මහ වැසි කාලෙට සිහිපත් වන සාමසර කන්දේ ඛේදවාචකය

එකදිගට දින 7ක් තිස්සේ වැස්ස වහිනවා. බස්නාහිර හා දකුණට නම් වැස්ස ඉතා නරක ලෙස බලපා තිබෙනවා. සමහර පෙදෙස්වලට ගංවතුර. ඒ අතර වරකාපොළ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් තුන් දෙනකුට දිවි අහිමි වෙලා. බොහෝ දෙනාට නිවසින් එළියට බහින්නවත් වැස්ස ඉඩ දෙන්නේ නෑ. අදින් අවුරුදු 6කට පෙර අරණායක සාමසර කන්ද නාය ගියෙත් මේ වගේ එකදිගට වැස්ස තිබුණු කාලෙක.

මෑත කාලයේ  සිදුවූ ස්වාභාවික ව්‍යසනවලින් වැඩි ම ජීවිත සංඛ්‍යාවක් අහිමිවුණු නායයාම තමයි 2016 වසරේ මැයි මස 17 වැනිදා සිදුවූ අරණායක කන්ද නායයාමේ සිද්ධිය. මේ ඒ ගැන මතකය අවදිකිරීමට ගත් උත්සාහයක්.

 නායගිය මහ කන්ද – Disaster.lk

සාමසර කන්ද

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළඟිපිටිය ග්‍රාම නිලධාරි වසමටත් දෙබත්ගම, පල්ලෙබාගේ ග්‍රාම නිලධාරි වසමටත් මැදි ව පිහිටි සාමසර කඳු මුඳුනේ අක්කර ගණනාවක් ම ඇත්තේ තේ වගාව යි. කුඩා ඉඩම්වලත් තේ වගා කර තිබෙනවා. ඒවායින් ජනතාව හොඳ ආදායමක් ද ලබා ගත්තා. ඊට අමතර ව සාදික්කා සහ කුරුඳු ද එහි තැනින් තැන වගා කර තිබුණා. සාමසර කන්ද පාමුල දිවි ගෙවූ ජනතාවගෙන් තවත් පිරිසකක් කුඹුරු ගොවිතැනේ නිරත වුණා.  කිරි ගවයන්, එළුවන් සහ කුකුළන් ඇතිකිරීමෙන් තවත් පිරිසක් දිවි රැක ගත්තා.  කන්දේ ඉහළ බෑවුමේ බොහෝ තැන්වල නිවාස ඉදිකර තිබුණා.කන්ද නාය යෑම නිසා අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 61න් දෙබත්ගම, පල්ලේබාගේ, මෝරාගම්මන, දෙබත්ගම උඩබාගේ හා ගංතුන උඩගම ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 29ක පමණ ජනතාව පීඩාවට පත්වීමෙන් ම කන්ද අවට කෙතරම් ජනාවාස තිබුණා ද යන්න අපට පැහැදිලි වෙනවා.

කන්ද දෙසින් මහා මීදුම් පටලයක්

රාමසර කන්ද (සාමසර  කන්ද) නාය යාමට පැය කිහිපයකට  ගමේ ගුරුවරයෙක්  කන්ද දෙසින්  මහා  මීදුම් පටලයක් දැක තිබෙනවා.  එවිට වේලාව මැයි 17 වැනිදා පස්වරු 11.30ට  පමණ වුණා.  එම කාලගුණ විපර්යාසය ඔහු  ජායාරූප ගත කළා. ඉන් ටික වේලාවකට  පසු මීදුම වැඩිවුණා. දිය ඇල්ල පිහිටි පෙදෙස දෙදරමින් විවර වී මහා මඩ වගුරක් වී මුළු පළාතක් වසාගෙන පහළට ගලාගෙන ආවේ ගිනිකන්දක ලාවා ප්‍රවාහයක් එනවා වගේ.  පසුදිනත් තවත් කුඩා නායයාම් දෙකක් සිදුවුණා. මේ නිසා කන්ද අවට ඒ වනවිටත් පදිංචිව සිටි ජනතාව ඉන් ඉවත් කළා.  විපතට පත් ජනතාව ආරක්ෂිත කඳවුරු 6ක රඳවා තිබුණු අතර  පසුව ඔවුන් අවතැන් කඳවුරුවලට රැගෙන ගියා.

