Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු අමුතු තතු – 2

දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව අනෙකුත් බොහෝ රටවල මෙන් ම බ්‍රිතාන්‍ය ඉතිහාසයත් ඉතා අපූර්ව මෙන් ම, අධ්‍යයනය කරන්නට ආසා ඉපැදෙන කාරණා රාශියකින් සමන්විත වූවක්. පසුගිය වසර දහසක පමණ කාලය තුළ එය රජවරුන් රාශියක් යටතේ පාලනය වුණු අතර, ඒ ඒ රජ සමයන්හී දී විවිධ වාතාවරණයන්ට මුහුණපෑවා.

මේ රජවරුන් සම්බන්ධව ඉතිහාස පොත්වල විවිධ කරුණු ලියැවී ඇති මුත්, ඉන් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ සමහර කරුණු පමණ යි. ඔවුන් පිළිබඳ විවිධ කරුණු රාශියක් එතරම් ප්‍රසිද්ධියට පත් වී නැහැ. මේවා කිහිපයක් සම්බන්ධ ව ලිපියක් මින් පෙර අප ඔබ වෙත ගෙන ආවා. මේ එම ලිපි පෙළෙහි දෙවැන්න යි.

 දෙවන එඩ්වඩ් රජු -Public Domain; courtesy of the National Portrait Gallery, London)

 

බිසවගෙන් අඩන්තේට්ටම්වලට ලක් වූ දෙවන එඩ්වඩ් රජු

14 වන සියවස මුල් භාගයේ දී එංගලන්තයේ රජ කළ දෙවන එඩ්වඩ් රජු, බ්‍රිතාන්‍ය කිරීටය දැරූ වෙනත් කිසිදු රජ කෙනෙක් මුහුණ නොපෑ ගණයේ අත්දැකීම්වලට මුහුණ දුන් අයෙක්. ඔහුගේ පියා වන පළමු එඩ්වඩ් රජු ඉතා වගකීම් සහගත, දක්ෂ පාලකයෙක් වුව ද, දෙවන එඩ්වඩ් රජු ඊට හාත්පසින් ම වෙනස් පුද්ගලයෙක් වුණා.

සෙල්ලක්කාර, වගකීම් රහිත ජීවිතයක් ගත කළ දෙවන එඩ්වඩ් රජුට විශාලත ම අභියෝගය එල්ල වූයේ ඔහුගේ  අහමෙහෙසියගෙනු යි. දැඩි බල ලෝභීත්වයකින් පෙළුණු ඇය නිතර ම ඔහුට පරිභව කළ අතර, ඔහු ලිංගික අඩන්තේට්ටම්වලට ද ලක් කළ බැව් සඳහන්. අවසානයේ ඇය සිය පුත්‍රයා බලයට පත් කිරීම සඳහා, රජු අවට වූ උසස් නිලධාරීන් හා රජ පවුලේ නෑදෑ පිරිවර ද මෙහෙයවා දෙවන එඩ්වඩ් රජු ඝාතනය කරන්නට යෙදුණා. ඇය මෙහෙයවූ පිරිස් දෙවන එඩ්වඩ් රජු අවසානයේ ඝාතනය කර ඇත්තේ ගිනියම් කළ යකඩ කූරක් ඔහුගේ ගුද මාර්ගය ඔස්සේ යැවීම මඟිනු යි.

දෙවන එඩ්වඩ් රජු ගේ පෞද්ගලික ජීවිතය

දෙවන එඩ්වඩ් රජු ගේ ඇවෑමෙන් සියවස් ගණනකට පසු ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ව කතා කිරීම එංගලන්ත බලධාරීන් නවතා දැමුවා. මෙය සිදුවූයේ වික්ටෝරියා රජ සමයෙහි යි. පැරණි එංගලන්ත රජවරුන් බොහෝ දෙනෙක් ලෝකයාට පෙන්වූ ස්වභාවයට වඩා බොහෝ සෙයින් වෙනස් ගති ලක්ෂණ සහිත අය වුණා. මෙය දෙවන එඩ්වඩ් රජුට ද පොදු වූ අතර, ඔහුට සමලිංගික චර්යා තිබූ බවට කසු කුසුවක් ද සමාජයේ පැතිර ගොස් තිබුණා. මෙය කිරීටයේ පැවැත්මට හානිදායක යැයි සිතූ වික්ටෝරියා රැජන, දෙවන එඩ්වඩ් රජුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ කරුණු සිතා මතා යට ගසන්නට තීරණය කළා. ඒ සමලිංගිකත්වය ඇතුළු සමහර චර්යා පිළිබඳ ව වික්ටෝරියා රැජනගේ තිබූ දෘඪ ප්‍රතිපත්ති නිසා යි. මේ හේතුවෙන් ඔහු සම්බන්ධ කරුණු කාරණා කාලයේ වැලි තලාවෙන් වැසී ගියා.

