍රීය කර දමා, කියන දේ කරන පුද්ගලයෙක් කළ හැකි ද කියා බලන්න යි.

බෝම්බ ගෙන ගොස් පුපුරවාලීමට පුහුණු කළ බව කියවෙන දැරියක් (awarenessact.com)

මෙය තරමක් දුරට සාර්ථක වූ බව කියවෙනවා. මේ ප්‍රතිකාරයන්ට මුහුණ දුන්නු බොහෝ දෙනෙකුට එයින් පසු ව විවිධ පුද්ගලයන් පැමිණ ප්‍රශ්න කරන විට තමන් ඒවාට පිළිතුරු දීම පාලනය කරගත නොහැකි වූ බව පවසා තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ තමන් සම්පූර්ණයෙන් ම පිටස්තරයන්ගේ පාලනය යටතේ සිටින බවක් හැඟුණා කියලයි.

ව්‍යාපෘතිය නවතා දැමීම සහ ඒ පිළිබඳ හෙළිදරව් වීම

මේ ව්‍යාපෘතිය ඍජුව ම නීතියට සහ සදාචාරයට පටහැනි නිසාත්, එය පැහැදිලි විද්‍යාත්මක පදනමක් ඇති ව්‍යාපෘතියක් නොවුණු නිසාත් 1964 දී මේ ව්‍යාපෘතිය සීමා කරන්නට CIA ආයතනය කටයුතු කළා. ඉන්පසුව 1967 දී තව දුරටත් ව්‍යාපෘතිය සීමා කරන්නටත්, 1973 දී නිල වශයෙන් නවතා දමන්නත් සිදු වී තිබෙනවා. ඉන්පසු ව අතිශය රහසිගතභාවය නිසා MK Ultra ව්‍යාපෘතියට අදාළ සියලුම ලිපි ලේඛන සහ වාර්තා විනාශ කරන්නටත් එකල CIA අධ්‍යක්ෂකවරයා නියෝග කළා.

එකල පුවත්පත් වාර්තා (ripleys.com)

1975 දී ඇමෙරිකානු කොන්ග්‍රසයේ චර්ච් කමිටුවේ සහ නව ජනාධිපති ජෙරාල්ඩ් ෆෝඩ්ගේ ජනාධිපති කමිටුවේ පර්යේෂණවලින් තමයි මේ ගැන මහජනතාවට හෙළිදරව් වුණේ. MK Ultra පිළිබඳ ව විනාශ නොවී තිබුණු ලිපි ලේඛන ප්‍රමාණය ඉතා ම සීමිත නිසා බොහෝ දුරට ඒවාට සහභාගී වූ සහ මුහුණ දුන් අයගේ වාර්තා යොදාගන්නට ඔවුන්ට සිදු වුණා.

ඉන් පස්සේ 1977 දීත් ඊට සම්බන්ධිත වාර්තා ගණනාවක් මහජනතාවට නිකුත් කෙරුණා. මේ ගැන වාර්තා වැඩසටහන් සහ පුවත්පත් වාර්තා බොහොමයකින් නොදැන CIA පර්යේෂණවලට ලක් වූ පුද්ගලයන් ගැන තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමුන් නඩු මාර්ගයෙන් වන්දි ලබාගන්න පවා ක්‍රියා කළා.

කොහොම වුණත් MK Ultra ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ අමානුෂික ක්‍රියාකාරකම් ගණනාවක් තව ම හෙළිදරව් වී නැති බව යි කියවෙන්නේ. එයට අදාළ තවත් වාර්තා මහජනයාට නිකුත්කරන ලෙස අදටත් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනවා.

කවරයේ රූපය: disclose.tv

Related Articles