 මළ සිරුරු සොයන හමුදා සහන කණ්ඩායම් – dailynews.lk

හල්දුම්මුල්ල, මීරියබැද්ද, කොස්ලන්ද  ආදී මෑත අතීතයේ සිදුවූ නායයෑම්වලින් අප පාඩම් ඉගෙන නොගත් බව පෙන්නුම් කරමින් තමයි සාමසර කන්ද කඩාවැටුණේ. ඒ හේතුවෙන් පවුල් 178කට උන්හිටි තැන් අහිමි වුණා.  නාය ගිය සාමසර කන්ද කිසිත් නොවූවා සේ අද දැකගත හැකි යි. නායයෑමෙන් ඉතිරි වූ සලකුණු අද ද කන්දේ තැනින් තැන දැක ගත හැකි යි.   නාය යාම සඳහා හේතු වන  කඳු බෑවුම්වලට නොගැළපෙන ඉදිකිරීම් ගැන භුවිද්‍යාඥයන් ජනතාව දැනුම්වත් කළත් අප රටේ දිගින් දිගට ම එවැනි පාරිසරික ව හානිදායී ගොඩනැඟිලි තැනීම් දකින්න ලැබෙනවා.

අතුරුදහන් පිරිස්

සාමසර කන්ද නායයාමෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් මැයි 17 වැනි දා ආරම්භ වී දින 15ක් පුරා මහ වැසි මැද්දේ සිදු කළා. නාය ගිය ස්ථානය නැරඹීමටත් දහස් ගණන් පිරිස් ඇදී ආවා.දින 15කින් පසු යුද හමුදාව එම මෙහෙයුම් නතර කළා මුළු රට ම ඒ ගැනයි ඒ දිනවල කතා කළේ.

 අතුරුදහන්වූවන් සොයා කළ මෙහෙයුම් –  jordantimes.lk

පස් කන්දට යටවූ පුද්ගලයන් සොයා  කළ හමුදා මෙහෙයුම්වලින් මිය ගිය පුද්ගලයන් 27 දෙනකුගේ සිරුරු සහ තවත් පුද්ගලයන් 21 දෙනකුගේ සිරුරුවල කොටස් සොයා ගැනීමට හැකිවුණා. මෙහෙයුම් නතර කිරීමෙන් පසුව ජුනි 2වැනි දා  මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අරණායක හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී සිදු කෙරුණා.

මරණ 123ක්

හමුදා මෙහෙයුම්වලින් පසු හමුවූ මළ සිරුරු සංඛ්‍යාව  27ක් පමණක් වුවත්  මියගිය සංඛ්‍යාව 123ක් බව පසුව හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරින් අතුරුදන් බහුතරයකගේ සිරුරු පොළොවේ සැඟවී තිබෙන බව නොරහසක්.  නාය යෑමෙන් පස්කන්දට යටවී වැනසුණු නිවාස සංඛ්‍යාව 72ක්.  ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව අධි අවදානම් කලාපයේ ජීවත් වූ පවුල් 571ක් වෙනත් ස්ථානවල  පදිංචි කළ යුතු බව හඳුනා ගැනුණා.  අවතැන් කඳවුරු 23ක පුද්ගලයින් 4156ක් රඳවා සිටි අතර මේ වනවිට ඔවුන් සියලු දෙනාට නිවාස ලබාදී තිබෙනවා. මේ විපතෙන් හානිවූ දේපලවල  වටිනාකම රුපියල් මිලියන 4000කට ආසන්න බවට ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබෙනවා.

 මහා ඛේදවාචකයක සලකුණු – dailynews.lk

නාය යෑමත් සමඟ  මේ කඳු ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඒ සමග අවට ජීවත් වූ පවුල් 2000ක් පමණ තාවකාලිකව  ඉවත් කර අවතැන් කඳවුරුවල පදිංචි කිරීමට සිදුවුණා.  අවදානම පහව ගිය පසුව කඳු පාමුල ජනතාව නැවත තම නිවෙස්වල පදිංචි වුණා. කන්දේ නිවාස විනාශ වු පිරිස සහ අධිඅවදානම් ස්ථානවල පදිංචිව සිටි පවුල්වල පිරිස් වසන්තගම, දෙබත්ගම කලුගල වත්තේ, හබලක්කාව, අඹදෙණියවත්ත වේරගොඩ, තල්ගස්පිටිය පණපුරවත්ත, දුල්දෙණිය වත්ත සහ රුවන්දෙණිය උඩවිහාරතැන්න ආදී ප්‍රදේශවල නිවාස ඉදිකර  යළි පදිංචි කරවීමට කටයුතු කෙරුණා.   