 සිව්වන හෙන්රි රජු- wikidata.org

 

සමේ රෝගයකින් පෙළුණු සිව්වන හෙන්රි රජු

සිව්වන හෙන්රි රජු වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ දෙවන රිචඩ් රජු බලයෙන් පහ කර, ඔහු කුසගින්නේ තබා ඝාතනය කළ පුද්ගලයා ලෙස යි. කෙසේ නමුත් ඔහුගේ ජීවිතයේ අවසන් භාගයට වන්නට ඔහු පෙළුණු රෝගාබාධයක් පිළිබඳව ද ඉතිහාස පොත්වල සමහර තැනක සටහන් වී තිබෙනවා.

සිව්වන හෙන්රි රජුට සිය රාජ්‍ය කාලයේ සැලකිය යුතු කාලයක් අරගලකරුවන් සමඟ සටන් කරන්නට සිදුවුණා. මේ අරගල නිසා රටේ ආර්ථික තත්ත්වයත් පහත වැටුණා. ඒවා සාර්ථක ව මැඬපැවැත්වූ ඔහු, සිය රාජ්‍යත්වයේ අවසන් සමය නිස්කලංක ව ගෙවා දමන්නට ඉටා ගත්තා විය හැකි යි. කෙසේ නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඊට මඟ අවුරා තිබුණා. විද්වතුන් පවසන අන්දමට මෙම රජුට වැලඳී තිබුණු සමේ රෝගය බොහෝ විට ලාදුරු හෝ ඉතා තදබල වශයෙන් බලපෑ පොතු කබර රෝගය විය හැකි යි. 

දෙවියන් වහන්සේගෙන් දඬුවම්

ඔහුගේ සමෙහි කොටස් ගැලවී යන්නට පටන් ගෙන තිබූ අතර, බොහෝ දෙනා විශ්වාස කළේ, 1405 වසරේදී අරගලකරුවන් මෙහෙයවූ බිෂොප්වරයෙක් වන රිඩඩ් ස්රෝප් ගේ හිස ගසා දැමීමට අණ කිරීම නිසා ඔහුට දෙවියන් වහන්සේ දඬුවම් දී ඇති බව යි. මොහුට මෙම සමේ රෝගය වැලඳුණේ එම වසරේදී ම යි. එතැන් පටන් ඒ රෝගයෙන් අන්ත දුක් විඳි මොහුට වෛද්‍ය ප්‍රතිකාරවලින් හරි හැටි සුවයක් ලැබුණේ නැහැ. අවසානයේ මේ නිසාම  1413 වසරේ දී මොහු මිය යනවා. කෙසේ නමුත් මොහුගෙන් පසු රාජ්‍යත්වයට පත් මොහුගේ පුත් පස්වන හෙන්රි රජු මෙම රෝගී තත්ත්වයට ලක් නොවීමට තරම් වාසනාවන්ත වුණා. එහෙත් ඔහු තිස් පස් වන වියේ සිටිය දී මිය යන්නේ හෘදයාබාධයක් සහ උදරගත රෝගයක් වැලඳීමෙනු යි.

 දෙවන චාල්ස් රජු- royal.uk

 

සොරුන්ට තෑගි දුන් දෙවන චාල්ස් රජු

දෙවන චාල්ස් රජු බලයට පත් වූයේ එංගලන්තය අරාජික වී වසර 11 කට පසුව යි. ඒ කාලය තුළ එංගලන්ත ජනරජයක් සෑදීම සඳහා ඔලිවර් ක්‍රොම්වෙල් නමැත්තෙක් උත්සාහ කළ අතර, අවසානයේ එය අසාර්ථක වීම නිසා 1660 වසරේ දී දෙවන චාල්ස් රාජ්‍යත්වයට පත් වුණා. දෙවන චාල්ස් රජු ඔහුගේ විනෝදකාමී දිවි පෙවෙත සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.