මියගිය අයට වන්දි

මියගිය අය වගේම අතුරුදන් පුද්ගලයන් ද  මියගිය අයසේ සලකා වන්දි මුදල් ප්‍රදානය කිරීමට රජය කටයුතු කළා. මේ කන්දේ ගම්වල ජීවත්වූ පවුල් 14ක කිසිම සාමාජිකයෙක් ඉතිරිවී නැහැ. ඒ ගෙවල් තිබූ තැනක්වත් සොයාගැනීමට නැහැ.   මේ  කන්ද නාය යෑමට අමතරව අවට පිහිටි ගංතුන උඩගම, කුමාරපුර, ගල්බොක්ක,දීවෙල (උඩගම) ආදි ප්‍රදේශවල නිවාස 72 ක් සම්පූර්ණයෙන්ම ගංවතුර සහ වෙනත් නාය යාම් වලින් විනාශ වුණා.  අර්ධ හානි නිවාස 152 ක් වාර්තා වුණා.  

 මහවැසි මැද මියගිය පිරිස් සොයමින්- dw.com

අරණායක නාය යාමට හේතු

අරණායක  සාමසර කන්දේ සිදු වුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇති වු නාය යාම් අතුරින් විශාලත ම හිස කොටස සහිත නාය බව භූවිද්‍යාඥයන් පවසනවා. අරණායක නායයාම ගැන භූවිද්‍යාඥයන් දක්වන්නේ මෙවන් අදහස්.

‘අරණායක සිදු වු නාය යාමේ ආරම්භය වුණේ, නායේ හිසේ ප්‍රදේශය අවට ඇති වූ පැලුම් හෝ කුස්තුර (joints) විදාරණය වී විශාල වපසරියකින් යුතු කොටසක් මවු පාෂාණයෙන් නැතිනම් පිහිටි ගලෙන් වෙන්වී පහළට රූටා යෑම නිසයි. මහ වැස්ස නිසා මවුපාෂාණයේ  කන්දේ දැඩිබෑවුම ඇති පැත්ත (ascorpment slope) මත ඇති පැලුම් තුළට දින කිහිපයක් තිස්සේ අධික ජල ප්‍රමාණයක් කාන්දු වීම එයට හේතුව යි. එවිට පැලුම් ක්‍රමයෙන් ප්‍රසාරණය වීම හේතුවෙන් ගබඩා වූ ජලයෙන් ඇතිවන පීඩනය පිටවන්නේ පැලුම් විදාරණය වීමෙන්.

 අරණායක සහ ඒ දිනවල ම සිදුවූ බුලත්කොහුපිටිය නායයාම් සිදුවූ අයුරු – dailynews.lk

නාය ගිය කොටසේ බෑවුම්වල තේ වගාව  සිදුකර ඇත්තේ ජලවහන පද්ධතියකින් තොර ව බවත් නිරීක්ෂණය වී තිබෙනවා.  එම තේ වගාව සම්පූර්ණයෙන් ම පාහේ නායට හසුව  වගාව දෙපස කොටස පමණක් ඉතිරිව පවතිනවා. එසේ ඉතිරි වී ඇති  කොටසේ ස්වාභාවික ජලවහනය හොදින් සිදුවීමත්, තේ වගා කොටසේ ස්වභාවික ජල වහනය වෙනස් කර තිබීමත් නායට මූලික ම හේතුව විය හැකි යි.

දින කිහිපයක් ඇද වැටෙන අධික වර්ෂාව හරිහැටි පොළොව මතුපිටින් ගලා යෑමට ඉඩ සැලසී නැති විට විශාල ජල ප්‍රමාණයක් අභ්‍යන්තරයට කිදා බැසීම සිදු වෙනවා. එවිට පොළොව යට පිහිටි මවු පාෂාණයේ ස්වාභාවික ව ඇති පැලුම් හෙවත් කුස්තුර තව තවත් ප්‍රසාරණ වෙනවා. එබැවින් ක්‍රමවත් ව ජලවහන පද්ධතියක් ඇති නොකර විවිධ අරමුණු සඳහා බෑවුම්වල බිම සකස් කිරීම විනාශයකට අතවැනීමක් වෙනවා. 