දෙවන චාල්ස් රජු සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධියට පත් වූ කාරණා ගණනාවක් තිබෙනවා. එලෙස ම, එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ කාරණා ගණනාවකුත් තිබෙනවා. ඔහුගේ කිරුළෙහි මැණික් සොරා ගත් විට, එලෙස සොරාගත්තවුන් කෙරෙහි ඔහු ක්‍රියා කළ ආකාරය එලෙස ප්‍රසිද්ධියට පත් නොවූ එක් කරුණක්.

රජුට අයත් කිරුළ සහ අනෙකුත් ආභරණවල භාරකරු

කර්නල් තෝමස් බ්ලඩ් ඉංග්‍රීසි සිවිල් යුද්ධයේ ප්‍රමුඛ ව ක්‍රියා කළ හමුදා නායකයෙක් වන අතර, දෙවන චාල්ස් රජුගේ ආගමනයත් සමඟ අයර්ලන්තයට පලා ගියා. ඔහු එංගලන්තයට කෙටි කලෙකින් නැවත පැමිණෙන්නේ පූජකයෙක් ලෙස ව්‍යාජ නමක් ද ආරූඪ කරගනිමින්. මොහු ටැල්බට් එඩ්වඩ්ස් නම් පුද්ගලයෙක් හා මිතුරු වන අතර, ඔහුගේ විශ්වාසය දිනා ගන්නවා. දිනෙක එඩ්වඩ්ස්, තමා දෙවන චාල්ස් රජුට අයත් කිරුළ සහ අනෙකුත් ආභරණවල භාරකරු බැව් බ්ලඩ්ට පවසනවා. බ්ලඩ් හා ඔහුගේ සහායකයන් ආභරණ නැරඹීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස එඩ්වඩ්ස්ගෙන් ඉල්ලා සිටිනවා. බලවත් පෙරැත්තය නිසා දිනෙක ඔහු එඩ්වඩ්ස් හා එකඟ වෙනවා. මෙලෙස ආභරණ ආරක්ෂාවට තබා ඇති කාමරයේ දොරගුළු හැරගන්නා බ්ලඩ්, එඩ්වඩ්ස්ට පහර දී කිරුළ සහ අනෙකුත් රාජාභරණ තමන් සන්තකයට ගන්නවා. 

මේ සියල්ල ඔසවා ගෙන යාමට නොහැකි බැව් වටහා ගත් ඔහු, කිරුළට පහර දී එහි මැණික් කැට ගලවාගන්නා අතර, අනෙකුත් රාජාභරණද පොඩිකොට, ඒවායේ වූ මැණික් ද ගලවා ගන්නට උත්සාහ කරනවා. මේ අතර පියවි සිහිය ලද එඩ්වඩ්ස් වහාම ආරක්ෂකයන් කැඳවන අතර, බ්ලඩ් හා සහායකයින් ඔවුන් භාරයට ගැනෙනවා.

බ්ලඩ් හා ඔහුගේ සහායකයන් දෙවන චාල්ස් රජු අභිමුවට වහා ම  පනවන ලද අතර, එහිදී සිදුවන්නේ කිසිවෙක් නොසිතන සිද්ධියක්. බ්ලඩ්ගේ ඉතා ආකර්ෂණීය, විනෝද සහගත හා විසුළු කතා අසන දෙවන චාල්ස් රජු ඔහු පිළිබඳ ව ඉතා පැහැදී ඔහුට සමාව දෙනවා. එතැනින් නොනැවතී ඔහු බ්ලඩ්ට අයර්ලන්තයේ ඉඩම් කඩම් පවා තෑගි දෙනවා.

කවරයේ ඡායාරූපය - බකිංහැම් මාලිගය - Getty Images 

මූලාශ්‍ර:

History.co.uk

Britannica.com

BBC.com

Related Articles