 නාය යාමෙන් මව් පාෂාණය මතුව ඇති ආකාරය- bbc.com

 බිහිසුණු අත්දැකීමක්

නායයාමේ අත්දැකීම ගැන වසන්තගම රංජනී අමරලතා පසුව මෙසේ මාධ්‍යවලට පවසා තිබුණා:

“   නායයාමක් ගැන අපිට හිතාගන්නත් බැරිවුණා. එහෙම දේකට අපි මීට කලින් මුහුණ දීලා තිබුණේ නැහැ. මැයි 17 වැනිදාට කලින් දින කිහිපයක් හොඳට ම වැස්සා. එදත් වැස්සා. හවස එක පාරට ප්ලෙන් එකක් කඩා වැටෙනවා වගේ ශබ්දයක් ඇහුණා. අපි ජනේලයෙන් බලන කොට කන්ද උඩින් ගස් පෙරළීගෙන එනවා දැක්කා. මං දරුවොත් එක්ක එවෙලම අපේ ඥාතින් ඉන්න අලපලාවෙලට ගියා.  කන්දේ පස් ඇවිල්ලා ඇළවල් හරස් වෙලා අපේ ගෙවල් ඒ මඩ එක්ක ආපු වතුරට යටවෙලා තිබුණා. අපිට ඉතුරු වුණේ ඇඳි වත විතරයි. අනිත් සේරම මඩවලට යට වෙලා ගියා.   .”

 කන්ද කඩාවැටී පැමිණි මඩ කඳු පාමුල කුඹුරුවල තැන්පත් වී ඇති අන්දම –  bbc.com

නැවත පදිංචි කිරීම්

අධි අවදානම් හා නායයාමෙන් අවතැන් වූවන් සඳහා වසන්තගම පවුල් 55 ක්, කලුගල පවුල් 74 ක්, හබලක්කාව පවුල් 52 ක්, දූල්දෙණිය පවුල් 16 ක්, තල්ගස්පිටිය,පනපූරවත්ත (මුස්ලිම් වසම) පවුල් 28ක් ,වේරගොඩ වසමේ අඹදෙණිය වත්ත පවුල් 54 ක් , තල්ගමුව වසමේ ගම්මලේවත්ත පවුල් 37 ක්, රුවන්දෙණිය වසම වීදියමන්කඩ පවුල් 23ක් හා රුවන්දෙණිය වසමේ උලු විහාරතැන්න(චීන මිත්‍රත්ව ගම්මානය) පවුල් 59 ක් නිවාස යෝජනා ක්‍රම තනා පදිංචිකර තිබෙනවා.  

එහෙත් එම ප්‍රදේශවල පදිංචි වී සිටින ජනතාව වැඩි දෙනෙක් මැසිවිලි නඟන්නේ සාමසර කන්ද නාය යෑමෙන් පසුව ඔවුන් වෙනත් ගම්වල පදිංචි කළ ද එහි ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සකස් වී නැති බව යි. අස්වැන්න වෙළෙඳපොළට ගෙනඒම සඳහා නිසි මාර්ග පහසුකම් නැතිකමින් තමන් අපහසුතා විඳින බවත් සමහරු පවසනවා.   

 අවතැන්වූවන්ට ලබා දුන් නිවාස –  army.lk

කන්ද නාය යැමෙන් ඉක්බිති වසර දෙකකට පසුව,  නය යෑමෙන් පීඩාවට පත් වූවන්ට අහිමි වූ මිනිස් ජීවිත හැර බොහෝ යටිතල පහසුකම්  ලබා දීමට ආණ්ඩුව මෙන් ම පරිත්‍යාශීලින් ද කටයුතු කර තිබුණා. අවතැන් කඳවුරුවල සිටි ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු සියල්ල ඉන් වසර පහක් ගත වන විට සම්පූර්ණ කෙරුණා. නිවාස ව්‍යාපෘති   09ක් මඟින් පුද්ගලයන් 1717 දෙනකුට හිසට සෙවණක් ලැබී  තිබෙනවා. ඒත් ඔවුන්ගේ හිතේ දුක සහ කම්පනය නම් තවමත් පවතිනවා.

කවරයේ ඡායාරූපය - නායයාම නැරඹීමට පැමිණි පිරිසක් - dw.com

මූලාශ්‍ර:

News.lk

Silumina.lk

Lankadeepa.lk

Disaster.lk 

Related Articles